ඩොලරය ක්‍රීඩාවත් ඔසවා පොළොවේ ගසයි | සිළුමිණ

ඩොලරය ක්‍රීඩාවත් ඔසවා පොළොවේ ගසයි

මෙරට මුහුණ දී ඇති වත්මන් විනිමය අර්බුදයට මෙරට ක්‍රීඩාවත් සෙමෙන් සෙමෙන් නතු වෙමින් පවති. අද වන විට ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් , එයට අමතරව කබඩි‍ හා පාපන්දු ක්‍රීඩාව මෙම විනිමය අර්බුදයේ ගොදුරු බවට පත්වී අවසන් ය. ඉන්දීය ජාතික කබඩි පුහුණුකරු කේ. බාස්කරන්ට ඩොලර් වලින් සිය වැටුප ගෙවීමට නොහැකි විම නිසා සිය වැටුපට සරිලන මුදල රත්තරන් වලින් මේ වන විට ගෙවා දමා ඇත.

ශ්‍රී ලංකා කබඩි ජාතික කණ්ඩායම් පුහුණුකරු ලෙස කටයුතු කරන ඉන්දීය ජාතික කබඩි පුහුණුකරු කේ. බාස්කරන්ට ඇමරිකානු ඩොලර් වලින් වැටුප් ගෙවීම අසීරුවී තිබෙන තත්ත්වයක් තුළ ඔහුගේ මාසික වැටුපේ වටිනාකමට සරිලන ආකාරයෙන් ඒ වෙනුවට රත්තරන් ලබාදීමට කටයුතු කර ඇතැයි වාර්තාවෙයි.

පසුගිය මාස කිහිපයේ ම ඔහුගේ වැටුප ගෙවා ඇත්තේ රත්තරන්වලින් බව ද දැන ගන්නට ඇත. ඩොලර් වෙනුවට ශ්‍රී ලංකාවේ රුපියල්වලින් වැටුප් ලබා ගැනීම බාස්කරන් ප්‍රතික්ෂේප කර ඇත. ඔහු සෑහීමට පත්වන විකල්ප ක්‍රියා මාර්ගයක් ලෙස ඔහුගේ වැටුප රත්තරනින් ගෙවීමට ශ්‍රී ලංකා කබඩි සම්මේලන නිලධාරීන් පසුගිය දිනවල කටයුතු කර තිබේ.

2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් ජාතික කබඩි කාන්තා හා පිරිමි සංචිත දෙකේ ම පුහුණුවීම් මෙහෙයවීම සඳහා බාස්කරන් ගිය වසරේ ඔක්තෝබර් මස අග භාගයේ මෙරටට පැමිණියේය. නොවැම්බර් මුල සිට මෙරට රැඳී සිටින බාස්කරන්ගේ සේවය අවසන් වන්නේ එළැඹෙන සැප්තැම්බර් 10 සිට 25 වැනිදා දක්වා චීනයේ හැංෂූ නුවර දී පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් සහභාගි වීමෙන් පසුවය.

බාස්කරන් ඉන්දීය කබඩි කේෂ්ත්‍රයේ විශිෂ්ට ම පුහුණුකරුවකු ලෙස පිළිගැනෙන අතර ඔහු යටතේ ඉන්දියාව, ආසියානු ක්‍රීඩා උළෙල කිහිපයකදීම රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබේ. ඔහුගේ වෘත්තීමය දිවියේ තවත් කීර්තිමත් අවස්ථාවක් වන්නේ ඉන්දීය වෘත්තීය කබඩි තරගාවලිය (2020) ජයගත් තමිල් තලේබොර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමය.ඔහුගේ වැටුප් හා දීමනා ගෙවීම ක්‍රීඩා අමාත්‍යාංශය හඳුන්වා දුන් උසස් දක්ෂතා ප්‍රවර්ධන වැඩසටහන යටතේ සිදු විය.

පසුගිය ජනවාරි 7 වැනිදා සිට ජාතික කබඩි කාන්තා හා පිරිමි සංචිත හැර යාමට ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කටයුතු කිරීමෙන් එහි පුහුණුවීම් තවමත් අඩපණ වී ඇතැයි ද වාර්තාවෙයි. කාන්තා හා පිරිමි කබඩි සංචිතයේ වැඩි පිරිසක් නියෝජනය කරන්නේ ත්‍රිවිධ හමුදාවයි. හේතුවක් නොමැතිව ජාතික කාන්තා හා පිරිමි කබඩි සංචිත දෙකේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයක් සංචිතය හැර යාම නිසා බාස්කරන් දැඩි කලකිරීමට පත්ව සේවයෙන් ඉවත් යාමට දැරූ උත්සාහයක් කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ ගේ මැදිහත්වීමෙන් වළක්වාගත් බවත් වාර්තාවේ. අනුර පතිරණ මේ වනවිට අන්තර් ජාතික කබඩි සම්මේලනයේ උප සභාපති ධුරයක් ද දරයි.මේ පිළිබඳ විමසීමට අප කිහිපවරක් ම අනුර පතිරණ සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ නමුත් එය සාර්ථක නොවීය.

කබඩි ක්‍රීඩාවෙන් වොලිබෝල් ක්‍රීඩාවට ගිය මෙකී බාලගිරි දෝෂය යුරෝ මුදල් ඒකකයෙන් වැටුප් ලැබූ වෙරළ වොලිබෝල් විශේෂඥ පුහුණුකරු ඔයිලන්ඩ් රම්ඩෝට ද බලපෑවේය. ඔහුගේ සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගෙන තිබේ.

ඒ අනුව නිවාඩුවක් ගත කිරිම සඳහා මේ වන විට දිවයිනෙන් පිටත්ව ගොස් සිටින රම්ඩෝගේ සේවා කොන්ත්‍රාත්තුව අවසන් කළ බව දැනුම්දීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පියවර ගෙන තිබේ.

2021 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් පින්ලන්ත පුහුණුකරුගේ සේවය අවසන් කිරීමට නියමිතව තිබී ඇත්තේ ජූලි මස එංගලන්තයේ බර්මින්හැම් නුවරදී ආරම්භ වන පොදුරඳ ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය අවසන් වීමෙන් පසුව ය.

මිගමුව වෙරළ තීරයේදී අවසන් වු ආසියානු කඩඉම් තරග වටය අපරාජිතව ජය ගැනීමින් ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි වෙරළ වොලිබෝල් කණ්ඩායම් ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේ මෙම පින්ලන්ත පුහුණුකරු රමිඩෝ ගේ ගුරුහරුකම් යටතේය. රම්ඩෝ අන්තර්ජාතික වොලිබෝල් සම්මේලනය පිළිගත් පළමු ශ්‍රේණියේ වෙරළ වොලිබෝල් උපදේශකවරයෙකි.

බාස්කරන්ගෙන් රම්ඩෝට බලපෑ බාලගිරි දෝෂය පැමිණියේ අමීර් ආලජික්ට ය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයත් තම වියදමින් විදෙස් පුහුණුකරුවකුගේ සේවය ලබා ගත්ත ද එම සේවයද නිමා කිරිමට ක්‍රියා කර ඇත. 2020 පෙබරවාරි මාසයේ සිට ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස සිටි බොස්නියානු ජාතික අමීර් ආලජික්ව මෙලෙස සේවය අත්හිටුවීමට පියවර ගෙන ඇත.

තම සේවය නිමා කර පිටවෙන්න සැරැ‍ෙසද්දි ආලජික් පවසා ඇත්තේ ගෙවුණු කාලයේදී ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාවට මට ලබා දෙන්නට හැකි වු දායකත්වය ගැන සතුටු වන බවයි. ඒ වගේම ඒ කාලේදී විදෙස් සම්භවයක් ඇති ක්‍රීඩකයන් එක් කර ගන්නත්, ශ්‍රී ලංකාවට වෘත්තියමය මට්ටමේ පාපන්දු ලීගයක් හඳුන්වා දෙන්නටත්, එම කටයුතුවලට උදව් වෙන්නත් මට හැකි වුණා. ඒ වගේම තවත් වසර 5කදී වගේ කාලයකදී මට මගේ කණ්ඩායම හොඳ තැනක සිටියි කියන විශ්වාසය මට තියෙනවා.ගෙවුණු කාලයේ ශ්‍රී ලංකාවට සිටි දක්ෂත ම ආරක්ෂක ක්‍රීඩකයා වුණු ඩක්සන් පුස්ල්ස්ගේ අහිමිවීම ලොකු පාඩුවක්. ඕනෑම පුහුණුකරුවෙක්ට ඩක්සන් වගේ ක්‍රීඩකයෙක් කණ්ඩායමට ලැබීම ජයග්‍රහණයක්, ඒ වගේ ක්‍රීඩකයන් තවත් රටට අත්‍යවශයි, යැයි ජාතික පුහුණුකරු ලෙස සේවය නිමා කළ බොස්නියානු ජාතික අමීර් ආලජික් පවසයි.

හිටපු තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සංකල්පයක් මත ජාතික ක්‍රීඩා සභාව ජයග්‍රහණ බලාපොරොත්තු විය හැකි ක්‍රීඩාවන් කිහිපයක් වෙනුවෙන් විදෙස් පුහුණුකරුවන්ගේ සේවය ලබාගැනීම පිණිස අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් විය. ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් විදේශීය පුහුණුකරුවන්ගේ වැටුප ද වෙනත් වියදම් ද ආදිය දරගන්නා ලෙසින් වන වගකීමක් සමඟින් මෙම විදෙස් පුහුණුකරු සේවය ලබාගැනීමට ක්‍රීඩා සංගම් දිරිගැන්වීය. ඒ වකවානුව වනවිට ඇමෙරිකානු ඩොලරයක විනිමය අනුපාතය වුයේ රුපියල් 195 – 200ක් වැනි මුදලකී. එකී ගිවිසුම යටතේ ගෙවීම් සිදුවිය. නමුත් ගතවු ඉතාමත් කෙටි කාලය තුළදී රුපියලේ අගය අව ප්‍රමාණය වීම හේතු කෙට ගෙන ඩොලරයේ අගය රුපියල් 300 – 400 අතර අගයක් ගෙන තිබේ. නමුත් ක්‍රීඩා සංගම්වලට මෙම මුදල දරාගැනීමට හැකියාවක් නැති නිසා අද වන විට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා ආසියානු ක්‍රීඩා උළෙල අභියස දේශිය ක්‍රීඩාව නිරුවත් වී තිබේ.

කබඩි විදෙස් පුහුණු කරු කේ. බාස්කරන්ට සිය දියණියගේ විවාහ මංගල්‍ය වෙනුවෙන් යෑමට සිදු වු නිසා ඔහුගේ වේතනය ඩොලර් වලින් සපයා දිමට අපහසු වු කබඩි සම්මේලනය විසින් ඔහුගේ දියණියගේ විවාහ මංගල්‍යට අවශ්‍ය කරන ස්වර්ණාභරණ රැගෙන දී වේතනයට සම කළත් එය තාවකාලික විසඳුමක් පමණී. එය අද සාර්ථක වුයේ යැයි සිතීම එය හෙට ද සාර්ථක වේ යැයි ද සිතිය හැකිද?

Comments