චැම්පියන්ස් ලීග් පාපන්දු පිටිය උණුසුම් කරයි | Page 3 | සිළුමිණ

චැම්පියන්ස් ලීග් පාපන්දු පිටිය උණුසුම් කරයි

කොවිඩ් වසංගතය නිසාවෙන් වසර කිහිපයක් පැවැත්වීමට නොහැකි වූ ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලිය පසුගිය දා ආරම්භ වුයේ කොළඹ බැද්දේගාන, මාතර කොටවිල, කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණවල දී පැවැති තරග සමඟින් ය.

 

නිගම්බු යුත් සමඟ පැවැති තරගය ජය ගන්නට මාතර සිටි සමත් වෙද්දී, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල කණ්ඩායම පරාජය කරන්නට මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයත්, ක්‍රිස්ටල් පැලස් පරාජය කරන්නට නිව් ස්ටාර් සමත් විය.

මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයෙන් ගෝල 2-0ක් ලෙස ජය ගන්නට නිව් ස්ටාර් සමත් විය.තරගයේ ප්‍රථම භාගය ගෝල ලබා ගැනීමකින් වාර්තා වු අතර වාර්තාව වූ ජයග්‍රාහී ගෝල දෙකටම හිමිකම් කියන්නට සමත් වුයේ කැළුම් ප්‍රියංකරයි.

ගෝල 3-0ක් ලෙස අවසන් වූ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල අතර තරගය සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබුණත්, ක්‍රීඩා පිටියට අයහපත් කාලගුණයෙන් එල්ල වූ බලපෑම් නිසාවෙන් තරගය බැද්දේගාන ක්‍රීඩා සංකීර්ණයට රැගෙන යෑමට තීරණය විය.

තරගයේ පළමු අර්ධය ගෝල 1-0ක් ලෙස මොරගස්මුල්ල පෙරමුණ ගනිද්දී, එරන්ද ප්‍රසාද් එකී ගෝලය රැස් කළ අතර අනතුරුව තරගය අවසන් වන විට තවත් ගෝල දෙකක් සිය කණ්ඩායමට එකතු කරන්නට මොරගස්මුල්ල ක්‍රීඩකයින් සමත් වූහ. මාතර කොටවිල ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් ගෝල 2-1ක් ලෙස ජයග්‍රහණය කළේ සත්කාරක මාතර සිටි ක්‍රීඩා සමාජයයි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන චැම්පියන්ස් ලීග් ශූරතා පාපන්දු තරගාවලියේ කොළඹ ජාවා ලේන් සමාජය සහ පොලීසිය අතර තරගය සුගතදාස ක්‍රීඩාංගණයේදී ගෝල 2-1ක් ලෙස අවසන් වුණේ ජාවා ලේන්ට ජය හිමිකර දෙමින් ය. කුරුණෑගල ෆෙලිකන්ස් ක්‍රීඩා සමාජය සහ සුපර් සන්ස් ක්‍රීඩා සමාජය අතර තරගය කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේදී ගෝල 2-1 ජයග්‍රහණය හිමි වුයේ සුපර් සන්ස්ට ය. සෙන්ට් මේරිස් සහ සෙරෙන්ඩිබ් අතර තරගය කුරුණෑගල මාලිගාපිටියේ දී මෙකී තරගයෙන් ගෝල 4-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කළේ සෙරෙන්ඩිබ් ක්‍රීඩා සමාජයයි .සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය සහ සොලීඩ් ක්‍රීඩා සමාජය අතර තරගය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.එකී තරගය ගෝල 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් විය.

මෙරට පළමු පෙළ ක්‍රීඩා සමාජ 10 ක් අතරේ ක්‍රියාත්මක කෙරුණු සුපර් ලීග් පාපන්දු ශූරතාව තහවුරු කර ගැනීමට කළුතර බ්ලූ ස්ටාර්ස් ක්‍රීඩා සමාජය සමත් විය. එහි ශූරයන් වූ බ්ලූ ස්ටාර්ස් ක්‍රීඩා සමාජයට සුපර් ලීග් කුසලානයට අමතරව මුදලින් රුපියල් මිලියන 05 ක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබීණි.

වසර 3කට පසු යළිත් ආරම්භ කළ චැම්පියන්ස් ලීග් පාපන්දු ශූරතාවලියට සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා නොකරන පාපන්දු ක්‍රීඩා සමාජ 14ක් තෝරා ගෙන ඇති අතර, තරගාවලියට සහභාගී වන සියලු ක්‍රීඩා සමාජවලට රුපියල් ලක්ෂ 25 බැගින් මූල්‍ය පහසුකම් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා තිබේ.

මෙරට දෙවන පෙළ ප්‍රබලතම ක්‍රීඩා සමාජ 14 ක සහභාගිත්වයෙන් ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙවර චැම්පියන්ස් ලීග් ශූරතා පාපන්දු තරගාවලියට අයත් සම්පූර්ණ තරග සංඛ්‍යාව 91 කි. මෙවර තරගාවලියේ සෙසු තරග සෑම සති අන්තයක දීම පැවැත් වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන පියවර ගෙන තිබේ.ලීග් ක්‍රමයට ශූරතාවලිය පැවැත්වෙන අතර එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් 13 සමඟ තරග කළ යුතුය. සෑම කණ්ඩායමකට ම විදෙස් ක්‍රීඩකයන් තිදෙනෙක් ලියාපදිංචි කිරීමේ අවස්ථාව හිමි වන අතර, වයස 21න් පහළ ක්‍රීඩකයන් තිදෙනෙක් ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. එයින් එක් ක්‍රීඩකයකු සෑම තරගයකටම එක් කළ යුතුව ඇත. වයස 21න් පහළ ක්‍රීඩකයන් 4ත් 6ත් අතර ලියාපදිංචි කරන කණ්ඩායමකට අමතර බෝනස් මුදලක් පිරිනැමීමට සම්මේලනය සැලසුම් කොට තිබේ.

මේ ශූරතාවලියේ වැඩිම ජයග්‍රහණ හිමි කර ගෙන ලකුණු සටහනේ ඉදිරියට පැමිණෙන කණ්ඩායමට චැම්පියන්ස් ලීග් පාපන්දු ශූරතාව සමඟ රුපියල් ලක්ෂ 10ක් හා අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ 7.5ක් පිරිනැමේ. අවසන් වරට 2019 දී පැවති පාපන්දු ශූරතාවලියේදී යුද හමුදා පිල ශූරතාව දිනා ගත් අතර අනුශූරතාව කොළඹ පාපන්දු සමාජයට හිමි විය.

****************

 

විනිසියස් කනිෂ්ඨගේ හිටපු යොවුන් පුහුණුකරු වරක් මෙසේ පැවැසීය. “ ඒ වන විට විනිසියස්ට අවුරුදු 10යි. දෛවයට අනුව ඔහු වෘත්තීමය ක්‍රීඩකයකු වෙමින් සිටියා. ෆ්ලෙමින්ගෝ කණ්ඩායමට සෑම විටම ඔහුව අවශ්‍ය වුණා. නමුත් මුල සිටම එය අමාරු වුණා. ඒ ඔහුගේ නිවස තිබුණේ පුහුණුවන ක්‍රීඩාංගණයේ සිට කිලෝමිටර් 145ක් දුරකින් නිසා පුහුණු මධ්‍යස්ථානයට ඒමට ඔහුට බස් රථ හුඟාක් අවශ්‍ය වුණා. ඒ වුනත් ඒ ගැන ඔහු සිතුවේ නැහැ. ඒ ඔහුගේ ඔළුවේ තිබුණේ පාපන්දු විතරයි. ඔහු හැම විටම මානසිකව ශක්තිමත් යන්නයි.

Comments