ලෝක වාර්තාවකට හිමිකම් කියන කසුන් රාජිත | සිළුමිණ

ලෝක වාර්තාවකට හිමිකම් කියන කසුන් රාජිත

 

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ආදේශක පන්දු යවන්නකු ලෙසට තරගයකට පිවිසෙමින් ඉනිමකදී කඩුලු 4 ක් දවා ගත් ලොව පළමුවැනියා බවට පත් විය.

 

සංචාරක ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ මෙවර පළමු තරගය පැවැත්වූයේ චැටොග්‍රාම් (චිතගොං) නුවර ෂාහූර් අහ්මඩ් චවුද්රි ක්‍රීඩාංගණයේ දීය. එහිදී ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී විශ්ව ප්‍රනාන්දු පන්දුවට පහර දෙමින් සිටියේය.

 

මේ අවස්ථාවේදී වමතින් මද වේග පන්දු යවන ෂොරිෆුල් ඉස්ලාම් පන්දුවක් යැවීය. එය විශ්වගේ හිස් ආවරණයේ වැදුණි. ඔහු කම්පනයට පත් වූ බවක් පෙනුණි. වෛද්‍ය උපදෙස් මත ඔහුව තරගයෙන් ඉවත් කරනු ලැබීය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) නීති-රීති වලට අනුව තරගයක් තුළදී කිසියම් ක්‍රීඩකයකු පන්දුවක් වැදීමෙන් කම්පනයට පත් වුවහොත් ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයකු ආදේශ කළ හැකිය. එය පිතිකරුවෙකුට පිතිකරුවෙක් වශයෙනි. එසේම පන්දු යවන්නකුට පන්දු යවන්නකු ලෙසිනි.

විශ්ව ප්‍රනාන්දු යනු මෙම තරගයට තෝරා ගෙන සිටිය ප්‍රධාන මද වේග පන්දු යවන්නන් දෙදෙනාගෙන් කෙනෙකි. අනෙක් පන්දු යවන්නා වූයේ අසිත ප්‍රනාන්දුය. මේ නිසාම විශ්ව වෙනුවට තවත් මද වේග පන්දු යවන්නකුට අවස්ථාව ලබාදීමට හැකියාව ලැබිණි. ඒ අනුව තෝරා ගනු ලැබුවේ කසුන් රාජිතය. හෙතෙම දකුණතින් මද වේග පන්දු යවයි.

මෙය එක්තරා ආකාරයකට රාජිතටත් අභියෝගයකි. ඒ පසුගිය කාලයේ දී ජාතික කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් ලබාගැනීමට ඔහුට නොහැකිව තිබුණු බැවිනි. එය ඔහුගේ හැකියාව ගැන ගැටලුවක් නොවේ. ඔහුට නිරතුරුවම ආබාධ වලට ලක්වීමට සිදු වූ නිසාය.

මෙවර තරගමාලාවට ඔහුව තෝරාගනු ලැබුවේ රාජිත ඉකුත් කාලයේදී ආබාධ වලින් තොරව සාර්ථකව ක්‍රීඩා කළ බැවිනි. සෑම ක්‍රීඩකයකුම තමන්ට ලැබෙන අවස්ථාවන් තුළින් ප්‍රයෝජන ගත යුතුය. රාජිතටත් මෙවර ලැබුණේ එවැනි අවස්ථාවකි.

රාජිත එම ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට සමත් වූයේය. ඒ පළමු ඉනිමේ දී ලකුණු 60 ට කඩුලු 4 ක්ම දවා ගනිමිනි. එය නව ලෝක වාර්තාවක් බවට පත් විය. එනම් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ආදේශක පන්දු යවන්නකු ලෙසට තරගයකට පිවිසෙමින් ඉනිමකදී කඩුලු 4 ක් දවා ගත් ලොව පළමුවැනියා බවට පත් වීමයි.

දෙවන ටෙස්ට් තරගය පැවැත්වූයේ මිර්පූර් (ඩකා) නුවර ශියර් බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදීය. එහිදී බංග්ලාදේශ ප්‍රථම ඉනිමේ දී රාජිත ලකුණු 64 ට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් විය. ඒ සමඟම වසරකට පමණ පසුව ටෙස්ට් ඉනිමකදී කඩුලු 5 ක් දවා ගත් ප්‍රථම ශ්‍රී ලංකා මද හෝ වේග පන්දු යවන්නා බවට පත් විය. අවසන් වරට එම දස්කම දැක්වූයේ සුරංග ලක්මාල් විසිනි. ඒ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිවයි.

මෙම ඉනිමේදී ඉතා දුලබ වාර්තාවක් ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේ යන්තමින්ය. එනම් ටෙස්ට් ඉනිමකදී ප්‍රතිවාදී කඩුලු 10 ම ඉනිමකදී දඟපන්දු යවන්නන් නොවන පන්දු යවන්නන් විසින් දවා ගැනීමයි. එහිදී රාජිතට කඩුලු 05 කි. අසිතට කඩුලු 04 කි. සෙසු කඩුල්ල ලෙසට එබාඩොට් හොසෙයින් දැවී ගියේ දුවන්නට යෑමෙනි.

මේ අතර දෙවන ඉනිමේදී අසිත කඩුලු 06 ක් දවා ගැනීමට සමත් විය. රාජිත කඩුලු 02 ක් දවා ගත්තේ ලකුණු 40 ක් ලබා දීමෙනි. ඒ අතරට මුෂ්ෆිකුර් රහිම් ද වූයේය. ඔහු කවදත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට බලවත් හිසරදයක් වූ පිතිකරුවෙකි. රාජිතගේ පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියේය.

චන්ද්‍රසේකර ආරච්චිලාගේ කසුන් රාජිත උපත ලැබුවේ 1993 වසරේ ජූනි මස 01 වැනිදාය. ඒ දකුණු ලක මාතරය. රාජිත ද කුඩා කළ සිටම ක්‍රිකට් ක්‍රීඩාවට දස්කම් දැක්වූයේය. හෙතෙම මද හෝ වේග පන්දු යවන්නකුට උචිත අයුරින් උසැති ක්‍රීඩකයෙකි.

ඔහු අධ්‍යාපනය හැදෑරුවේ මාතර සුප්‍රකට සාන්ත සර්වේශස් විද්‍යාලයේය. එම විදුහල සිහිපත් කළ සැනින් මතකයට නැංවෙන්නේ සනත් ජයසූරියයි. ශ්‍රී ලංකාව මේ දක්වා නියෝජනය කළ විශිෂ්ටතම තුන් ඉරියව් ශූරයා ලෙසට ජයසූරිය සැළකෙයි.

පාසල් තරගවලදී දැක්වූ දස්කම් මත රාජිත හට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමටත් ඔහුව තෝරා ගත්තේය. රාජිත ප්‍රථම වරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ 2016 වසරේදීය. එය විස්සයි විස්ස තරගයකි.

ඉන්දියාවට එරෙහිව පැවැති තරගමාලාවේ ප්‍රථම තරගය එය විය. තරගය පැවැතියේ පූනේ නුවර මහාරාෂ්ට්‍ර ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ දීය. දිනය පෙබරවාරි මස 09 වැනිදාය. තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 05 ක ජයක් අත් විය. තරගයේ වීරයා වූයේ ලකුණු 29 ට කඩුලු 03 ක් දවාගත් රාජිතය. එම කඩුලු අතරට රෝහිත් ෂර්මා, ශිකර් දවාන් සහ අජින්ක්‍යා රෙහානේ අයත්ය. එහිදී ඔහු ෂර්මා දවා ගත්තේ සිය දෙවන පන්දුවේදීය. රෙහානේ හයවැනි පන්දුවේදීය. විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී පළමු ඕවරයේ දීම කඩුලු දෙකක් ඉන්දියාවේ දැවී ගිය ප්‍රථම අවස්ථාවත් එය විය.

විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක ලෝක වාර්තාවකටත් රාජිත හිමිකම් පායි. කෙසේ වෙතත් එය පන්දු යවන්නකුට නොලැබිය යුතු වාර්තාවකි. එනම් වැඩිම ලකුණු ගණනක් ලබා දීමෙනි. ඒ 2019 වසරේ දී ඕස්ටේ්‍රලියාවට එරෙහිව පන්දු ඕවර 4 ක දී කිසිඳු කඩුල්ලක් දවා නොගෙන ලකුණු 75 ක් ලබාදීමයි. එම තරගය ඇඩිලේඩ් නුවරදී පැවැත්විණි.

මේ වන විට රාජිත විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 10 කට ක්‍රීඩා කර ඇත. එහිදී දකුණත් පිතිහරඹයෙන් ලකුණු 08 ක් රැස් කරගෙන තිබේ. දවාගත් කඩුලු ගණන 10 කි.

රාජිත මංගල එක්දින ජගත් වරම හිමිකර ගත්තේ 2018 වසරේදීය. දැනට තරග 10 කට ක්‍රීඩා කර තිබේ. ඊට 2019 ලෝක කුසලානයේ තරග දෙකකුත් අයත්ය. එක්දින තරගවලදී ඔහු රැස් කර ගෙන තිබෙන්නේ ලකුණක් පමණි. එමෙන්ම උඩපන්දුවකුත් රැකගෙන ඇත. දවාගත් කඩුලු ගණන 10 කි.

හෙතෙම සිය මංගල ටෙස්ට් තරගයටත් ක්‍රීඩා කළේ 2018 වසරේදීමයි. දැනට තරග 11 ක් ක්‍රීඩා කර ඇත. රැස් කළ ලකුණු ගණන 35 කි. උඩපන්දු 04 ක් රැක ගත්තේය. දවාගෙන සිටින කඩුලු ගණන 36 කි. ඉනිමක හොඳම පන්දු යැවීම නොබෝදා බංග්ලාදේශ දෙවන තරගයේ පළමු ඉනිමේදීය.

මෙවර බංග්ලාදේශ ටෙස්ට් තරගමාලාවට පෙර ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර තිබුණේ 2020 වසරේදීය. එසේ වූවත් තමන් සුපුරුදු පරිදි දස්කම් අතර සිටින බව ඔහු මැනවින් ඔප්පු කර තිබේ. ටෙස්ට් තරගවලදී දිගු කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මදවේග පන්දු යවන්නා වූයේ සුරංග ලක්මාල්ය. ඔහු දැන් ජගත් ක්‍රිකට් පිටියට සමුදී අවසන් ය. එසේ වූවත් මද හෝ වේග පන්දු යවන්නන්ගේ ටෙස්ට් තරග යුගය ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් ඉදිරියට ගෙන යෑමට විශ්ව, අසිත ප්‍රනාන්දු සමඟින් කසුන් රාජිත ද සූදානමින් සිටිති.

 

 

Comments