ආසියානු දැල්පන්දු කිරුළට සැරසෙන අපේ කෙල්ලෝ | සිළුමිණ

ආසියානු දැල්පන්දු කිරුළට සැරසෙන අපේ කෙල්ලෝ

ලංකා දැල්පන්දු කණ්ඩායම මේ දිනවල ආසියානු කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන පුහුණුවීම්වල නිරත වෙයි.කණ්ඩායමේ නායකත්වය අත්දැකිම් බහුල මරීෂා ප්‍රනාන්දුට හිමිව තිබේ. පුහුණුකාරිනිය ලෙස හයසින්ත් විජේසිංහත්, මලිඳු කුමාරි සහාය පුහුණුකාරිනිය ලෙසත් කටයුතු කරති.

මරීෂා ප්‍රනාන්දු - නායිකා, අවු.31, උස 5’8

පාසල් ගියේ වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයටයි. වයස අවුරුදු 07දී විතර දැල්පන්දු ක්‍රීඩාවට පැමිණි 2008දී යූත් ටීම් එකට හා නැෂනල් ටීම් එකට ක්‍රීඩා කළා. මම C, WA, WD යන ස්ථානවල ක්‍රීඩා කරන්නේ. 2013 හා 2014 වසරවල ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායකත්වය ඉසුලුවා. 2011 ලෝක ශුරතා වලියටත් හිටියා.

චතුරංගි ජයසූරිය - වයස අවු.32 , උස අඩි 6‘1

මගේ පාසල කැලණිය ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයයි. පාසලේ දැල්පන්දු කළා, ඒත් නැෂනල් ක්‍රීඩා කරන්න ගත්තේ පාසලෙන් සමු ගැනීමෙන් පසුවයි. උස, දුර, තුන්පිම්ම යන පිටියේ ක්‍රීඩා වලින් පාසල් කාලයේ සිට සමස්ත ලංකා ජයග්‍රහණ ලැබුවා. පාසලෙන් ඉවත් වුණාට පසු 2010 යූත් ඒෂියන්, 2011 ජ්‍යෙෂ්ඨ කණ්ඩායමට ක්‍රීඩා කරා. 2018,2019 ජාතික දැල්පන්දු කණ්ඩායමේ නායිකාව විදියට කටයුතු කළා. එසේම 2018 ආසියානු දැල්පන්දු ශුරතාව දිනා ගත්තෙත් මගේ නායකත්වයෙන්. 2011,2015,2019 වසරවල ලෝක ශුරතා 3කට ක්‍රීඩා කළා.

සෙමිණි අල්විස් - උස 5’11

මගේ පාසල කොළඹ විශාකා විද්‍යාලයයි. වරාය අධිකාරියේ සේවය කරනවා.වයස අවු.03 සිට දැල්පන්දු ක්‍රීඩාවට පැමිණියා. 2004,2006 2013 ඒෂියන් යූත් තරගාවලියට ක්‍රීඩා කළා. එම තරගාවලියේදී 2013 දී මා නායකත්වයේ හිටියා. 2012 දී මා ආසියානු තරගාවලියේදී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට ක්‍රීඩා කළා. 2015 ලෝක ශුරතා තරගාවලියේදී මා ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළා.

තිෂාලා අල්ගම - අවු.27, උස 6’4

මගේ අම්මයි තාත්තයි ගොඩක් උසයි. මුලින්ම නාවල ජනාධිපති විද්‍යාලයට ඇතුළත් වුනත් සාමාන්‍ය පෙළ සිට කොළඹ විශාකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. වයස අවු.15 සිට දැල්පන්දු ක්‍රීඩාවේ නියැළුණා. මුලින්ම හැදෑරුවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවයි. මගේ හැකියාවන් නිසා යමුනා සඳමාලි කියන දැල්පන්දු විනිසුරුවරිය මාව මේ ක්‍රීඩාවට යොමුකර ගෙන කොළඹ විශාකාවට ඇතුළත්වීමේ වාසනාවද ලබා දුන්නා. 2010,2013,2015 ආසියානු කනිෂ්ඨ ශුරතාව 2012, 2014 ආසියානු ශුරතාව 2015 ලෝක ශුරතාව, 2013,2012 නේෂන් කප් යන තරගාවලී වලට මම ක්‍රීඩා කළා.

දීපිකා දර්ශනී - අවුරුදු 33යි උස 5’9

මගේ ගම අනුරාධපුරයයි. එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලෙනුයි මා අධ්‍යාපනය හැදෑරුවේ. මම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරනවා. පාසල් යන කාලයේ සිට දැල්පන්දු ක්‍රීඩා කළා. 2011 සංචිතයට තෝරා ගත්තා. මම ක්‍රීඩා කරන්නේ WD ස්ථානයේයි. 2011 වසරේ 6 නේෂන් කප්, 2012, 2014, 2016 ඒෂියන් චැම්පියන් තරගාවලියට ක්‍රීඩා කළා.

හසිතා මෙන්ඩිස් - අවු. 34, උස 5’10

වේල්ස් කුමරි විදුහල මොරටුව මගේ පාසලයි. 2011 ලෝක ශුරතාවට ආවා. ඒකෙන් තේරුණේ නැහැ. සිංගප්පූරුවේ පැවැති 6 නේෂන් තරගාවලිය, 2015 ලෝක ශුරතාව, 2016 ආසියානු අනුශුරතාව 2018 ඒෂියන් චැම්පියන් ෂිප්, 2019 ලෝක ශුරතාව වෙනුවෙන් මගේ දායකත්වයද ලබා දුන්නා.

තිලිණි වත්තේගෙදර - වයස අවු.32, උස 5’4

තෙල්දෙනිය ජාතික පාසලෙන් මහනුවර මහාමායා බාලිකාවෙන් උසස් පෙළ නිමා වූ පසුවයි දැල්පන්දු ක්‍රීඩාවට එන්නේ. කලින් මා මලල ක්‍රීඩාව කළා. 2014,2016, 2018 ආසියානු දැල්පන්දු ශුරතා 3කට තරග වැදුනා. 2015,2019 ලෝක ශුරතා දෙකකට ක්‍රීඩා කළා.

ගයාන්ජලී අමරවංශ - වයස අවු. 27 , උස 5’7

මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මා පාසල් කාලයේ සිට දැල් පන්දුවට ඇලුම් කළා.2013 පළමු 6 නේෂන් කප්, 2015 තරුණ ආසියානු දැල්පන්දු තරගාවලිය හා ලෝක ශුරතාව 2016 හා 2018 ආසියානු ශුරතාව, 2019 ලෝක ශුරතාව වෙනුවෙන් කණ්ඩායමට මගේ දායකත්වය ලබා දුන්නා. ක්‍රීඩා කරන්නේ සෙන්ටර් (C) ස්ථානයේය.

දුලංගි වන්නිතිලක - අවු 28 , උස 5’7

කුරුණෑගල ශුද්ධවූ පවුලේ බාලිකාවේ අධ්‍යාපනය හැදෑරු මා දැල්පන්දුවේ ක්‍රීඩා කරන්නේ GA ස්ථානයේයි. 2019 දැල්පන්දු ලෝක ශුරතා තරගාවලියට හා 2018 වසරේම ආසියානු ශුරතා තරගාවලියට සහභාගි වුණා. 2018 ආසියානු ශුරතාව අපි හිමිකර ගත්තා. 2015 යූත් ඒෂියන් නෙට්බෝල් චැම්පියන් තරගාවලියෙත් අපි ජයග්‍රහණය ලැබුවා.

භාෂිනී ද සිල්වා - අවු.28 , උස 5’8

කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකාවේ අධ්‍යාපනය හැදෑරූ මා ( WD,GD,GK) දැල්පන්දුවේ යන ස්ථානවල ක්‍රීඩා කරනවා. 2013 දී 08 වන යූත් අනුශුරතාවත් , 2015 දී 09 වන යූත් ශුරතාවත් හිමිකර ගැනීමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකත්වය දැරුවා.

ඉදුෂා ජනනි පෙරේරා - අවු. 20 , උස 5’6

කොළඹ ගෝතමී බාලිකාවේ අධ්‍යාපනය හැදෑරු මා 2019 දී ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවකි. කණ්ඩායමේ (C, WA) යන ස්ථාන වල ක්‍රීඩා කරනු ලැබුවා. මීටර් 100,200 හා දුර පැනීමට දක්ෂතා පෙන්වූ මා 2016දී දුර පැනීමෙන් මයිලෝ කුසලානය හිමි කර ගනු ලැබුවා.

රශ්මි දිව්‍යාංජලී - අවු.24, උස 5’6

දෙහිවල ප්‍රෙස්බිටීරියන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදාරා ඇති මා (WA, C ) යන ස්ථානවල ක්‍රීඩා කරනවා. 2013 ශ්‍රී ලංකා පාසල් 2017 ආසියානු තරුණ දැල්පන්දු ශුරතා (යූත් ඒෂියා) තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

මල්මි හෙට්ටිආරච්චි - වයස අවු.21, උස 5’7

සිරිමා බණ්ඩාරනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මා මේ වන විට හැටන් නැෂනල් බැංකුවේ සේවය කරනවා.මා ක්‍රීඩා කරන්නේ ( GD,WD) යන ස්ථාන වලයි.8 වසරේ සිට දැල්පන්දුවට පැමිණි මා මෙවර HNB ජාතික තරගාවලියට ක්‍රීඩා කර දැල්පන්දු රැජින ලෙස තේරී පත්වුණා.

දිනූෂිකා ලක්මාලි - අවු.29 , උස 6’1

අනුරාධපුර උපන්ගම වන ගලෙන් බිදුනුවැව සෙන්ට්‍රල් එකට පාසල් ගිය මා GS,GK ස්ථානවල ක්‍රීඩා කරනවා. 2015 හා 2021දි ජාතික දැල්පන්දු කණ්ඩායමට ක්‍රීඩා කළා.

අකිලා සංජි - අවු. 26 , උස 5’8

මාරවිල පදිංචි මා මාරවිල බාලිකාවේ අධ්‍යාපනය හැදෑරුවාය. 2018 ශ්‍රී ලංකා දැල්පන්දු සංචිතයේ 18 දෙනා අතරට තේරුණා. මෙවරත් 15 දෙනා අතරට ආවා.

සුසීමා බණ්ඩාර - අවු.22 උස 5’8

එප්පාවල මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාර ඇත.

හයසින්ත් විජේසිංහ 
ප්‍රධාන පුහුණුකාරිනී

ගයනි දිසානායක හා තර්ජනී සිවලිංගම් යන අපේ කණ්ඩායමේ දෙදෙනෙක් විදේශගත වෙලා. දැනට ක්‍රීඩිකාවන් 18ක් සිටිනවා.මෙතැනින් කොහොමත් 12යි ගන්නේ. ශක්තිය අතින් දෙදෙනෙක් හැර සෙසු ක්‍රීඩිකාවන් ඉහළින් ඉන්නවා. ශක්තිමත්කෙනා තමයි මල්මි. දැන් කණ්ඩායම වේගවත් කරගන්න පුහුණුවීම් තරග තියන්න ඕන.ඒ නිසා පුහුණුවීම් තරග පටන් ගත්තා. ඒ වෙනුවෙන් පාසල් මට්ටමෙන් ඉහළ මට්ටම් ඇති කණ්ඩායම් 8කට අපි ආරාධනා කරල තියෙනවා. මේකට හේතු 2ක් තියෙනවා. එනම් දැල්පන්දු ව්‍යාප්ත කිරීමේ හා දැල්පන්දු ජනප්‍රිය කිරීම සතියකට වරක් පිරිමි දැල්පන්දු කණ්ඩායමක් සමඟ පුහුණුවීම් ආරම්භ කරනවා.

අඩුපාඩු තිබුණත් ළමයිනුත් රට වෙනුවෙන් උපරිම කැප කිරීමක් කරනවා. මට ඒ ගැන හරි සතුටුයි. පුහුණුවට එන්න ප්‍රවාහන පහසුකම් අපහසුතා තිබුණත් අපි පුළුවන් තරම් අපේ උපරිමය යොදවල ජාතික කණ්ඩායම ජයග්‍රහණය කරවීමේ අදිටනින් කටයුතු කරනවා.මේ කණ්ඩායම පෙඩරේෂන් දෙකක් යටතේ දෝලනය වූ කණ්ඩායමක්. කණ්ඩායමට අලුතින් අය ඇවිත් තියෙනවා. පිළිවෙළක් කරගන්න කාලයක් දෙන්න ඕන.

අනූෂා මයුරානි 
(කළමනාකාරිනී)

ආසියානු දැල්පන්දු තරගාවලිය සැප්තැම්බර් 03 වෙනිදා සිංගප්පූරුවේදී ආරම්භ වීමට නියමිතයි. ක්‍රීඩිකාවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් අපිට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සම්පූර්ණ සහාය දෙනවා.

මලිදු කුමාරි ගමගේ 
(සහාය පුහුණුකාරිනී)

2019 ශ්‍රී ලංකා කනිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිණි ලෙස කටයුතු කරලා තුන්වන ස්ථානය ගෙනත් දී ලෝක ශුරතාවට තේරී පත් වුණේ මගේ කාලයේයි. බස්නාහිර පළාතේ නෙට්බෝල් ක්‍රීඩාවේ රන්පදක්කම් ලාභීන්ගේ කළමනාකාරිය ලෙස වසර 15කට අධික කාලයක් කටයුතු කරමින් ක්‍රීඩා ක්ෂේත්‍ර‍‍ෙය් වසර 28ක අත්දැකීම් ඇති මා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කිරීමට කැප වී සිටිනවා.

ඡායාරූප - ගයාන් පුෂ්පික

Comments