NSBය පළමු රස්සාව කරගත් ගී පද රචකයා - සුනිල් සරත් පෙරේරා | Page 4 | සිළුමිණ

NSBය පළමු රස්සාව කරගත් ගී පද රචකයා - සුනිල් සරත් පෙරේරා

සුනිල් සරත් පෙරේරා යනු, මෙරට සහෘදයන්ට ගීත රචකයෙකි. ගීත දහසකට ආසන්න සංඛ්‍යාවක් ලියා ශ්‍රාවක සිත් අමන්දානන්දයට පත් කළ ඔහු, කලෙක රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාය. තවත් කලෙක ගුවන් විදුලියේ සභාපති වරයාය. ඒ අතරතුර අමාත්‍යාංශ ගණනාවකම වගකිවයුතු නිල තල ද දැරූවේය. රාජතාන්ත්‍රික සේවයට පිටව ගියේ කුවේට් රටටය.

මේ සියලු භූමිකා සමඟ ගෙවූ කාල වකවානු මෑත අතීතය හා බැඳී පවතින මුත් මීට 50 වසරකට එපිට ඉතිහාසයේ ඔහු බැංකුකරුවෙකි. හරියටම කීවොත්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ආරම්භක ව්‍යාප්ති නිලධාරියා ඔහුය. එසේම අද 50 වසරක් සපුරන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ, මුල්ම සේවක කණ්ඩායමේ කිහිප දෙනාගෙන් ද කෙනෙක් වන්නේ ය. එහෙයින් බැංකුව හා ගෙවුණු ඒ වෘත්තීය ජීවිතය, කාලයේ වැලිතලාවෙන් වැසී ගිය බොහෝ අය නොදත්, ඔහුගේ ජීවිතයේ සොඳුරු සහ රුදුරු මතක රැසක එකතුවකි. එහෙයින් එය වෙනස් කතාවකි.

ගෝල්ෆේස් හෝටලයේ ගිණුම් අංශයේ උප විධායක නිලධාරියකු ලෙස කටයුතු කරමින් සිටි සුනිල් බැංකු ජීවිතයට ප්‍රවිෂ්ට වන්නේ, එවක මුදල් අමාත්‍යවරයාව සිටි ආචාර්ය එන්. එම්. පෙරේරාගේ සහ කලෙක නියෝජ්‍ය මුදල් ඇමතිවරයා ලෙස වැඩ බැලූ, බර්නාඩ් සොයිසාගේ ආරාධනයක් අනුවය. ආචාර්ය එන්.එම්. පෙරේරා 1971 අංක 30 දරන ජාතික ඉතිරි කිරීමේ බැංකු පනත ප්‍රධාන අරමුණු ගණනාවක් ඒකරාශී කොට පිහිටවූ අතර, එහි ව්‍යාපාර කටයුතු ආරම්භ වූයේ 1972 මාර්තු 16 වැනිදාය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඈත ගම් දනව් පුරා තැපැල් කන්තෝරුවල ඉතිරි කරන්නට පුරුදු වූ දහස් ගණනක් ජනී ජනයා නිරායාසයෙන්ම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගනුදෙනුකරුවන් බවට පත් විය. ඔහුගේ මතකයේ ඒ සියල්ල පෙළ ගැසී තිබේ.

"90 දශකයේ ලෝකය පුරා කතා කරන්නට පටන් ගත් Sustainable Development හෙවත් 'ධරණීය සංවර්ධනය' රටක සංවර්ධනයේදී ප්‍රබල සාධකයක් වනවා. එහි අනු සංකල්පයක් තමයි, සකසුරුවම අරපිරිමැස්ම සහ ඉතිරි කිරීම. මේ කියන කාරණා එලෙසම අවබෝධ කරගෙන තිබූ නිසා තමයි, ජාතික ඉතිරිකිරීමේ බැංකුව ප්‍රබල අරමුණු ගණනාවක් ඒකරාශී කොට ආරම්භ කළේ. 90 ගණන්වල ඉඳලා කතා කළාට, එන්. එම්. පෙරේරා මහත්තයා 70 දශකයේ ඉඳලම එය රටට ආදේශ කළ සංකල්පයක්.

සකසුරුවම පිළිබඳ කතා කිරීමේදී දේශානුරූපී ඉතිරි කිරීමේ ප්‍රවර්ධන හා ව්‍යාප්ති වැඩසටහන්වලට අනුබද්ධ ප්‍රචාරක මෙහෙයුම බැංකුකරණයේදී ඉතාම වැදගත්. ජනතාව ඉතිරි කිරීමේ ක්‍රමවේදයට පොලඹවා ගැනීමේ දී නූතන නව්‍යත්වයට ගැළපෙන විධික්‍රම පාවිච්චි කරනවා වගේම, සන්නිවේදන සංවර්ධනයේදී අප අගයන සහ අවධානය යොමු කරන පුද්ගලාන්තර සන්නිවේදන ක්‍රමෝපායන් සහ කණ්ඩායම් සන්නිවේදන ක්‍රමෝපායන් සමබර ලෙස භාවිත කිරීම ඉතා වැදගත්. 1972 වගේ 50 වසරකට එපිට ඉතිහාසයේදීත් ව්‍යාප්ති නිලධාරියා ලෙස මේ දෙයාකාරයෙන්ම මම ජාතික ඉතිරි කිරීමේ බැංකුවට නව සංකල්ප හඳුන්වා දුන්නා.

එන්. එම්. පෙරේරා මහත්මයා ජාතික ඉතිරි කිරීමේ බැංකුව හැදුවේ ඉතිරි කිරීමේ ව්‍යාපාරය, රට පුරා විහිදී තිබූ තැපැල් කන්තෝරු ඉතිරි කිරීම් සහ සිලෝන් සේවින්ග්ස් බැංකුව... කියන ආයතන තුනම පනතකින් ඒකරාශී කළා. එය දේශීය ඉතිරි කිරීම් ඒකරාශී කරන විධිමත් ක්‍රියාවලියක් වුණා. නිල වශයෙන් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න සති තුන හතරකට පෙර පර්සි පෙරේරා, එම්. ඒ. ජස්ටින්, ආනන්ද පෙරේරා, සිඩ්නි වනසිංහ සහ චිත්‍ර ශිල්පී මහින්ද සාගර යන ආරම්භක සාමාජිකයන් කිහිපදෙනා අද කොල්ලුපිටියේ පිහිටි මූලස්ථාන ගොඩනැඟිල්ලේ තුන්වැනි තට්ටුවේ සිට ලොකු වැඩ කොටසක් කළා. ඊට පසුවයි, මාර්තු 16 වැනිදා බැංකුව නිල වශයෙන් ව්‍යාපාර කටයුතු ආරම්භ කළේ.

එකල කොල්ලුපිටිය තැපැල් කන්තෝරුවට හදා තිබූ සත්මහල් ගොඩනැඟිල්ල. එන්. එම්. පෙරේරා මහත්තයා බැංකුව ඇති කරනකොටම ඉතිරි කිරීමේ ව්‍යාප්ති අංශයකුත් ඇති කළා. එය ඔහු බොහොම කල්පනාකාරීව දුරදිග බලා ගත් තීන්දුවක්. මේ බැංකුවේ විශේෂත්වය තමයි, මෙහි 80%ක් විතර ගනුදෙනුකරුවන් ගැමි ජනතාව වීම. ඒ නිසා ග්‍රාමීය මට්ටමේ නිලධාරින් රැසක් ඒ සඳහා සම්බන්ධ කරගත්තා. අදටත්, අඩුම තරමේ ලංකාවේ ජනගහනයෙන් තුනෙන් දෙකකගේවත් ගිණුම් මෙහි තිබෙනවා.

ඒ නිසාම එන්. එම්. පෙරේරා මහත්මයා, ඉතිරි කිරීමේ ව්‍යාප්තිකරණයට විශාල තැනක් දුන්නා. බැංකුවක අනුග්‍රහය ඇතිව ලංකාවේ භක්ති ගීත වැඩසටහනක් ප්‍රථම වරට ඉදිරිපත් කළේ මම. ඒ, අපේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙනුවෙන් ගෝල්ෆේස් පිට්ටනියේ සංවිධානය කළ භක්ති ගීත වැඩසටහන. එන්. එම්. පෙරේරා, බර්නාඩ් සොයිසා, කොල්වින් ආර් ද සිල්වා, එවකට සභාපති ධූරය දැරූ ෂන්මුගනාදන් මහතා සහ එම මහත්මිය තමයි, ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වුණේ. අමරදේව මාස්ටර් සහ නාරද දිසාසේකරයන් සංගීතවත් කළ ඒ භක්ති ගී ප්‍රසංගය නරඹන්න එදා ගෝල්ෆේස් පිට්ටනිය පිරෙන්න සෙනඟ හිටියා.

රටක සංවර්ධනය, ආර්ථික සංවර්ධනය හා සංස්කෘතික සංවර්ධනය ලෙස, දෙවදෑරුම් ව සිදු විය යුතුයි. එන්. එම්. පෙරේරා මහත්මයා ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව, සංස්කෘතික සංවර්ධනය උදෙසා දේශානුරූපී බව ඉතා හොඳින් සම්මිශ්‍රණය කර, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රවර්ධන කටයුතු සඳහා ඒකාබද්ධ කොට යොදා ගත් හොඳම අවස්ථාවක් ලෙස මේ ප්‍රසංගය ජනතාව අතරට ගියා. ඒ වගේම, බැංකුවේ ඉතිරි කිරීමේ පණිවුඩයත් ඉතා ආකර්ෂණීය ලෙස ඔවුන් ග්‍රහණය කර ගත්තා. මෙවැනි ප්‍රසංගවලදීත්, ජනතාව අතරට ගෙන ගිය වැඩසටහන්වලදීත් විශාල දායකත්වයක් දෙන්න මට හැකියාව සහ අවස්ථාව ලැබුණා.

ඒ වෙනුවෙන් මම බොහෝ විට යොදා ගත්තේ,

'ඉතිරි කරන රට හෙට සරුසාරයි

පුතුණි ඔබට මේ රට දැය බාරයි...'

' ඉතිරි කරන ගිණුම් - අරඹන ඔබ දිනුම්...'

''එගොඩ ගොඩෙත් රත්තරන්

මෙගොඩ ගොඩෙත් රත්තරන්

ඉතිරි කරන කොයි කාගෙත්

අනාගතය රත්තරන්...'

' වක්කඩ ළඟ දිය බන්ඳා

රන් දහඩිය බිඳු රන්ඳා

ඉතිරි කරන ඔබ හන්ඳා

මගෙ රට දැය ධජ බැන්ඳා...' වැනි මා විසින්ම රචනා කළ වදන් වැකි. ගීත රචනා. ඒ සියල්ල තුළින්, අලෙවිකරණය කියන සංකල්පය අබිබවා ගොස් ඉතිරි කිරීමේ වැදගත්කම පිළිබඳ බැංකුවේ සංකල්පය ජනතාවගේ හද ගැඹුරේ තැන්පත් කරන්නට හැකි වුණා. එහි ප්‍රතිඵලය වූයේ, තව තවත් ගනුදෙනුකරුවන් බැංකු වෙත ආකර්ෂණය වීමයි.

රූපවාහිනී නොතිබුණු ඒ යුගයේ, ප්‍රබල මාධ්‍යයක් ලෙස, ගුවන් විදුලි වැඩසටහන් ජනතාවගේ ආකර්ෂණය දිනා ගත්තා. ඒ නිසාම ගමින් ගමට ගිහින් අනුබල දෙන වැඩසටහන් ඉදිරිපත් කළා. 'රටට පිපෙන මල්...' බැංකුවේ අනුග්‍රහය ඇතිව මම ළමයින් වෙනුවෙන් ඉදිරිපත් කළ තවත් එවැනි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක්. මම ඒ නම යොදා ගත්තේ, ගුවන් විදුලියේ ළමා මණ්ඩපයේ තේමා ගීතය ලෙස මා රචනා කළ,

' මනකල් හද විල් තලයේ

පිපි නිවහල් මල්...

රටට පිපෙන මල් අපි වෙමු

පුංචි කැකුළු මල්...' ගීතයේ පදවලින්.

ඒ වගේම වෛද්‍ය නන්දදාස කෝදාගොඩ ලවා ඉදිරිපත් කළ, ප්‍රශ්න උත්තර වැඩසටහනත් ඉතාමත් ජනප්‍රිය වුණා. 'වාසනා උදාව' ප්‍රශ්න උත්තර වැඩසටහන වැඩිහිටියන් ඉලක්ක කොටගත් ඒ වගේම, අතිශය ජනප්‍රිය වූ වැඩසටහනක්. වරක් දඹානේ දී කළ ඒ වැඩසටහනේ දී තිසාහාමි ගෙන් ඇසූ ප්‍රශ්න සියල්ලට උත්තර දී ඔහු ත්‍යාගය දිනා ගත්තා. එය ඉතාමත් ආකර්ෂණීය වැඩසටහනක් ලෙස ශ්‍රාවකයන් අතරට ගියා. මේ වගේ වැඩසටහන්වලදී බැංකුව ලබා දුන්නේ, රුපියල් 100 වටිනාකමින් යුතු 'තිළිණපත්'. ඒ කාලයේ එය ඉතා ඉහළ අගයක් ඇති ත්‍යාගයක්.

ජාතික ඉතිරිකිරීමේ බැංකු වෙත ජනතාව ආකර්ෂණය වූ තවත් හේතුවක් තමයි, ජනතාව තැන්පත් කරන සෑම සතයක් ම බැංකුව බංකොලොත් වුවත්, 100% ක්ම ආණ්ඩුවේ අය භාරයක් ලෙස ගෙවීමට රජය බැඳී ඉන්නවා ය කියන විශ්වාසය සහ නීතිය, එන්. එම්. පෙරේරා මහත්මයා පනතකින් ම ඉදිරිපත් කර තිබීම. පාසල් බැංකු ක්‍රමය මුල් වරට හඳුන්වා දුන්නේත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන්. ආනන්ද පෙරේරා මහතා තමයි, ඒ සඳහා මූලික වුණේ. පාසල් තුළ බැංකුවක සැබෑ ආකෘතියෙන්මයි,මෙය පවත්වාගෙන ගියේ. සිඩ්නි වනසිංහ සහ ආනන්ද පෙරේරා කේරි විදුහලේ සිට ආ ගුරුවරු. ඒ දෙන්නා හඳුන්වා දුන් සංකල්පයක් වූ පාසල් බැංකු ක්‍රමය ප්‍රචලිත කිරීමේ වැඩසටහන් සංවිධානය කළේ මම. එන්.එම්. පෙරේරා මහත්මයා මේ වැඩසටහන හරියට අගය කළා. පුදුමාකාර ලෙස සහයෝගය දැක්වූවා. එතුමා ඉවත් වෙලා ගිහින්, මාව අම්පාරට මාරු කරපු ඒ කාලෙත් ව්‍යාප්ත නිලධාරියා විදියට මං පාසල් බැංකු සංකල්පය පාවිච්චි කර, ගමට ඉතිරිකිරීමේ පණිවුඩය රැගෙන ගියා.

වත්මන් සභාපතිවරිය ඇතුළු සංස්කෘතික විඥානයක් සහිත සභාපතිවරු එදා අතීතයේත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවට නව්‍යතා රැසක් එකතු කළා. කරුණාරත්න අබේසේකරයන් ගේ බාල සොයුරු ගාමිණී අබේසේකරත් එවැනි සභාපතිවරයෙක්. ඔහු බැංකුවේ හිටියේ ටික කාලයයි. නමුත් අදත් බැංකු සේවකයන් ඔහුට පින් දෙනවා. ඔහු තමයි, ජාතික ඉතිරිකිරීමේ බැංකුවට පෙන්ෂන් එක ඇති කළේ.

ඒ කාලේ මම පුද්ගලිකවම ගෙයින් ගෙට ගොස්, විශේෂයෙන් ගොයම් කැපෙන සහ උක් කැපෙන කාලයට මං සංවිධානය කළ ප්‍රචාරණ කටයුතුවලින් සහ ප්‍රවර්ධන වැඩසටහන්වලින්, ඉතිරි කිරීම පිළිබඳ මිනිස්සු තදබල ලෙස හිතට ගත්තා. ජාතික ඉතිරිකිරීමේ බැංකුව වටා රොද බැන්දා. තැපැල් කන්තෝරුවල ඉතිරි කරන්න පුරුදු වෙලා හිටි 80%කට වඩා බහුතර ජනතාව ඉබේම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගනුදෙනුකරුවන් සහ ගිණුම් හිමියන් බවට පත් වුණා. ඔය විදියට ඈත ගම් නියම් ගම් පුරා ඇවිදිමින්, ගොවීන්ගේ කන්න රැස්වීම්වලට සහභාගී වෙමින්, ඉතිරි කිරීමේ අගය ඔවුන්ට වටහා දෙමින් ප්‍රවර්ධන වැඩසටහන් ඉදිරිපත් කරමින්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට මම වැඩ කරපු කාලය අවුරුදු 13ක්. ඒත් එහෙම කටයුතු කළ මාව, එන්. එම්. පෙරේරා මහතා තනතුරෙන් ඉවත් වුණාට පසු එවක පාලනාධිකාරිය අම්පාරට මාරු කළා. ඒත් වෙනදා වගේම, මම මගේ කළු හම් බෑග් එකත් අරගෙන, හැතැප්ම ගණන් වැව් තාවුලු දිගේ... කැලෑ පාරවල... පයින් ඇවිද යමින් වෙලාවක් අවේලාවක් නැතිව බැංකුව වෙනුවෙන් ගැමි ජනතාව ආකර්ෂණය කර ගැනීමේ ව්‍යාප්ති කටයුතු නොකඩවා සිදු කළා.

ඒත් එක දවසක් ආවා. ඒ, බෝනස් එකයි පඩියයි අරගෙන මම ගෙදර යන්න හිටි දවසට කලින් දවස. මගේ සේවය අත්හිටවූ බව දන්වන ලියුමක් කොළඹින් ආ පණිවුඩය.

ඡායාරූපය - මාලන් කරුණාරත්න

Comments