ආණ්ඩුවට මොකද වෙන්නේ | Page 3 | සිළුමිණ

ආණ්ඩුවට මොකද වෙන්නේ

අප්‍රේල් 7 වෙනිදා ජනා­ධි­ප­ති­ව­රයා පාර්ලි­මේ­න්තු­වට පැමිණි අව­ස්ථාව

- ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි වෙයි
- ආණ්ඩුව බහුතරය රැක ගනී
- පාර්ලිමේන්තු සංයුතියේ ලොකු වෙනසක්
- ආණ්ඩු පක්ෂය 5කට බෙදෙයි 
- මන්ත්‍රීවරුන් 113කින් ආණ්ඩුවක් පිහිටුවන්නැයි ජනපතිගේ ඇරියුම විපක්ෂය මඟ හරී

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලික කරගත් වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ තුනෙන් දෙකක බලයක් ලබා ගනිමිනි. ඒ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 224න් 159කම බලය හිමිව තිබුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛව ආණ්ඩු කරවන පක්ෂයටන්ය. එය පනත් සම්මත කර ගැනීම මෙන්ම ජනතා සුවසෙත සැදීමට නම් අපූරු සංයුතියකි.

එහෙත් ‘අවාසනාවට ඇත්ත කතාවන්‘ උදා විය. එහි පළමු අවාසනාව වූයේ කොවිඩ් 19 වසංගතයයි. ඒ වසංගතය මෙරට ආර්ථිකය අගාධයකටම ඇද දැමුවේය. එයින් රට මුදා ගන්නට කටයුතු යෙදුවද ගෝලීය ආර්ථිකය හමුවේ ඇති වූ සිදුවීම් මාලාව මෙන්ම මෙරට කාලාන්තරයක් තිස්සේ එහාට මෙහාට ඇදෙමින් තිබූ ආර්ථික අගාධයේ කඩා වැටීමත් එක්වරම ඇති විය. එහි ප්‍රතිඵලය වූයේ මෙරට අන්තර්ජාතික සබඳතාවන්ට ඍජු බාධා ඇති වීමයි. ඩොලර් හිඟය නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට දැඩි පහරක් එල්ල වුණි. එමනිසා ගෑස්, ඉන්ධන, කිරිපිටි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වීමේ සීමා ඇති විය.

ආරම්භයේදී සුළු පිරිසකට ඒ හිඟය දැනුණද එන්න එන්නම දරුණු වූ භාණ්ඩ හිඟය ක්ෂණිකවම රටම වෙළා ගන්නට විය. එම වෙළා ගැනීම කෙතරම් දරුණු වූයේද යන්න රථවාහන මහ මඟ නතර වන තත්ත්වයක්, ආහාර පිස ගැනීමට නොහැකි තත්ත්වයක් පවා උදා විය. ඒ අතරේ කුමන හෝ අවාසනාවකට දෝ වැස්ස නොමැතිවීම නිසා විදුලියද කප්පාදු කරන්නට සිදු විය. එය සාමාන්‍ය කාලයක් නොව දිනකට පැය 15කට ආසන්න කාලයක් විදුලිය කපා දැමුණි.

ඒ හරහා නිවැසියන්ට පමණක් නොව සුළු ව්‍යාපාරිකයන්ටද මරු පහර වැදුණේය.

ඒ අතර ආණ්ඩුවේ ගමන් මඟ නිසි ලෙසින් සිදු නොවන්නේ යැයි පවසමින් පසුගිය මාර්තු මස 2 වැනිදා ‘මුළු රටම හරි මඟට‘ යනුවෙන් ජාතික ප්‍රකාශනයක් එළි දැක්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක් විසින් කටයුතු කරන ලදී. ඒ පක්ෂ අතර ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, අපේ ජන බල පක්ෂය, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ විය.

එම පක්ෂවල නායකයන් පෙන්වා දුන්නේ ‘අප අත්විඳින්නේ විවෘත ආර්ථික සංවර්ධන ආකෘතියේ දරුණුතම අවපාතයක ප්‍රතිඵල‘ බවයි. දීර්ඝකාලීනව මෙරට ආර්ථිකයේ පදනම ශක්තිමත් කෙරෙන, බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩප්‍රස්ථා සලසමින් සමාජ සාධාරණත්වය තහවුරු කෙරෙන ආර්ථික ආකෘතියක් අප විසින් නිර්මාණය කළ යුතුව ඇති බවත් පෙන්වා දුන් ඔවුහු මේ දුෂ්කර අවස්ථාව අභියෝගයක් සේ සලකා, එය ජයගැනීම උදෙසා වන යෝජනාවලියක් ඉදිරිපත් කළ බව පැවසූහ.

එතැන් සිට ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමැති විමල් වීරවංශ හා පිවිතුරු හෙළ උරුමයේ නායක හා බලශක්ති ඇමැති උදය ගම්මන්පිල දැඩි ලෙසින් ආණ්ඩුවේ ක්‍රියා කලාපය විවේචනය කරන්නට වූහ. එම විවේචනයන් සීමා ඉක්මවීම් මෙන්ම අතිශයෝක්තීන්ගෙන්ද සමන්විත විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇමැති තනතුරුවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කිරීමයි. එයින් පසුව එයට විරෝධය පළ කරමින් ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර ද කැබිනට් මණ්ඩලයට නොයන බව පැවසුවේය.

මේ අර්බුදය මෙසේ ඇතිවෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් පැවසුවේ ජනතා පීඩනය හමුවේ ආණ්ඩුව මුනිවත රකින්නේ නම් තම පක්ෂයට ආණ්ඩුවෙන් ඉවත් වීමට හෝ ස්වාධීන වීමට සිදු වන බවයි. ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ද ප්‍රකාශ කරන ලදී.

ඒ අතර ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මාර්තු 22 වැනිදා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ මේ අවස්ථාවේදී ජනතාව මුහුණ දී ඇති ආර්ථික අර්බුද හේතුවෙන් තමාට මෙම ධුරයේ රාජකාරී ඉටු කිරීමට නොහැකි බව පවසමිනි.

එමෙන්ම අප්‍රේල් 3 වැනිදා පස්වරු 3ට පාරට බසින ලෙස ජනතාවට පණිවුඩයක් ආවේය. ඒ පණිවුඩය ආවේ කවුරුන්ගෙන්ද යන්න දැන ගන්නට නොවුණි. නායකත්වයක් මෙහෙයවන්නෙක් නැතිව යන මේ විරෝධතාවට සම්බන්ධ වීම ඉතා භයානක බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන නිවේදනයක් නිකුත් කර තිබුණි. එමෙන්ම ශ්‍රී ලංකාවේ තවත් අරාබි වසන්තයක් නිර්මාණය නොකරන්නැයි ද එවැන්නක් කරා යන ගමනකට දායක නොවිය යුතු බව ද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ නිවේදනයක් නිකුත් කර තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණද පවසා තිබුණේ නායකත්වයක් නොමැති විරෝධතාවන්ට සහභාගි වීම ඉතා භයානක බවයි. පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලද පවසා සිටියේද මෙහෙයවන්නෙක් නොමැති අදූරදර්ශී ක්‍රියාමාර්ගවලින් ඇති බව ප්‍රතිඵල භයානක බවයි.

ඒ අතර පැවිදි හඬ සංවිධානයද නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මහජනතාවට සහන සැලසෙන සේ කටයුතු කිරීම රජයේ වගකීමක් බවත් එසේ නොවේ නම් මහජනතාව පාරට බැසීමට ඉඩ ඇති බවයි. ඒ අතර මහාචාර්ය මැදගොඩ අභයතිස්ස, මුරුත්තෙට්ටුවේ ආනන්ද, බෙල්ලන්විල ධම්මරතන හිමිවරුද වූහ.

මේ සියල්ල අතරේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර රජයේ ගමන් මඟ ගැන විවිධ කසුකුසු ඇති විය. ඒ අතර කුමන හෝ අභාග්‍යයකට මාර්තු 31 වෙනිදා රාත්‍රියේ මිරිහානේ ඇති වූ කලබැගෑනිය නිසා රජය විසින් අප්‍රේල් 2 සෙනසුරාදා පස්වරු 6.00 සිට 4 වැනිදා සඳුදා පෙරවරු 6.00 තෙක් ඇඳිරි නීතිය පනවන ලදී.

ඒ ගිනිගැනීම් ඇඳිරි නීති අස්සේ රොෂාන් රණසිංහ රාජ්‍ය ඇමැතිවරයා අප්‍රේල් 2 වැනිදා තමන් දැරූ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය. ඒ ගොවි ජනතාවට සහන සැලසීමට ක්‍රමයක් නොමැති බව පෙන්වා දෙමිනි. එමෙන්ම විදුර වික්‍රමනායක රාජ්‍ය ඇමැතිවරයාද ආණ්ඩුවට රතු එළියක් දල්වා තිබුණි.

ඒ අතරේ සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කරන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට විමල් වීරවංශ ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායමක් විසින් යෝජනා කර තිබුණී. එම පිරිස අතර උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් මන්ත්‍රීවරුන්ද විය.

පසුව නිවේදනයක් නිකුත් කළ විමල් වීරවංශ මන්ත්‍රීවරයා දන්වා සිටියේ එම යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවයි. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ පමණක් රාජපක්ෂවරුන්ගෙන් එම ආණ්ඩුවට ඇතුළත් විය යුතු බවද යෝජනා වී ඇති බව පසුව අනාවරණය විය.

ඇඳිරි නීති මධ්‍යයේ අප්‍රේල් 3 වැනිදා පස්වරුවේ රජයේ ඇමැතිවරුන් අතර විශාල ආන්දෝලනයක් ඇති විය. තැන් තැන්වල ඇති වූ පෙළපාළි හා මහජන උද්ඝෝෂණ හමුවේ ආණ්ඩුවේ ලොකු වෙනස්වීමක් සිදුවන බවට රාවයක් පැතිර ගියේය. ඒ රජයේ වගකිව යුතු මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු විසින් තම ට්විටර් ගිණුම් හා තම මුහුණු පොත්වල දමා තිබූ විස්තර අනුවය.

එදින රාත්‍රියේ අගමැති මහින්ද රාජපක්ෂයන් හමු වූ කැබිනට් ඇමැතිවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාර දුන්හ. ඒ අතර පළමුව මහින්ද අමරවීර ඇමැතිවරයා වූ අතර දෙවනුව නිමල් සිරිපාල ද සිල්වා විය. මහින්දානන්ද අළුත්ගමගේ හා රෝහිත අබේගුණවර්ධන අත්සන් කර තිබුණේ ඉන් පසුවය.

එහෙත් ඒ හමුවට අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, මහාචාර්ය ජී.එල්. පීරිස් හා ඩලස් අලහප්පෙරුම සහභාගි නොවීය.

කැබිනට් ඇමැතිවරුන් එසේ ඉල්ලා අස්වීමෙන් පසුව අප්‍රේල් 4 වෙනිදා ජනාධිපතිවරයා විසින් සියලු පක්ෂවලට ආරාධනා කර සිටියේ රට පත්ව ඇති තත්ත්වයෙන් බේරා ගැනීම සඳහා සියලු පක්ෂවලට එකතු වන ලෙසයි. එසේ එකතුව ඇමති ධුර බාර ගනිමින් රට වෙනුවෙන් සහාය දී කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.

එහෙත් ජනාධිපතිවරයාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විපක්ෂ නායකවරයා පැවසුවේ එසේ ඇමැතිකම් බාර නොගන්නා බවයි. කුමන ලෙසකින්වත් වත්මන් රජයේ ඇමැතිකම් භාර නොගන්නා බව ඔහු පැවසුවේය. එමෙන්ම එක්සත් ජාතික පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් එසේ ඇමැතිකම් බාර ගැනීම ප්‍රතික්ෂේප කළ අතර දෙමළ ජාතික සංධානයද එය එය ප්‍රතික්ෂේප කරන බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් විසින් පවසා තිබුණි.

අප්‍රේල් 4 වෙනිදා රාජ්‍ය ඇමැතිවරුන් වන දයාසිරි ජයසේකර, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ, පියංකර ජයරත්නද ආණ්ඩුවෙන් ඉල්ලා අස්විය.

එසේම දුමින්ද දිසානායක රාජ්‍ය ඇමැතිකමින්ද පසුව අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිකමින්ද ඉල්ලා අස් වූ අතර ලසන්ත අලගියවන්නද රාජ්‍ය ඇමැති ධුරය අත හැරියේය.

මේ තත්ත්වය යටතේ පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම පිණිස අප්‍රේල් 4 වැනිදා නව කැබිනට් ඇමැතිවරුන් සිවුදෙනකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. ඒ අතර මුදල් ඇමැතිවරයා ලෙස අලි සබ්රි විදෙස් කටයුතු ඇමැති ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස්. අධ්‍යාපන ඇමැති ලෙස දිනේෂ් ගුණවර්ධන හා මහාමාර්ග ඇමැතිවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු ද තේරී පත්විය. ජොන්ස්ටන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ද වේ.

එසේ වුවත් අලි සබ්රි දිවුරුම් දී පැය 24ක් යන්නටත් පෙර සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

5 වැනිදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වීමට නියමිතව තිබුණු අතර එහිදී නිමල් ලංසා හිටපු ඇමැතිවරයා දිගින් දිගටම පැවසුවේ මේ රජයට බහුතරය නොමැති කරන බවයි. මන්ත්‍රීවරුන් 50ක් ස්වාධීන කරන බවද ඔහු පැවසුවේය.

අප්‍රේල් 5 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් විය. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 41ක් ස්වාධීන විය. පෙර ස්වාධීන වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාත් සමඟ ස්වාධීන වූ මන්ත්‍රී පිරිස 42ක් බවට පත් විය.

එහිදී නම් ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර සෙසු හවුල්කාර පක්ෂ 10ට අයත් මන්ත්‍රීවරුන් 16ක් ස්වාධීනව කටයුතු කරන බවයි.

එහෙත් එහිදී ගයාෂාන් නවනන්දන මන්ත්‍රීවරයා තමන් එසේ ස්වාධීන වන බවක් තවමත් තීරණය කර නොමැති බව පැවසු හෙයින් සංඛ්‍යාව 15ක් බවට පත් විය. එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද ස්වාධීනව කටයුතු කරන බව පැවසීම නිසා ඔවුන්ගේ මන්ත්‍රීවරුන් 14 ද ස්වාධීන විය.

ඒ අතර අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා නැඟී සිටිමින් තමන්ට අනන්‍ය වූ මන්ත්‍රීවරුන් 10 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් වෙන්ව සිටින බවත් ඔවුන් ස්වාධීනව කටයුතු කරන බවද පැවසුවේය. ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනාම ස්වාධීන වන බව පැවසූහ. එමෙන්ම සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ දිඟාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මුෂාරක්ද ආණ්ඩු හෝ විපක්ෂයේ නොසිට තමන් විපක්ෂයේ සිටිමින් ස්වාධීනව කටයුතු කරන බව පැවසුවේය.

ඒ අනුව හවුල්කාර පක්ෂ 10 ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 15කි. 

විමල් වීරවංශ 
උදය ගම්මන්පිල 
වාසුදේව නානායක්කාර 
තිස්ස විතාරණ 
ටිරාන් අලස් 
අතුරලියේ රතන හිමි 
ගෙවිඳු කුමාරතුංග 
වීරසුමන වීරසිංහ 
අසංක නවරත්න 
මොහොමඩ් මුසම්මිල් 
නිමල් පියතිස්ස 
ඒ. එල්. එම්. අතාවුල්ලා 
ජයන්ත සමරවීර 
උද්දික පේමරත්න 
ගාමිණී වලේබොඩ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 14කි.

මෛත්‍රීපාල සිරිසේන 
නිමල් සිරිපාල ද සිල්වා 
මහින්ද අමරවීර 
දයාසිරි ජයසේකර 
දුමින්ද දිසානායක 
ලසන්ත අලගියවන්න 
රංජිත් සියඹලාපිටිය 
ජගත් පුෂ්පකුමාර 
ශාන් විජයලාල් 
ශාන්ත බණ්ඩාර 
සම්පත් දසනායක 
දුෂ්‍මන්ත මිත්‍රපාල 
සුරේන් රාඝවන් 
අංගජන් රාමනාදන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනන්‍යවූ කණ්ඩායමක් ද ස්වාධීන විය ඒ සංඛ්‍යාව 10කි.

අනුර ප්‍රියදර්ශන යාපා 
ආචාර්ය විජයදාස රාජපක්ෂ 
නිමල් ලංසා 
ජෝන් සෙනවිරත්න 
චන්දිම වීරක්කොඩි 
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ 
නලින් ප්‍රනාන්දු 
සුසිල් ප්‍රේමජයන්ත 
ප්‍රියංකර ජයරත්න 
ජයරත්න හේරත් 

එමෙන්ම කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දෙදෙනාම ස්වාධීන විය.

ජීවන් තොණ්ඩමන් 
එම්. රාමේෂ්වරන්

සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ දිඟාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මුෂාරක් ද ස්වාධීන මන්ත්‍රීවරයෙක් විය.

එසේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 42කි. ඒ අනුව 159ක් වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 117ක් දක්වා අඩු වී ඇත. ඒ තත්ත්වය මත ආණ්ඩු පක්ෂ රැස්වීම් කණ්ඩායමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විවෘත ආරාධනයක් කර සිටියේ ඕනැම පක්ෂයක් මන්ත්‍රී ආසන 113ක් පෙන්නුම් කරන්නේ නම් රජය බාර දීමට කටයුතු කළ හැකි බවයි. 

එහෙත් ජනාධිපතිවරයාගේ එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හෝ සමගි ජල බලවේගය හෝ සමත් වූයේ නැත.

ඒ අතර ජනාධිපතිවරයා හමු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ නියෝජිතයන් පැවසුවේ කොන්දේසි දෙකක් හමුවේ රජයට සහාය දිය හැකි බවයි. ඒ අනුව 19 වැනි සංශෝධනය, සංශෝධන සහිතව බලාත්මක කිරීමත් අන්තර්වාර පාලනයක් ස්ථාපිත කිරිමත් කළ යුතු බවයි. ඒ අතර දේශපාලන අරාජිකත්වයට සහ ආර්ථික අර්බුදයට දේශප්‍රේමි ජාතික පෙරමුණෙන් පස් වැදැරූම් කඩිනම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබූ අතර මහ නාහිමිවරුන් විසින්ද රට අරාජිකත්වය කරා ගමන් කර බවත් වහාම ආණ්ඩුවේ ප්‍රතිශෝධන විය යුතු බවද දැන්වූහ.

මේ තත්ත්වය මත අන්තර්වාර පාලනයක් හැරෙන්නට මේ වන විට වෙනත් විසඳුමක් පෙනෙන්නට නැත. එහෙත් විපක්ෂයේ බොහෝ මන්ත්‍රීවරුන් බොර දියේ මාළු බාන්නට සූදානම් වන බවද් දේශපාලන විසාරදයන් විසින් පවසා තිබුණු අතර හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ හා හිටපු රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකරයන්ගේ කතාවන්ට සමාජයේ ලොකු පිළ ගැනීමක් ඇති විය. පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකතුව රට ගොඩ ගැනීමට කටයුතු කළ යුතු බවත් පාර්ලිමේන්තුවේ සිටින්නේ

ඒ අතර නව කැබිනට් මණ්ඩලය අඩකින් අඩු කර අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ පාලනය යටතේ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබුණි. සිකුරාදා පස්වරුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම දීමට නියමිතව තිබුණද එය සතියකින් කල් ගියේය.

එම කැබිනෙට්ටුවේ චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ හා ශෂීන්ද්‍ර රාජපක්ෂ යන සිවු දෙනාම ඇතුළත් නොවන බව දේශපාලන ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත.

Comments