
දේශපාලනයට මුවාවෙලා ඇතැමුන් පෝලිම් නිර්මාණය කළා
- අශෝක සෙනරත් මුදලිගේ (65) - මාදිවෙල ඡායාරූප ශිල්පී
ගෑස්, ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, කිරිපිටි ඇතුළු අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩවලට ඇතිවූ පෝලිම් සමාජයේ කිසියම් කොටසක් විසින් නිර්මාණය කරපු දෙයක්. ඩොලර් අර්බුදය සිරිමා, චන්ද්‍රිකා කාලෙත් තිබුණා. භාණ්ඩ සීමා කිරීම හා හිඟය ඒ යුගයෙත් තිබුණා. දැන් කාටත් අමතක වුණාට. දේශපාලනය මුවාවෙලා ඇතැමුන් කෘත්‍රිම පෝලිම් හදලා. කලාකරුවො පවා පාද දෙපැත්තක තියාගෙන ඉන්නේ වාසි පැත්තේ පෝලිමට. දෙතුන් දෙනෙක් පෝලිම්වල ඉඳලා මැරුණා කීවාට එයාලගේ අසනීපවලට ගෙදර හිටියත් මැරෙනවා කොවිඩ් මාරයත් එක්ක මේක මුළු ලෝකෙටම බලපාන අර්බුදයක්. ළිඳට වැටුණාම ළිං කටෙන්ම ගොඩ එනවා වගේ හැම කෙනෙක් ම සහායෙන් ගොඩට ගත යුතුයි.
පෝලිම්වලට කාටවත් දොස් කියලා වැඩක් නෑ
- චම්මි දිසානායක (50) - මත්තේගොඩ කළමනාකාර අධ්‍යක්ෂක
පහුගිය දවස්වල ඩීසල්, පෙට්‍රල් පෝලිම් දිගයි තමයි. මොකද වාහන දිගයිනේ. මේ වෙලාවෙ මුළු ලෝකෙම වගේ ම ලංකාවෙත් ප්‍රශ්න තියනවා තමයි. ඒත් කාටවත් දැඩිව දොස් තියලා වැඩක් නෑ. කවුරුත් උපරිමයෙන් තමයි ජනතාවට සලකන්නේ.
මේ පෝලිම් ගැටලු අපිට ලොකුවට නොදැනුණාට සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වුණු බව ඇත්ත. ඒ වුණාට පසුගිය කාලෙ කොවිඩ් අර්බුදය නිසා රජයට එන්නත් ඇතුළු සෞඛ්‍ය වියදම් නොසෑහෙන්න තිබුණා.
මේ තත්ත්වය තව මාස දෙක තුනකින් අවසන් වේවි.
විකල්ප බලශක්ති ප්‍රවර්ධනයෙන් පෝලිම් නැති කළ හැකියි
- ගිහාන් සමරසිංහ (47) - කළුතර වීසා උපදේශක
පසුගිය කාලේ අත්‍යවශ්‍ය භාණ්ඩවලට දිගු පෝලිම්. දැන් කෙටි පෝලිම්. ගැටුම් අර්බුද, මූල්‍යමය ගැටලු ටිකක් තියනවා තමයි. ලෝක බැංකුවෙන් ණය අනුමත වුණත් ලැබෙන්න මාස 06ක් යනවා. අපේ රටේ පමණක් නෙමෙයි ලෝකේ අනිත් රටවලත් මෙවැනි අර්බුද පෝලිම් තියෙනවා. ගෑස්, ඩීසල්, භූමිතෙල්, පෙට්‍රල් වගේ සම්පත්වලට විකල්ප සෙවිය යුතු කාලය ඇවිත්. මහල් නිවාස, නිවාස සංකීර්ණවලට කුඩු ලිප වගේ ඉන්ධන පිරිමැසුම් ප්‍රවර්ධනය කළ යුතුයි. රජය අන් හැම අයගෙනුත් මත විමසලා ජනතාවට සහනය සලසන මාවතක් සැකසිය යුතුයි. අඩු ආදායම්ලාභීන් හා මධ්‍යම පාන්තිකයන් ගැන වැඩියෙන් විමසිය යුතුයි.
ඉල්ලුමට සරිලන සැපයුම නැති නිසා පෝලිම් ඇති වුණා
- නිශ්ශංක රාජපක්ෂ (43) - මාතලේ ඉදිකිරීම් සහායක
පසුගිය කාලේ හුඟාක් භාණ්ඩ, ගෑස් හා ඉන්ධනවලට පෝලිම් ඇතිවුණේ ඉල්ලුමට සරිලන සැපයුම අඩු වූ නිසයි. හරි පරිපාලනයක් තිබුණේ නෑ.
රජය ජනතා අවශ්‍යතා අනුව කටයුතු කළේ අඩුවෙන්. මුදල් අච්චු ගහද්දි උද්ධමනය වැඩි වුණා. භාණ්ඩ හා සේවා මිල වැඩි වුණා. පෝලිම් නිර්මාණය වුණා. ජනතාව දැඩි පීඩනයට පත්වුණා. ඇති හැකි අයට දැඩිව දැනුණේ නෑ. මේ දිනවල ටිකක් මිල ස්ථාවරයි. ඉල්ලුමට සැපයුම තියන නිසා පෝලිම් ටිකක් අඩුයි. ඉදිරියට නම් පෝලිම් අඩුවෙලා රට සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි කියා හිතනවා. විදෙස් ණය එහෙම ලැබෙනවනේ.
සාමාන්‍ය ජනතාව පෝලිම්වල නොසෑහෙන්න දුක් වින්දා
- සමන්ති ආටිගල (53) - ඇඹුල්දෙණිය හඬ කැවීම් ශිල්පිනී
පහුගිය දවස්වල සාමාන්‍ය ජනතාව පෙට්‍රල්, ඩීසල්, ගෑස්, කිරිපිටි, භූමිතෙල් ඇතුළු තවත් බොහෝ දෑ මිලදී ගන්න පෝලිම්වල නොසෑහෙන්න දුක් වින්දා. කීප දෙනෙක් ජීවිතෙන් පවා වන්දි ගෙව්වා. මිනිස්සු දිනෙන් දින පීඩාවට පත්වුණා. කිසිම සැනසිල්ලක් නැතුව. පෝලිම්වලදී වචන එහා මෙහා වෙලා බැණ අඬ ගැසීම්, ගුටිපැට පවා හුවමාරු වුණා. ජීවත්වීම පුදුම තරම් අසහනකාරී බවක් ඇති වුණා. ජනතාවට දුක - පාලකයන්ට සැප. විසඳුමක් පේන මානෙක නැහැ. බඩු මිල ඉහළ යාම හා හිඟවීමට සාපේක්ෂව ආදායම ඉහළ යන්නේ නැහැනේ. මේවට විසඳුම් දිය යුත්තේ රජයම තමයි.
පෝලිම් නැති කරන්න කවුරුත් සහයෝගෙන් වැඩ කළ යුතුයි
- තරිඳු ප්‍රභාත් අරඹේගෙදර (27) - තඹුත්තේගම ව්‍යාපාරික
ගෙවී ගිය මාස දෙක තුන නම් ජනතාවට දැඩි පීඩාකාරී කාල වකවානුවක් වුණා. මිල මුදල් තිබුණත් පෙට්‍රල්, ඩීසල්, ගෑස්, කිරිපිටි හා තවත් දේ මිලදී ගන්න නැතිව දුක් වින්දා. සහන මිලට භාණ්ඩ තිබුණු සතොසටත් පෝලිම. බැංකුවල හා අනිකුත් බොහෝ ආයතනවලත් පෝලිම්. දැන් නම් ටිකක් අඩුයි.
රජයට බැණලා වැඩකුත් නෑ. කොරෝනා වසංගතය, ස්වාභාවික ව්‍යසන, රුසියන් - යුක්රේන යුද්ධය වගේ ලංකාව වගේ ම ලෝක ප්රවණතාත් ලංකාවේ ගැටලුවලට, පෝලිම්වලට ඍජුව හා වක්‍රව බලපානවා.