පේරාදෙණි රෝහලේ සැත්කම් අර්බුදේ ඇත්ත නැත්ත | Page 4 | සිළුමිණ

පේරාදෙණි රෝහලේ සැත්කම් අර්බුදේ ඇත්ත නැත්ත

ඩොලර් අර්බුදය සමඟ ඖෂධ ආනයනයට ද දැඩි ලෙස බලපා තිබේ. ඉදිරියේදී රටේ ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බවට විවිධ මත පළ වෙද්දී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි ශල්‍යකර්ම හැර සෙසු සියලු සැත්කම් තාවකාලිකව නතර කළ බවට ප්‍රචාරය වූයේ පසුගිය 28 වැනි දිනය.

අත්‍යවශ්‍යය ඖෂධ හා සැත්කම් සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය සීමාසහිත වීම හේතුවෙන් හදිසි ශල්‍යකර්ම හැර සැලසුම් කළ සැත්කම් නතර කරන ලෙස පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා රෝහලේ ශල්‍ය වෛද්‍යවරු ඇතුළු සැත්කම් සඳහා දායකත්වය ලබාදෙන රෝහල් කාර්ය මණ්ඩලයේ සියලු අංශ වෙත පසුගිය 28 දා ලිපියක් යොමුකර තිබිණි. සැත්කම් සඳහා දින ලබා දීමෙන් පසු සැත්කමට අදාළ දිනය උදාවන තෙක් මාස ගණන් නොව වසර ගණන් බලාසිටි රෝගීන් මෙම කාරණයත් සමඟ කලබල වූ තරම අමුතුවෙන් කිවයුතු නොවේ. අධ්‍යක්ෂවරයා විසින් යොමුකළ ලිපිය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පමණක් නොව එවකට මෙරට සංචාරයක නිරතව සිටි ඉන්දීය විදේශ ඇමැතිවරයාගේද අවධානය ඒ කෙරෙහි කෙරෙහි යොමුවිය. 

රෝහලේදී සැත්කම් සඳහා භාජනය වන රෝගීන් සඳහා අවශ්‍යය ඖෂධ අනෙකුත් ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් පමණක් තිබෙන බව රෝහල් කළමනාකරණ කමිටුවේදී සාකච්ඡාවට බඳුන් කිරීමෙන් පසු අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න අදාළ ලිපිය නිකුත් කර තිබිණි. පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කම්ද ඇතුළුව දිනකට සැත්කම් 60-80 ත් අතර සංඛ්‍යාවක් සිදු කෙරෙයි. ඒ රෝහලේ ඇති ශල්‍යාගාර 09 ක් තුළදීය. අත්‍යවශ්‍යය නොවන සැත්කම් මෙලෙස තාවකාලිකව නතර කිරීම සම්බන්ධව 29 වැනි දින මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍ය හමුවේ පැවසුවේ සැත්කම් නතර කිරීමට ප්‍රධාන ලෙස බලපා තිබෙන Neostigmine නැමැති ඖෂධය වෛද්‍ය සැපයුම් අංශයේ තිබෙන බවයි. එම ඖෂධය ලබාදෙන ලෙස රෝහල මඟින් ඉල්ලීමක් සිදු නොකිරීම නිසා මෙම අර්බුදය පැන නැගී තිබෙන බවත් මෙය යම්කිසි ආකාරයකින් හිතාමතා රජය අපහසුතාවට පත්කිරීම සඳහා කළ ක්‍රියාවක් ලෙස සැලකිය හැකි බවත් ඔහු පැවසුවේය.

කෙසේ වුවද සැත්කම් සඳහා නිර්වින්දනය කළ රෝගීන් යළි සිහිගැන්වීමට භාවිත කරන Neostigmine නැමැති ඖෂධය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ලබාදීමට වෛද්‍ය සැපයුම් අංශය කටයුතු කිරීමත් සමඟ යළිත් රෝහලේ සැත්කම් ආරම්භ විය. ඒ සැලසුම් කළ සියලු සැත්කම් නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව නතර කිරීමට තීරණය කර පැය 12 කට පමණ පසුය. සැත්කම් සඳහා අත්‍යවශ්‍යය ඖෂධ හා අනෙකුත් ද්‍රව්‍ය කඩිනමින් ලබාදෙන බවට වෛද්‍ය සැපයුම් අංශය දැනුම් දීමත් සමඟ යළිත් වරක් ලිපියක් නිකුත් කරමින් අධ්‍යක්ෂවරයා විශේෂඥ වෛද්‍යවරු ඇතුළු සැත්කම් සඳහා සම්බන්ධ වන රෝහල් කර්යමණ්ඩලයට දැනුම් දී තිබුණේ දැනට රෝහලේ පවතින ඖෂධ මගින් යළි ශල්‍යකර්ම ආරම්භ කරන ලෙසයි.

මේ සම්බන්ධව අප කළ විමසීමකදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුණ තිලකරත්න මහතා මෙසේ පැවසුවේය. සැත්කම් සඳහා අවශ්‍යය ඖෂධ හිඟය පිළිබඳව දැනුම් දෙමින් ඒවා ලබාදෙන ලෙස අපි ඉල්ලීම් කර තිබෙනවා. මාර්තු මස 12,20 හා 28 යන දිනවල අදාළ ඉල්ලීම් නිශ්චිත ක්‍රමවේදයට අනුව සිදුකළා. මෙම සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විමර්ශනයක් කරනවා. විමර්ශන නිලධාරි මහත්මයෙක් පැමිණ රෝහල මගින් අදාළ ඉල්ලීම් කළ බව තහවුරු කර ගැනීමට අවශ්‍යය ලියකියවිලි වල පිටපත් ලබා ගත්තා. Neostigmine නැමැති ඖෂධය මේවන විටත් රෝහලට ලැබී තිබෙනවා. මේ නිසා යළිත් කලින් සැළසුම් කළ සැත්කම් ආරම්භ කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල රටේ පවතින ඖෂධ හිඟය පිළිබඳව මෙසේ ප්‍රකාශ කළේය. සැත්කම් සාමාන්‍ය පරිදි කරගෙන යෑමට තවමත් ගැටලුවක් නැහැ. පවතින සම්පත් කළමනාකරණය කර ගනිමින් එම කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යනවා. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් සම්බන්ධයෙන් මතුවූ ගැටලුව එය දැනගත් විගස අපි නිරාකරණය කළා. විදේශ විනිමය සම්බන්ධ ප්‍රශ්නයක් රටේ තිබෙන බව කවුරුත් දන්නවා.

මේ නිසා ඖෂධ ආනයනය කිරීමේදී යම් යම් ගැටලු මතුවෙනවා.ආහාර, ඖෂධ හා ප්‍රවාහනය සම්බන්ධයෙන් පවතින ගැටලු වලට අපි මූලිකත්වය දෙනවා.

ජනාධිපතිතුමාද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කියලා උපදෙස් ලබාදී තිබෙනවා. විදේශ විනිමය හිඟයක් තිබෙන නිසා ප්‍රමුඛතා හඳුනාගනිමින් අදාළ වැය කිරීම් සිදු කිරීම මේ මොහොතේ කළ යුත්තේ.

ඉන්දීය ණය ආධාර යටතේ ඩොලර් මිලියන 80 ක ඖෂධ ආනයනය කිරීමට පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය අංශය සඳහා ප්‍රමුඛතාව සෑම විටම ලැබෙනවා. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සැත්කම් නතර වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ වීමත් සමඟ ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ අවධානය ද ඒ පිළිබඳව යොමුවී තිබුණා. ඖෂධ නැති නිසා සැත්කම් නතර වුණා කිව්වම ඒ වගේ අවධානයක් යොමුවීම සාමාන්‍ය දෙයක්.

කොහොම වුණත් ඉන්දීය විදේශ ඇමැතිවරයාගේ අවධානය ඒ ගැන යොමුවෙන විටත් අපි ප්‍රශ්නය විසඳලා තිබුණේ. මේ බැරෑරුම් අවස්ථාවේ ජනමාධ්‍ය මෙයට වඩා ප්‍රගතිශීලීව ප්‍රශ්න දිහා බලන්න ඕන. ගැටලුව විසඳා තිබියදී දිගින් දිගටම ඒ ගැන කතා කිරීම මඟින් වෙනත් සමාජ මතයක් ගොඩනැගීමට ඇතැමුන් උත්සාහ කළ බවක් අපි දැක්කා. තුවාලයකට බෙහෙත් දමා සුව කළ පසුවත් සුව කිරීමට ගත් පියවර ගැන කතා නොකර තවදුරටත් තුවාලය ගැනම කතා කරමින් සිටීම අනුමත කරන්න බැහැ. 

රජයේ රෝහල්වල සැත්කම් සිදු කිරීම සම්බන්ධව මෙතෙක් ගැටලුවක් ඇතිවෙලා නැහැ.

ඉදිරියේදී එවැනි තත්ත්වයක් මතුවුණොත් අපි ඒක සඟවාගෙන ඉන්නේ නැතුව රටට කියනවා... අත්‍යවශ්‍යය ඖෂධ භාවිතය සීමා නොකොට අඛණ්ඩව භාවිත කිරීමෙන් ජීවිත ආරක්ෂාව සහ හදිසි ශල්‍යකර්ම සඳහා අවශ්‍යය ඖෂධ ඌණතාවක් විය හැකි බවත්, ඒ තුළින් රෝගි ජීවිත දැඩි අවධානමකට ලක්විය හැකි බවත් වෛද්‍ය පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අසේල පෙරේරා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. රෝහලේ කළමනාකරණ කමිටුව ලෙස සාමුහිකව ගත් තීරණ සම්බන්ධව රෝහල් කාර්ය මණ්ඩලය දැනුම්වත් කිරීමට අධ්‍යක්ෂවරයා නිකුත් කළ අභ්‍යන්තර ලිපිය කිසිවෙකු විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙන බවත් මෙය සිදු නොවිය යුත්තක් වුවත් පවතින සන්නිවේදන තාක්ෂණික මෙවලම් නිසා එසේ සිදුවීම වැළැක්විය නොහැකි බවත් ඔහු ලිපිය මඟින් පෙන්වා දෙයි.

මධ්‍යම පළාත් හැරුණු විට උතුරුමැද, නැ‌ෙඟනහිර, ඌව, සබරගමුව ආදි පළාත් වලින්ද පේරාදෙණිය ශික්ෂණ රෝහලට රෝගීන් යොමු කෙරේ.සැත්කමකට ලක්වීම සඳහා වසර ගණන් රජයේ රෝහල්වල පොරොත්තු ලේඛනයේ රැදී සිටීමට රෝගීන්ට සිදුවෙති. වසර ගණනාවක් බලා සිට සැත්කම සිදුකර ගැනීම සඳහා රෝහල් ගතවන පුද්ගලයකුට යළිත් රෝගය සමඟ ආපසු නිවෙස බලා යාමට සිදුවන්නේ නම් එය බරපතළ ගැටලුවකි.

ඇතැම් විට එය ඔහුගේ ජීවිතය පිළිබඳ තීරණාත්මක මංසන්ධියක් වීමටද පුළුවන.රෝහල් අධ්‍යක්ෂවරු හා සෞඛ්‍ය අමත්‍යාංශය අතර කුමන හෝ කඹ ඇදිල්ලක් සිදුවන්නේ නම් එයින් අවසානයේ බැට කන්නේ අහිංසක රෝගීන්ය. මේ නිසා මෙම දෙපාර්ශ්වයම ප්‍රශ්නය අර්බුදයක් වන්නට පෙර විසඳුම් සෙවීම මේ මොහොතේ පවතින අවශ්‍යතාවකි.

Comments