නිර්මාණකරණයේ පෙරළිකාරයා | Page 4 | සිළුමිණ

නිර්මාණකරණයේ පෙරළිකාරයා

කණ්­ඩ­ලම හෝට­ලය වර්ත­මා­නයේ දිස්වන අයුරු

ශ්‍රී ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පයේ අමිල සන්නාමයක් බඳු ජෙෆ්රි බාවා මෙරට තුළ බිහි වූ විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියා බව පැවසීම වරදක් නොවේ. මේ වනවිට 20 වැනි සියවසේ වඩාත්ම වැදගත් සහ බලපෑම්සහගත ආසියානු ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස ජගත් ලෝකය තුළ පිළිගැනීමට පාත්‍රව ඇත්තේ ඔහුය. ඒ අද්විතීය නිර්මාණ ශිල්පියා පිළිබඳ මතකය නැවතත් ආවර්ජනය කළ හැකි අපූර්ව ත්‍රෛයි භාෂා ප්‍රදර්ශනයක් මේ දිනවල කොළඹ 2,පාර්ක් වීදියේ පාර්ක් ස්ට්‍රීට් මියුස් (Park Street Mews) ප්‍රදර්ශනාගාරයේදී පැවැත්වේ. බාවාගේ අදහස් මත පදනම්ව එය නම් කර ඇතිතේ ‘අවැසිමය එහි රැඳුම’(It is essential to be there) ලෙසය. 

මෙය ජෙෆ්රි බාවා පදනම (Geoffrey Bawa Trust) මඟින් සංවිධානය කරන සුවිශේෂී ප්‍රදර්ශනයකි. ලොව පුරා මෙවැනි ප්‍රදර්ශන පැවැත් වුවද ජෙෆ්රි බාවා පිළිබඳව මෙරටදී පැවැත්වෙන මේ ආකාරයේ ප්‍රථම ප්‍රදර්ශනය ලෙස මෙය සැලකිය හැකිය. ප්‍රදර්ශනයේ අන්තර්ගතය පිළිබඳ අවධානය යොමු කිරීමේදී නිර්මාණ ආකෘති, සැලසුම් සටහන්, ඔහුගේ ලිපි ලේඛන, චාරිකාවන්හිදී ඔහු විසින් කැමරාවට හසුකරගත් දසුන් මෙන්ම සැලසුමට පමණක් සීමා වූ අදහස් හා ඔහුගේ විශිෂ්ටත්වය, කලාත්මක රිද්මයකට පෙළගස්වා ඇත. අදහස්, චිත්‍ර, ගොඩනැඟිලි සහ ස්ථාන අතර සබඳතා ගවේෂණය කරමින් තේමාත්මක කොටස් හතරකින් සංවිධානය කර ඇති මෙම ප්‍රදර්ශනය, බාවාගේ නිර්මාණයන්හි දෘශ්‍ය රූප භාවිත කළ විවිධ ආකාරයන් ද ගවේෂණය කරයි.

1919 ජූලි 23 වැනිදා ජෙෆ්රි මැනින් බාවා මෙලොව එළිය දුටුවේ යටත් විජිත සම්භවයක් සහිත බහු වාර්ගික පවුලක සාමාජිකයකු ලෙසය. ධනවත් මෙන්ම දක්ෂ නීතිඥවරයකු වූ ඔහුගේ පියා, බෙන්ජමින් ඩබ්ලිව්. බාවා නම් වූ අතර, ඔහු මුස්ලිම් සහ ඉංග්‍රීසි පෙළපතකින් පැවත ආ අයකු විය. ජෙෆ්රි ගේ මව වූ බර්තා මැරියන් කැම්බෙල් ශ්‍රේඩර් සිංහල, ජර්මානු සහ ස්කොට් ජාතික සම්භවයකින් පැවත ආ කාන්තාවකි. කොළඹ රාජකීය විද්‍යාලයෙන් මුලකුරු කියැවූ ජෙෆ්රි බාවා, උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියට ඇතුළත් විය. අනතුරුව තම මුත්තනුවන් වූ අහමද් බාවාගේ සහ පියාගේ අඩි පාරේ යමින් ලන්ඩනයේදී නීතිය හැදෑරූ හෙතෙම නීතීඥයකු ලෙස සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළේය. වැඩි කලක් යෑමට මත්තෙන් නීතීඥ වෘත්තියෙන් ඔහු විඩාපත් විය. ඊට සමුදුන් හෙතෙම ඇමෙරිකා එක්සත් ජනපදය යුරෝපයේ සහ පෙරදිග රටවල සංචාරය කිරීමට තීරණය කළේය. නැවත ලංකාවට පැමිණි බාවා, ලංකාවෙන් පිටත්ව ගිය බාවාට වඩා වෙනස් අයකු විය. නිදහස් ජීවිතයට බොහෝසෙයින් ඇලුම් කළ ඔහු අත්හැර දමන ලද ලුණුගඟ රබර් වතුයාය මිලට ගත්තේය. සංචාරයේදී ඔහුගේ හිත ගිය මධ්‍යධරණී කලාපයේ දුටු පාරිසරික අලංකරණයන් මවාගනිමින් එය සුන්දරත්වයෙන් පිරි නිවර්තන පාරාදීසයක් බවට පරිවර්තනය කළේය. (ඔහු මිය යන තුරු නිවැසි ගෘහය පිහිටියේද මෙම අලංකාර පරිසරය තුළය. හෙතෙම මියයන තුරුම එය විවිධ අයුරින් වෙනස් කළේය) ක්‍රමයෙන් ගෘහ නිර්මාණකරණයට ඇදී ගිය ඔහුගේ වයස ඒ වන විට අවුරුදු තිස් අටක් පමණ විය. ශ්‍රී ලංකාවේ වඩාත්ම සාරවත් හා නව නිපැයුම් නිර්මාණ ශිල්පියා ලෙස තමා තහවුරු කරගත් ඔහුගේ නිර්මාණ අතරට හෝටල්, නිවාස, පාසල්, විශ්වවිද්‍යාල, කර්මාන්ත ශාලා, කාර්යාල සහ පොදු ගොඩනැඟිලි රාශියක් මෙන්ම ගංගාරාමයේ ශ්‍රීමාමාලකය හා නව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ද ඇතුළත් විය. මේ අපූර්ව නිර්මාණ ශිල්පියා ගැන ලෝකය කෙතරම් දේ කතා කළද මෙරට ගෘහනිර්මාණ කුලකයට පමණක් ඔහු සීමා වනු පෙනිණ. එහෙත් ජෙෆ්රි බාවා යනු ඉදිකිරීම් ක්ෂේත්‍රයට පමණක් සීමා වූ නිර්මාණකරුවකු නොවේ. ‘නිවර්තන නූතනවාදය(Tropical modernism)’ ලෙස හඳුනා ගැනෙන පශ්චාත් නිදහසේ සන්දර්භය තුළ ගොඩනැඟිලි සඳහා මූලාකෘති නිර්මාණකරණයේ දැවැන්ත සෙවණැල්ල ඔහුගේය. 2001දී බාවා, ගෘහ නිර්මාණ ශිල්පය සඳහා පිදෙන ‘අගා ඛාන්(Aga Khan)’ සම්මානයෙන් පුදනු ලබූ අතර මෙලෙස ආසියාවේ ගෞරවයට පාත්‍ර වූ තුන්වැනි ගෘහනිර්මාණ ශිල්පියා වූයේ ඔහුය.

“නිර්මාණයකට අවශ්‍ය ප්‍රබල උත්තේජනයක් ලැබෙන්නේ භූමිය දැකීමෙනි. අවශ්‍යතාවට අනුව ගොඩනැඟිල්ල ඉදිකළ හැක්කේ එවිටය. භූමිය දකින්නේ නැතුව මට එය කළ නොහැකිය. මා එහි රැඳිය යුතුමය. පැය දෙකක පමණ කාලයක් අදාළ භූමියේ රැඳී සිටීමෙන් අනතුරුව මෙහි නිමැවිය හැක්කේ කවරාකාරයේ ගොඩනැඟිල්ලක් ද ඒ සඳහා භූමිය කෙසේ වෙනස් කළ යුතුද යන්න පිළිබඳව මනස් චිත්‍රයක් මැවේ. ඒ සිතුවම වෙනස් වන්නේ නැහැ” ඒ බාවාගේ අදහස් ය. මෙම ප්‍රදර්ශනය සඳහා “අවැසිමය එහි රැඳුම” යන පාඨය තේමා කරගෙන ඇත්තේ ජෙෆ්රි බාවාගේ මේ අදහසින් බව සිළුමිණ සමඟ අදහස් දැක්වූ ක්‍රිස්ටෝපර් සිල්වා පැවසීය.

ජෙෆ්රි බාවාගේ සියවැනි ජන්ම දින සැමරුමට පසු විවරණයක් ලෙස පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණ ඒ අද්විතීය නිර්මාණ ශිල්පියාගේ නිර්මාණ චාරිකාව සහ ඔහු වාස්තු විද්‍යාව සහ ලාංකික පරිසරය නිර්මාණශීලී ලෙස වෙනස් කිරීමට ගත් උත්සාහය නැවත සොයායෑමයි.

මෙහිදී කුටියෙන් කුටියට නැතිනම් එක අවකාශයකින් අනිත් අවකාශය කරා ඔබව රැගෙන යන ආකාරයට මෙම අත්දැකීම කිසියම් නැවුම් බවකින් ලබාදීමට සංවිධායකයන් කටයුතු කර ඇත.

මූලික වශයෙන් අදියර හතරකින් සමන්විත මෙම ප්‍රදර්ශනයට පිවිසි විට මුලින්ම ඇස ගැටෙන්නේ ජෙෆ්රි බාවා තම නිර්මාණ අභ්‍යාස කළ අලුත්ගම පිහිටි ලුණුගඟ ගෘහය ගැන ඔහු තම මිතුරකුට ලියන ලද ලිපියක මුල් පිටපතකිනි. භූමිය සහ ස්වාභාවික පරිසරය කෙතරම් ඔහුගේ නිර්මාණකරණයට බලපෑවේද යන්න ඉන් තහවුරු කෙරෙන අතර එය ඔහුගේ නිර්මාණකරණය තුළට පිවිසීමට දොරටුවක් වැන්න.

පළමු අදියර වෙන්වන්නේ විවිධ භූවිෂමතා, ස්වාභාවික ලක්ෂණ, ගෘහ නිර්මාණ ශිල්පීය අවශ්‍යතා සහ විවිධ ප්‍රමාණයේ ඉඩම් මත ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කෙරුණු ගොඩනැඟිලි කිහිපයක් ආශ්‍රයෙන් ඒ ඒ අවස්ථාවන්ට ගැලපෙන ලෙස ඔහු විසින් නිර්මාණශීලී විසඳුම් සොයාගත් ආකාරය පැහැදිලි කිරීමටය. මේ සඳහා තෝරාගෙන ඇති නිදර්ශන අතර, ඊනා ද සිල්වා නිවෙස, මිරිස්ස House on the Red cliff සහ නිකවැරටියේ ඉදිකෙරුණු පොලොන්තලාව බංගලාව සඳහන් කළ හැකිය.

ප්‍රදර්ශනයේ දෙවැනි අදියරේදී ස්වාභාවිකත්වයට නැඹුරුව නිර්මාණය කළ සැලසුම් ඉදිකිරීමට ජෙෆ්රි බාවා යොදාගත් නැවුම් ඉදිකිරීම් තාක්ෂණ ක්‍රම පිළිබඳව හේතුසාධක සහිතව පෙන්වයි. කොළඹ කාන්තා විද්‍යාලය සහ ශාන්ත බ්‍රි‍ජට් කන්‍යාරාමය සඳහා නිර්මාණය කළ ප්‍රාථමික පන්ති ගොඩනැඟිලිවලින් එය කදිමට විශද වේ. වාස්තු විද්‍යාව සමඟ පෑහෙන නව ව්‍යුහ ඉංජිනේරු ශිල්ප ක්‍රම අත්හදා බලමින් එවකට පැවති ගොඩනැඟිලි සම්ප්‍රදාය නව දිශාවකට යොමුකිරීමට බාවා ගත් උත්සාහය ඔරුවල වානේ සංස්ථා සංකීර්ණ කාර්යාල ගොඩනැඟිල්ල, බෙන්තොට බීච් හෝටලය සහ කොළඹ මහවැලි ගොඩනැඟිල්ල යනාදී නිර්මාණ තුළින් සනාථ වේ.

ප්‍රදර්ශනයේ මීළඟ අදියර වෙන්වී ඇත්තේ ජෙෆ්රි බාවා තම නිර්මාණ හරහා අනාගතවාදී වීම නැතිනම් නව දිශානතීන් සොයා යෑමට ගත් උත්සාහය අවබෝධ කර දීමටයි. මේ සඳහා ඔහු විසින් නිර්මාණය කරන ලද ප්‍රමාණයෙන් විශාල සහ සමාජීය වශයෙන් කතාබහට ලක්වුණු නිර්මාණ කිහිපයක් එකතුකරගෙන ඇත. 70 දශකයේ මුල් භාගයේ ජපානයේ ඔසාකාහි පැවති ‘එක්ස්පෝ’ ප්‍රදර්ශනය සඳහා ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන ලද්දේ ඔහු එතෙක් නිර්මාණය කරමින් සිටි ආකාරයේ ලාංකිකත්වය පිරුණු ගොඩනැඟිල්ලක් වෙනුවට ඒ සීමාවන් අතික්‍රමණය කරන සරල ජ්‍යාමිතික කුටියකි. එහිදී එවකට ඔහු සමඟ නිර්මාණ කටයුතුවල යෙදුණු දක්ෂ කලාකරුවන් වන ලකී සේනානායක, බාබරා සන්සෝනි සහ ඊනා ද සිල්වා වැනි අයගේ නිර්මාණ යොදාගැනීමත් ලාංකීය තත්කාලීන කලාව ඔසවා තැබීමට ගත් කදිම උත්සාහයකි. මෙහි පෙනෙන තවත් වැදගත් නිර්මාණයක් වන්නේ ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන ලද බව බොහෝදෙනා නොදන්නා රුහුණු විශ්වවිද්‍යාලයයි. ගාලු පාර සහ මුහුද අද්දර පිහිටි තරමක් උස බිමක පිහිටා ඇති මෙම ගොඩනැඟිලි සංකීර්ණය සඳහා බාවා විසින් මීට ප්‍රථම නිර්මාණය කරන ලද ඉදිකිරීම්වලින් උකහ­ාගත් දේවල් අපූරු ලෙස යොදාගෙන තිබෙන අයුරු දැකිය හැකිය.

දඹුල්ල, කණ්ඩලම වැව් ඉවුරේ ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කළ කණ්ඩලම හෝටලය තරම් කතාබහට ලක්වූ සහ අභියෝගයට ලක්වූ වෙනත් ඉදිකිරීමක් නැති තරම්ය. කණ්ඩලම වැව සහ අවට ස්වාභාවික පරිසරය විනාශ කරමින් මෙම හෝටල් සංකීර්ණය ඉදිවන බවට 1990 ආරම්භයේ සිට විශාල විරෝධතාවක් ඇති විය. තම හුරුපුරුදු ගොඩනැඟිලි ඉදිකිරීම් රටාවෙන් ඉවත්ව එම ස්ථානයට ගැළපෙන ලෙස එම පරිසරයේම කොටසක් ලෙස කණ්ඩලම හෝටලය නිර්මාණය කිරීමට ඔහු ගත් වෑයමේ ප්‍රතිඵලය අද යථාර්ථයක් වී ඇති බව පෙනේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ජෙෆ්රි බාවා කියා තිබුණේ, අනාගතයේ දිනක මෙම ගොඩනැඟිල්ල නැවත වනාන්තරය විසින් අත්පත්කරගන්නා බවත්, දිවියන් මෙහි කොරිඩෝර් දිගේ ඇවිද යනු ඇති බවත්, වලසුන් මෙහි කාමර තුළ දිවිගෙවනු ඇති බවත්ය. එය කෙතරම් යථාර්ථයක් වෙමින් ඇත්ද යන්න අද ‘අවශ්‍යයෙන්ම එහි රැඳිය යුතුමය’ප්‍රදර්ශනය දකින කාහටත් වැටහේ.

ප්‍රදර්ශනයේ අවසාන අදිරය ලෙස ජෙෆ්රි බාවා විසින් ඇඳි එහෙත් ඉදි නොවූ නිර්මාණ කිහිපයක සැලසුම් සහ අනෙකුත් රූප ප්‍රදර්ශනය කර තිබෙන අතර, මෙය කෙනකුට අත්විඳිය හැකි ඉතාම විරල අවස්ථාවකි. ‘අවැසිමය එහි රැඳුම’, නැතිනම් ‘It is essential to be there’ ප්‍රදර්ශනයේ මූලික නිර්මාණකරණය ශයරි ද සිල්වා, තිලිනි පෙරේරා සහ ක්‍රිස්ටෝපර් සිල්වා යන තිදෙනාගේ මූලිකත්වයෙනි. චන්න දාස්වත්ත, සුහන්ය රැෆල් සහ මයිකල් ස්නේලින්ග් මෙහි උපදේශකයන් ලෙස කටයුතු කර ඇත. මෙම ප්‍රදර්ශනය අප්‍රේල් 3 දක්වා කොළඹ 2, පාර්ක් වීදියේ පාර්ක් ස්ට්‍රීට් මියුස් (Park Street Mews) ප්‍රදර්ශනාගාරයේදී දිනපතා පෙරවරු 11.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වේ.



Comments