
සිරකරුවෝද මනුෂ්‍යයෝය‘ මේ වැලිකඩ බන්ධනාගාර තාප්පයේ ලොකු අකුරින් සටහන් කළ පාඨයකි. ඇතැම් බන්ධනාගාර නිලධාරීන් නම් මෙකී පාඨය තුට්ටුවකට මායිම් නොකර සිරකරුවන්ට අමානුෂික ලෙස සැලකූ අවස්ථා එමටය.
එවැනි නිලධාරින් කිහිප දෙනකු පිළිබඳව ඉකුත් 22 වැනිදා මාධ්‍ය ඉදිරියේ අනාවරණයක් සිදු කළේ හෙට්ටිගේ දිලානි මංජුලා නමැති දෙදරු මවයි. ඇය හෙළි කළේ බන්ධනාගාරගතව සිටි තම පියා 49 හැවිරිදි හෙට්ටිගේ ලලිත් චමින්දට පහර දී බන්ධනාගාර නිලධාරින් විසින් ඉකුත් දිනෙක ඝාතනය කළ බවයි.
ලලිත් චමින්ද 2010 වසරේදී රුපියල් දසදහසක් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් 2021 මාර්තු 09 වැනිදා මාතර අධිකරණයේ පැවැති නඩුවකින් වසර තුනක බරපතළ වැඩ ඇතිව බන්ධනාගාරගත විය. ලලිත්ගේ සිර දඬුවම අවසන් වීමට තිබුණේ 2023 නොවැම්බර් 16 වැනිදායි. මුලින් මාතර බන්ධනාගාරයට ඇතුළුවන ලලිත් පසුව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කෙරිණි. ඔහුගේ කල්ක්‍රියාව යහපත් වූ හෙයින් මීට මාස දෙකහමාරකට පමණ පෙරදී යොමු කෙරුණේ ඇඹිලිපිටිය කඩදාසි කම්හලට අයත්ව තිබූ අක්කර ගණනක භූමියක පවත්වාගෙන යන කදුරුගස්ආර එළිමහන් වැඩ කඳවුර වෙතයි. කල්ක්‍රියා යහපත් සිරකරුවන් 50කට ආසන්න පිරිසක් මේ දිනවලද වෙසෙන එම කඳවුරේ සිටින සිරකරුවන් වගා කටයුතු සඳහා යෙදවේ.
ලලිත් චමින්ද ඉකුත් 13 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී මරණයට පත්වන්නේ එම කඳවුරේ සිටියදියි. එම නිසා ඔහුගේ මරණයේ වගකීමෙන් බේරීමට අදාළ බන්ධනාගාර නිලධාරින්ට හැකියාවක් නැත.
ලලිත් චමින්ද ගල් කැඩීමේ රැකියාවේ නිරතව සිටි ගැහැනු දරුවන් දෙදෙනෙක් සහ පිරිමි දරුවකුගේ පියෙකි. ඔහුගේ බිරිය එම්. ජී. සෝමලතා, ලලිත් සිරගත වීමත් සමඟ පවුල් බර කරටගෙන තේ කම්හලක සේවය කරන්නීය. ලලිත්ගේ වැඩිමහල් දියණිය දිලානි සිය පියාණන් කදුරුගස්ආර එළිමහන් වැඩ කඳවුරේ නිලධාරීන් විසින් මරාගත් බවට චෝදනා කරමින් මාධ්‍ය ඉදිරියේ බොහෝ තොරතුරු අනාවරණය කළාය. ඇය හෙළි කළ බන්ධනාගාර නිලධාරින් කිහිප දෙනෙකුගේ කල්ක්‍රියා සමස්ත බන්ධනාගාර දෙපාර්තමේන්තුවටම අවමානයකි. දිලානි මාධ්‍යය ඉදිරියේ පවසන්නේ මෙවැන්නකි.
“මම තාත්තා බලන්න මුලින්ම නොවැම්බර් මාසෙදි කදුරුගස්ආර කඳවුරට ගියා. තාත්තා එහි ඉතාම හොඳින් වැඩ කරගෙන හිටියා. එතැන හිටිය එක් නිලධාරියෙක් ඉන්නෙ මං පදිංචිවෙලා ඉන්න සුල්තානාගොඩ නිවෙස කිට්ටුව. ඒ නිලධාරියා මට ඇවිත් කිව්වා, ‘තාත්තා හොඳට ඉන්නවා. කිසිම කරදරයක් නෑ. බන්ධනාගාරය ඇතුළේ ඉන්න රැඳවියන්ගෙන් හොඳම කෙනා ඔයාගේ තාත්තා. අපිත් එක්ක හරිම හිතවත්. ඒක නිසා කිසිම බයක් වෙන්න දෙයක් නැහැ‘කියායි.
අනතුරුව ඇය පියාණන්ගේ සුවදුක් බැලීමට ඉකුත් දෙසැම්බර් 2 වැනිදාද කඳවුරට ගියාය. ඒ ගමනෙන් දින දෙකකට පසු දිලානිට නාඳුනන අංකයකින් පියාගෙන් ඇමැතුමක් ලැබිණි.
“ ‘පුතේ කට් කරලා මේකට කෝල් එකක් ගන්න‘ කීවා. මං හොඳට ඉන්න නිසා මහත්තුරු මට ආදරෙයි. මට ඕන වෙලාවක කෝල් ගන්න පුළුවන්. මං විස්තර කියන්නම් කීවා. ඒත් එක්කම පුතේ මේක මහත්තයකුගේ නම්බර් එකක් රිලෝඩ් එකක් දාන්න කිව්වා. මං දැම්මා.“
එදින සිට ලලිත් දින දෙක තුනකට වතාවක් දියණිය ඇමැතීය. ඒ අතරේ මංජුල නමැති බන්ධනාගාර නිලධාරියකුගේ දුරකථනයකින්ද ලලිත් දියණිය අමතන්නට විය.
තාත්තා කතා කරනා වාරයක් පාසාම මම ඒ දුරකථනවලට රීලෝඩ් දැම්මා. දවසක් මංජුල මහත්තයා මට කිව්වා, ‘ඔයා මට වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න. මං ඔයාගේ තාත්තට වීඩියෝ කෝල් එකක් අරන් දෙන්නම්. හැබැයි ඒකට මොකක්හරි දෙයක් කරන්න වෙනවා කියා.
දින දෙකකට වතාවක් තම පියාණන් සමඟ කතාබස් කරන දිලානිට, දිනක් මංජුලගෙන් කෙටි පණිවිඩයක් ලැබුණේ දෙසැම්බර් 27 වැනිදා දින පියාණන් බැලීමට එන ලෙස දන්වමිනි. එහෙත් සාමාන්‍යයෙන් මාසයකට රැඳවියන් බැලිය හැක්කෙ එක් වතාවකි.
“දෙවැනිදාත් ගිය නිසා මං ඇහුවා ‘ඇයි සර් මගේ තාත්තට ගැටලුවක්ද‘ නෑ... අපේ ලොකු මහත්තයා එදාට නිවාඩුයි. ඒක නිසා ඔයා එන්න. ගැටලුවක් නෑ. අපි පොතේ ලියන්නෙත් නෑ. හැබැයි ඔයා එනකොට කීයක්හරි සල්ලි හදාගෙන එන්න මේ කරන උදවුවලට. 27 වැනිදා බලන්න ගියාම තාත්තා හොඳ සතුටින් හිටියා. එදා විසිට් එක බලන්න ආවෙත් ඔය මංජුල කියන නිලධාරියා.
තාත්තාත් සමඟ කතා කරන අතරේ පුතේ මෙහේ වැඩ කරදරයි... කැත්තේ උදැල්ලෙ වැඩ තියෙන්නෙ. හැබැයි මංජුල මහත්තයා කිව්වා සල්ලි දෙනව නම් කිසි වැඩක් කරන්න දෙන්නෙ නෑ. නිකම් ඉන්න දෙන්නම් කියා.“
ඇය සිතුවේ එකී නිලධාරියා එම උදවු සඳහා සුළු මුදලක් බලාපොරොත්තු වන බවයි. එහෙත් නිලධාරියාගෙන් විමසු කල පැවැසූවේ රුපියල් පන්දහසක මුදලක් දෙන ලෙසයි. එදින රුපියල් පන්දහසක මුදලක් ඔහුට දී තිබුණේ මව සේවය කරන තේ කර්මාන්ත ශාලාවෙන් රැගෙන එන ලෙස එම නිලධාරියා කී තේ කොළ පැකට් හතරක්ද සමඟින් බව දිලානි කීවාය.
“එදා සල්ලි දුන්නට පස්සෙ මට තාත්තගෙ පොටෝ එකකුත් ගන්න අවස්ථාව දුන්නා. (ඇය සන්තකයේ එම ඡායාරූපය තවම තිබේ) එදත් මට කිව්වා ඔයාගේ තාත්තාට කිසිම කරදරයක් වෙන්නෙ නෑ අදින් පස්සෙ... හැබැයි ඔයා හැම විසිට් එකකටම අපිට මෙහෙම ගෙවන්න ඕන කියලා“
එදින දිලානිට ලලිත් හෙළිකර තිබුණේ මාස තුනකට පෙර නිදහස ලබා ගැනීමට නම් දඩය ලෙස රුපියල් 28000ක මුදල ගෙවිය යුතු බවයි. එහෙත් කඳවුරේ පීඩාවක් නොමැති හෙයින් නිකරුණේ මුදල් නාස්ති නොකොට එම කාලයද ගතකොට නිදහස් වී පැමිණෙන බව ද කියා ඇත.
“ජනවාරි 09 වැනිදා තාත්තා කෝල් එකක් දුන්නා. එදා මංජුල මහත්තයා නිවාඩුයි. වෙන කෙනකුගේ ෆෝන් එකෙන් තාත්තා කතා කළේ. පස්සෙ ඒ මනුස්සයා තාත්තගෙන් ෆෝන් එක ඉල්ලගෙන ‘මං ඔයාට රෑ වෙලා කෝල් එකක් ගන්නම්‘ කීවා.“
එම වදන් පෙළ දිලානිට ප්‍රහේලිකාවක්ම වූවාය. තම පියාණන්ද නොමැතිව මහ රාත්‍රියේ එකී පුද්ගලයා දුරකථන ඇමැතුමක් ගන්නේ මන්දැයි ඇය දසඅතේ කල්පනා කළාය.
“මේ විදිහට ගියොත් පවුල් ජීවිතේ විනාශ වෙයි කියා මට බයක් ඇතිවුණා. මම මංජුල මහත්තයට ඒ මොහොතේම කෝල් එකක් ගත්තා. තාත්තට පණිවිඩයක් කියන්න තියෙනවා කීවම ඔයා මට පණිවිඩය කියන්න කීවා.
‘අනේ සර් තාත්තා අඳුරන්නෙ නැති නම්බර්වලින් කෝල් ගන්නවා. එයාලා මට රෑට කතා කරන්නම් කියනවා. මගේ පවුල් ජීවිතේ අවුල් කරගන්න බෑ. මං ඒ වගේ දේවලට කැමැති නෑ. මේ දේවල් කාටවත් කියන්න බෑ තාත්තට කරදරයක් වෙයි කියලා. සර් දැන් මං මොකද කරන්නෙ ඇහුවා. කතා කළ නම්බර් එක මට දෙන්න. මං ඒ මනුස්සයා විශ්වාස කරලා ඒ නම්බර් එක දුන්නා. පස්සෙ මැසේජ් එකක් දැම්මා, ‘සර් තාත්තට කරදරයක් වෙයි. මේක තාත්තට කියන්න එපා කියලා. අනතුරුව ඇයට ජනවාරි 10 වැනිදා මංජුලගේ දුරකථනයෙන් ඇමැතුමක් ලැබුණේ පියාණන්ගෙනි.
“මොකද පුතේ ගැටලුව ඇහුවා. තාත්තට විස්තරේ කිව්වා. මගේ තාත්තට ගොඩාක් කේන්ති යන කෙනෙක්. එයා එකපාරටම ‘ඕකගෙ....‘ කියා අසැබි වචනයක් කිව්වා. තාත්තා ප්‍රශ්න ඇතිකරගන්න එපා ඇතුළේ. නෑ... නෑ... මං ඕකුන්ට හොඳ වැඩක් කරනවා කියා ෆෝන් එක මංජුල මහත්තයට දුන්නා. ඒ ඇමැතුමටත් ඔය මංජුල කියන කෙනා රුපියල් 1500ක් මේ දැන් දාන්න කිව්වා.“
එසැණින් එම නිලධාරියා විසින් සිය බැංකු පොතෙහි ගිණුම් අංකය සහිත ඡායාරූපයක් වට්ස්ඇප් ඔස්සේ දිලානිට එවා තිබුණාය. එදිනම රාත්‍රී 8.55ට පමණ දිලානිට නාඳුනන අංකයකින් තවත් ඇමැතුමක් ලැබුණාය.
“තාත්තා කතා කළේ. හිමිට කෙඳිරුවා. තාත්තෙ ප්‍රශ්නයක්ද කියල මම ඇහුවා. උත්තර දුන්නෙ නෑ. පස්සෙ කොඳුරමින්, ‘පුතේ ආපහු විසිට් බලන්න එන්න වෙන එකක් නෑ...‘ කියන විටම ලයින් එක කට් වුණා. මං ආයෙත් ගත්තා. තත්පර 33ක් තාත්තා ලයින් එක කනේ තියාගෙන හිටියා. ඒත් කියපු කිසිම දෙයක් ඇහුණේ නෑ.“
තම පියාණන් අවසන් වරට කතා කළ දින එදින බවත් එදා විසන්ධි වූ දුරකථනය තවමත් අක්‍රිය තත්ත්වයේ බව ඇය පවසන්නීය. පසුව දිලානිට 13 වැනිදා සවස 6ට පමණ දුරකථන ඇමැතුමක් ලැබී ඇත්තේ පියාණන් බන්ධනාගාරයෙන් පැන ගොස් ඇති බව කියමිනි. වරින් වර පියාණන් ඇයව ඇමැතූ දුරකථන අංක 5ක් විය. ඇය එකී සියලු අංකවලට ඇමැතුවද කිසිදු ප්‍රතිචාරයක් නොවිණි. 14 වැනිදා පෙරවරුවේ චන්දන නමැති බන්ධනාගාර නියාමකවරයා ඇමැතුවාය.
“චන්දන මහත්තයා ආන්සර් කළා. ‘ඔයාගේ තාත්තා තාම අල්ලගත්තේ නෑ... අපි මේ හොයනවා... එදා තාත්තගේ වැඩ බැලුවේ මම. තාත්තා උදැල්ල කරේ තියා ගත්තා කැලේට පැනලා දිව්වා. මහ ගන කැලේනේ. මිනිස්සු තුවක්කු බඳිනවා. සතුන් ඉන්නවා. අපිට හොයාගෙන ගිහින් මැරෙන්න බෑ. කැලෙන් එළියට එනකල් බලාගෙන ඉන්නවා කියලයි ඔහු මට කිව්වේ.“
එදින පෙරවරුවේම දිලානි, මංජුලට ඇමැතුවත් ඔහු ප්‍රතිචාර නොදැක්වීය. ඇය ‘සර් මම දැන් බන්ධනාගාරයට එනවා‘ යැයි කෙටි පණිවිඩයක් යැවීමත් සමඟ මංජුල, දිලානි ඇමැතීය.
“ඔහු කිව්වා, ඔයා බන්ධනාගාරයට එන්න අවශ්‍ය නෑ. තාත්තා අල්ලා ගත්තා. උදේ හයට විතර ගමේ මනුස්සයෙක්ගේ බයික් එකේ පිටිපස්සෙ නැගලා යනකොට. අනේ සර් මට යන්න හිතුණා. ඒක හින්දා මම ගියා කියමින් ජීප් එකට නැග්ගයි කීවා.“
ඒ මොහොතේ දිලානි මංජුලට බැගෑපත් වී තිබුණේ ‘අනේ සර් මගේ තාත්තට ගහන්න නම් එපා‘ යැයි කියමිනි.
ආසන්න වේලාවන් දෙකකදී නිලධාරින් දෙදෙනෙක් ඇමැතූ විට සිය පියාණන් ගැන ඇයට දැනගන්නට ලැබුණේ පරස්පර කතා දෙකකි. නැවතත් ඇය එදිනම දහවල් 1.38ට ඇමැතුවේ මංජුලටයි.
“ඒ වෙලාවෙ ඔහු කියනවා, ඔයාගේ තාත්තා අපි අල්ලගෙන ආවා. වාඩිවෙලා ඉන්නවා. කන්න දුන්නා. වතුර දුන්නා. හැබැයි ගමේ මිනිස්සු ගහලා තාත්තගේ ඇඟේ තැළීම් තියෙනවා කියා. දැන් කිසි ගැටලුවක් නෑ. මාසයකට ඔයාගේ තාත්තා සෙල් එකට දානවා බලන්න බැහැ කීවා. ඔයා ෆෝන් එකේ තියෙන අපිට සල්ලි දාපුවා, මෙසේජ් කරපු සියලු දේවල් ඩිලිට් කරන්න කීවා. මං ඇහුවා ඇයි සර් ඒ කියලා. ඔයාට තාත්ත හොඳින් ඕන නම් ඔය ටික ඩිලිට් කරන්න කීවා.“
එම දුරකථන ඇමැතුමට පසුව ද නැවත මංජුල නමැත්තා දිලානිට ඇමැතුමක් ගෙන තිබුණාය. දිලානි එම දුරකථන ඇමැතුම පිළිබඳවද හෙළි කළේ,
“ඔයාගේ තාත්තා ‘එක පතේ රෙන එකෙක්‘ කීවා. ඇතුළට කුඩු, ගංජා, සිගරට් එන හැටි ලොකු මහත්තයාට කියලා. මූ අපි ඔයාගෙන් සල්ලි ගත්ත ඒවා පවා කියලා. මූව මැරුවත් මදි කිව්වා.“ ඇය හඬා වැටෙමින් පවසන්නට වූවාය.
ලලිත් චමින්ද මරණයට පත්වී ඇති බව දිලානිලාට මුලින්ම දන්වා ඇත්තේ 14 වැනිදා රාත්‍රියේ කනංකේ පොලිසියෙනි. දිලානි වැඩිදුරටත් පවසන්නට වූයේ,
“එදා 14 වැනිදා 1.38ට මගේ තාත්තා වාඩිවෙලා ඉන්නවා කියපු කෙනාම තමයි 12.55ට මගේ තාත්තගේ බොඩි එක බන්ධනාගාරෙන් රෝහලට ගෙනිහිල්ලා බාර දීලා තියෙන්නෙ. මට රෝහලේ දොස්තර මහත්තයා කීවේ තාත්තාව මැරිලමයි ගෙනාවේ කියලා. මං 16 වැනිදා බන්ධනාගාරයට ගියා. බන්ධනාගාරයේ උසස් නිලධාරියා කීවේ, මගේ තාත්තා මේ දේ විහින් කරගත්තා කියලා. මං ඇහුවා කොහොමද සර් පැනලා ගියේ කියලා.
මම තමයි කිව්වෙ දවල්ට කන්න කොච්චි ටිකක් කඩාගෙන එන්න. අන්න එතකොටයි ‘අකුරැස්ස‘ පැනලා යනවා කියලා සිරකාරයෝ කෑගැහුවේ.“ කියලයි ඔහු කිව්වෙ
ඇය පවසන්නේ නිලධාරීන් තිදෙනාගේ කතාවලින් ගම්‍ය වන්නේ එකිනෙකට පරස්පර කතා බවයි. දිලානි අවසන් වශයෙන් කියන්නට වූයේ,
“ඇත්තටම කීවොත් මගේ තාත්තා පැනලා ගියේ නෑ. මට රෑට කතා කරන්නම් කියපු කතාව සමඟ තාත්තා එතැන ගැටුමක් ඇති කරගන්න ඇති. තාත්තගෙන් ඒ දේවල් එළියට යනවා කියා දන්න නිසා මගේ තාත්තාට ගහලා බල්ලෙක් වගේ මරලා දැම්මා ඔය නිලධාරින් එකතු වෙලා. සිය පියාට සිදුවූයේ කුමක්ද යන්න ගැන සාධාරණ පරීක්ෂණයක් සිදුකොට සත්‍ය හෙළි කරන ලෙස ඇය සැමගෙන් ඉල්ලා සිටියාය.
ලලිත්ගේ මරණය පිළිබඳව පරීක්ෂණ අනුව කදුරුගස්ආර වැඩ කඳවුර බාර ජේලර්වරයා වන නලින්, දිලානි සමඟ මුදල් ගනුදෙනු කළ සාජන් මංජුල ප්‍රසන්න සහ නියාමක චන්දනගේ වැඩ තහනම් කර ඇත.