ලාංකේය වමේ ව්‍යාපාරයේ ජාත්‍යන්තරවාදියා ඩිව් ගුණසේකර | Page 3 | සිළුමිණ

ලාංකේය වමේ ව්‍යාපාරයේ ජාත්‍යන්තරවාදියා ඩිව් ගුණසේකර

මෙරට පුරෝගාමී වාමාංශික ව්‍යාපාරය හා සම්බන්ධ පරිණත දේශපාලඥයකු මෙන්ම සමාජ, දේශපාලන සහ ආර්ථිකය පිළිබඳ සෑම ක්ෂේත්‍රයකම තුලනාත්මක විචාරකයකු ලෙස ඩිව් ගුණසේකර නාමය මුල් පෙළේ කියැවේ. දොන් එඩ්වින් වීරසිංහ ගුණසේකර හෙවත් රටම දන්නා හිටපු ඇමති ඩිව් ගුණසේකර අප සිළුමිණ පිළිසඳරකට එක්කර ගත්තේ ඔහුගේ වෘත්තිමය, දේශපාලන සහ ජීවිතයේ මතක රැසක් අවදි කරමිනි.

“මම මාතර රාහුල විද්‍යාලයේ පස්වැනි පන්තියේ ඉන්නකොට පාසල් දෙවරුව කිරීමට එරෙහි ගුරු- ශිෂ්‍ය, දෙමාපිය විරෝධතා රැස්වීමක් මාතර බ්‍රොඩ්වේ ශාලාවේ පැවැත්වුණා. එදා එහි ප්‍රධාන අමුත්තා වුණේ දොස්තර එස්. ඒ වික්‍රමසිංහයන්. මමත් ඒකට ගියා. ඒක තමයි මම ප්‍රසිද්ධ රැස්වීකට සහභාගි වූ පළමු අවස්ථාව. ඒ කාලේ පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයා ඒ රැස්වීමට ගිය රාහුලේ ශිෂ්‍යයන්ගේ නම් ලැයිස්තුව විදුහල්පතිතුමාට දීලා තිබුණා. එදා ඔහු මා ළඟට ඇවිත් කිව්වා මොකක්ද නම? පුංචිකමට රැස්වීමටත් ආව නේද? පුංචි නිසා අතාරිනවා කියලා. පහුවදා උදේ රැස්වීමේදී රැස්වීමට ගිය ළමයින්ගේ නම් ලැයිස්තුව කියවලා ඔවුන්ව විදුහලෙන් අස්කළා. බේරුණේ මමයි වෙහෙරගොඩ කියලා ප්‍රාථමික අංශයේ තව ළමයෙකුයි විතරයි. අපිවත් අස්කළා නම් ගෙදරට මුහුණ දෙන්නේ කොහොමද කියලා අපි මර බයෙන් හිටියේ. රැස්වීම ඉවර වෙලා මම පන්තියට ආව ගමන් අපේ පන්තිභාර ගුරුතුමා කේ.එෆ්. ඩී. විජේසේන “මෙන්න පුංචි කොමියුනිස්ට්කාරයෙක්. මෙයත් ගිහින් ඊයේ රැස්වීමට” කියලා කිව්වා. කොමියුනිස්ට් කියන වචනේ මට මුලින්ම ඇහුණේ එදා. මගේ නමේ ඩී.ඊ.ඩබ්ලිව් කියන මුල් අකුරු තුන එකතු කරලා ඩිව් කියලා මට කතාකරන්න පටන් ගත්තෙත් ඒ ගුරුතුමා. “

එදා ඒ පුංචි කොමියුනිට්ස්කාරයා රටේ නමගිය කොමියුනිස්ට්කාරයකු වෙතැයි කිසිවකු නොසිතන්නට ඇත. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු නිදහස සඳහා අරගලයට පණ පොවමින් සිටි කාලයේ ඩිව් නැවතී සිටියේ උයන්වත්ත පිට්ටනිය පිහිටි ඥාතියකුගේ නිවෙසේය. ඒ අවට එකල නිතර නිතර කොමියුනිස්ට් පක්ෂ රැස්වීම් පැවැත්වුණු අතර ඒවායේ දී ඇසුණු පීටර් කෙනමන්ගේ ඉංග්‍රීසි කතා කට පාඩම් කරගත් ගුණසේකර සිසුවා පාසලේ පැවැති දේශපාලන විවාදවලට සහභාගි වූයේ මහත් අභිරුචියෙනි. වරක් පාසලේ පැවති තෑගි බෙදාදීමේ උත්සවයකට සහභාගි වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායකයන් පිළිගැනීම විදුහල්පතිවරයා විසින් පවරනු ලැබුවේ ශිෂ්‍ය නායකයකුව සිටි ඩිව් විසිනි. අගමැතිවරයාට සංග්‍රහ කිරීමට, ඔහු සමඟ කතාකිරීම ඇතුළු සත්කාර කිරීමට ලැබීම යොවුන් ඩිව්ගේ හදවත තුළ දේශපාලනය පිළිබඳ ආශාව තවත් වැඩි කරන්නට ඇත. කඳවල පිහිටි සර් ජෝන් කොතලාවලගේ වලව්ව අසලින් ක්‍රීඩා කිරීමට යන ඩිව් ඇතුළු කොලුගැටවුන් අමතා “කොල්ලනේ ඕන දෙයක් වලව්වෙන් ඉල්ලගෙන කාලා බීලා පලයල්ලා” යැයි ජෝන් කොතලාවලයන් පැවසූ අයුරු ඩිව් සිහි කරන්නේ එබඳු දැවැන්ත දේශපාලන පෞරුෂයන් තුළ වූ සරල, සොඳුරු මනුස්සකම සිහියට නඟමිනි.

“මගේ දේශපාලන ජීවිතය තුළ ඩඩ්ලි සේනානායක සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා සියලුම රාජ්‍ය නායකයන් සමඟ සබඳතා පැවැත්වුවා. මම හිතන්නේ නැහැ එවැනි අවස්ථාවක් ලද වෙනත් කිසිවකු අද දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්නවා කියලා.”

ඩිව් ගුණසේකරයන් පැවසුවේ දශක කිහිපයක් පුරා දිවෙන විශාල කතාන්දරයක් චවන කිහිපයකට ලඝු කොටය. එදා මෙදාතුර දේශපාලන සංස්කෘතියේ වෙනස ඔහු පසක් කරන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කිරීමෙන් ලත් අත්දැකීම්වලිනි.

විමර්ශන නිලධාරියෙක් විදිහට අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයාගේ බදු වාර්තාව විමර්ශනය කළේ මම. ඔහු විසින් ගෙවීමට තිබූ හිඟ මුදල් ගැන දන්වා කොමසාරිස් යැවූ ලිපියට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා පෞද්ගලිකව කොමසාරිස් හමුවීමට පැමිණියා. ඒ විතරක් නෙවෙයි රුපියල් දාහේ චෙක් එකක් දීලා මාස්පතා ගෙවන්න කල් ඉල්ලුවා. මම දන්න තරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අගමැතිවරයකු පැමිණ හිඟ මුදල් ගෙවන්න කල් ඉල්ලූ පළමු සහ අවසන් අවස්ථාව එයම විය යුතුයි. ඒ වගේම ඒ කාලේ මම එක්තරා අමැතිවරයකුගේ ආදායම් බදු ඇල්ලුවා. පහුවදා උදේම ඩඩ්ලි සේනානායක මහත්තයා ටෙලිෆෝන් කරලා කිව්වා ඕන දෙයක් කරන්න, මම ඇඟිලි ගහන්නෙ නැහැ කියලා. එදා තිබුණේ එවැනි දේශපාලන සංස්කෘතියක් සහ ස්වාධීන රාජ්‍ය සේවයක්.

මහා වැඩ වර්ජන දෙකකට මම සහභාගි වෙලා තියෙනවා. නිදහස් ලංකාවේ පළමු වැඩ වර්ජනය වූ 1958 වැඩ වර්ජනයට මම සහභාගි වුණේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවකයෙක් විදිහට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ ලේකම් විදිහට. දවස් 21ක් වර්ජනය තිබුණත් ඉල්ලීම් ලැබුණේ නැහැ. 1980 මහා වැඩවර්ජනයට මම සහභාගි වුණේ පක්ෂයේ වෘත්තීය සමිති නායකයෙක් විදිහටයි.”

ඩිව් ගුණසේකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට සමුදෙන්නේ පීටර් කෙනමන් 1977 සමගි පෙරමුණු ආණ්ඩුවේ නිවාස ඇමති බවට පත්වීමත් සමඟය.

“ඔහු මට ඔහුගේ පෞද්ගලික ලේකම් තනතුර බාරගන්න කිව්වා. ඒ කාලේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් ලංකාවට හිටියේ 6දෙනයි. ඒ නිසා කොමසාරිස් තුමා මාව මුදා හරින්න කැමති වුණේ නැහැ. පසුව බණ්ඩාරනායක මැතිනිය මැදිහත් වෙලා මාව මුදාහරින්න කිව්වා. ඒ කාලේ ඇමති පෞද්ගලික ලේකම් තනතුර හරි බලසම්පන්නයි. ඇමති මණ්ඩලයේ හිටියේ 23යි. බණ්ඩාරනායක මැතිනිය මාසයකට සැරයක් ඇමතිවරු 23 දෙනාගෙම පෞද්ගලික ලේකම්වරුන්ට පෞද්ගලිකව කතාකරනවා. අපිට විරුද්ධව පැමිණිලි තියෙනවා නම් ෆයිල් අරගෙන ඇවිත් ඒ ගැන කතා කරනවා.

බණ්ඩාරනායක මැතිනිය ඉතා හොඳ මවක්. මේ සිදුවීම වුණේ එතුමිය විපක්ෂ නායක විදිහට කටයුතු කරන කාලේ. මැතිනිය පාර්ලිමේන්තුවේ ඇයගේ කාමරේ සිට රූපවාහිනියෙන් විවාදය නරඹමින් සිටි අවස්ථාවක අනුර බණ්ඩාරනායක සහ අගමැති ප්‍රේමදාස අතර සැර කතාවක් ඇතිවුණා. ඒක බලාගෙන සිටි මැතිනිය වහාම වේත්‍රධාරියාට කියලා අනුරව කාමරේට ගෙන්න ගත්තා. අනුර කාමරේට ඇතුළු වෙද්දිම මැතිනිය අනුරට කම්මුල් පාරක් ගැහුවා රටේ අගමැතිවරයාට කතාකරන්නේ මෙහෙමද කියලා. තව දවසක් මමත් සභාවේ ඉන්න වෙලාවක ප්‍රේමදාසයි අනුරයි පැටලුණා.ප්‍රේමදාස අනුරට නොසෑහෙන්න ගැහුවා. ඒ වෙලාවේ මටත් තරහා ගියා. මම අනුරට කිව්වා “තමුසේ නිකම් ඉන්නේ කොහොමද මට කිව්ව නම් මම නම් ගහනවා” කියලා. නමුත් එදා අම්මගෙන් කෑව කම්මුල් පාර නිසා වෙන්නැති අනුර හිනාවෙලා නිකම් හිටියා. ” ඩිව් ගුණසේකරයන් පවසන්නේ සිනා මුවිනි. 1977 පාර්ලිමේන්තු මැතිවරණයට තංගල්ල ආසනයෙන් තරග කළද ඉන් පරාජයට පත්වූ ඔහු 1986දී පාර්ලිමේන්තුවට පත්වන්නේ කලවාන ආසනයෙන් පාර්ලිමේන්තුවට පත්වී සිටි සරත් මුත්තේට්ටුවේගම ගේ හදිසි අභාවයෙන් පසුවය.

“සංඛ්‍යාත්මකව ඉතිහාසයේ දුර්වලම විපක්ෂය තිබුණේ ඒ කාලේ. විපක්ෂයේ මන්ත්‍රීවරු 9දෙනයි. ඉතිරි මන්ත්‍රීවරු 216ම ආණ්ඩු පක්ෂයේ. අනුර, දිනේෂ්, මම පක්ෂ නායකයෝ විදිහට කටයුතු කළා. යාපනයට පරිප්පු දාපු සිද්ධිය වෙන්න කලින් දවසේ රෑ 11ට විතර ජනාධිපති ජේ. ආර් මට ටෙලිෆෝන් කරලා කිව්වා රජ ගෙදරට එන්න කියලා.

කාරණය ටෙලිෆෝන් එකෙන් කියන්න බැරි තරම් රහසිගත දෙයක් කියලා රටේ ජනාධිපතිවරයා කියද්දි මම ටිකක් සෙලවිලා ගියා. මම ඒ වෙලාවෙ අපේ පක්ෂ නායක පීටර් කෙනමන් සහෝදරයාගෙන් ඇහුවා යන්නද එපාද කියලා. ඔහු කිව්වා යන්න කියලා. මම යනකොට රජගෙදර සේවකයෝ කවුරුත්ම නැහැ. ලලිත් ඇතුලත්මුදලි මාව ඇතුළට එක්කගෙන ගියා. ජනාධිපති ජේ.ආර් එක්ක අගමැති ප්‍රේමදාස, විදේශ ඇමති හමීඩ්, ගාමිණි දිසානායක,අනුර බණ්ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන සහ ජේ.ආර්ගේ සහෝදරයා රාජ නීතිඥ එස්.ඩබ්ලිව් ජයවර්ධන හිටියා. සේවකයෝ නැති නිසා ඔහු තමයි අපිට කෝපි හදලා දුන්නේ. ඒ වෙද්දි ජේ. ආර් යාපනේට කෑම යවන එක නවත්වන්න තීරණය කරලා තිබුණේ. ජනාධිපති ජේ. ආර් මට රජිව් ගාන්ධි එවපු ලියුමක් දුන්නා. ඒ ලියුමේ තිබුණේ “ඔබතුමා ඔබේ පුරවැසියන්ට කෑම දෙන එක නවත්තලා තමිල්නාඩුවේ මිනිස්සු මට විරුද්ධව පෙළපාළි යනවා. ඒක මට ප්‍රශ්නයක්. ඔබතුමා ඒ මිනිස්සුන්ට කන්න දෙන්න. නැත්තම් මට ඇවිල්ලා කන්න දෙන්න සිද්ධවෙනවා.” අපි මේකට විසඳුමක් සාකච්ඡා කරමු කියලා ජනාධිපති ජේ. ආර් කිව්වා. ඒ වෙලාවේ මම විසඳුම ඉදිරිපත් කරමින් කිව්වා ආණ්ඩු දෙකේම ගෞරවය ආරක්ෂා කරගන්න ආණ්ඩු දෙකම මේකට මැදිහත්නොවී ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හෝ ලංකාවේ රතු කුරුසෙ මාර්ගයෙන් යාපනයට කෑම බෙදමු කියලා.

ඒකට ජනාධිපති ජේ. ආර් කැමති වුණාට අගමැති ප්‍රේමදාස කැමති වුණේ නැහැ. ඔහු ඊට විරුද්ධව කෑගැහුවා. අපි එදා රෑ 12 සිට පහුවදා උදේ 3 වෙනකම් සාකච්ඡා කළා. ජේ. ආර්. කථානායක ඊ. එල්. සේනානායකට ටෙලිෆෝන් කරලා කිව්වා හෙට හවස 2ට පාර්ලිමේන්තුව කැඳවන්න, වෙන කිසිම දෙයක් න්‍යාය පත්‍රයට දාන්න එපා. අගමැතිතුමා කතාවක් කරනවා කියලා. පසුව අගමැතිගේ කතාවත් යෝජනාත් සකස් කරලා දුන්නා. රජිව් ගාන්ධිගේ ලිපියට පිළිතුරු ලිපිය කෙටුම්පත් කිරීම ලලිත්ට සහ හමීඩ්ට බාර දුන්නා. පහුවදා හවස පාර්ලිමේන්තු රැස්වීම පටන් ගත්තා විතරයි ජනාධිපතිතුමා හදලා දුන්න ලියවිල්ල නැතිව අගමැති ප්‍රේමදාස තමන්ගේ කතාවෙන් පැයක් තිස්සේ ඉන්දියාවටයි රජිව් ගාන්ධිටයි ගැහුවා. ඇමතිවරු සේරම ගල්ගැහිලා බලාගෙන හිටියා. ගැලරියේ ඉඳගෙන අගමැතිගේ කතාව අහගෙන හිටපු ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරින් අපි ගෙදර යන්නත් කලින් ටෙලිෆෝන් කරලා එහෙට විස්තරේ දන්වලා. සවස 6 වෙද්දි ප්ලේන් පිට ප්ලේන් ඇවිත් යාපනේට කෑම දාන්න පටන් ගත්තා.

තම මතය නිර්භයව එඩිතරව ප්‍රකාශ කිරීමට කිසිවිටෙක මැළි නොවූ දේශපාලඥයකු වූ ඩිව් ගුණසේකර ඒ වෙනුවෙන් එදත් අදත් අභීතව පෙනී සිටී. මේ වන විට 87 වැනි විය ගෙවමින් සිටින ඔහු ගේ ජීවිතය එවැනි සිදුවීම්වලින් පිරී පවතී. “1978 අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනාව වෙලාවේ අපි පාරට බැහැලා ලොකු විරෝධතාවක් කළා. පළවැනි වතාවට වමේ පක්ෂවල සියලුම නායකයන් මහපාරේ වාඩි වෙලා විරෝධතා පැවැත්වුවා. රටේ ජාතිවාදය ඇවිස්සුණේ යුද්ධය නිසා උතුරේ මැරුණු සොල්දාදුවෝ 13 දෙනාගේ මෘතදේහ ඔවුන්ගේ නිවෙස්වලට බාර දෙන්නෙ නැතිව කොළඹ ගෙනාව නිසයි. හදිසි නීතිය, ඇඳිරි නීතිය දැම්මත් ජනතා කැලඹීම නවත්වන්න බැරි වුණා. ඒ පළවැනි රාත්‍රියේ දෙමළ මිනිස්සු 497ක් මැරුණා. මට ඒක හොඳටම මතක ඒ සම්බන්ධයෙන් පත් කළ කොමිසමේදී අග්‍රවිනිශ්චයකාරතුමා ඉදිරියේ සාක්ෂි දුන් පළවැනියා මම නිසයි. සාක්ෂි දෙන්න කවුරුවත් ඉදිරිපත් නොවුණු වෙලාවේ ජනාධිපතිනි චන්ද්‍රිකා මට කිව්වා “ඔයා ගිහින් පටන් ගන්න, එතකොට අනිත් අය එයි”කියලා. 83 කළු ජූලියේදි කොමියුනිස්ට් පක්ෂය, නව සම සමාජ පක්ෂය හදිසි නීතිය යටතේ තහනම් කළා. එතකොට මම පක්ෂයේ භාණ්ඩාගාරික. පක්ෂයේ ලේකම්, වෘත්තීය සමිති නායකයා අත්අඩංගුවට ගත්තට පස්සෙ මගේ ටර්න් එකත් එයි කියලා බලාපොරොත්තු වුණා.

ඒ හිතුව විදිහටම මාව රහස් පොලිසියේ පස්වැනි තට්ටුවට අරගෙන ගිහින් ප්‍රශ්න කිරීම් පටන්ගත්තා. මම කිව්වා ජනාධිපති ජේ.ආර්ගේ දේශපාලන තීරණ නිසයි මෙහෙම වුණේ කියලා. නැවත නැවතත් මගෙන් ප්‍රශ්න කළත් මම දුන්නේ ඒ පිළිතුරමයි. පොලිස් පරීක්ෂකවරයා මගේ පිළිතුර ලියන්නේ නැතිව මට නිදාගන්න කියලා යන්න ගියා. එදා මම නිදාගත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මම වැඩකළ කාමරේ මේසය මතයි. ඒකත් හරි අහඹු සිදුවීමක්. පහුවදා උදේ ඇවිත් ප්‍රශ්න කළත් මම දුන්නේ ඒ පිළිතුරමයි. එක දිගට දින 10ක් ප්‍රශ්න කළාට පස්සේ මා ඇතුළු 9 දෙනෙක් මීගමුවේ බන්ධනාගාරයට යැව්වා. මාස 3ක් අපිව රඳවගෙන ඉඳලා කිසිම චෝදනාවක් නැතිව නිදහස් කළා.”

අයුක්තිය, අසාධාරණය දුටු තැන කිපෙන, ඒ වෙනුවෙන් ඍජු තීරණ ගැනීමට ඩිව් ගුණසේකර කිසිවිටෙක මැළි වූයේ නැත. ඔහු ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ යුද්ධය තදින් ඇවිළෙමින් තිබූ කාලවකවානුවේය.

හමුදාව විසින් යාපනය ත්‍රස්තයන්ගෙන් මුදා ගැනීම වෙනුවෙන් පැවති උත්සවය ආවරණය කරන කණ්ඩායම භාරව රූපවාහිනි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යාපනයට පිටත්කර යැවීමට සිටි සහකාර අධ්‍යක්ෂවරයා වෙනුවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ දේශපාලන බල ප්‍රදේශයේ වෙනත් සහකාර අධ්‍යක්ෂවරයෙක් යෑමට සූදානම් බව දැනගත් මොහොතේ ඩිව් ක්ෂණිකව දැඩි තීන්දුවක් ගත්තේය. ඒ ඇමති රත්වත්තගේ හිතවත් නිලධාරියා සංස්ථාවට ගෙන්වාගෙන කලින් යෑමට නියමිතව සිටි නිලධාරියා යාපනයට පිටත්කර හැරීමයි.

“පහුවදා උදේම ජනාධිපති මන්දිරයෙන් මටයි අධ්‍යක්ෂ ජනරාල්වරයාටයි හදිසි කැඳවීමක්. අපි යද්දිත් ජනමාධ්‍ය ඇමති ධර්මසිරි සේනානායක, නියෝජ්‍ය ඇමති අලෙවි මවුලානා සහ ජනමාධ්‍ය ලේකම් ඇවිත්. ජනාධිපතිනිය චන්ද්‍රිකා ආවේ රත්වන්තේ ඇමතිතුමා එක්කමයි. ආපු ගමන් එතුමි

ය රැස්වීම පටන් ගත්තා. ජනාධිපතිනිය විනිසුරුවරිය.පැමිණිලිකරු රත්වත්තෙ ඇමතිතුමා. මම සහ අධ්‍යක්ෂ ජනරාල් විත්තිකාරයෝ. රත්වත්තේ ඇමතිතුමා කිව්වා මම ඔහුට අගෞරවයක් කළා කියලා. ජනාධිතිතුමිය මගෙන් කරුණු විමසුවා. මම එතුමිය

ට කිව්වේ මෙච්චරයි,“ජනාධිපතිතුමියනි, මට ඇමති මණ්ඩලේ 23 දෙනාගේම නියෝග ක්‍රියාත්මක කරන්න බැහැ. ඒක ප්‍රායෝගික නැහැ. මම පිළිපදින්නේ ඔබතුමියගේ සහ මගේ ඇමතිවරයාගේ නියෝග විතරයි. මම මේ තනතුර බාරගත්තේ ඔබතුමියගේ විශේෂ ඉල්ලීම නිසයි. රූපවාහිනියට එනකොට මට පෙෂර් තිබුණේ නැහැ. මට දැන් ඒකත් හැදිලා කියලා මම සාක්කුවේ තිබුණ බෙහෙත් ටික මේසේ උඩට දැම්මා.

මේ පැහැදිලි කිරීම පිළිගන්න බැරිනම් මම සභාපතිකමෙන් ඉල්ලා අස්වෙනවා. මගේ ඒ ප්‍රකාශයෙන් පස්සේ පරීක්ෂණයත් එතැනින්ම අවසන් වුණා. රැස්වීමෙන් පස්සේ මම අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කළා. ඒ වගේම අයි.ටී.එන් එකත් පුද්ගලීකරණය කරන්න ලැයිස්තුගත කරලා තිබුණේ. සභාපති විදිහට මම කිව්වා අවුරුද්දක් කල් දෙන්න, මම ලාභ ලබන ආයතනයක් කරන්නම් කියලා. අවුරුද්දකින් මම ඒක කළ නිසා අදත් අයි.ටී.එන් එක තියෙනවා. මම දේශපාලනය ගේට්ටුවෙන් එළියේ තියලයි සභාපතිකම් කළේ. කිසිම සේවකයකුට අසාධාරණයක් වෙන්න ඉඩ දුන්නේ නැහැ.”

ඩිව් ගුණසේකරයන් කියන්නේ තමාගේ තිර ප්‍රතිපත්තිවල අභිමානය ආවර්ජනය කරමිනි. 1972දී කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත්වන ඔහු පසුව දේශපාලන මණ්ඩලයටත් එතැන් සිට පක්ෂයේ පළමු ජාත්‍යන්තර ලේකම්,උප සභාපති, සභාපති තනතුරු ද දැරීය. 2004 සිට 2020 දක්වා ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කළේය. කියුබානු නායක පිදෙල් කස්ත්‍රෝ, සෝවියට් දේශයේ ජනාධිපති යුරි අන්දර්පෝච්, යුගෝස්ලාවියානු කොමියුනිස්ට් පක්ෂයේ නායක මාර්ෂල් ජෝෂප් ටිටෝ, හංගේරියානු සමාජවාදී කම්කරු පක්ෂයේ ජානෝස් කාඩර්, මාක්ස්වාදී රාජ්‍ය‍ෙය් ජනාධිපති හේලේ මාරියාම් ඇතුළු ආසියාවේ, යුරෝපයේ සහ ලතින් ඇමෙරිකාවේ කොමියුනිස්ට් පක්ෂ නායකයන්සහ රාජ්‍ය නායකයන් රැසක් හමුවීමේ විරල භාග්‍යය ද ඩිව් ගුණසේකරයන්ට හිමි වී ඇත.

ඩිව් ගුණසේකරයන් අමාත්‍යවරයකු ලෙස පාර්ලිමේන්තුවේ අවසන් භූමිකාව රඟ දක්වන්නේ කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙසටය.

“මහබැංකු සොරකම ඇල්ලුවේ මම. පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවටයි එවැනි විමර්ශනයක් කරලා වාර්තාව පාර්ලිමේන්තුවට දුන්නේ. එහි අන්තර් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිත දිනයට පෙර දින රෑ 7ට විතර මට පණිවිඩයක් ලැබුණා එදා රෑ පාර්ලිමේන්තුව විසිරුවනවා කියලා.

මම කථානායකතුමාගෙන් ඒ ගැන ඇහුවට එතුමත් ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. පහුවදාට එළිවෙද්දි ආණ්ඩුව පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තිබුණා විතරක් නෙවෙයි ඒ වාර්තාවේ කිසිම දෙයක් ප්‍රසිද්ධ කරන්න බැහැ කියලා කොළඹ දිසා අධිකරණයේ මට විරුද්ධව තහනම් නියෝගයකුත් අරගෙන තිබුණා.

දවස් දෙකුතුනක් මම ඒ ගැන නිහඬව හිටියා. අන්තිමට විත්තිකාරයා වුණේ මමයි. ඇයි මම නිහඬව ඉන්නේ කියලා බොහෝ දෙනක් ප්‍රශ්න කළා. අවසානයේ මම පදනම් ආයතනයේ මාධ්‍ය හමුවක් කැඳවලා වාර්තාවේ තිබුණ සේරම රටට හෙළි කළා.”

Comments