ආදිල් ‘ඔබ ගියේ රටට හොඳ මිනිස්සු ඕනෑ කරන වෙලා­ව­ක...’ | Page 4 | සිළුමිණ

ආදිල් ‘ඔබ ගියේ රටට හොඳ මිනිස්සු ඕනෑ කරන වෙලා­ව­ක...’

 

අපි අතර නැති මිනිස්සු, හොද මිනිස්සු විදියට ජීවත් වුණාද කියල ප්‍රත්‍යක්ෂ කරගන්න මම පාවිච්චි කරන සරලම ක්‍රමවේදය තමා, මේ මොහොතේ ඒ මිනිස්සු හිටියා නම් මොනවා කරාවිද කියන ප්‍රශ්නය අපිට කල්පනාවට එනවද කියල විමසලා බලන එක. සාමාන්‍ය කාලෙකට වඩා බොහොමයක්ම වෙනස් කාලයක් වෙච්ච මේ කොරෝනා කාලය, ආර්ථික, සාමාජයීය, දේශපාලනික, සංස්කෘතික වගේම මානසික වශයෙනුත් කාට කාටත් හරිම අමාරු කාලයක්. අන් කවරදාකටවත් වඩා ප්‍රශ්න වලට උත්තර හොයන මිනිස්සුන්ට වටිනාකමක් ලැබෙන කාලයක්. ඒ නිසා මට නිතර නිතර ආදිල්ව මතක් වෙනවා. ආදිල් හිටියනම් මොනවගේ මැදිහත්වීමක් කරයිද කියලා සිහියට එනවා. හොඳ මිනිස්සු ඕනෑ කරන කාලයක් මේක, ආදිල් මල්ලී.

මීට අවුරුදු කීපයකට කලින් මගේ පළවෙනි පොත එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන කතාව පැවැත්වුවේ ආදිල්ගේ තාත්තා, ඉමිතියාස් බාකීර් මාකර් මහත්තයා. ඒ කතාවේ පදනම වුණේ ආදිල් මියගිහින් අවුරුද්දකට පස්සේ; ආදිල් බාකිර් මාකර් පදනම පිහිටුවපු දවස මෙනෙහි කරලා මම ලියපු ලියමන. ආදිල් තමුන්ගේ රාජකාරිය තමුන්ට හැකි උපරිමෙන්ම කරලා ගිහින් තියෙන විත්තිය, ආදිල් ගැන දැන් ඉන්න අය කියන කරන දේවල් වලින් පේනවා. ආදිල් එළිපෙහෙළි කරපු පාර දිගේ තවත් බොහොමයක් නිදහස් නමුත් ශ්‍රී ලාංකිකත්වයට ආදරේ තරුණ තරුණියන් විශාල පිරිසක් ඇවිදන් එන විත්තියත් අපිට පේනවා. ඒ නිසා ආදිල් අපිව අතහැර ගිහින් අවුරුදු පහකට පස්සෙත් අපේ පරණ මතකයන්ම අවුස්සාලීමට වඩා යමක් ලිවිය යුතුයි කියල මම හිතුවා. ආදිල්, තරුණයෝ විදියට දේශපාලනිකව අපි ඉන්නේ හතරමං හන්දියක. ඔව් මට මතකයි අපි ඒ දවස්වල හිතුවා ඒ තමා තීරණාත්මකම කාලය කියලා. නමුත් දැන් තේරෙනවා මේ මොහොත අපි කවුරුවත් නොහිතපු නොපතපු අලුත්ම තත්වයක් කියලා. කොරෝනා කියන්නේ ලෙඩක් විතරක් නෙමෙයි. දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ මුල් වතාවට ඊටත් වඩා සාහසික විදියට මනුෂ්‍ය වර්ගයාම බැටකන උභතෝකෝටික සිද්ධි දාමයක්. මුලින්ම අපි හිතුවේ මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් කියලා. නමුත් අද ගෝලීය ආර්ථිකය, සංස්කෘතික සබඳතා, රාජ්‍යතාන්ත්‍රික කටයුතු, දේශපාලන තීන්දු තීරණ වගේම රටේ නීතිය පවා කොරෝනා විසින් අරක් අරගෙන තියෙනවා. අද රටවල් වල ජනාධිපතිවරු මාරු වෙන්නේ කොරෝනා තත්වය ගැන මිනිස්සුන්ගේ තියෙන ආකල්පයත් එක්ක. ඉතින් හිතන්න ඒ සියලුම අර්බුද වලට විසඳුම හොයන්න වඩාත් දැවැන්තම කැපකිරීමක් කරන්නේ අපේ පරම්පරාව. දොස්තරලගේ සිට නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යන හමුදා සෙබළු දක්වා බහුතරයක් ඉදිරිපෙළ ඉන්නේ අපේ පරම්පරාව. දේශපාලනිකව මේක තරුණයන්ගේ මැදිහත්වීම අයිතිහාසිකව ඉල්ලාසිටින අවස්ථාවක්.

මගේ හැම විචිත්‍රවත් මතකයකම, ආදිල් එක්ක මම ගොඩාක් සංවාද කරපුවා වචනයක් නෑර මගේ දේශපාලනික ඔළුවේ සද්ද කරනවා. අද මේ රටේ තරුණයන් අතර දේශපාලන සංවාදයක් ඇත්තෙම නැති තරම්. සමාජ මාධ්‍යවල වයිරය සහ තරහ පිරිලා. WhatsApp පිරෙන්න බොරු ප්‍රවෘත්ති. ඔළුවක් තියෙන කවුරුවත් හොයල බලන්නේ නෑ ඇත්ත මොකක්ද කියලා. ෆේස්බුක් එකේ දෙවි පිහිටයි කියල දැම්මත් කුණුහරුපෙන් තමා පල්ලෙහා කමෙන්ට් දාන්නේ. වෙලාවකට හිතෙනවා ආදිල් කොහොමද මේ සමාජය මේ තරම් බොල් වුනේ කියලා. ඔයා මට පසක් කරලා දුන්න වැදගත්ම කාරණයක් තමා අපේ පාට කණ්ණාඩි දාගෙනම වුණත් දේශපාලනිකව සංවාදයක් කරන්නේ කොහොමද කියන එක. අනෙකාව ඉවසන්නේ කොහොමද කියන එක. අපි එකග නොවන මතයකට පවා ගරු කරන්නේ කොහොමද කියන එක. බුද්ධිමත් සංවාදයක මුලිකම ලක්ෂණයක් තමා එකග නොවන දේවල් අස්සේ එකග විය හැකි පුංචි පුංචි දේවල් හොයාගෙන ඒවා බලගන්වන්න එකාත්මික වෙන එක. ඔයා ඒකට රුසියා.

මම සිංහල බෞද්ධ පරිසරයක ලොකු මහත් වෙච්ච මධ්‍යම පාන්තික ගැමි දරුවෙක්. කුරුණෑගල ඉස්කෝලේ යනකන් මට දෙමළ හෝ මුස්ලිම් යාළුවෙක් හමුවෙලා තිබ්බේ නෑ. ජාතින් අතර අනවබෝධය සහ සැකය වර්ධනය වෙන්නේ කොහොමද කියලා පොඩිකාලේ ඉදන් මම අත්වින්දා. අවුරුදු 30ක යුද්ධයෙන් පස්සේ රට බාරගත්ත පරම්පරාව තමා අපි. ඒ නිසා ශ්‍රී ලංකාවේ දිශානතිය වෙනස්කරන්න අපිට ලොකු කාර්යභාරයක් පැවරිලා තියෙනවා. ඔයා ගියාට පස්සේ තමා අපි ජීවත්වෙන ඉතිහාසයේ නරකම අන්තවාදී කලබලයක් ඇතිවුණේ. දර්ගා නගරයේ ඉදන් ඇවිළී ගිය ගින්න අන්තිමට පාස්කු ඉරිදා මුළු කොළඹම වෙළා ගත්තා. මේ සිද්ධි දාමය හරහා අන් කවරදාකවත් නොවන තරමේ සැකයක් සිංහල සහ මුස්ලිම් සමාජය අතට ඇතිවුණා. ඒ හින්දා නරකම විදියට බැටකෑවේ ඔයාවගෙ රටට ආදරේ, නිදහස්ව නිවහල්ව හිතන පතන, ඉස්ලාම් ධර්මයේ සැබෑ මුලධර්ම ආරක්ෂාකරන, අනෙකාට ආදරය කරන මිනිස්සු. තරුණයෝ විදියට අපි පුළුපුළුවන් ආකාරයෙන් මැදිහත්වීම් කළා. සංවාද කළා. වාද විවාද කළා. සිංහල සහ මුස්ලිම් තරුණ තරුණියන් එකතුවෙන විදියේ අලුත් වැඩ හැදුවා.

මට හිටපු හොඳම මුස්ලිම් යාළුවා ඔයා. ඔයාට පස්සේ ඒ තරම් කිට්ටුවෙන් කතාබහ කරපු අදහස් බෙදාහදා ගත්ත මුස්ලිම් යාළුවෙක් හමුනොවුණ තරම්. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සිදුවුණ මහා වික්ෂිප්තභාවය ඇතුළේ මට වැඩියෙන්ම මිස් වුණේ ආදිල්ව. ආගම සහ ජාතිය දේශපාලනයෙන් අයින් කරන්න බෑ. හැබැයි ඔබේ තාත්ත වගේ අය පාර්ලිමේන්තු ආවේ මුස්ලිම්කම විකුණලා නෙමෙයි. දේශපාලනයේ රැදී ඉන්නේ ආගම ජාතිය ‘මාකට්‘ කරලා නෙමෙයි. ඔබ ඉතාම හොඳ උදාහරණයක් වෙන්න තිබ්බා මේ නුතන දේශපාලන සංස්කෘතිය තරුණගත කරන්න.

ආදිල් සිය පියා වන හිටපු ජනමාධ්‍ය ඇමැති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි 
ඉමිතියාස් බාකීර් මාකර් සමඟ

ආදිල්, මට මතකයි එක්සත් ජාතින්ගේ තරුණ නියෝජිත වැඩසටහනට පුර්විකාවක් ලෙස ඔබට අවස්ථාවක් ලැබුණා ලංකාව පුරාම ඇවිදලා තරුණ තරුණියන් එක්ක සාකච්ඡා කරන්න. ඒ අයගේ ගැටලු, අපේක්ෂාවන්, බලාපොරොත්තු සහ සිහින. ඒ හැම දවසකම රෑට ලංකාවේ කොහෙ හරි ඉදන් ඔබ මට ඇමතුමක් දීලා ඒ ඒ දවස්වල මුහුණ දුන්න අලුත් කතා ගැන සාකච්ඡා කළා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර තරුණයන් එක්ක ගතකරපු හැම දවසකම හැම සිදුවීමක්ම ඔබ මාත් එක්ක බෙදා ගත්තා. ඒ අයගේ සපත්තු දෙකට බහින්න ඔබ අපිව හුරු කළා. අපි නොදැක්ක අලුත් මානයකට තරුණ සේවා සභාව සහ තරුණ කටයුතු අමාත්‍යාංශය අරගෙන ගියා. අද ඔබ හිටියා නම් මේ කාර්යභාරය ඔබේම දෙවුරට අරගෙන කරන්න තිබ්බා. එන්න එන්නම තාක්ෂණය දියුණු වෙලා අපිව ලෝකයට විවෘත වුණාට ලංකාව ඇතුළේ විතරක් නෙමෙයි ලෝකේ පුරාම තරුණ ප්‍රජාව එන්න එන්නම තමුන්ගේ ලෝක වලට හිරවෙන්න පටන් අරන්.

අවුරුදු පහක් කියන්නේ දේශපාලනිකව දිග කාලයක්. හැබැයි ඔබේ මතකයන් තාම අලුත්. ඒ මතකයන් තුළ බොහොමයක් ඇත්තේ අපේ සාමුහික ප්‍රාර්ථනාවන්. ඔබ ගිය දවසේ අධිෂ්ඨාන කරගත්තාටත් වඩා තිරසාරව , ඒ සාමුහික ප්‍රාර්ථනා සැබෑකරගන්න මම මහන්සි වෙනවා. ඔබව ආදර්ශයට ගත් සුවිසල් තරුණ ප්‍රජාවක් ඒ මහන්සියම වෙන බව පෙනෙන්නට තියෙන බවද ඔබට දැනුම් දෙනවා, මල්ලි.

Comments