හදවතේ දෙවියන් සොයා සබරගමුවට | Page 4 | සිළුමිණ

හදවතේ දෙවියන් සොයා සබරගමුවට

 මෙවර මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය  ලේක්හවුස් ආයතනයෙනි 

ලෝවැසි බෞද්ධයන්ගේ භක්ති ආදරයට ලක් වූ ස්ථාන අතරින් සුවිශේෂී ස්ථානයක් වන්නේ ශ්‍රී පාද අඩවියයි. සුමන සමන් දෙවියන් ලෙස අප හඳුන්වන්නේ ශ්‍රී පාද අඩවියට අධිගෘහිත දෙවියන්ය. එතුමන් පුදනු ලබන රත්නපුර මහ සමන් දේවාලයේ ඇසළ මහ පෙරහර මංගල්‍ය පසුගිය ඇසළ මාසයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද කෝවිඩ් වසංගත හේතුවෙන් එය කල් දැමීමට සිදු විය. එළඹෙන සැප්තැම්බර් මස 8 වැනිදා සර්ව රාත්‍රික පිරිත් දේශනාව පවත්වා, 7 වැනිදා මහා සංඝගත දක්ෂිණාව පිරිනමා සමන් දෙවිදුන්ට පින් අනුමෝදන් කර 8 වැනිදා අලුයම කප් සිටුවීමෙන් පෙරහර ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු යොදා ඇත. රට ලොක් ඩවුන් නොවුණහොත් ඒ කටයුතු එලෙසින්ම නිරෝධායන සෞඛ්‍ය නීතිවලට අනුගතව සිදුවන බව, සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් මිගාර ජයසුන්දරයන් අප සමඟ පැවසීය. එනිසා ඒ පිළිබඳව තතු විත්ති සොයා බැලීමට අපි රත්නපුර බලා ගමන් කළෙමු.

අප දෙවොල් භූමියට ඇතුළුවත්ම නෙත ගැටුණේ දැවැන්ත හස්ති රාජයන් දෙදෙනෙකි. වෙනදා ජනී ජනයාගෙන් පිරී ඉතිරී යන මේ භූමිය අද ජන ශුන්‍ය කලාපයකි.

අතීත තතු විමසා බැලීමෙදී රුහුණු පිහිටි මායා යන බෙදීමට අනුව රුහුණු මායා යන දෙරටට අයත්ව මේ භූමිය පිහිටා තිබී ඇත. එය කළුගඟින් සම්බන්ධ වී පැවතුනි. බුදුන් කළ දේව වාංශික පාලකයකු වූ සුමනට අයත් බල ප්‍රදේශයක් ලෙස මෙම සබරගමු පළාත හඳුන්වාදිය හැකිය. ඇතැමුන් සපරගමුව ලෙස හැඳින්වුවද රජයේ නිල ලේඛනවල සඳහන් වෙන්නේ සබරගමුව ලෙස ය. සුමනගේ ආරාධනයෙන් ගෞතම බුදුන් වහන්සේ සමන් ගිරි ශිඛරයට වැඩම කර ශ්‍රී පතුල පිහිටු වූ බව වංශ කතාව පවසයි.

කරුණා බරිත වූ සමන්දෙවියන් ගැන බෞද්ධ ජනයා තුළ ඉපැදුණේ අප්‍රමාණ ගෞරව භක්තියකි. මෙනිසා බොදුනුවන්ගේ හදවතේ දෙවියන් බවට සමන් දෙවියන් පත්විය. එතැන් පටන් ශ්‍රද්ධාවෙන් මෙහි ආ ගිය බෞද්ධ අබෞද්ධ ජනයා ගිණිය නොහැකි තරම්ය. ඔවුන් අතර විදේශ රටවල ප්‍රභූන්, දේශ ගවේශකයින්, විමුක්ති මාර්ගය සොයා යන්නන් සහ සංචාරකයින් ද වූ බව පෙනේ.

බුදුන්ගේ වම් ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගැනීමට සැලසූ හදවතේ දෙවියන් වූ සමන් දෙවියන් වෙනුවෙන් මුලින්ම දෙවොලක් තැනෙන්නේ සමන්ත කුටයේමය. මෙයට සාක්ෂි කියන්නේ පූජාවලියයි. එහි දැක්වෙන්නේ "කිත්සිරි මෙවන් රජු ඔටුණු පැලඳ රජතනතුරට පත්ව සමනොළට පැමිණ ශ්‍රී පාදය වැඳ සමන් දෙවියන් වෙනුවෙන් දේවාලයක් කරවූ බව ය". අනතරුව ක්‍රි. ව 1153-1186 තෙක් පොළොන්නරුවේ රජ කළ මහා පරාක්‍රමබාහු නිරිඳුන් නැවත සමන් දේවාලයක් ඉදිකර ඇත. ඉන් අනතරුව දඹදෙණි යුගයේ රජ පැමිණි කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ නියමයෙන් සමන් දේව ප්‍රතිමාවක් නිමවා සිරිපා මලුවට වැඩම කරවා ඇත. මේ කාර්ය පැවරෙන්නේ පතිරාජදේව ඇමතියාටය. හෙතෙම රජුගේ නියෝගයට අනුව ගම්පොලට ගොස් කැටයම් ශිල්පියකු ලවා සඳුන් ලීයෙන් දේව ප්‍රතිමාව නිමවා රැගෙන ආ බව වංශ කතාව පවසයි.

පූජාවලිය කියන්නේ "සමන්දේව රාජයාණන්ගේ රූපය කරවා රන් රුවන් පලඳනාවෙන් ජීවමාන රූපයක් සේ සාදා, රුවන් මඩුයෙන් ගෙන පූජා පෙරහරකින් සමනොළ නික්ම..." ආ බවයි.

සමන් සිරිතේ සඳහන් ආකාරයට වර්තමානයේ මහ සමන්දේවාලය පිහිටා තිබෙන ස්ථනයේ ගාමිණි අභය (ක්‍රි.පූ 161-137) රජුගේ කාලයේ වෙහෙරක් තිබී ඇත. එය සපරග්‍රාම වෙහෙර නම් විය. සුමන කූටයේ 'ආකාශ චේතිය' නම් චෛත්‍යක් වූ බව මහානාම හිමියන් සිය මහාවංශයේ දක්වා තිබුණද එය කවුරුන් විසින් කළේ ද යන්න සඳහන්ව නැත.

මහා පාරාක්‍රමබාහු රජ දවස මෙම වෙහෙරේ වැඩ වාසය කළ සීලවංශ නම් සිල්වත් භික්ෂූන්වහන්සේ නමක් දුටු සිහිනයක් අනුව, පසුදා එම මඟ සලකුණු ඔස්සේ ගමන් කර සමන් දේව ප්‍රතිමාවක් සොයාගත් බවත්, එය පෙරහරකින් රැගෙනවිත් සපරග්‍රාම වෙහෙර පරිශ්‍රයේ තැන්පත් කළ බවත් අනතුරු මෙම වෙහෙර සමන් වෙහෙර නමින් ව්‍යවහාරයට පැමිණි බව දැක්වේ. මෙම සමන් වෙහෙර ක්‍රි. ව 1236-1271 දඹදෙණි රාජ සමයේ සමන් දෙවොල බවට පත්ව ඇත. ඒ මෙසේය,

 සබරගමු මහ සමන් දේවාලයේ ඇති විශේෂිත මකර තොරණ

දඹදෙණි සමයේ රජ පැමිණි දෙවන පරාක්‍රමබාහු රජුට බ්‍රහ්මණ වාංශීක අමාත්‍යවරයෙක් සිට ඇත. හේ නමින් ආර්ය කාමදේව නම් විය. හෙතෙම මැණික් ගැරීම සඳහා සබරපුරයට පැමිණ සමන් වෙහෙර වැඳ පුදාගෙන සමන් දේව ප්‍රතිමාව ඉදිරියේ භාරහාර වී මැණික් සම්පත ලබා ගැනීමට ආශීර්වාදය කරනමෙන් දෙවියන් යැද්දේය. දේවාශිර්වාදයෙන් හිතුවටත් වඩා මැණික් ලැබීමෙන් සතුටට පත් ආර්ය කාමදේව රජුගේ නියමයෙන් මෙහි සමන් දේවාලයක් ඉදි කළේය. නමුත් ඔහු සූක්ෂ්ම ලෙස මේ දෙවොල හින්දු බැතිමතුන්ගේ මහ දෙවියා වූ රාම දෙවිදුන්ගේ සොහොයුරු ලක්ෂ්මණ දෙවියන් සඳහා යෙදවීය. මෙය බැලූ බැල්මට දෘශ්‍යමාන නොවන සංස්කෘතික ආක්‍රමණයක් විය. මන්දයත් භාරතය මුසල්මානු පාලකයන් අතට පත්වීමත් සමඟ ඔවුන් රැකවරණය පතා පලා ආවේ ලංකාවටය. එසේ පැමිණි බ්‍රහ්මණ වාංශිකයින්ට උපදේශක තනතුරු හා ආගමික (විශේෂයෙන් විහාර දේවාල) කටයුතු භාර විය. ආර්ය කාමදේවද එලෙස පැමිණි බ්‍රහ්මණ වංශිකයකු විය. ඔහු විසින් රජු ලවා නිකුත් කළ සන්නස මඟින් දේවාලයේ නිල කටයුතු ඔහුගේ මුනුපුරු නීලපෙරුමාල්ට බාර කළේය. නීලපෙරුමාල්ට බණ්ඩාරනායකකම ලබාදීමටත්, ඔහුගේ පරපුරට බස්නායක නිලමක්කාර තනතුරු පැවරීමටත්, දේවාලය හා විහාරය නඩත්තු කටයුතු සඳහා ආදායම් ලබාගැනීමට, නින්ද ගම් විසි හයක් නම් කර ඔවුන්ට පැවරූ බවත් සමන් දේවාල සන්නසෙහි සඳහන්ව තිබේ.

ආර්ය කාමදේව කුමක් සැලසුම් කළද මෙරට බෞද්ධයෝ හදවතේ දෙවියන් අමතක නොකළෝය. අදත් මෙතැනට එන බැතිමතුන් ආශිර්වාද ඉල්ලන්නේ සුමන සමන් දිව්‍යරාජයාගෙන් මිස ලක්ෂ්මණගෙන් නොවේ.

පසුව ක්‍රි. ව 1410 -1467 කෝට්ටේ රජ පැමිණි හයවෙනි පරාක්‍රමබාහු රජු විසින් මහ සමන් දෙවොල තුන්මහල් ප්‍රාසාදයකින් යුක්තව ඉදිකර ඒ බව සඳහන් කරමින් ශෛලමය සන්නසක් විහාර භූමියේ පිහිටුවා ඇත. පරාක්‍රමබාහු රජුගෙන් පසුව ක්‍රි. ව 1581-1593 රජ පැමිණි පළමුවැනි රාජසිංහ රජු විසින් මෙම දොවොලට අනුග්‍රහක දායකත්වය ලබා දී ඇත. ඔහු විසින් දෙගල්ගමුව රජමහා විහාරයේ කුරහන් ගලක සඟවා තිබූ දළදා වහන්සේ සමන් දෙවොලට වැඩමවා දළදා පෙරහර ආරම්භ කර ඇත.

සීතාවක රාජ්‍ය බිඳවැටීමත් සමඟ පරංගි විසින් සබරගමුව ආක්‍රමණය කර සමන් වෙහෙර සහ මහ දෙවොල මුළුමණින්ම විනාශ කළේය. දේවාල භූමියේ 'ශාන්ත සැල්වදෝර්' නමින් පල්ලියක් ඉදි කළ අතර ඒ වටා බළකොටුවක් ඉදි කළේය. ඒ අවට ඔවුන්ගේ නිවාස ද තනාගත්තේය. පෘතුගීසීන් පැමිණෙන ආරංචිය කන වැකුණු වහාම දළදා හිමියන් මහනුවර දළදා මාළිගාවට ගෙනගොස් තිබිණි. සමන්දේව ප්‍රතිමාව සහ දේවාභරණ රහසිගතව සැඟ වූ අතර හුණු බදාමයෙන් එහි තිබූ අලංකාර කැටයම් හා වෛර්ණ සිතුවම්ද වසා දැමීය. (මේ වනවිට මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් එම බදාම ඉතා පරිස්සමින් ඉවත් කර ඇත.) මෙරට ඇති වෙනස්ම ආකාරයේ මකර තොරණ, දේවාලය ඉදිරිපස ඇති මකර තොරණ වන අතර සංචාරකයින් ආකර්ෂණය කිරීමට එයද එක් හේතුවක් වී තිබේ.

 වමේ සිට - සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර, දේවාලයේ ප්‍රධාන කපුමහතා වන ඩබ්ලිව්. එන්. කේ. ගයාන් නාලන්ද විජය නාරායන

ක්‍රි.ව 1629-1687 කන්ද උඩරට රජ පැමිණි දෙවන රාජසිංහයන් විසින් පෘතුගීසීන් පරාජයට පත් කර ඔවුන් අතින් විනාශ මුඛයට ඇද වැටුණු මහ සමන් වෙහෙර සහ දෙවොල යළි ප්‍රතිස්ථාපනය කළේය. මෙලෙස මුදාගත් බළකොටුව තුළ තිබී ‘වානේවලින් සාදන ලද කොඩිතුවක්කුවක්‘ සොයා ගත් බව ‘සබරගමු මහ සමන් දේවාලය සහ රත්නපුර සෙසු දේවාල‘ නම් කෘතියේ එච්. එම්. ජයන්ත විජේරත්න සඳහන් කර තිබේ. රජු විසින් දේවාලය මුදා ගැනීමෙන් අනතුරුව වාර්ෂිකව පෙරහර මංගල්‍ය පවත්වා ඇති අතර, එහිදී නැකතට අනුව කටයුතු අරඹා ඇත්තේ මෙම කොඩිතුවක්කුව පත්තු කර ශබ්ද පූජා පැවැත් වීමෙනි.

පෘතුගීසින් මෙහි රැඳී සිටි බවට හොඳම නිදර්ශනය වන්නේ මෙහි ඉදි කර ඇති ළිඳ ය. අද අපට දක්නට ඇත්තේ ළිඳේ ආරුක්කු බැම්ම සහ පෘතුගීසි ලාංඡනයත් සහ පෘතුගීසි හේවායා සහිත පුවරුවත් පමණි. මෙය පෘතුගීසීන් විසින් පෘතුගීසි භාෂාවෙන් ලියා ඉදි කළ පුවරුවකි. ඉන් කියැවෙන්නේ ‘මම වසර විසිතුනක් ඉන්දියාවේ වාසය කළෙමි. වසර පහළොවක් පුරා කපිතාන්වරයකු ලෙස සේවය කරමි. මම මගේ අසිපතින් මේ මිනිසා යටපත් කළෙමි. මම යාපනේ රජුන්ද පරාජය කළෙමි. මම සීමෝ පිංහෝ වෙමි‘

බොහෝ ඉතිහාසඥයන්ගේ පුරාවිද්‍යාඥයන්ගේ හා දේවාල රාජකාරිකරුවන්ගේ මතය වන්නේ පුරා වසර හතළිහක් මහ සමන් දේවාල භූමිය පෘතුගීසි බළකොටුවක්ව පැවති බවයි. එය නිදහස් කර ගැනීමේ අරගලයේදී පෘතුගීසි සෙබළුන් අති විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් කළ මහ සමන් දේවාලයේ කටයුතුවල නිරතව සිටි කීර්තිමත් නර්තන ශිල්පියකු මෙන්ම අභීත සිංහල රණශූරයකු තම ජීවිතය පූජා කළ අන්දම මෙම පලකයෙන් ප්‍රදර්ශනය වන බවයි. අවසානයේ ඔහු යටත් කිරීමට යොදවා ඇත්තේ යාපනයේ රජුන්ද මරා දැමූ පෘතුගීසි හමුදාවේ සිටි පලපුරුදු අති දක්ෂ සටන් කරුවකු වූ සීමොන් පිංහෝ විසින් මරණයට පත් කළ බව මේ ඵලකය සාක්ෂි දරයි. එනිසා අදත් තම ජීවිතය පුදා සටන් කළ ඒ අභීත සිංහලා වෙනුවෙන් මෙම ඵලකය දේවාල භූමියේ ප්‍රදර්ශනයට තබා ඇත.

දඹදෙණි යුගයේ ඇරභි බවට සැලකෙන මෙම සබරගමු මහ සමන් දේවාලයේ වාර්ෂිකව පෙරහර මෙවර පැවැත්වෙන්නේ 795 වැනි වරටය. රාජ්‍ය උත්සවයක් ලෙස මෙම පෙරහැර නම් කිරීමෙන් පසු පවත්වනු ලබන පළමු පෙරහැර මෙය වීමද විශේෂය. මෙම පෙරහර පැවැත් වීමෙන් අනතුරුව සැප්තැම්බර් මස 02 වැනිදා රුපියල් පහළොවක් වටිනා සමරු මුද්දරයක් නිකුත් කිරීමටද කටයුතු යොදා ඇත.

වර්ෂයක් පාසා ඇසළ මස අව පෑලවිය දිනයක කප් සිටුවා එදින සිට පුර පසළොස්වක පසු වූ පුර පෑලවිය දින පෙරවරු සුභමොහොතින් ගෙවැදීම දක්වා දින පහළොවක් පුරා පෙරහර පැවැත් වේ. මෙම පෙරහර දෙවැනි වන්නේ මහනුවර දළදා පෙරහරට පමණි. පළමු රාජසිංහ රජු සමන් දේවාලයේ එකොළොස් වතාවක් දළඳා පෙරහැර පවත්වා ඇත.

කප් සිටුවන අවස්ථාව වන විට ඇසළ පෙරහැර හා සම්බන්ධ සියලු විධි විධාන සංවිධානය කර තිබිය යුතුය. මෙහි මූලිකයා බස්නායක නිලමේය. නැකත්කරුවන් ලවා සියලුම නැකත් වේලාවන් සකසා ගෙන මොහොට්ටාල වරුන් පේලි විදානේ හා තණ්ඩල් රාල යන අය කැඳවා පෙරහර ගැන මුලික තීරණ දැන්විය යුතුය. අනතුරුව මොහොට්ටාලවරුන් විසින් දෙබෙද්මේ රජකාරිකරුවන් කැඳවා ඉදිරි කටයුතු සංවිධානය කරනු ලැබේ.

 

රජු විසින් දේවා­ලය මුදා ගැනී­මෙන් අන­තු­රුව වාර්ෂි­කව පෙර­හර මංගල්‍ය පවත්වා ඇති අතර, එහිදී නැක­තට අනුව කට­යුතු අරඹා ඇත්තේ 
කොඩිතුව­ක්කුව පත්තු කර ශබ්ද පූජා පැවැත්වීමෙනි.

සර්ව රාත්‍රික පිරිත් දේශනාවෙන් පසුදින මහා සංඝගත දක්ෂිණාවක් පිරිනමා සමන් දෙවිදුන්ට පින් අනුමෝදන් කර ඊළඟ දිනයේ අලුයම කප් සිටුවීම ආරම්භ කරයි. කප සිටුවනදා සුබ මොහොතින් කප් පෙරහැර දේවාලයට පිවිස කප් සිටුවන ළිං ගෙය ඇතුළත කප සිටුවීමට පෙර කුඹලා පුන් කලස් දෙකක් ගෙනැවිත් දේවාලය ඉදිරිපස දොරටුවේ දෙපස තබා කපු මහතාට නොපෙනෙන්නට යයි. කප් සිටු වූ දා සිට දින පහක් කුඹල් පෙරහර පැවැත්වේ. දේවාභරණ පමණක් මෙම පෙරහරේ වැඩම කරනු ලබයි. පෙරහැර අවසන් වූ පසු ඊළඟ දින පහේදී දෙවේලේ (උදේ- සවස ) වීදි පෙරහර පවත්වයි. මෙම පෙරහරේ ආභරණ පමණක් අලියා පිට වැඩම කරවයි. සිංහාසන මණ්ඩපයට ද මෙම පෙරහර පිවිසෙයි. අනතුරුව ඇරඹෙන්නේ මහ පෙරහරයි. මෙයද දින පහක් පැවැත්වේ. මෙහි ඇති විශේෂය වන්නේ දළඳා කරඬුව වෙනුවට ධාතු කරඬුව වඩමවන දළඳා පෙරහැර පෙරටු කරගෙන ප්‍රථමයෙන් දළඳා පෙරහැර ගමන් කරයි. ඉන් පසු අනුපිළිවෙළින් පත්තිනි, බිසෝ දෙවි, කුමාර දෙවි හා සමන් දෙවි පෙරහර වශයෙන් පෙරහර හතරක් ගමන් කරයි. දළඳා පෙරහැර සඳහා දිවයිනේ හැමතැනින්ම නැටුම් කණ්ඩායම සහභාගි කරගන්නා අතර සෙසු දේව පෙරහැර සඳහා සම්බන්ධ කරගන්නේ සබරගමු නැටුම් කණ්ඩායම්ය. අලි ඇතුන් ගෙන් සමන්විත නොයෙක් නර්තනාංගයන්ගෙන හැඩවන මෙම පෙරහරට ම ආවේණික වූ විශේෂ අංගයක් වන්නේ මහා බඹා කෝළමය. මෙම බඹා කෝළම ගැන ඉදිරිපත් වන මතයක් වන්නේ මෙය රාවණ රජුගේ සොහොයුරු කුම්භකර්ණගේ රුපය බවයි. කුම්භකර්ණ යනු ගොවිතැනින් රට‍ සශ්‍රික කළ නායකයකු බවත්, රාම සමඟ සටනේදී රාවණ විසින් සාමකාමී ගොවි රජකු ලෙස කටයුතු කළ කුම්භකර්ණ හා ඔහුගේ හමුදාව කැඳවූ බවත්, ඔහු යුද්ධය සඳහා යන විට සහෝදර විභීෂණ රාවණට එරෙහිව රාම පිලට එක්වී ඇති බවත් අසා ඔහුගේ සාමකාමී මුහුණ වියරු වැටී ගිය බවයි. එම අවස්ථාව සංකේතාත්මකව දැක්වීමට මහබඹා කෝලම මීට එක් වූ බව කියති. සමහරකුගේ මතය වන්නේ ආර්ය කාමදේව විසින් ශූක්ෂම ලෙස ලක්ෂ්මණ දේවත්වයට පත් කිරීමට ගත් උත්සාහයට අතුල් පහරක් ලෙස මෙම අංගය මීට එක්කළ බවයි. දිය කැපීමේ පෙරහැර අවසාන කළ පසු "ගරා යකුම" විශේෂ ශාන්ති කර්මයක් ලෙස සිදු කරයි.මෙය දෙවියන් වැඩම වූ ඇතාට සෙත් පිණිස සිදු කරන්නකි. අතීතයේ පටන් මෙම පෙරහරට එක්ව තිබූ දිග්ගෙයි නර්තනය මේ වනවිට අභාවයට පත්ව තිබේ.

 

පෘතුගීසි සෙනෙවියකු විසින් මෙරට රණ ශූරයෙකු යටත් කර සිටින අයුරු දැක්වෙන ශිලා ලේඛනය

දරුඵල නැති අයට දරුවන් ලබා ගැනීමටත්, අවිවාහක තරුණ තරුණියන්ට විවාහ පාත්‍රවීමට සුදුසු අයකු ලබා ගැනීමටත්, වසංගත රෝගවලින් ආරක්ෂා වීමටත්, අලුත උපන්ද රුවන් සහ දරු ගැබ ආරක්ෂා කිරීමටත් සමන් දෙවියන් ඉදිරියේ භාරහාර වී පුද පූජා පැවැත්වීමට ජනතාව පෙලඹී සිටින බව ද, එලෙසවන භාරයන් ඉටුවන බවද එහි වත්මන් ප්‍රධාන කපු මහතා ලෙස කටයුතු කරන ගයාන් නාලන්ද විජයනාරයන අප සමඟ පැවසීය.

මෙවර ඇසළ පෙරහර මංගල්‍යයේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහක දායකත්වය ලේක්හවුස් ආයතනය විසින් දරන අතර, කොරෝනා වසංගතයෙන් රටත් ජනතාවත් මුදා ගන්නා ලෙස සමන් දෙවියන්ට කෙරෙන ආයචනයක් ලෙසින් මෙය පැවැත් වීමට නියමිතය.

 

ඡායාරූප - විමල් කරුණාතිලක

Comments