
ලලිත් ප්‍රියන්ත
- මේ අවනඩුව කියන්න ළඟදීම සභාපති මුණගැහෙනවා
- තරග ප්‍රමාණය නොවෙයි වැදගත් ගුණාත්මක භාවයයි
- අපි ගොඩනඟපු මේස පන්දු ක්‍රීඩාව බිමට දාන්න දෙන්න බෑ
- ඉතිහාසයේ වැඩිම මූල්‍ය ප්‍රතිපාදනය සංගමයට ගෙනාවේ වත්මන් සභාපතිවරයායි
- මේවා කියන්නේ තනතුරු බලාගෙන නොවෙයි
- අවම වශයෙන් තවම අපි තාක්ෂණික කමිටුවක් වත් පත්කරලා නෑ
ඔහු ජාතික ශූරයෙකි, හිටපු මේස පන්දු සභාපතිවරයෙකි,පුහුණුකරුවෙකි. මේ සියලු දේ අතර වර්තමානයේ ඔහු මේස පන්දු සංගමයේ ඉහළ දක්ෂතා කළමනාකරණ කමිටුවේ සාමාජිකයෙකි. මේස පන්දු ක්‍රීඩාවේ දීර්ඝ අත්දැකීම් සහිත පුද්ගලයකු වන ඔහු නමින් ලලිත් ප්‍රියන්ත ය. ‘ක්‍රීඩා’ ඔහු හමු වූයේ වර්තමානයේ ඔහුට පැවරී ඇති නව වගකීම හා මේස පන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් අත්දැකීම් බෙදා ගැනීම අරමුණ සහිතව ය.
ඔලිම්පික් අවසන් වුණා. මේස පන්දු තරගත් බොහොම ජයට තිබුණා. හිටපු ජාත්‍යන්තර ශ්‍රේණිගත ක්‍රීඩකයෙක්, සභාපතිවරයෙක්, පුහුණුකරුවෙක් වශයෙන් ඔබෙන් අහන්නේ. ඇත්තටම අපිට කවදාවත් මේස පන්දු ක්‍රීඩාවෙන් ඔලිම්පික් සිහින පුරන්න බැරි වේවි ද?
ආසියාව තමයි මේස පන්දු ක්‍රීඩාවේ ශක්තිමත් ම ක්‍රීඩකයෝ ඉන්න කලාපය. ජවන හා පිටිය ක්‍රීඩාවලදී යුරෝපය, අමෙරිකාව වගේ මහාද්වීප තුළින් වැඩි දක්ෂයන් මතු වෙනවා වගේ මේස පන්දු වැනි ක්‍රීඩාවල දක්ෂයෝ ඉන්නේ ආසියාවේ. ඔවුන් එක්ක ගනිද්දී ශ්‍රී ලංකාවට ඔලිම්පික් ක්‍රීඩාවට සහභාගි වෙන්න කෝටාවක් දිනා ගන්න එක ලොකු වැඩක්. ඇත්තටම ඒක මඳක් ලොකු අභියෝගයක්.
ඒ කියන්නේ අපිට මේස පන්දු ක්‍රීඩාවෙන් ඔලිම්පික් දිනන්න තියා සහභාගි වෙන්නත් බෑ කියන එකනෙ?
නෑ මම එහෙම කියන්නේ නෑ. බැහැ කියලා දේවල් නැහැනෙ. විධිමත් සැලසුමකට වැඩ කළොත් අපිට යම් තැනකට එන්න බැරි නෑ. නමුත් තේරුම් ගන්න චීනය, ජපානය, සිංගප්පූරුව, තායිවානය, කොරියාව වගේ රටවල් ලෝක ශ්‍රේණිගත කිරීම්හි ඉහළින් ම ඉන්න රටවල්. ඉතින් අපට ලොකු තරගයක් කරන්න තියෙනවා. චීනය මේ පාර රන් පදක්කම් පහක් දිනා ගත්තා. එකක් ජපානය දිනා ගත්තා. ජර්මනිය විතරයි රිදී පදක්කම් දිනා ගත්තේ. ආසියාවේ මේස පන්දු තත්ත්වය ගැන හිතාගන්නකො. ඒ නිසා අපි ලෝක ශූරතා, ඔලිම්පික් ගැන හිතන්න ඉස්සෙල්ලා දකුණු ආසියාව, ආසියාව දිනාගෙන යම් තැනකට ඇවිත් ඉන්න ඕනෑ.
ඒ කියන්නේ මේස පන්දුවලින් අපිට ගොඩයන්න බෑ?
බැරි නෑ. පුළුවන්. මම ඉස්සෙලත් කිව්වේ. අපිට පුළුවන්. හැබැයි විධිමත් බිම් මට්ටමේ සිට සැලසුම් තියෙන්න ඕනෑ. දීර්ඝ කාලීන සැලසුමක් අනුව වැඩ කළොත් අපිට මේ ක්‍රීඩාවෙන් ඉදිරියට එන්න හැකියාව තිබෙනවා.
දැන් ඔබත් මේස පන්දු සංගමයේ සභාපතිවරයෙක්ව සිටියා. ඔය කියන බිම් මට්ටම එදා හදන්න තිබුණනෙ?
ඒක හරියට වසරකින් අඹ ඇටයක් හිටවලා ගෙඩි ගන්න බැරි වුණේ ඇයි කියලා අහනවා වගේ දෙයක්. ඔබ තේරුම් ගන්න ඕනෑ එක අවුරුද්දකින් මේ විප්ලවය කරන්න බැරි බව. මම ඉස්සෙල්ලත් කිව්වා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුයි කියලා. කාලයක් තිස්සේ අපි ප්‍රගුණ කළ යුතුයි. මගේ කාලයේ සංගමයේ පරිපාලන බලය ලැබෙන්නේ අවුරුද්දක කාලයකටයි. ඒ පැත්ත හැරිලා මේ පැත්ත බලනකොට කාලය ගෙවිලා ඉවරයි. අනික මම බලයේ ඉන්න කාලේ අපේ කමිටුව ගොඩාක් දේවල් කළා. ඒක ඔබත් දන්නවා ඇති. මොකද ඔබ අපේ මාධ්‍ය හමුවලට ඇවිත් තිබෙනවා. අනික ඒ කාලේ අපි හැංගිලා මුකුත් කළේ නෑ. හැම දෙයක්ම මාධ්‍ය හමු තියලා, ජනමාධ්‍ය දැනුවත් කරලා තමයි කළේ. මගේ කාලයේ ක්‍රීඩකයෙක් රට යනකොට ගුවන්තොටුපොළට ගෙවන්න තිබුණු දීමනාව පවා අපි ගෙව්වා. ඒ තරමට අපි වැඩ කළා. ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වය යහපත් කළා. නමුත් ඔලිම්පික් යන්න අවශ්‍ය නම් දිගු කාලීන වැඩපිළිවෙළක් ඕනෑ. අඩුම ගණනේ අපිට මේස පන්දු ක්‍රීඩාව වෙනුවෙන් තරග පවත්වන්න, සංචිත පුහුණුව පවත්වන්න ශාලාවක්වත් නෑ.
ඉතිං ඒවාට ඔබත් වගකියන්න එපායැ. ඔබ හිටපු සභාපතිවරයෙක්නෙ? ඇයි මේ වගේ යටිතල පහසුකම් හදාගන්න බැරි වුණේ?
අවුරුදු විසිපහකට විතර ඉස්සර ඉඳලා අපි මේවා ඉල්ලනවා. මගේ කාලයේත් මේවා ඉල්ලලා තිබෙනවා. අපි නිකම් ඉඳලා නෑ. නමුත් ඒ කිසිම උත්සාහයක් සාර්ථක වුණේ නෑ. මගේ කාලේ මේ තරම් ක්‍රීඩාවට අතහිත ලැබුණේ නැති වෙන්න පිළිවන්. නමුත් දැන් ඊට වඩා උචිත පරිසරයක් රට තුළ නිර්මාණය වෙලා තියෙනවානෙ. ඒකෙන් ප්‍රයෝජනය ගත යුතුයි.
ඔබ වහෙන් ඔරෝ කියන එක දෙයක් පැහැදිලියි. ඒකෙන් කියන්නේ දැන් ඉන්න මේස පන්දු සංගමය හැංගිලා වැඩ කරනවා කියන එකනෙ?
මේ සංගමය හැංගෙන්න ඕනැ සංගමයක් නෙවෙයි. නමුත් පිරිසක් දැන් සංගමය හංගලා තියෙනවා.මොකද ඔවුන්ට සුදුසුකම් නැති නිසා. මාධ්‍ය නිවේදනවලින් තමයි මේස පන්දු ක්‍රීඩාව කරන්න යන්නේ. හැබැයි වත්මන් මේස පන්දු සභාපති කණක හේරත් මහතා ඉතා හොඳ පරිපාලකයෙක්. එතුමා එක්ක මේ ගමන යන්න මේස පන්දුවට හොඳ අවස්ථාවක් තිබෙනවා. අවාසනාවකට ඇතැම් පටු මතවාදී, ක්‍රීඩාව ගැන හරියට නොදන්න උදවිය මේ සංගමය තුළ රිංගාගෙන සභාපතිවරයාව මුළාවේ දාන්න උත්සාහ කරනවා. ඒ වගේම අපි වගේ අයව කොනකට දාන්නත් හදනවා.
මේක ලොකු චෝදනාවක්නෙ. ඒත් ඔබ සභාපතිව විතරක් බේරනවා. එයා හරි හොඳ කෙනෙක් කියලා. ඔබ ඔහුට සුදු හුනු ගාන්නේ එයා මේ ආණ්ඩුවේ ඇමැති කෙනෙක් නිසා ද?
අනේ නෑ. ඇමැති කෙනෙක් වුණු පළියට මම සුදු හුනු ගාන්නේ නෑ. වත්මන් සභාපතිතුමා මෙරට මේස පන්දු ක්‍රීඩාවට ලැබුණ විශාලම මූල්‍ය ප්‍රතිපාදනය ලබාගෙන තිබෙනවා. ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගෙන් මේස පන්දු වෙනුවෙන් ඉතිහාසයේ ඉහළම මූල්‍ය ප්‍රතිපාදනය දිනාගෙන තිබෙන්නේ වත්මන් සභාපතිවරයායි. ඉතින් එතුමා දක්ෂ පරිපාලකයෙක්.
සල්ලි හොයලා දුන්නාට සංගමය ඇතුළේ තියෙන ප්‍රශ්න ගැන දැනුවත් නෑ කියන්නේ පරිපාලන දක්ෂකමක් නෙවෙයිනෙ?
නෑ. එතුමා දක්ෂයෙක්. ඒත් ලෝකයේම තිබෙන කොවිඩ් අර්බුදය නිසා එතුමාත් ඉන්නේ කලබලයකනෙ. ඉතිං මේස පන්දු සංගමය තමයි දේවල් ලැබුණාට පස්සේ ඒවා එකතු කරලා රටේ ක්‍රීඩාව වෙනුවෙන් දේවල් කළ යුත්තේ. නමුත් ඒ දේ හරියට වෙන්නේ නෑ. ඉතිං සභාපතිට ඒකට දොස් කියන්න බෑ.
දැන් ඔබ ඇතුළු කණ්ඩායමක් උසස් දක්ෂතා කළමනාකරණ කමිටුවට පත්කරලා තිබෙනවා. ඒක මේස පන්දු සංගමය කරපු හොඳ වැඩක් නොවෙයි ද?
ඔව්. සදසි නිරාශා පීරිස් උප සභාපතිනියගේ නායකත්වය යටතේ තමයි අපි වැඩ කරන්නේ. එතුමිය ඇගේ කමිටුවට අපිව නම් කළා. ඒක හොඳ වැඩක්. එතන ඉන්නවා හිටපු ජාතික ශූරයින්, යුගල ශූරයින් රැසක්. ඒ කමිටුවේ උපදේශකයා එන්.එච්. පෙරේරා, නිලාමනී ද සොයිසා, මම, රොහාන් සිරිසේන, ස්වර්ණා පීරිස්, මෞලි පීරිස් තමයි මේ කමිටුවේ ඉන්නේ. ඔවුන් ජාතික ශූරයෝ හෝ යුගල ජාතික ශූරයෝ. නමුත් ඒ කමිටුව සිදු කරන නිර්දේශ සාර්ථක වෙන්නේ අපි කරන යෝජනා සංගමය විසින් ක්‍රියාත්මක කරනවා නම් පමණයි.
මෙතැන මම දකින ලොකුම ප්‍රශ්නය තමයි සංගමයේ ඇතැම් උදවිය අපේ යෝජනා ක්‍රියාත්මක නොකර ඒ ගොල්ලන්ට හිතෙන දේවල් කරන්න සභාපතිවරයාව මුළාවේ දාන එක. ඔවුන් ඒකට සභාපතිවරයාගේ ඇති කාර්ය බහුලත්වය හේතුවක් කර ගන්නවා.
ඉතිං ඔබලාට පුළුවන්නේ සභාපතිවරයාට මේ තත්ත්වය පැහැදිලි කරන්න?
අපි එතුමාව මුණගැහෙන්න බලාගෙන ඉන්නේ. මේ දිනවල පවතින තත්ත්වයත් එක්ක එතුමා කාර්යබහුලයි. අනික මෙතැන දී අපි මේස පන්දු සංගමයේ විධායක කමිටුව අබිබවන්න හදනවා නොවෙයි. නමුත් අපි උසස් දක්ෂතා කළමනාකරණ කමිටුව වශයෙන් ඇඟිලි ගසන්නේ පුහුණුව සම්බන්ධයෙන් පමණයි.
ඇත්තටම ලලිත් ප්‍රියන්තලා මේස පන්දු සංගමයේ ඉන්න කාටද පහර දෙන්නේ? මොකක්ද මේ අමනාපය?
අපිට කිසිම අමනාපයක් නෑ. කාටවත් පහර දෙන්න අපිට උවමනාවකුත් නෑ. මේ හැම දේම කියන්නේ ක්‍රීඩාවට ඇති ආදරය නිසයි. මේස පන්දු බිම දාලා විනාශ වෙනවා බලාගෙන ඉන්න අකමැති නිසයි. අපිට හොඳ සභාපතිවරයෙක් හම්බ වෙලා තිබෙනවා. ඒකෙ ප්‍රයෝජනය ගන්න. දැන් ක්‍රීඩාවට උචිත පරිසරයක් හැදිලා තියෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයා, ඉහළ දක්ෂතා කළමනාකරණ කමිටුවක්, අමාත්‍ය-වරයාට උපදෙස් ලබා දීමට විධිමත් දැනුම සහිත නිලධාරීන් පිරිසක් ඉන්නවා. අපි ක්‍රීඩාව නැඟිට්ටුවන්න මේ වෙලාවෙදි තමයි මහන්සි වෙන්න ඕනෑ. ඒක කරන්න තමයි අපි මේ කෑගහන්නේ. නැතිව වෙන දේකට නෙවෙයි.
දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබ ඇතුළු උසස් දක්ෂතා කළමනාකරණ කමිටුව මේස පන්දු සංගමය ඇතුළට රිංගාගන්න වෙර දරනවා වගේ දෙයක් වෙනවා කියලා. ඔබ මොකද ඒකට දෙන පිළිතුර?
අපිට කිසිම තනතුරක් ඕනෑ නෑ. අපි කවුරුවත් සංගමයට යන්න හදන්නෙ නෑ. ඒ ගැන බයක් තියාගන්න උවමනා නෑ. නමුත් අපි කරපු, අපි කඳුළු දහදිය වගුරපු ක්‍රීඩාව පවත්වාගෙන යන්න අපිට ඕනෑ. ඒ වෙනුවෙන් තමයි අපි මේ හඬ නඟන්නේ. නැත්නම් මේ උසස් දක්ෂතා කළමනාකරණ කමිටුව රැස්වෙන්නේ, තේ එකක් පවා බොන්නේ අපේ වියදමෙන් මිසක් මේස පන්දු සංගමයේ වියදමෙන් නොවෙයි. අපි මේවා කියන්නේ මොනවා හරි යටි අරමුණ බලාගෙන නොවෙයි. එතැනට අපිව දාන්න එපා. එහෙම දේවල්වලට කොටු කරන්න පුළුවන් පටු මිනිස්සු මේ කමිටුව ඇතුළේ නෑ.
නෑ ඉතිං අපි හිතුවේ මේස පන්දු සංගමයට ඉහළ ම මුදල් ප්‍රතිපාදනයක් ලැබුණු නිසා ඇතැමුන්ගේ බැල්මක් වැටෙන්න පුළුවන් නිසා.
මම මගේ කමිටුව වෙනුවෙන් කතා කරන්න නිල ප්‍රකාශකයා නොවෙයි. ඒත් මගේ කමිටුවේ ඉන්න කිසිම කෙනෙක් මුදලට කෑදර වෙලා බලයට එන්න හදන්නෙ නැති බව මම දන්නවා. මා ගැන කතා කරනවා නම් ලලිත් ප්‍රියන්ත කියන්නේ මේස පන්දු සංගමයේ ඉන්න කාලෙත් ඒකෙන් ජීවත් වුණු කෙනෙක් නොවෙයි. මම මහා සල්ලිකාරයෙක් කියලා නෙවෙයි කියන්නේ. නමුත් හැකි උපරිම ආකාරයට මම ජීවත් වෙනවා. සංගමයකින් යැපිලා, සල්ලි සාක්කුවේ දාගන්න වංචා කරන්න මට උවමනාවක් නෑ.
මේස පන්දු ක්‍රීඩාවේ ප්‍රගතිය ඇති කරන්න ඔබ ඇතුළු කමිටුව යෝජනා කරන්නේ මොනවා ද?
අපි බොහෝ දේ යෝජනා කරනවා. නිවැරැදි සැලැස්මක් යටතේ ජාතික පුහුණු සංචිතයක් පවත්වාගෙන යන්න අපිට පිළිවන් විය යුතුයි. අපේ ක්‍රීඩකයන් සංචාරකයන් කරලා විදෙස් තරගවලට සහභාගි නොකර ඔවුන්ට විධිමත් පුහුණුවක් ලබා දී විදේශ තරගවලට යවන්න ඕනෑ. මේ මේස පන්දු ක්‍රීඩකයෝ ජාතික ක්‍රීඩකයෝ වුණාට රටක් දන්නේ නෑ. ඔවුන්ට ඒ ගෞරවය හිමිවිය යුතු දෙයක්. ඒ දේ ලබා දෙන්න ක්‍රියා කරන්න ඕනෑ. මේස පන්දු තාක්ෂණ කමිටුවක් පත්කරන්න අවශ්‍යයි. ඒ වගේ ක්‍රීඩාව දියුණු කරන්න තිබෙන තාක්ෂණික කාරණා ගැන තමයි අපි යෝජනා කරන්නේ.
මේස පන්දු ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයා ලොකු උස මහත, හැඩි දැඩි, මාංශ පේශි පිරුණු ක්‍රීඩකයෙක් වෙන්න අවශ්‍ය නෑනෙ. ඔහුට යෝග්‍යතාවක් තිබේ නම් මේ ක්‍රීඩාවේ නියැලෙන්න පුලුවන්කම නෙ අවශ්‍ය?
ඔව්. තරගයක නියැළෙන්න අවශ්‍ය වේගය, යහපත් දෘෂ්ටිය පවතිනවා නම්, පාද හැසිරුම, අවධානය පවත්වාගෙන යනවා නම් ඔවුන්ට මේ ක්‍රීඩාවේ නියැළෙන්න, ජාත්‍යන්තර-යට යන්න පිළිවන්.
එවැනි ක්‍රීඩකයන් දැන් රට අතුළේ ඉන්නවා ද?
ඉන්නවා. අවාසනාවකට මේ රටේ මාධ්‍ය පවා ඔවුන් ගැන දන්නේ නෑ. අපි අරගල කරන්නේ ඔවුන්ට වටිනාකමක් දෙන්න කියලයි. ඒක ක්‍රීඩාවට ලැබෙන අතිරේක වාසියක්.
දැන් මේස පන්දු වගේ ක්‍රීඩාවක් කායික හා මානසික කියන ශක්තීන් දෙකම සමතැනක් ගන්නා ක්‍රීඩාවක් ලෙසයි අපි දකින්නේ. යෝග්‍යතාව වගේම මානසික ශක්තිය මේ ක්‍රීඩාව පවත්වාගන්න ඉවහල් වෙනවා. මනෝචිකිත්සකයන්ගේ පුහුණුව අපේ ක්‍රීඩකයන්ට ලැබෙනවා ද?
ක්‍රීඩා වෛද්‍ය ඒකකයෙන් ගන්න සේවයක් විතරයි. එහෙම නැතිව වෙන කිසිම දෙයක් අපේ ක්‍රීඩකයන්ට ලැබෙන්නේ නෑ. මේ දේවල් හරි තැනකට ගෙනියන්න වත්මන් මේස පන්දු සභාපති දැනුවත් කරන්න ළඟදීම ලැබෙන අවස්ථාව අනුව අපි ඔහුව මුණගැහෙනවා. මේක කරන්නේ කාටවත් ගහන්න නොවෙයි. ක්‍රීඩාව ගොඩ ඟන්නයි. ඒක හිටපු ජාතික ශූරයෝ වශයෙන් අපේ යුතුකමක්. පැහැර හැරිය නොහැකි යුතුකමක්.