උගුරට හොරා! | Page 4 | සිළුමිණ

උගුරට හොරා!

මං පුංචි කාලෙ නගරයේ, වැහි වතුර, කුණු වතුර ගලාගෙන යන්න බෝක්කු හදල තිබුණා. ඒවා ඕනම කුණු කන්දලයක් වතුරත් එක්ක තල්ලුවෙලා යන්නයි හදලා තිබුණෙ. පුංචි අපි දන්නෙ නෑ ඒ කුණු කන්දල් කොයි බෝක්කුවකට තල්ලු වෙලා ගියා ද කියලා.

ගාල්ලෙ ඉඳලා ඇවිත් සතියක් දෙකක් අපේ ගෙදර නවතින අපේ ආත්තම්මාගෙ කටේ නම් තිබුණේම ඔක්කොම කුණු බේරුවල් බොක්කට කියන කතාව. ඒ කතාව නම් අපිට හරි රසවත් වුණා.

බෝක්කුවලට හරස් කිරීම් නෑ. අරකයි, මේකයි, මස්කටුයි රා බෝතල් කටුයි, මසාලා වඩේ කෑලියි, අරකයි, මේකයි කියල කිසිම තේරිල්ලක් පෙරිල්ලක් නෑ. අඩි දහයක් විතර පළල පාරවල් යටින්, කුණු වතුර ගලාගෙන යන්නයි බෝක්කු හදල තිබුණෙ. පාර යටින් මොන කුණු වතුර ගලාගෙන ගියත් ඒ ගැන කාටවත් වගක් නෑ.

පාර දෙපැත්තේ විතර දිග, අඩියක් විතර පළල අඩි එකහමාරක් විතර උසට බැමි දෙකක් බැඳලා තියෙනවා. ඒ බැමි දෙක උඩ දෙපැත්තේ වාඩි වුණාම, කොල්ලන්ටයි මහ මිනිස්සුන්ටයි, දේශපාලන කතා බයිස්කෝප් කතා, නළු නිළි විස්තර, පත්තර ප්‍රවෘත්ති, ඕන තරම් තියෙනවා කතා කරන්න.

“ඔක්කෝම මුන්ගෙ කට කම්සිරියාවක් නැති කයිවාරු” ෆැලට් එක අයිනේ ලෑලි කඩයක් දාගෙන ඉන්න සුමනෙ සීයා කිව්වෙ එහෙමයි. ඕන්න එතකොට එයැයිගෙ ලිලී ආච්චිගෙ විග්‍රහය එළියට එනවා.

“ඔහේ දන්නෙ නැද්ද බෝක්කු හදල තියෙන්නෙ, බෝක්කු උඩ වාඩිවෙන උන්නෙ, බෝක්කු කටවල්වලින් ගලාගෙන එන බොරු පම්පෝරි කතා හෝරමේන්තුවට ගලාගෙන යන්න...!” තේරුණාද?”

සීයා කලබල වෙනවා. එයාගෙ ඇස් ලොකුවට ඇරෙනවා.

“මොකක්ද... මොකක්ද ඒ හෝරමේන්තුව?”

“හෝරමේන්තුව කියන්නෙ ගවර්මන්ට්... ගවර්මන්ට්...!” ආණ්ඩුව... තේරුණා ද?”

පාඩම් පොත් එක්ක ඉන්න නියමවෙලා තිබුණු කාලෙ ඉවරවෙලා අයිය මලෝ තුන් දෙනාට තුන් වැනි තට්ටුවෙන් මහ පොළොවට බහින්න අවසර ලැබිලා. බීම පැකට් තුනක් ගන්න තුන්දෙනාටම සල්ලිත් ලැබිලා... ‘යමු’ එහෙම කියන්නෙ වැඩිමලා. තත්පර හැටෙන් තුන්දෙනාම සුමනෙ සීයගෙ ලෑලි කඩේ ළඟ...

“ගවර්මන්ට් ප්‍රශ්නයක්!”

එහෙම කියන්නෙ, තුන් වැනි තට්ටුවෙන් මහ පොළොවට බැහැලා ආව අයියා මලෝ, තුන්දෙනාගෙන් දෙවැනියා.

“මටත් ඇහුණා. තරහ ගිහින්ද...?”

“ඒ වගේ...!”

“මේ කට්ටියට තරහ ගියත් දුක හිතුණත් කාටද ඕව තේරුම් ගන්ට පුළුවන්... ඒකනේ අපේ තාත්තා කියන්නේ. මේ සම්ම ජාතියේදී තේරුම් ගන්න බැරි මනුෂ්‍ය කොට්ඨාසයක් කියල.... කොළඹ ර‍ටේ ඉන්නෙ...”

දෙන්නෙක් කඩේ දොරකඩ. හොඳ හැඩ කාරයො, සහෝදරයො තුන්දෙනා ඒ හැඩකාර දෙන්නගෙ නම් හොයාගත්තෙ බොහෝම මහන්සිවෙලා.

“මේ ඔය දෙන්නට මොනාද ඕනෙ?”

කොට බිත්ති බැම්මට උ‍ඩින් ආව ගෑනු හඬ ප්‍රශ්නයක් අහනවා.

“සේපාල ඉල්ලපන්කෝ...”

ටීෂර්ට්කාරයා හෙමින් කිව්වා. සේපාල නමේ අයිතිකාරයා වටපිට බලනවා.

“ඒයි සේපාල කූල්... කූල්... හොඳයි...”

“අපිට කූල් බඩී බෝතල් දෙකක් දෙන්නකෝ...”

සේපාල හොඳට කට ඇරලා සද්දෙට ඉල්ලීම කළා.

“මොනවද ඕන ජාතිය...?”

“තියෙන ජාතියක් දෙන්න...” සේපාල ගෑනු කෙනාට කිව්වා.

“මෙහේ රත්වෙන ජාති නෑනේ තාරක...”

සේපාල බොහෝම හෙමිහිට කිව්වත් දැන් හැඩ කාරයො දෙන්නගෙම නම් දෙක මහ පාර අයිනෙ කඩේ මිදුලෙ...!

“ඒ රත්වෙන ජාති මේ අපේ සීමාවෙ නැතුවට, ඔහොම පහළට ඇවිදලා, වමට හැරිලා ටිකක් වට පිට බලලා... ඉව තියෙනවා නම්... ඕන තරම් බඩු...! මොකෝ ඔය දෙන්නා උසාවියෙ නඩුවකට යන්න ආව ගමන්ද... නැත්නම් නඩුව අහවර වෙලා මේ යන ගමන් ද...”

සුමනෙ සීයා ගානට ඒ ඉසව්ව පැහැදිලි කළාට දෙන්නගේ ගමනේ ඉසව්ව නම් සීයාට පැහැදිලි නෑ. මිතුරනි දෙන්නාටම හිනා ගියේ එකම විදියට... එකම වෙලාවට.

“මොකද හිනාවෙන්නෙ...?”

“නෑ මේ...”

තාරක කියන්න හැදුව දේ කියන්න සුමනෙ සීයාගෙන් අවසර ලැබුණෙ නෑ.

“මේ දෙන්නා මේ පළාතෙ දෙන්නෙක් නෙවෙයි කොට, ඉතින් ආයෙ මොනවද උසාවි බඩගාපු ගමනක් නේන්නම්... අපිත් මොකෝ මේකෙ අවුරුදු හතළිස් ගානක් තිස්සෙ ඉන්නෙ ඇස් කන් වහගෙනයැ...”

“අනේ ද කියන්නෙ...!”

ආච්චි සාක්ෂි කූඩුවට නැගලා.

“අපේ ඇසුත් හොඳට පේනවා. කන් ඇහීමෙත් කිසිම දෝෂයක් නෑ.”

“මොකද කුඩුද?”

සීතල බීම බෝතල් දෙක යාළුවන්ගෙ අත්වලට වඩම්මවන තරුණ ගෑනු කෙනා බොහෝම රස්නෙ ඇති ප්‍රශ්නයක් අහනවා.

“අනේ අප්පේ නෑ...!” තාරක කිව්වා.

“කොටින්ම අපිට උසාවි යන්න නඩුත් නෑ!”

සේපාලත් කිව්වා. මහ දෙන්නා මූණෙන් මූණ බලාගෙන කටවල් ඇද කරලා හිනාවෙනවා.

“පාරෙ යන එන ගෑනු මිනිස්සු ගැන සෝදිසියෙන් ඉන්න එක නම් හොඳයි...”

සේපාල බිම බටේ කටට ළංකර ගන්න ගමන්, සීතල බීම බෝතලේට සීතලට වචන ටිකක් වාත්තු කළා.

“අපි මේ නගර සභාවෙන්.”

තාරක පුංචි ඉඟියක් දුන්නා.

“කුණු බලන්න වෙන්න ඇති...!”

කඩේ ඇතුළෙ ගෑනුකෙනා, බෙල්ල දික් කරලා ප්‍රශ්නයක් නෙවෙයි ගානට ප්‍රශ්නයක් එළියට තල්ලු කළා.

“මේ පැත්තෙ කුණුවතුර යන බෝක්කු නැද්ද?”

සේපාලගෙයි ප්‍රශ්නෙ... ඉල්ලන්නේ කෙළින් උත්තරයක්. එක්කෝ ඔව් එක්කෝ නෑ. ආච්චි සීයා දිහා බැලුවා.

‘නගර සභාවෙ’ නම් වැඩ.... ඒවා දැනගන්න එපායැ...!”

ආච්චි කියන්නේ සීයටයි... ඉලන්දාරි දෙන්නාට හිනා.

“මේ දෙන්නා බාල වයස්කාරයො වගේ පෙනුනට, වයසට ගිහිල්ලා ඇට්ටරවෙච්ච දෙන්නෙක්...!”

ඒ කියන්නෙ සීයා... ආච්චිට.

“ඒකනේ බෝක්කු කතන්දර ති‍බුණේ කොයි කාලෙද?”

“ඇයි දැන් නැද්ද?”

තාරකගෙ කට පොපියනව... එයා ළඟ තව ඉතුරු බිතුරු තියෙනවා. සේපාල, මොකක්දෝ තේරුමක් ඇති බැල්මකින් තාරක දිහා බැලුවා.

“නෑ මං කියන්නෙ එතකොට කුණු වතුර යන්නෙ කොහාට ද... ඒකයි...”

තාරක දුන්නේ බබා උත්තරයක්.

“කොහොම කොහාට යන්නද... ඔය පාරෙ තියෙන්නෙ කුණු කුණු... ඔය ලස්සනට කුණු කන්දල් ගහගෙන යන්නෙ...!”

“කුණු ගිහින් ගිහින් කානු හිරවෙන්නේ නැද්ද?”

තාරක ඒ ප්‍රශ්නෙ අහලා මහ දෙන්නාගෙ මුහුණු බැලුවෙ හිතේ බයෙන්. ඒ හිතේ බය තාරකගෙ මූණ පුරාම!

සීයා එහා මෙහා බැලුවා. දෙන්නාට තඩි බාන්න පොලු කෑල්ලක් හොයනවදෝ කොහෙද කියල ඉළන්දාරි දෙන්නා විතරක් නෙවෙයි ආච්චිත් හිතුවා. තුන් මහලෙන් බැහැලා ආව සහෝදරයන් තුන්දෙනාත් හිතුවේ ඒකමයි.

“බීම බීලා ඉවර ද?”

සීයා අහනවා.

“නෑ තව ටිකක් තියෙනවා”

“එහෙමද... ඔය ඉලන්දාරි දෙන්නාගෙ ගෙවල් දොරවල් කොයි පළාතෙද?”

දෙන්නා කලබල වුණා.

“නෑ මං අහන්නෙ මේ කොළඹ නෙවෙයිනේ. ගෙවල් දොරවල්...”

“නෑ අපි කොළඹ තමයි!”

දෙන්නාම එකතුවෙලා එක හඬින් කිව්වා.

“අඩේ අප්පා!”

සීයා ලොකු හිනාවක් දැම්මා.

“මේ තම පොඩි ගැටව්!”

ආච්චි, සීයාගේ ඒ ලොකු හිනාව මැද්දට වචන එකතු කළා.

“හුම්... හුම්ම්!”

සීයා බකමුණාගෙ චරිතයට බැස්සා.

“මොකක් හරි පරීක්ෂණයකට ද ළමයිනේ...”

බෝක්කුවක් නම් තිබුණා එක කාලයක්...”

ඒ කතා කරන්නේ ආච්චිගේ ගෑනුකම...

“ඒක නේ ‍අපි හොයාගත්ත පොයින්ට් එක හරි නැද්ද සේපාල... ඉස්සර තිබුණා... දැන් නෑ...”

සේපාල, තාරකට තේරුම් ගන්න පුළුවන් බැල්මකින් තාරක දිහා බලාගෙන හිටියා.

“හොඳ ලොකු බෝක්කුවක් තිබුණා ඒ කාලෙ...”

සීයා එහෙම කිව්වෙ ආච්චි දිහා බලාගෙන, දෙන්නට දෙන්නා වචනවලට ‍දාන්න බැරි මොකක්දෝ කතාවක් හිත්වල හිර‍කරගෙන හිනහවෙනවා.

තාරකට එයාගෙ හැකර කට වහගන්නම බැහැ.

“ඇයි... ඒ බෝක්කුවට මොකද වුණේ...?”

“බෝක්කුවෙ කට වැහුණා.”

“ෂා! හරි අපරාධයක්... අපේ මිනිස්සු කරන්නෙම ඔහොම මෝඩ වැඩ...!”

තාරක ඒ වතාවෙ නම්, සේපාලගෙ තේරුම් ගන්න බැරි බැල්මට අහුවුණේ නෑ.

ඊට පස්සෙ කානු දිගේ තමයි දැන් ඔය කුණු වතුර ගලන්නෙ...”

“ඒකත් හොඳයි නේද ආච්චියෙ...”

තාරක අහනවා. උත්තර දුන්නෙ සීයා.

“මොන හොඳද ළමයෝ කුණු වතුර කුණු වතුරමයි. එකක් තියන්නෙ ඒ කාලෙ බෝක්කුවෙන් ගැලුව තරමට වේගෙ නෑ. තිස්සෙම කුණු කන්දල් පල්වෙවී හිරවෙනවා...”

“ඒකනේ සුමනේ... අපේ මේ කොළඹට ගිය කලක්!”

ආච්චි එහෙම කියන්නේ හිනහවෙවී. ඇයි දෙයියනේ පාඩුවක් වුණාමත් හිනහවෙන ආච්චිලා ඉන්න රටක් නේ මේක කියල සේපාල හිතෙන් කිව්වා. සුමනෙ සීයා, සේපාල දිහා බලාගෙන හිටියෙ, සේපාල හිතෙන් කිව්ව කතාව එයාට ඇහුණා වගේ...

“දැන් ඔය දෙන්නා මේ රවුම් ගහන්නෙ මොනව හොයන්නද?” ප්‍රශ්නය සීයාගෙන්. සේපාල, තාරක දිහා බැලුවා.

“ඇත්තට අපි මේ මොනවද හොයන්නෙ...? සේපාල එයාගෙ හිතෙන් ඇහැව්වා. තාරකත් ඒ ප්‍රශ්නෙම එයාගෙ හිතෙන් ඇහැව්වා, ඔය ආවෙ දෙන්නාගේම හිතට උත්තරේ, එකම තත්පරේදී...!”

අපි හොයන්නෙ අතීතය...! ඒක ඉතින් ඒ විදියට කිව්වට මේ දෙන්නට තේරෙන එකක්යැ... සේපාලට හදිසියේම මතක් වුණා. අතීතය වෙනුවට ආදේශ කරන්න පුළුවන් කවුරුත් අගේ කරන වචනය...”

“අපි මේ ඉතිහාසය ගැන තොරතුරු සොයනවා.”

ආච්චිගේ කට ඇරුණා. මහා හිනාවක් එළියට පැන්නා.

“අනේ හැබෑට ඉතිහාසෙ හිටිය දුටුගැමුණුලා, පරාක්‍රමබාහුලා දැන් කොයින්ද මේ කොළඹ නගරෙ...? මේ පොඩි උනුත් දන්නවා... නැද්ද පුතුනේ...!”

“ඉතිහාස පොත්වල ලියල නැතිවුණාට හිටියද කොහොමද කියල දන්නෙ නෑනේ...”

සේපාල කෙඳිරුවා. තාරක ඇස්වලින් කතා කෙරුවා. එයා ඒ ඇස්වලින් කතා කරලා කිව්වේ, සේපාලගේ කතාව එයා පිළිගන්නේ නෑ කියලයි.

“දුටුගැමුණුලා උන් හිටි තැන් ගැන අම්මා අප්පා, නෑදෑ සහෝදරයො ගැන පොත්වල ලියල තියෙනවා. ඉතින් මේ කොළඹ නගරෙ මඳක් ඒ වගේ ඔය මොකෙක් හරි හිටිය නම් පොත්පත්වල විස්තර ලියල නැතුවයැ...”

තාරක කිව්වේ සද්දෙට තුන් මහලෙන් බැස්ස අයියා මලෝ ගල් ගැහැලා... කොට බිත්ති බැම්මට උඩින් ගෑනු රූපෙ මතු වුණා.

“දැන් ඔය මෙහේ හිටිය කොයි රජ්ජුරුවො ගැන ද තොරතුරු හොයන්නෙ...?”

“නෑ...නෑ... අපි දන්නවා මෙහේ රජ වංශෙ කවුරුවත් ඉඳලා නෑ.”

සේපාල ඉක්මන් උත්තරයක් දුන්නා. ආච්චි සීයා දිහා බලලා, රතුම රතු ලේ පාට ලිප්ස්ටික් කූරක් අතුල්ලා ගත්තට වඩා ලස්සනට බුලත්විට කාලා රතු කර ගත්තු තොල් දෙක විහිදවලා හිනහ වුණා.

“මතකද ඔහේට?”

සීයා අහනවා.

“මොකද නැත්තෙ...”

ආච්චි ප්‍රශ‍්නෙට ප්‍රශ්නෙකින්ම උත්තරේ දුන්නා.

“එදා මේ වයස අවුරුදු දහයක්වත් නොවිච්චි මං බය වුණා. යුව රජකම ද තාත්තේ කියල මං අපේ තාත්තාගෙන් ඇහැව්වා. ඔව් ඔව් ඒ වගේ තමයි... ඊළඟට ඉතින් රජකම...!”

“ඒ කතාව ඇත්ත වුණා නේන්නම්... රජ පවුලක් මැව්වා. රජෙක් වගේ හිටියා...”

සීයා එහෙම කියල බැලුවෙ කොට බිත්ති බැම්මට උඩින් මතුවුණු මුහුණ දිහා. ඒ සීයාගේ මිනිබිරි.

“සීයෙ මිනිස්සුන්ව පාච්චල් කරන්ට එපා!”

“අපෝ නෑ රත්තරනේ... අපි එලොව මෙලොව සලකලා ජීවත්වෙන මිනිස්සු...! අද මහ මාර්ගේ දුකින් හිඟන්නා... හෙට ධනපතියා වී සැප විඳිනා... කළ කළ දේ පල පල දේ සෝබා දහම් සේ කැරකේවී රථ රෝදේ වාගේ...”

සීයා සංගීතයට බැස්සා. මිනිබිරී කොට තාප්පෙට මුවාවෙලා එයාගෙ මූණෙ හංගගත්තා.

“මේ ළමයි, අපි මේ කඩල ගොට්ටක්, බීම බෝතලයක්, ටොපියක්, සිල්ලරට විකුණලා දවස පියවා ගත්තත්, අපිත් මෙහේ ඉඳලා රජවරු වෙච්චි කට්ටිය වගේ... එල්ලෙන්නෙ බර අතුවල‍. දලු දාන අතුරිකිලි කකා අපිත් ගමනේ තමයි...”

ඒ ආච්චිගේ උජාරුව! සීයා හිනාවුණා. සීයා ඒ හිනා වුණේ කාටද, මොකටද කියල හිතාගන්න බැරුව සේපාල, තාරක දිහා බැලුවා.

“මේ ළමයිනේ මට මතකයි ඩී.එස්. සේනානායක මහත්තයලා සිංහල මහා සභාව පටන් ගත්තු කාලෙ...”

සීයා ඒ මතක කතාව කියන්න පටන් ගත්තා විතරයි ආච්චි කම්මුලේ අත තියාගෙන “බුදු අම්ම් සුමනේ...” කියල වටපිට බැලුවා.

“බුදු අම්මේ නෙවෙයි ළමයි මේක අහන්න... ඔය රේස්කෝස් එකේ සේනානායක මහත්තයාගෙ ලොකු රැස්වීමක් තිබුණා. මං කොට කලිසම් ඇඳලා ඉස්කෝලෙ යන කොල්ලා... මං බයිසිකලේ නවත්තගෙන ඒ රැස්වීම බලාගෙන හිටියා...!”

සීයා කතාව නැවැත්වුවා. සීයා බිම බලාගෙන මහ පොළොව එක්ක හිනාවෙනවා.

“අනේ මේ සුමනේ, බොරු කියල මේ ළමයින්ගෙ ඔළු පිස්සු කරන්නෙ නැතුව ඉන්න. සේනානායක මහත්තයලා සිංහල මහ සභාව කරන කාලෙ මෙයා එයාගෙ අම්මගෙ බඩෙන් ඇවිල්ලා අවුරුදු දෙකයි. මෙයා යනවා බයිසිකලේ...! කොට කලිසම් ඇඳලා...! රේස් කෝස්...!”

තාරක සීයා දිහා බැලුවෙ අරුම පුදුම සතෙක් දිහා බලනවා වගේ. සීයා තාමත් බිම බලාගෙන මහපොළොව එක්ක හිනාවෙනවා.

පඩි පෙළ දිගේ තට්ටු තුනෙන් ‍බිමට බැහැපු තුන්දෙනා තට්ටු තුනෙන් දඩෝරියන් ගාලා බිමට වැටුණු ගානට අහස පොළොව සොයාගන්න දඟලනවා...

“නෑ මං මේ කිව්වේ... එකදාස් නවසිය විසි හතරෙ ඉපදිච්ච කොලු ගැටයෙක් කිව්ව කතාවක් ගැන...”

සීයා මහපොළොව සාක්ෂියට ගන්න වගේ, මහපොළොව දිහාම බලාගෙන කියනවා.

“ඉතින් සීයෙ සේනානායක මහත්තයලා සිංහල මහා සභාව පටන් ගත්තෙ නවසිය හතළිස් හතේදිලු නේද... එහෙමයි අපි ඉගෙන ගත්තෙ... එතකොට සීයා ඔය කියන කොලු ගැටය කොට කලිසම් අඳින, ඉස්කෝලෙ යන පුංචි එකෙක්යැ...”

මහපොළොව දිහා බලාගෙන හිනාවෙන සීයා ගෙන් තාරක ඇහැව්වා.

“ඒවා ලස්සන බොරු කතා දරුවනේ...! කවුරු විශ්වාස කරනවාද...? මොකටද සුමනෙ ඒ කාලෙත් මිනිස්සු විශ්වාස නොකරපු ඔය බොරු කතා මේ දරුවන්ට දැන් කියන්නෙ...?”

ආච්චිට තරහ ගිහින්. සීයා කතා නෑ.

“හැබැයි සීයා කියන කතා ලස්සනයි...”

සේපාල කිව්වා. සීයා මහ පොළොව දිහා බලාගෙන, මොනවදෝ හිත හිතා හිනාවෙනවා.

“රැවටෙයි එහෙනම් ‍ඔය වගේ කතාවලට දැන් ඉන්න මිනිස්සු... සුමනේ මිනිස්සුන්ට තාමත් අං ඇවිත් නෑ!”

“ආ... හැබෑට! ඔයා කියන කොටයි මට මතක් වුණේ...

ඒ කාලෙ මිනිස්සුන්ට අං තිබුණා... දන්නවද අපේ තාත්තා වැදගත් ගමනක් යනකොට ගැහැව්වානේ ඔළුවෙ නැමි පනාවක්... හරියටම අං ඇවිත් වගේ...”

සීයා ඒ ටික කිව්වෙ සේපාල දිහා බලාගෙන, සේපාලට බකස් ගාලා හිනහ ගියා‍. සීයා අතකින් කට වහගෙන හිනහවෙනවා.

“අම්මාපා මේ මනුස්ස‍යා කියන බොරු! මොකද මං උපන්නෙ හැදුනෙ මේ දිග්බාගෙ නෙමෙයිද? මං නොදන්න අං තට්ටුව...! ‍ඔහොමමයි මේ මනුස්සයාගෙ වග...”

ආච්චි මොකක්දෝ වසං කරන්නයි හදන්නෙ.‍

“දැන් මේ ළමයි දෙන්නා හොයන්න ආව තොරතුරු ලැබුණද?”

ආච්චිට දෙන්නව පන්න ගන්නයි ඕනකම. දෙන්නා ගොළුවෙලා.

“ළමයි මේ අහනවලා... ඔය දෙන්නා අහල තියෙනවද මෙහෙම කතාවක්...”

සීයා අලුත් කතාවක් පටන්ගන්නයි හදන්නෙ.

“ඔය තවත් බොරු කතාවක්...!”

ආච්චි කියන්නේ තරහෙන් නෙවෙයි. එයාගෙ කට ඇතුළෙ හිනාවක්...” හිනාව ඒ බලාගෙන ඉන්නෙ, වෙලාව එනකල් එළියට පනින්න.

“මේකයි කතාව...” සීයා වටපිට බැලුවා. ආච්චි දිහාත් බැලුවා. ඊළඟට මහ පොළොව දිහා බලාගෙන නිශ්ශබ්ද වෙලා හිටියා.

“මොනවදෝ අමතක වෙච්චි දෙයක් මතක් කරනවා.” තාරක කෙඳිරුවේ සේපාලගේ කනට.

“අනේ මේ ළමයින්ට යන්න දෙන්න. ඔය මදෑ කතා කිව්ව තරම...”

තුන් මහලෙන් බැස්ස පොඩි උන් තුන්දෙනාගෙන් වැඩිමලා “අපි යමු ගෙදර” කිව්වා.

“එපා එපා ඔහොම හිටපල්ලා...”

සීයා මහ පොළොවට හරවා ගත්තු ඔළුව උස්සන්නේවත් නැතුවයි ඒ කෑගැහැව්වෙ‍.

“මේ අහපල්ලා... එක බොරුවක් සිය පාරක් කියල බලමු... කටවල් සීයකින් ඊට පස්සේ ඒක බොරුවක් නෙවෙයි... ඇත්තක් වෙනවා... කවුද හොඳයි ඔය කතාව කිව්වේ...? දන්නවද ඔය ළමයි ඒ කවුද කියල...?”

කවුරුවත් කතා නෑ. උත්තරේ දන්නෙ නැති නිසා.

“දන්නෙ නෑ... දන්නෙ නෑ...! ළමයිනේ ඒ කතාව බොහෝම ඉස්සර හිටිය එක්කෙනෙක් කිව්වෙ... දන්නවද නම? ගොබෙල්ස්...! කවුද එයා...? හිට්ලර්ගෙ ප්‍රවෘත්ති ඇමැතියා...! ප්‍රවෘත්ති... ප්‍රවෘත්ති...! දැන් පුළුවන්ද සිය පාරක් එකම බොරුව කියද්දි සිද්ධවෙන දේ මොකක්ද කියල හිතාගන්න...”

සීයා ආයෙම මහපොළොවට ඔළුව බර කරගත්තා.

“අපේ කාලෙ ඉවරයි...නැද්ද ලිලී...?” ආච්චි ඔළුව වැනුවා.

“මේ ඔය ළමයින්ගෙ කාලෙ...! මෙයාගෙ නම ලිලී නෙමෙයි. ලිලී කියන්නෙ ලස්සන මලකට... මෙයා ලිලීමනී...! දැක්කද බොරුව සිය පාරක් කිව්වම වෙච්ච දේ... රැවටෙන්න බලාගෙනයි!”

ඔබේ කෙටිකතා පහත ලිපිනයට

යොමුකළ හැකිය.

සිළුමිණ කෙටිකතාව,

ලේක්හවුස්, කොළඹ 10.

දුරකතනය 011 2429264

විද්යුත් තැපෑල:

features.sil@lakehouse.lk

Comments