යල් පැන­ගිය නීති එක්ක අපට ඉදි­රි­යට යන්න බැහැ | Page 3 | සිළුමිණ

යල් පැන­ගිය නීති එක්ක අපට ඉදි­රි­යට යන්න බැහැ

නීතීයේ සාධාරණත්වය ඉටු කිරීම ප්‍රමාද වේ නම් එතැනදී නීතියක් නැති බව ඉංග්‍රීසි ජාතික නීති විශාරදයකු වන ලෝඩ් විලියම් ග්ලැට්සන් සඳහන් කර ඇත. නීතිය සාධාරණත්වය ඉටුවීම බොහෝ ප්‍රමාද වන රටවල් රැසක් තිබේ. ඒ අතර මුලින්ම සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකිය. නීතියේ ක්‍රමවේදයන් අක්‍රීය වීමක් මේ මඟින් සිදුවෙයි. නීතිය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවීම තුළ අපේ සමාජයේ ඇති හර පද්ධතීන් විනාශ වීමක් ද සිදුවෙයි. අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ නඩු බොහෝ විට ප්‍රමාද වෙයි. එමෙන්ම අපරාධ නඩු යටතේ ඇති ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේදී විත්තිකරුවන් මිය යාම, වයසට යෑම මෙන්ම ඇතැම් විට සාක්ෂිකරුවන් සැඟවී සිටීම වැනි කරණු නඩු ප්‍රමාදයක් සමඟ ඇතිවන අතර නීතියේ සාධාරණත්වය අදාළ පාර්ශ්වයන්ට ඉටු නොවීමට ප්‍රධාන හේතුවෙයි.

උදාහරණ ලෙස අවුරුදු දහයක දැරියක් ලිංගික අපයෝජනයකට ලක්වූයේ නම් ඇයට නීතිය පසිඳලන විට අවුරුදු දහයක් ගතවී ඇගේ වයස අවුරුදු විස්සක් වනු ඇත. එමෙන්ම ගම්වල ඉතා සරල කුඩා මත ගැටුම් ඇති කරගනී. එවැනි දේ සඳහා රඳවා තබා ගැනීම් මත බොහෝ කාලයක් නඩු ඇසීම නිසා සාධාරණත්වය ඉටුවීමට බොහෝ කාලයක් ගත වීමෙන් එම චූදිතයන්ට අසාධාරණයක් සිදුවෙයි. එවැනි අවස්ථාවලදී නීතිය පසිඳලීම සඳහා වඩාත් වැඩි කාලයක් ගත වන නිසා ජනතාව නීතිය අතට ගන්නා ස්වරූපයක් පවතී.

දිගු කාලීන ඉඩම් නඩු

එමෙන්ම සිවිල් නඩු යටතේ ගැනෙන ඉඩම් නඩු අවුරුදු තිහකට අධික කාලයක් විභාග වන අවස්ථා තිබේ. එවිට හිමිකරුවන්, විත්තිකරුවන්, සාක්ෂිකරුවන් මිය ගොස් ඇති අවස්ථා බොහෝ විට වෙයි.

මේ නඩුවලට අදාළ පැරැණි ඔප්පු හිමිකම්පත් සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් ලියවී ඇති නිසා සාමාන්‍ය ජනතාවට කියවා තේරුම් ගැනීමේ හැකියාව නැති අවස්ථා වෙයි. ඉඩම් හිමිකරුවන් බොහෝ කාලයක් නඩු සඳහා ඉදිරිපත් වුවද එහි භුක්තිය විදීමට අවස්ථාව නොලැබී යයි.

පවතින නීතියේ සංකීර්ණත්වය මේ නඩු ප්‍රමාද වීමට ප්‍රධාන හේතු සාධක අතර වෙයි. විශේෂයෙන් රෝම ලන්දේසී නීතිය, සාමාන්‍ය නීතිය, පෞද්ගලික නීතිය, ඉංග්‍රීසි නීතිය, සිංහල නීතිය, මුස්ලිම් නීතිය වැනි නීති රැසක් මෙරට ක්‍රියාත්මක වෙයි. මේ නීති පද්ධතිය පවතින්නේද ඉංග්‍රීසි භාෂාවෙනි. සාමාන්‍ය ජනතාව නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවුවත් අපේ බොහෝ නීතින් පවතින්නේ සාමාන්‍ය ජනතාවට වටහා ගැනීමේ හැකියාවක් නැති ලෙසිනි. නමුත් නීතිය සියලු ජනතාව දැන සිටිය යුතුයි. මේ තත්ත්වය සාධාරණ තත්ත්වයක් නොවෙයි. මේ රටේ එක් දහස් අටසිය ගණන්වල ඉංග්‍රීසින්ගේ පාලන සමයේ හෝ ඊට පෙර නීති ක්‍රියාත්මක වන අවස්ථා දක්නට ලැබේ.

යම් දැනුමක් ඇති උගතෙකුට වුවත් තේරුම් ගැනීමේ අපහසුවක් මේ නීති පද්ධතිය තුළ පවතී. ලෙනාඩ් වුල්ෆ් විසින් රචිත විලේජ් ඉන්ද ජන්ගල් නවකතාවේදී ඉතා පැහැදිලි ලෙස එකල සිංහල සමාජ සංස්කෘතිය තුළ නීතිය ක්‍රියාත්මක කෙරුණු ආකාරය සම්බන්ධයෙන් දක්නට ලැබෙයි . එහි අන්තර් ගත බද්දේගම නම් අතිශයින් දුෂ්කර ගම්මානයේ සිළිඳු නැමැති පුද්ගලයාට නීතිය ක්‍රියාත්මක වූ ආකාරය සලකා බැලීමේදී සිළිදු ගැමියා ඉංග්‍රීසි භාෂාවෙන් පසිඳවන ලද නීති සම්බන්ධයෙන් කිසිදු වැටහීමක් නොමැති වීම නිසා ඔහුට සිදු වූ අසාධාරණත්වය පිළිබඳව මනාව පැහැදිලි වෙයි. ඔහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳව කිසිදු දැනුවත් වීමක් නොවූ පුද්ගලයෙකු වුවත් එය නිදහසට කරුණක් නොවිණි. එමෙන්ම ඉන්දියාවේ වෙන්ඩොල්ස් නඩුව, අවුරුදු පහක දරුවකු ඝාතනය කිරීමේ නඩුව අවුරුදු විසිදෙකක් ගත වන තෙක් නොවිසඳිණි. එහි සාක්ෂිකරුවන් තිස් ගණනක් වුවත් කාලය අධික ව ගතවීම නිසා සාධාරණයක් නීතියෙන් ඉටුවීමට විශාල කාලයක් ගත විය. එය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.

එතෙර ආදර්ශ

එමෙන්ම බ්‍රිතාන්‍යයේ හැටතුන් දහසක් නඩු ප්‍රමාදයක් තිබුණත් අපේ රටට වඩා යම් කාර්යක්ෂමතාවකින් යුතුව නඩු තීන්දු ලබාදීම සිදු කෙරෙයි. නඩු කල් යාම් දීර්ඝවන්නේ නැත. බ්‍රිතාන්‍යයේ ලංකාවේ තෝල්කමුදලිට සමාන තනතුරක් ඇත. මහේස්ත්‍රාත්වරයාට සහය දෙන තවත් තනතුරු කිහිපයක් වෙයි. නඩු කල් නොයන තත්ත්වක් උදාවී ඇත්තේ එහෙයිනි.

එහෙත් මෙරට දීර්ඝ කාලයක් දිස්ත්‍රික් සහ මහේස්ත්‍රාත් උසාවිවල දි නඩු කල් යයි. මෙයින් ජනතාවට විශාල අසාධාරණයක් වෙයි. අපේ රටේ නීතිඥවරුන්ගේ අදහස නඩු කල් දැමීම තුළ නඩු වැඩි වන බවයි. එය අඥාන කමක් ලෙස පෙන්වා දිය හැකියි. නඩු දක්ෂව ඉක්මනින් නිමා කිරිමට උත්සාහ දරන්නේ නම් මිනිසුන් තුළ විශ්වාසයකින් යුතුව කටයුතු කිරීම තුළ නීතියේ සාධාරණත්වය ලබා ගැනීමට හැකිවනු ඇත. එසේ නොමැති වීම නිසා නීතිය අතට ගැනීමට යෑමෙන් වෙනත් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙයි. ඉන්දියාව එංගලන්තය වැනි රටවල මේ තත්ත්වය වෙනස් වී ඇත. අපිට තිබිය යුතු වන්නේ සරල නීති පද්ධතියකි. දැනට පවතින නීති ඉතා සංකීර්ණ වෙයි. 1800 ගණන්වල සම්පාදිත අපරාධ නීතිය සහ සිවිල් නීතිය සංශෝධනය විය යුතුවන්නේ එහෙයිනි. මේ නීති පද්ධතිය මේ තරම් කාලයක් පැවැත එන්නේ කෙසේද යන කාරණාව පිළිබදව ගැටලු මතුවී ඇත. අපේ රටේ තවමත් බ්‍රිතාන්‍යයේ අයුරින් සියලු නීති ක්‍රියාත්මක කරයි. අපේ සිතුවිලි පවා අපි ඒ නීතියට අනුව සකසාගෙන ඇත. අපේ රටේ අධිකරණ පද්ධතිය තුළ නඩු 750,000ක් ගොඩගැසී ඇත. එයින් වැඩි ප්‍රමාණයක් එනම් 167,945ක් දිස්ත්‍රික් උසාවිවල විභාග වෙමින් පවතින අතර ලක්ෂ 2ක් පමණ සමථ මණ්ඩලවල විභාගවෙමින් පවතී. ඊට අමතරව මහේස්ත්‍රාත්, අභියාචනාධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ මහාධිකරණයේ ඇතුළු අධිකරණවල සැලකිය යුතු නඩු සංඛ්‍යාවක් ගොඩ ගැසී තිබේ. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.

උසාවි කාර්යය මණ්ඩලය සහ දත්ත සපයන ආයතන රස පරීක්ෂක වාර්තා පොලිස් වාර්තා මෙම ප්‍රමාදයන්ට හේතු සාධක වී ඇත.

නීතිඥ විරෝධතාව

එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක විසින් සාධාරණ නඩු පසිඳලීමේ ක්‍රමවේදයක් ඇති කරමින් නීති පද්ධතිය ශක්තිමත් කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙළක් ගෙන එන ලදි. එහිදී නීතිඥවරුන් එයට විරුද්ධ වූ අතර 1977 දී එය සංශෝධනය කරන ලදි. එහි වැදගත්කම අද වන විට වඩා පැහැදිලි වෙයි. එවකට අප්‍රාණිකව පැවැති අධිකරණ කටයුතු අමාත්‍යාංශය බණ්ඩාරනායකයන් විසින් ශක්තිමත් කිරීමට උත්සාහයක යෙදුණු නමුත් එය සාර්ථක නොවිණි. එහි පළවිපාක අද වන විට අපි අත්විදිමු.

වර්තමානයේ රජය බලයට පත් වීමෙන් අනතුරුව නීති පද්ධතිය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර නීති පද්ධතිය යාවත්කාලීන කිරීමේ ක්‍රමවේදයක් සහ යම් වෙනසකට භාජනය කිරීමට උත්සාහයක් සහ උනන්දුවක් ඇති බව පෙනෙයි. ඒ සඳහා යම් කිසි ක්‍රමවේදයක් ඇති කරමින් පවතින බවත් අධිකරණ සඳහා විනිසුරුවරුන් වැඩි වශයෙන් පත් කිරීම් ද සිදුකරමින් පවති.

අධිකරණ පද්ධතියේ පැහැදිලි ක්‍රමවේදයක් ඇති කිරීමත් විධිමත් කිරීමත් ඉතා වැදගත්වෙයි. විශේෂයෙන් සඳහන් කළයුතු කරුණක් නම් නඩු පමාව නිසා අනිවාර්යෙන්ම අපරාධ වැඩිවීමට තුඩු දිය හැකි බවයි. එමෙන්ම ජනතාව තුළ නීතිය පිළිබඳව විශ්වාසය බිඳවැටීමයි. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වේ නම් විදෙස් ආයෝජකයන් මේ රටට විශ්වාසයෙන් යුතුව පැමිණිම සිදුවෙයි. ආයෝජකයන් රටේ නීති පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරය මෙරටට පැමිණිමට පෙර අනිවාර්යෙන් සලකා බලයි.

නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරලීමත් මේ නීති පද්ධතිය ශක්තිමත් කරලීමත් වගකිව යුතු පාර්ශ්වයන්ගේ වගකීමකි. විනිසුරුවරුන්, නීතීඥවරුන්, නීති විද්‍යාලය, නීතිඥ සංගමය සහ වෙනත් රජයේ ආයතන සියලුම පාර්ශ්වයන් ඊට එකතු විය යුතුයි. එක්ව වැඩ කළයුතුයි. ඔවුන්ට නිපුණතාවය මෙන්ම වෘත්තිය පුහුණුව තිබිය යුතුයි. නීතිඥවරුන්ගේ දැනුම නිරන්තරයෙන් අලුත් වන අධ්‍යාපන මධ්‍යස්ථාන ඇති කළ යුතුයි. ඒ සඳහා වෙනත් රටවල එවන් පහසුකම් සපයා ඇත. මේ රට 18,000ක් පමණ නීතිඥවරුන් සිටින අතර ඒ අයගේ දැනුම් මට්ටම් ඉතා ඉහළ අගයක ඇතැයි විශ්වාස කළ නොහැක. ඔවුන් තම සේවාව සම්බන්ධයෙන් අවංක විය යුතුයි. ඇතැම් රටවල නීතිඥවරුන් සඳහා ද විශේෂ නීති ක්‍රියාත්මක වෙයි. වැරදිකරුවන්ට දැඩි දඬුවම් දෙයි. අපේ රටේත් සේවාදායකයන්ට යම් අසාධාරණයක් සිදුවන අවස්ථාවලදී ඒ සදහා යම් නීති පද්ධතියක් ඇති කළ යුතුය. එමෙන්ම එවැනි අවස්ථාවල සේවාදායකයන්ට ඒ වෙනුවෙන් යම් ක්‍රමවේදයක් නීතිඥ සංගමය විසින් සම්පාදනය කළ යුතුයි. යම් අකටයුතුකම් නීතිඥවරුන් අතින් සිදුවේ නම් යහමඟ යැවිමට යම් නීති සැකසිය යුතුයි. එහිදි අධිකරණ අමාත්‍යංශය සහ ඉහළ අධිකරණ සියල්ල සහය ලබාදිය යුතුයි.

ක්ෂේත්‍රයේ නියැළෙන්නන් විසින් දැනුම් මට්ටම් නිරන්තරයෙන් වැඩි දියුණු කරගත යුතුය. ඒ අතර නීති විශාරදයන්ගෙන් නීති අධ්‍යාපනය ලබාගත යුතු සේම අධිකරණයේ ස්වාධීනත්වය සහ කීර්තිනාමය රැකිය යුතුයි. පරිපාලන ක්‍රමවේදයන් විධිමත්වීම සහ අධ්‍යයතන විය යුතුයි. එමෙන් ම නීති පද්ධතියට තොරතුරු තාක්ෂණික දැනුම භාෂා දැනුම අවශ්‍ය වෙයි. තවමත් යල් පැනගිය නීති ක්‍රමවේදයන් භාවිත වීම විශාල අර්බුදයක් වන අතර එය නවීකරණය විය යුතුයි.

නීති පද්ධතිය මෙන්ම භෞතික වශයෙන්ද වෙනස් විය යුතුයි. විශේෂයෙන් පැරණි ෆැක්ස් යන්ත්‍රය වෙනුවට අඩුම තරමින් ඊ තැපෑල භාවිත කළ යුතුයි. කාලින වීය යුතුය කියන්නේ ඒ කරුණු පදනම් කරගෙනයි . වෙනත් රටවල් ඔන්ලයින් ක්‍රමවේදයන් යටතේ මේ නඩු සම්බන්ධයෙන් කටයුතු සිදු කෙරෙයි. එංගලන්තයේ වැනි රටවල්වල සිතාසි ලබාදීම් වැනි දේ සිදු කරනු ලබන්නේද විද්‍යුත් තැපෑල මඟිනි. කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් අනතුරුව නව තාක්ෂණික ක්‍රමවේදයන්ට යොමු වීමේ යම් ප්‍රවණතාවක් ඇතිවී තිබිම ඉතා වැදගත් වෙයි. ලංකාවේ සෑම පුද්ගලයෙකුටම මෙන් ජංගම දුරකතනයක් ඇති අතර මෙවැනි නීති කටයුතුවලදී අන්තර්ජාලය හරහා තොරතුරු ලබා දීමේ ක්‍රමයන් පුළුල් කර ගැනීම වැදගත් වෙයි. එසේම නඩු ප්‍රමාදයන්ට බලපානු ලබන වෙනත් හේතු සාධකයන්ටද කඩිනම් විසදුම් ලබා දිය යුතුයි. දීර්ඝකාලීනව පවතින නඩු සඳහා වෙනම අධිකරණ පද්ධතියක් සකස් කර එවැනි නඩුවලට කඩිනම් විසඳුම් ලබා දීමේ ශක්තිමත් ක්‍රමවේදයන් ඇති කළ යුතුයි. නීති උපදේශන සේවාවන්ද ලබා දිය යුතුයි. සේවාදායකයන්ට නඩු මගට යෑමට පෙර සමථ මණ්ඩලවල සහය සදහා යොමු කිරීමට පියවර ගත යුතුයි. එවැනි ආයතන සදහා කාර්යශූර නිලධාරීන් පත් කර විශ්වාසය තහවුරු කළ යුතුයි.

නීතිඥයන්ගේ අය කිරීම්

එමෙන්ම නීතිඥවරුන්ගේ අය කිරීම් සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සැකසිය යුතුයි. අසාධාරණ අය කිරීම් සම්බන්ධයෙන් යම් කිසි පියවරක් ගැනීමට ක්‍රමවේදයන් සැකසිය යුතුයි. සේවාදායකයා යම් මුදලක් ගෙවා ලබාගන්නා සේවාවේ අකාර්යක්ෂමතාවයන් පිළිබඳව, නඩු තීන්දු ප්‍රමාද සම්බන්ධයෙන් ජනතාව ඉතාම කනස්සලෙන් පසුවෙයි නම් එය ඉතාමත් අසාධාරණයකි. ඒ සියල්ල විසඳිය යුතුයි.

තමන් ගෙවන මුදලට සේවාදායකයාට සේවාවක් ලබා ගැනීමට අයිතියක් ඇත. එය මානව හිමිකමකි. එවැනි අයිතිවාසිකම් බලාත්මක කිරීමට නීතිඥ සංගම් ක්‍රියාකාරි විය යුතුයි. නීති පද්ධතිය සැමට සාධාරණ විය යුතුයි. රාජ්‍ය නොවන සංවිධාන විසින් මානව හිමිකම් සම්බන්ධයෙන් කටයුතු කිරීම මිස නීතිය ආධාර වැඩි දියුණු කිරීම සඳහා පිහිටක් නොවෙයි. පවතින අකාර්යක්ෂම ක්‍රමවේදයන් විධිමත් කිරිම සදහා නීතිඥ සංගමය මෙන් ම අදාළ ආයතන රජයෙන් ඉල්ලිමක් කළ යුතුයි. එසේ වුවහොත් රටටම සාධාරණත්වයක් ඉටුවනු ඇත.

අපේ රටේ පවතින නීතිය පිළිබඳ අපැහැදිලිකම් පැහැදිලි කර ගැනීමට හැකි වන සේ විධිමත් ක්‍රමවේදයන් සැකසිය යුතුයි. නීති පද්ධතිය ජාත්‍යන්තර තලයට ගෙන යා යුතුයි. සියලුම නීතියට අදාළ අංශවල විධිමත් භාවයක් ඇති කළ යුතුයි. නීතිය සාධාරණව ඉටු කිරීමට නම් නීතිය කඩිනමින් පසිඳලිය යුතුයි. ඒ සඳහා නීති පද්ධතිය සංශෝධනය කඩිනම් කිරීම අත්‍යවශ්‍යයි. මෙරට යල් පැනගිය නීති පද්ධතිය යාවත්කාලීන කළ යුතුයි. මේ විසිරුණු නීති පද්ධතිය ‘එක් රටක් - එක් නීතියක් ‘ බවට පත් කළ යුතුයි.

බ්‍රිතාන්‍ය යුගයේ සිට පැවතගෙන එන අපරාධ නීතිය අනිවාර්යෙන් සංශෝධනය විය යුතුයි. මේ එමෙන් ම ජනතාවට සහ නීතිඥවරුන්ට සිංහලයෙන් ඉංග්‍රීසියෙන් සහ දෙමළෙන් තමන්ගේ භාෂාවෙන් නීති පද්ධතිය පිළිබදව දැනුම්වත් වීමක් අත්‍යවශ්‍ය වෙයි. මූලික නීතිය පාසලේදීම උගැනීමට පියවර ගත යුතුයි . නීති කොමිසම ප්‍රති සංවිධානය කළ යුතුයි. අලුත් ආකල්ප අලුත් දැක්මක් අලුත් ජාත්‍යන්තර තලයේ නීති ක්‍රමවේදයන් නීති පද්ධතිය තුළ ඇති කළ යුතුයි. නීති පද්ධතියට අයත් සමස්ත පිරිසගේම ඒ සඳහා ආකාල්පමය වෙනසක් ඇතිවිය යුතුයි. ජනමාධ්‍යද ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වෙයි. යල් පැනගිය නීති වෙනුවට නව නීති අත්‍යවශ්‍ය වෙයි. නීති ප්‍රතිසංස්කරණය කිරීමට නීති විශාරදයන්ගේ උපදෙස් ලබාගෙන විධිමත් ආකාරයෙන් කළ යුතු වෙයි. එය රටේ කාලීන අවශ්‍යතාවකි. රටක ස්වාධීනව සහ කඩිනමින් නීතිය ඉටුකිරීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක වීම ඒ රටේ සමස්ත ක්‍රියාවලියට බලපාන බව අමතක නොකළ යුතුය.

Comments