
තවමත් අභිරහසක්
'එය සිදුවී වසර පනහක්. ඒත් එය තවමත් නොවිසුඳුණු අභිරහසක්. මේ මොහොමඩ් අලී සර්ව කාලීන මතකයක් කළ සනී ලිස්ටන්ගේ අභිරහස සම්බන්ධයෙන් තැබෙන කෙටි සටහනක්.'
වර්ෂ 1971 ජනවාරි මාසයේ දිනෙක නෙවාඩා ප්‍රාන්තයේ ලාස්වේගාස්හි පිහිටි මන්දිරයක ඉහළ මාලයේ කාමරයක සනී ලිස්ටන් මියගොස් තිබුණේය. පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය වූයේ ස්වභාවික හේතුන් මත ඇතිවූ හෘද අකර්මන්‍යවීමකින් හා පෙනහළු ආශ්‍රිතව හටගත් ආබාධයකින් මරණය සිදුව ඇති බවය. ලිස්ටන් එසේ මියගොස් ඇත්තේ 1970 දෙසැම්බර් 30 වැනිදා හෝ ඊට ආසන්න දිනක බවද මරණ පරීක්ෂකවරයාගේ මතය විණි. ලිස්ටන්ගේ මන්දිරය ඉදිරිපිට තිබූ පුවත්පත්, කිරි බෝතල් පරීක්ෂා කිරීමෙන් පසු මරණ පරීක්ෂකවරයා අදාළ නිගමනයට එළැඹ තිබුණේය. ලිස්ටන් මෙසේ නිවසේ මියගොස් සිටියදී මුලින්ම සොයාගත්තේ ඔහුගේ ආදරණීය බිරිය ජෙරල්ඩීන් ලිස්ටන් විසිනි.
'මම දින දොළහක් මවගේ නිවසේ ගතකර නිවසට එද්දී අපේ නිවස ඉදිරිපිට රියගාලේ මගේ රෝස පැහැති කැඩිලැක් රථය තිබුණා. කැඩිලැක් රථයේ තනියට සනීගේ කළු පැහැති අලුත්ම අලුත් ෆ්ලීට්වුඩ් රථයත් වුණා. රථය දැකපු ගමන් මට හිතුණේ සනී එළියට නොගිහින් ගෙදරට වෙලා ඉන්නවා කියලයි. ඉතින් මම, පුතාත් එක්ක යුහුසුළුව නිවසට ඇතුළු වුණා.'
එසේ නිවසට ආ ඇයට ලිස්ටන් කොහේ සිටින්නේ ද? යන ප්‍රශ්නය පැණ නැගුණේ ඒ වනවිටත් නිවසේ විදුලි පහන් දල්වා තිබුණ ද නිවසේ ජනේල විවෘත වී තිබූ හෙයිනි. එහෙත් නිවසේ පිවිසුම් දොරටු ද අගුලුලා නොතිබිණි. නිවසට ගොඩවද්දීම ඇගේ නාසයට දැනුණේ දුර්ගන්ධයකි. එහෙයින් ඈ පළමුව කුස්සියට එබී බැලුවාය. එහෙත් කිසිදු වෑංජනයක් කුස්සියේ පිසෙමින් තිබුණේ නැත. එසේනම් මේ ගඳ කුමක්දැයි සිතමින් සාලයට එද්දී ඈට ඇසුණේ නිවසේ ඉහළ මාලයේ කුටියක ක්‍රියාත්මකව ඇති රූපවාහිනියේ හඬය.
එහෙයින් කඩිනමින් තරප්පු පෙළ දිගේ ඉහළට ගොස් ඔහුගේ කුටියට එබී බැලූ ඈ දොර අතරින් දුටුවේ ලිස්ටන්ගේ කකුලක් සහ කඩාවැටුණ හිස ය. එසැණින් ඇයට සියල්ල වැටහිණි.
බොක්සිං ලෝකයේ මහා දැවැන්තයකු වූ ප්‍රතිවාදී බොක්සිං ක්‍රීඩකයන් සලිත කළා වූ සනී ලිස්ටන් මියගොස් ඇති පුවත ඇමරිකාව පුරා අකුණු සැරක් මෙන් ව්‍යාප්ත වූයේ එලෙසය. මරණයට හේතුව ඝාතනයක් බවටද මතයක් ගොඩනැංවිණි. එහෙත් ජෙරල්ඩීන් කිසිවක් ප්‍රකාශ නොකළා ය.
මේ අතර ලිස්ටන්ට නිසි රැකියාවක් නොමැති වූ හෙයින් ඔහු ලාස් වේගාස්හි මත්ද්‍රව්‍ය ජාවාරම් සංස්කෘතිය හා එක්ව සිටි බවට ද මතයක් පළ වෙමින් තිබුණේය. වරක් ඔහුගේ සමීපතම මිතුරකු වූ ලෙම් බැන්කර් කීවේ,‘ ලිස්ටන් වටේ නරක මිනිස්සු හිටිය බව මම දන්නවා. අනික ඔහුට හරියට මුදල් අවශ්‍යතාත් තිබුණා.‘ යැයි කියාය.
‘ලිස්ටන් උඩුකය වැසෙන ලෙස ටී ෂර්ට් එකක් ඇඳගෙන බොක්සිංවලට අඳින කොට කලිසමක් එක්කයි මියගොස් සිටියේ. නිවසේ කිසිම සටනක් සිදුවූ බවට සාක්ෂි තිබුණේ නෑ. ප්‍රධාන නිදන කාමරයේ කුඩා බෑගයක තිබී මරිජුනාවා සුළු ප්‍රමාණයක් හමුවුණා. වොඩ්කා වීදුරුවක් ඊට ආසන්නයේ තිබුණා. සිරුරේ දකින්නට ලැබෙන තුවාල කිසිවක් වූයේ නෑ. අනෙක ආයුධ කිසිවක් නිවසේ තිබී හමුවුණෙත් නෑ.‘ යැයි පරීක්ෂණ සිදුකළ පොලිස් නිලධාරී ඩෙනිස් කැපුටෝ ප්‍රකාශ කර තිබිණි.
තවදුරටත් සිදුකළ පරීක්ෂණවලදී කුස්සියේ තිබී හෙරොයින් ස්වල්පයක් ද පොලීසිය සොයා ගෙන තිබිණි. එහෙත් සිරින්ජර් කිසිවක් එහි වූයේ නැත. ඒවා පොලීසියට දැනුම්දීමට පෙර ජෙරල්ඩීන් ලිස්ටන් සහ ඔවුන්ගේ පවුලේ නීතිඥයා විසින් විනාශ කරන්නට ඇතැයි පොලිසිය සැක කළේය. එසේ සිතුවේ සනී මත්ද්‍රව්‍ය ලබාගත් බව ප්‍රකාශ කරන්නට ජෙරල්ඩීන් සූදානම් නොවූ හෙයිනි.
‘ලිස්ටන් හෙරොයින් භාවිත කළේ නෑ. ඔහු සිරුරට සිරින්ජර් කටු ගහන්න බයයි. අසනීපයකදීවත් එන්නත් ගන්න වෛද්‍යවරයෙක් ගාවට ගියේ නෑ. ‘ ලිස්ටන්ගේ පුහුණුකරුවකු වූ ජොනී ටොකෝ 1989 වසරේදී වොෂිංටන් පෝස්ට් පුවත්පතට පවසා තිබුණේය.
නීතිපතිවරයාගේ නියමය අනුව සිරුර රැගෙන ගොස් පරීක්ෂා කිරීමේදී අනාවරණය වුණේ මෝෆීන් හා කෝඩෙයින් (morphine & codeine) මළ සිරුරේ පැවැති බවයි. ‘මත්ද්‍රව්‍ය සාන්ද්‍රණය ඉහළ ගිහින් ඒක දරාගන්න බැරිවීමත් මේ මරණයට හේතුවක්. ‘ යැයි පැවසිණි.
මෙම මරණය ඝාතනයක් බවට විවිධ මත පළවන්නට වූයේ පාතාල ලෝකය සමඟ පැවැති සම්බන්ධතා ගෙනහැර දක්වමිනි. ලිස්ටන් ගේ පියාගේ දෙවැනි විවාහයෙන් උපන් 11 වැනි දරුවා වූ සනී ලිස්ටන් කුඩා කාලයේදීම පවුලෙන් වෙන්වූ අතර පසුව අපරාධ ලෝකය සමඟ සම්බන්ධ වූ නිසා වසර දෙකහමාරක පමණ කාලයක් සිර දඬුවමකට පවා ලක්විය. ඔහු බොක්සිං ක්‍රීඩාව උගත්තේ සිපිරි ගෙදර සිටින විට වීම විශේෂත්වයකි.
හෙවිවෙට් බොක්සිං කිරුළ දිනා මාස 18කට පසුව කැසියස් ක්ලේ නමැති අවුරුදු 22ක තරුණයකු විසින් ලිස්ටන්ගේ කිරුළ උදුරා ගත්තේය. එකල එය විශාල අත්වැරදීමක් ලෙසින් හැඳින්වුණු අතර ඊට පසුව ඔවුන් දෙදෙනා යළි මුණගැසුණු අවස්ථාවේ පළමු වටයේදීම නොකවුට් ජයක් කැසියස් ක්ලේට හිමිවිණි. එය සමස්ත බොක්සිං ලෝකය දෙදුරුම් කැවූ අතර තරග පාවාදීමක් වශයෙන් ප්‍රකට වූයේ එය අනපේක්ෂිත පරාජයක් වීම නිසාය. පසුකලෙක ඔහුගේ බිරිය ජෙරල්ඩීන්ද ප්‍රකාශ කළේ තරගය අතහරින්නට ලිස්ටන් කටයුතු කරන්නට ඇති බවය. ‘මම හිතනවා ඔහු තරගය අතහැරියා කියලා. මම දන්නෙ නෑ ඔහුට මුදල් ලැබුණ ද නැද්ද කියලා. ඒත් ඒක මගේ හැඟීම. මම ඒක ඔහුටත් කිව්වා.‘ ජෙරල්ඩීන් කීවාය.
ලිස්ටන්ගේ මරණය පිටුපස තරග පාවාදීම් ගැටගැසී ඇතැයි ඇතැමුන් විශ්වාස කරන්නේ මේ අනුව ය. ඒ ඔහු අවසන් වරට සහභාගි වූ තරගය අතහරින ලෙසට පාතාල ලෝකයෙන් සිදුකළ ඉල්ලීම ඔහු ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකළ බවටත් මතයක් ඇත. තවත් පිරිසක් පවසන්නේ මරණයට පෙර ලිස්ටන් මෝටර් රථ අනතුරකට ලක්වූ බවත් ඉන් ඇතිවූ සංකූලතාවයක් මරණයට හේතුවූ බවත් ය.
කෙසේ නමුත් සාමාන්‍ය මිනිසකුට වඩා විශාල දෑතක් හිමිවූ ලිස්ටන් ශක්තිමත් බාහු යුග්මයක් පිහිටා තිබූ සුවිශේෂී බොක්සිං ක්‍රීඩකයෙකි. ‘වලසා‘ ලෙසින්ද ‘වන මෘගයා‘, ‘ගෝරිල්ලා‘, වැනි අවඥා සහගත නාමයන්ගෙන් ලිස්ටන් හැඳින්වීමට
ඇතැම් ජනමාධ්‍ය කටයුතු කළේ එහෙයිනි. තම බොක්සිං ජීවිතයේ තරග 50ක් ජයගෙන 4ක් පරාජයවී ඇති ලිස්ටන් ඉන් තරග 39ක් ජයගෙන ඇත්තේ නොකවුට්ස් ජයග්‍රහණ ලෙසය. ලොව පහළවූ විශිෂ්ටතම බොක්සිං ක්‍රීඩකයන් දස දෙනා අතර ස්ථාන ගතවන ලිස්ටන් ඇතැමුන් සලකන්නේ දෙවැනි, තෙවැනි, සිව්වැනි ලෙස වුවද ශ්‍රේණිගත කළ හැකි බවයි.
‘මම සටන් කරලා තිබෙන සියලු බොක්සිං ක්‍රීඩකයන් අතරින් භයානකම ක්‍රීඩකයා ලිස්ටන්.‘ මොහොමඩ් අලී පසුකලෙක ප්‍රකාශ කළේය. එය ලිස්ටන් තේරුම් ගැනීමට කදිම සාක්ෂියකි.
ලාස් වේගාස්හි පැරඩයිස් මෙමොරියල් ගාර්ඩ්න්ස් (පාරාදීස අනුස්මරණ උද්‍යානයේ) තැන්පත්කර ඇති ඔහුගේ දෙණ මත ඇති ඵලකයේ දැක්වෙන්නේ ‘මිනිසෙක්.‘ යන අර්ථය සහිත ‘A Man‘ යන්නයි. එහෙත් ඒ මිනිසාගේ මරණය තවමත් නොවිසුඳුණු අභිරහසකි.











