
තවම එහෙම තීරණයක් ගෙන නැහැ
වෛද්‍ය මනිල් ප්‍රනාන්දු
වෛද්‍ය කමිටු ප්‍රධානී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය
පාපන්දු ක්‍රීඩකයන් එකිනෙකා ගැටීමෙන් ඔවුන්ගේ හිස ආශ්‍රිතව සිදුවන ආබාධ සම්බන්ධයෙන් මේ වනවිට ලෝකය තුළ දැඩි කතාබහක් පවතියි. ඊට වඩාත් ඉවහල් වූයේ පසුගියදා එංගලන්ත ප්‍රමුඛ පෙළ පාපන්දු තරගාවලිය අතරතුර ක්‍රීඩකයන් දෙදෙනකු එකිනෙකා ගැටීමෙන් හිස ආශ්‍රිතව සිදුවූ අනතුරක් හේතුවෙනි. ඒ ආර්සනල් ආරක්ෂක ක්‍රීඩක ඩේවිඩ් ලුයිෂ් අනතුරෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර ලබාදී දිගින් දිගටම ක්‍රීඩා කිරීමට යෙදවූ බව හුවා දක්වමිනි.
ලුයිෂ් හා වොල්ස් පිලේ ප්‍රහාරකයා වන රාවුල් ජිමෙන්ෂ් ගේ හිස් තරගයක් අතරතුර මෙලෙස එකිනෙක ගැටුණු නමුත් ආර්සනල් ක්‍රීඩකයාගේ හිස වෙළුම් පටියකින් ආවරණය කර යළි ක්‍රීඩාංගණයට එවා තිබුණේය. එම සිදුවීමත් සමඟ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව හා පාපන්දු නීති රීති සම්බන්ධයෙන් පුළුල් කතිකාව යළි ගොඩනැගී තිබුණේය.
ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු බවට යෝජනා ඉදිරිපත් විණි. මේ අතර වොල්ස් පිල පැවසූයේ ජිමෙන්ෂ් ගේ හිස් කබලේ සිදුවූ පැල්මක් හේතුවෙන් ඔහු සාර්ථකව සැත්කමකට බඳුන් කළ බවයි.
මේ අතර මෙවැනි ගැටුම් වලින් ක්‍රීඩකයන්ගේ හිසට සිදුවන අනතුරු පසුකාලීනව විශාල සංකූලතා ඇතිවීමේ අවදානම ඉහළ දමන බව ඇතැම් වෛද්‍ය පර්යේෂකයන්ගේ මතය වී තිබේ. ඒ හේතුවෙන් ඉහත දැක්වෙන ආකාරයට ඩිමෙන්ෂියා ගණයේ මතකය අහිමිවන රෝගාබාධයන්ට ක්‍රීඩකයන් ගොදුරුවීමේ අවධානමක් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
chronic traumatic encephalopathy
වරින් වර මොළය සෙලවීමේ අනතුරු හේතුවෙන් මොළය ආශ්‍රිතව දරුණු රෝගාබාධයන් හටගන්නා බව ඔවුහු පවසති. විශේෂයෙන් පාපන්දු, අයිස් හොකී වැනි ස්පර්ශක ක්‍රීඩාවන්හි (contact sports) නිරතවන ක්‍රීඩකයින් අතර මෙම රෝගී තත්ත්වය ඇතිවීමේ දැඩි අවදානමක් ඇතැයි එම වෛද්‍ය පර්යේෂකයන්ගේ මතයයි.
'එය අද ඊයේ සිට වාර්තාවන තත්ත්වයක් නොවෙයි. ඒක 1920 තරම් දුර ඈත අතීතයේ සිට වාර්තාවී තිබෙනවා.' එම පර්යේෂකයෝ අනතුරු අඟවා තිබේ. කෙසේ නමුත් හිස ආශ්‍රිතව නිතර සිදුවන අනතුරු හේතුවෙන් ඇතිවන සංකූලතා ඒකාබද්ධවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පසුකාලීනව CTE රෝග ලක්ෂණ පහළවන බව ප්‍රකාශිතය.
'මෙය වැළඳුණහොත් ගැලවීමක් නැහැ. අනිවාර්යයෙන්ම ඔහු එය විඳවිය යුතුයි. ඒ නිසා එවැනි තත්ත්වයකට පත්වීමෙන් වැළකීමට ළමා කාලයේ සිට ක්‍රියා කළ යුතු වෙනවා.' එම විශේෂඥයෝ පවසති.
'දිගින් දිගටම මෙවැනි අනතුරුවලට ලක්වනවා නම් ක්‍රමිකව ප්‍රබල සංකූලතා මතුවීමෙන් ගැලවෙන්න නොහැකියි. ඒ් නිසයි අපි මේවගේ අනතුරුවලින් හැකිතාක් ගැලවී සිටින්න යෝජනා කරන්නේ.' ඔවුහු පෙන්වා දෙති.
ඒ අනුව ඇල්ෂෙයිමර් රෝගීන් ලෙසින් හැඳින්වෙන (Alzheimer) රෝගීන් ගණයට මෙලෙස රෝගාබාධයන්ට ලක්වන රෝගීන් වර්ගීකරණය කරනු ලැබේ.
එසේම ජානමය කාරණා ඇතුළු තවත් කාරණා කීපයක්ද මෙවැනි රෝගාබාධ හේතුවෙයි. එහෙත් දැනට මෙම ඩිමෙන්ෂියා ගණයේ අමතකවීමේ රෝගාබාධය වැඩිවශයෙන් ඇතිවීම සඳහා මොළය ආශ්‍රිතව තදබල කම්පනයන්ට ලක්වීම තහවුරු කරගත් හේතුවක් බවට පත්වී ඇත.
කලකට පෙර මෙය බොක්සිං ක්‍රීඩකයන් අතර වැඩි වශයෙන් වාර්තා වූව ද දැන් දැන් පාපන්දු සහ හොකී ක්‍රීඩකයන් අතරේ ද වාර්තාවෙමින් තිබේ. පැසිපන්දු ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ද මෙවැනි රෝග ලක්ෂණ මතුවී තිබුණ ද ඒවා නිවැරදිව තහවුරු කරගන්නට වෛද්‍යවරුන්ට අවස්ථාව හිමිව ඇත්තේ කිසියම් රෝගියෙක් යම් සංකූලතාවයකින් මරණයට පත්වීමෙන් අනතුරුව සිදුකරණ මරණ පරීක්ෂණයේ දී මොළය ආශ්‍රිතව කපා බැලීමකින් පමණක් වීම මෙහි බැරෑරුම් භාවය තවදුරටත් ඉහළනංවා ඇත. මෙම බැරෑරුම් භාවය තේරුම් ගත් හෙයින් ඇතැම් පාපන්දු ලීග් තරගවලදී පන්දුවට හිසින් පහරදීම තහනම් කර ඇත්තේද එහෙයිනි.
පාපන්දුවට හිසින් පහර දීමෙන් ඩිමෙන්ෂියා හෝ ඇල්ෂෙයිමර් ආකාරයේ රෝග ඇතිවෙන බවට තවමත් විද්‍යාත්මකව තහවුරු කර නැහැ. ඇතැම් කණ්ඩායම් එය එසේ යැයි තර්ක කරනවා. නමුත් එසේ වන බව හෝ නොවන බව මතවාද පමණයි. සාමාන්‍යයෙන් පාපන්දුවට හිසින් පහරදීමේ පුහුණු කටයුතු වලදී සැහැල්ලු පන්දුවක්, හොඳින් සුළං පිරවූ පන්දුවක් භාවිත කරන්න කියලා පුහුණු විශේෂඥයන් උපදෙස් දෙනවා. ඒ වගේම ඇතැම් රටවල් දැනටමත් දරුවන් පාපන්දු ක්‍රීඩාවේ යෙදෙනවිට පන්දුවට හිසින් පහර නොදෙන්න කියලා නීති පවා පනවලා තිබෙනවා. උදාහරණයකට ස්කොට්ලන්තය ඒ වගේ රටක්. අවුරුදු 12න් පහළ දරුවන්ට තමයි ඔවුන් මෙය නීතියක් වශයෙන් පනවා ඇත්තේ.
නමුත් පන්දුවට හිසින් පහර දෙන්නට යාමේදී ප්‍රතිවාදීන් දෙදෙනෙක් ගුවනට පීනද්දී එක් අයෙක්ගේ වැල මිටෙන් අනෙකාගේ හිසට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම් අවස්ථා පාපන්දු ක්‍රීඩාවේදී අපි දැක තිබෙනවා. මේ ආකාරයේ පහරවලට ක්‍රීඩකයන් ලක් නොවීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කහ කාඩ්පත් හා රතු කාඩ්පත් එසැණින් නිකුත් කරන්නැයි විනිසුරුවන්ට නියෝග කර තිබෙනවා. ආසියානු පාපන්දු සම්මේලනය හෝ ලෝක පාපන්දු සම්මේලනය තවමත් පාපන්දුවට හිසින් පහර දෙන්න එපා කියලා කිසිම නියෝගයක් ලබාදී නැහැ. ආසියානු පාපන්දු සම්මේලනයේදී අපි මේ ගැන දිගින් දිගටම කතා කරලා තිබෙනවා. නමුත් එසේ කියන්න ප්‍රමාණවත් තොරතුරු තවමත් අප සතු නෑ. අනෙක පන්දුවට හිසෙන් පහර දෙන අවස්ථාවන් වැඩිපුරම ඇත්තේ පුහුණු කටයුතු වලදී. එතැනදී කුඩා දරුවන්ට සැහැල්ලු පන්දුවලින් හිසෙන් පහර දෙන්න හුරු කරන්න කියන එකයි වෛද්‍ය නිර්දේශය. එහෙම නැතිව තවම අපි සම්පූර්ණයෙන්ම එය තහනම් කරන්න තීරණය කර නැහැ.
ඡායාරූප - ජගත් ඉරෝෂන











