වැඩ­බැරි ටාස­න්ලාගේ මනෝ රාජ්‍යය | Page 2 | සිළුමිණ

වැඩ­බැරි ටාස­න්ලාගේ මනෝ රාජ්‍යය

කෝවිඩ්-19 හෙවත් කොරෝනා යක්ෂයා දැන් දත් විලිස්සමින් කුරුමානම් අල්ලන්නේ අපේ රට ගිල දැමීමටය. ඔහු සතු බලය මෙන්ම ශක්තිය ද මෙවර පෙරට වඩා වැඩිවී තිබේ. ඒ අනුව මෙවර අප හමුවට එන එක කොරෝනා ආසාදිතයකුට පුද්ගලයන් 512 දෙනෙකු දක්වා පිරිසකට මෙම මහා වයිරසය ආසාදනය කළ හැකි බව වෛද්‍ය විද්‍යාඥයන්ගේ අද හසුවී ඇත. ඒ අනුව දැන් අප සිටින්නේ ඉතාමත් බරපතළ තත්ත්වයක එළිපත්ත මතය.

එසේ වුවද ආණ්ඩුවේ බලධාරීහු ඒ බවක් නොපිළිගනිති. සෞඛ්‍ය ඇමතිනිය පවා තවමත් කියන්නේ කොරෝනා උවදුර වසංගත තත්ත්වයකට පත්වී නැති බවය.

මේ අතර කොරෝනා වසංගතය මැඩලීමේ මෙහෙයුමට උරදී සිටින යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණත් ඒ කතාවම ප්‍රතිරාවය කරන බවක් පෙනෙන්නට තිබේ. යුද හමුදාපතිවරයාට යමක් කළ හැකි බව අපට විශ්වාසය. ඒ ඔහු පසුගිය වතාවේ වැඩ පෙන්වා ඇති බැවිනි.

එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ මෙවර රාජ්‍ය අංශයෙන් ඔහුට ලැබෙන සහයෝගය ප්‍රමාණවත් නොවීමයි. අපට පෙනෙන අන්දමට ඒ සඳහා ප්‍රධාන වශයෙන්ම මුල් වී ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තේ පවතින බව කියන අසමගියයි. එම නිසා හටගෙන තිබෙන අකාර්යක්ෂමතා තවත් බරපතළ ප්‍රශ්නයකි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරන අන්දමට කොරෝනා වසංගතයට අදාළ බොහොමයක් තොරතුරු සහ දත්ත සටහන් නිසි ලෙස නොලැබීම නිසා මේ පිළිබඳව තීන්දු තීරණ ගැනීමේ ප්‍රමාදයක් පවතී. එසේ වී ඇත්තේ එම දත්ත තොරතුරු රැස්කිරීමේ දී සිදුවී ඇති අතපසුවීමක් නිසා විය හැකිය. නැතහොත් කිසි මෙහෙයවීමක් නැතිකම ද ඒ සඳහා මුල් වූ තවත් හේතුවක් වීමට ද ඉඩ තිබේ.

මේ අතර කොරෝනා අසාදිතයන් සොයා ගැනීම සඳහා සිදුකරන පී. සී. ආර්. පරික්ෂණ පැවැත්වීමට අවශ්‍ය උපාංග ප්‍රමාණවත් තරමින් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සතුව නැති බවක් ද අසන්නට ලැබේ. ඒ කතාව සත්‍යයක් නම් එහිදි බරපතළ අවදානමක් තිබේ. එසේ වන්නේ යම් පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු දැයි නිශ්චය කිරීම සඳහා පී. සී. ආර්. පරික්ෂණය අතිශය වැදගත් වන බැවිනි.

එහෙත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සතුව පී. සී. ආර්. පරික්ෂණය පැවැත්වීමේ දී අවශ්‍ය කරන උපාංග ප්‍රමාණවත් තරමින් නැතිනම් සිදුවන්නේ සැක සහිත පුද්ගලයන් නිසි පරිදි හඳුනා ගැනීමට නොහැකි වීමය. එවිට කොරෝනා අසාදිතයන් පවා ආසාදිතයන් නොවීමට ඉඩ තිබේ.

කෙසේ වෙතත් පී. සී. ආර්. පරික්ෂණ කට්ටල 25,000 ක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය එකඟත්වය පළ කර ඇතැයි ඉකුත් දා මෙරට ජනමාධ්‍ය වාර්තා කර තිබුණේය. චීනය ඊට පෙර ද පී. සී. ආර්. පරික්ෂණ කට්ටල 75,000ක් මෙරටට පරිත්‍යාග කර තිබුණ අතර මෙවර තවත් පරික්ෂණ කට්ටල 25,000 ක තොගයක් පරිත්‍යාග කිරීම අවස්ථාවේ හැටියට ලොකු දෙයකි. එහෙයින් දැන් අවශ්‍ය කරන්නේ එම පී. සී. ආර්. පරික්ෂණ කට්ටල හැකිතාක් ඉක්මනින් ලබා ගැනීමය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කටයුතු බොහෝවිට සිදු කරන්නේ ඉතාමත් මන්දගාමීවය. එය කාලයක සිටම එහි පැවතුණ තත්ත්වයකි. කුමන ආණ්ඩුවක් බලයට පත්වුව ද, කවරකු සෞඛ්‍ය ඇමති ධූරය පත්වුවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු වැඩ කටයුතු සිදු කෙරුණේ මන්දගාමීත්වය නැතහොත් ගොළුබෙලි ගමනිනි.

එසේම එම අමාත්‍යාංශය තුළ බරපතළ ගණයේ නිලධාරි මාෆියාවක් තිබුණේය. එම මාෆියාවට එරෙහි වුවන්ට එරෙහිව වචනයක්වත් කීමට මෑත කාලයකදී අමාත්‍යාංශයට පත් වූ කිසිදු ඇමැතිවරයකුට නොහැකි විය. ටෙන්ඩර් මගඩි එහි ඕනෑ තරම් සිදු කෙරුණේය. ඒවා ද දැක්කත් අදාළ ඇමැතිවරුන්ට සිදුවූයේ අතපය හකුළා ගෙන නිහඩ වීමටය. නැතහොත් එවැනි මගඩිවලට සම්මාදම් වීමටය.

ප්‍රේමදාස ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිනිය ලෙස රේණුකා හේරත් කටයුතු කළ සමයේ ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරින්ට තළා පෙළා කතා කරන බවට ඇතැම් පුවත්පත් වලින් ලොකු ඝෝෂාවක් නැඟූ බව අපට මතකය. ඒ කතාවේ යම් සත්‍යයක් තිබුණේය. ප්‍රේමදාස ආණ්ඩුවේ බලයෙන් උදම් වී සිටි ඇමතිනිය ඇතැම් විට එසේ කරන්නට ඇත්තේ එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයට අරක් ගෙන සිටි ඇතැම් උද්ධච්ච නිලධාරින්ගේ නොමනා ක්‍රියා කලාපය නිසා විය හැකිය.

කෙසේ වෙතත් එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ හදිසි අභාවයෙන් අනතුරුව පත්වූ ඩී. බී. විජේතුංග ජනාධිපතිතුමාගේ පාලනය යටතේ රේණුකා හේරත් සෞඛ්‍ය ඇමති ධූරයෙන් ඉවතට විසිවී යාමය. ඒ කාලයේ පවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරි මාෆියාව ඒ තරම්ම බලවත් විය.

එදා මෙන්ම අදටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරින් රජයේ නියෝග සහ අණ පනත් කෙරෙහි සැලකිල්ලක් දක්වන බවක් නොපෙනේ. ඔවුන්ට පරිපාලන රෙගුලාසි සහ මුදල් රෙගුලාසි ගැන සිහිපත් වන්නේ තමන්ගේ වාසියටය.

මහජන සම්බන්ධතාව පවතින්නේ ඉතාමත් පහත් අඩියකය. අඩුම වශයෙන් තමන්ට ලැබෙන දුරකථන ඇමතුමකටවත් පිළිතුරු දීමට කිසිදු වගකිව යුතු නිලධාරියකු උනන්දුවක් නොගනියි. පිටතින් ලැබෙන දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීම පවා ඔවුන් සිතන්නේ අනවශ්‍ය ප්‍රශ්නයක් ලෙසිනි.

එහි ඉහළ පුටුවලට අරක් ගෙන සිටින ඇතැම් නිලධාරින්ට එම තනතුරු දැරීමට අවශ්‍ය සුදුසුකම් ඉහළින්ම තිබෙනවා විය හැකිය. ඔවුන් එම තනතුරුවලට පත්වී සිටින්නේ ද ඒ නිසා වීමට පුළුවන. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන් පාලන කටයුතු සම්බන්ධයෙන් අදක්ෂයකු වීමයි. තැනට සුදුසු පරිදි කටයුතු කිරීමේ හැකියාවක් එම උසස් නිලධාරින්ට නැත. ඒ නිසා ඔවුන් කරන්නේ තමන්ට පහළින් සිටින දක්ෂයන් කපා හැරීමයි.

කොරෝනා උවදුර යනු මාරක වයිරසයකි. එහෙයින් කොරෝනා උවදුරු සමඟ සෙල්ලම් කිරීමට කිසිවකුට හෝ ඉඩ නොතැබිය යුතුය. එසේ වන්නේ කොරෝනාව වරද්දා ගතහොත් එය කොතැනින් කෙළවර වේදැයි අනුමාන කිරීමට පවා නොහැකි බැවිනි.

Comments