ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින ඕනෑම රටක මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වන කවර දේශපාලන පක්ෂයකට වුවද ජයග්‍රහණය කළ හැක්කේ තම ප්‍රතිවාදීන්ට වඩා ජනතා ආකර්ෂණය ලබා ගැනීමට හැකිවුවහොත් පමණි. එම සිද්ධාන්තය මත එම අපේක්ෂකයන්ට ජනතාවට හමුවේ නොයෙකුත් පොරොන්දු මලු දිග හැරීමට සිදුවීම නොවැළැක්විය හැකිය. ඒ සඳහා එම පක්ෂ නායකකාරකාදීන්ට මෙන්ම සෙසු අපේක්ෂකයන්ට ද ජනතාව හමුවේ නොයෙකුත් ලොකු කතා කීමට අනිවාර්යයෙන්ම සිදුවේ. අපේ වත්මන් තරුණ පෙළ එවැනි ලොකු කතා හඳුන්වනු ලබන්නේ "පොර ටෝක්" යනුවෙනි.
ඉකුත් යහපාලන ආණ්ඩුව ද 2015 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේ දී එවැනි පොරටෝක් අට්ටි ගණනින් දෙසා බෑවේය. එහෙත් තමන් විසින් දුන් එවැනි පොර ටෝක් තමන්ටම දිරවාගත නොහැකි වූ එම යහපාලන ආණ්ඩුවට අවසානයේ දී මුහුණ පෑමට සිදුවූ සත්තෑසිය ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවන්නේ එය ප්‍රසිද්ධ කරුණක් වන බැවිනි.
එසේම ඉකුත් ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී වත්මන් පොදුජන පෙරමුණේ ප්‍රධානීන් ද ජනතාව හමුවේ නොයෙකුත් පොරටෝක් දුන් බව අපට මතකය. ඒ අනුව ජනතාවගේ ආකර්ෂණය දිනාගත් පොදුජන පෙරමුණ ආසන 145 ක ආණ්ඩු බලයක් පමණක් නොව මෑතකදී 2/3 කින් සම්මත වූ 20 වැනි සංශෝධනය යටතේ විධායක ජනාධිපති තනතුරේ බලතල ද වැඩිකර ගත්තේය. ඒ අනුව මෙරට බහුතර ජනතාව දෑස් දල්වා බලා සිටියේ වත්මන් ආණ්ඩුවේ ලොකු ලොක්කන් ඡන්ද කාලයේදී කී කතා තිතට ක්‍රියාත්මක කරන තුරුය.
මෙවැනි තත්ත්වයක් යටතේ අද මේ සියලු ප්‍රශ්නයන්ට තනිවම මුහුණ දීමට සිදුවී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටය. සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රාදේවී වන්නිආරච්චිට සහ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධනට ද අනුන්ගේ පවුවලට කර ගැසීමට සිදුවී ඇත්තේ කාටුන් ශිල්පීන්ගේ දහසක් උසුළුවිසුළු වලට ද මුහුණ පාමිනි.
මෙහිදී එම දෙපළගේ යම් යම් අඩුලුහුඬුකම් පවතින බව වෙනම කතාවකි. පවිත්‍රාදේවියගේ මුට්ටි පා කිරීමත් තමන් මුඛ ආවරණ නොපැලඳ මාධ්‍ය හමුවලට පෙනී සිටිමින් ජනතාවගේ අපරික්ෂාකාරී බව සහ නොසැලකිල්ල ගැන දෝෂාරෝපණය කිරීමත්, වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මිල පාලන නීති රෙගුලාසි පනවමින් ගැසට් ගැහීම සහ විද්‍යුත් මාධ්‍යකරුවන් පිරිවරාගෙන ප්‍රසිද්ධ වෙළඳපොළට ගොස් වෙළෙදුන්ගෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇසීමත් ඒ අතරින් සමහරකි.
කෙසේ වෙතත් අද මෙරට පවතින අසාමාන්‍ය තත්ත්වය හමුවේ ඒ ඒ පාලකයන් හැටියට මුළු ඇමැති මණ්ඩලයම මේ ප්‍රශ්නයට මැදිහත් විය යුතුය. මන්ද තවත් වසර පහක් ගතවනතුරු රටේ සම්පූර්ණ වගකීම ආණ්ඩුවේ බලධරයන් ලෙස ඔවුන් වගකිව යුතු බැවිනි. මෙරට බහුතර ජනතාව 2/3 බලයක් පොදුජන පෙරමුණ වෙත ලබාදී ඇත්තේ ඔවුන් එම වගකීම ඉටුකරනු ඇතැයි යන විශ්වාසයෙනි.
අද කොරෝනා වසංගතය මැඩලීමේ සටනේ මුළු බරටම කරගසා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ පවිත්‍රාදේවී වන්නිආරච්චි මැතිනියයි. ඒ අතර බන්දුල මහත්මයාට සිදුවී ඇත්තේ ජනතාවගේ කුසගිනි නිවීමේ ප්‍රශ්නය මුල්කරගෙන කප්පරක් බැණුම් ඇසීමටය. නැතහොත් කාටුන් ශිල්පීන්ගේ උසුළු විසුළුවලට ලක්වීමටය.
මහාචාර්ය චන්න ජයසුමනත්, නීතිඥ සිසිර ජයකොඩිත් මෑතක සිට කොරෝනා බරට යන්තමින් කර ගසා තිබෙන බවක් පෙනෙතත් සෙසු මැති ඇමැතිවරුන් සිටින්නේ දැඩි ලෙස නිද්‍රාශීලීවය. අඩුම වශයෙන් ඔවුන් තම තමන් සහ කාර්යභාරයන් හරි හැටි ඉටුකරනවා නම් රටේ සමස්ත ජනතාවට මෙවැනි ප්‍රශ්න කන්දරාවකට මුහුණ පෑමට සිදුනොවන බව අපට සහතිකය.
කොරෝනා දෙවැනි රැල්ලක් පැතිරීමට මුල්වූ ප්‍රධාන හේතුව ජනතාවගේ නොසැලකිල්ලත්, අපරික්ෂාකාරීකමක් යැයි කියමින් නගන චෝදනා වලින් දැන් අපේ දෙසවන් පිරිගොස් තිබේ. ඔවුන් එසේ කියන්නේ මුව ආවරණ නොපැළඳීම සහ ඔවුනොවුන් අතර දුරස්ථභාවය රැක ගැනීමට ජනතාව උනන්දු නොවීම ගැන විය හැකිය. ඒ සඳහා මුල් වූ හේතු සාධක අතරින් එය එකක් බව සැබෑය. අද මෙලෙස කොරෝනා දෙවැනි රැල්ලක් රටපුරා පැතිර ගොස් ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් දැන් අතීතයට ගිය සිදුවීම් ගැන පසුතැවිලිවීමෙන් කවර ඵලයක් ද ?
එහෙයින් දැන කළයුතුව ඇත්තේ අතීතයේ සිදුවූ එවැනි වැරදි සහ අඩුපාඩු වලින් පාඩමක් උගෙන මෙම කොරෝනා ව්‍යසනයෙන් ගැලවීමය. ඒ සඳහා මුළු ආණ්ඩු පක්ෂයම තම තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න හා කුඩුකේඩුකම් අමතක කර දමා රටේ ජනතාවගේ සුබ සිද්ධිය මුල්කරගෙන එක්සත් විය යුතුය. විරුද්ධ පක්ෂයේ ද යුතුකම හා වගකීම විය යුත්තේ ආණ්ඩුවට ඔච්චම් කිරීම නොව අප රටක් වශයෙන් මුහුණ පා තිබෙන මේ බිහිසුණු වසංගතයෙන් බේරීම සඳහා රජයට ශක්ති ප්‍රමාණයෙන් සහයෝගය දීමය.