මේ ගැනත් සිතන්න | සිළුමිණ

මේ ගැනත් සිතන්න

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය ශ්‍රී ලංකාවට කඩා වැදී මේ වන විට මාස අටකටත් වැඩිය. දැනට පෙනෙන්නට තිබෙන අන්දමට නම් එහි වැඩි වීමක් මිස අඩුවීමක් පේන තෙක් මානයේ නැත. දිනපතාම පාහේ විද්යුත් මාධ්‍ය ඔස්සේ අපිට දකින්නට සහ අසන්නට ලැබෙන්නේ කොරෝනා උවදුර ක්‍රමයෙන් රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බවයි.

එය එතරම් සුබදායි තත්ත්වයක් නොවේ. එසේ වන්නේ කොරෝනාව රජයේ සෞඛ්‍ය අංශ වලට පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත් වුවහොත් එමඟින් වැනසී යන්නේ අපගේ ජීවිත වන බැවිනි. එය ආණ්ඩුවේ ප්‍රධානීන් පමණක් නොව අප වැනි සාමාන්‍ය ජනතාවත් තරයේ සිතට ගත යුතු කරුණකි. ඒ අනුව දැන් අප සියලු දෙනාම හමුවේ ඇත්තේ වගකීමෙන් යුතුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වන කාලයකි. එසේ නොකළහොත් අප සියලු දෙනාටම සිදු වන්නේ අකාලයේ මිය යෑමටයි.

එහෙත් අපේ ඇතැම් දේශපාලඥයන්ට පමණක් නොව දැන උගත් ජනතාවට පවා එම සත්‍ය මේ දක්වාම නොතේරී ඇති බවක් පෙනෙන්නට තිබේ. අප එසේ කියන්නේ අපේ ඇතැම් දේශපාලඥයන් මෙන්ම ජනතාව ද බොහෝ විට වගකීම් විරහිතව කටයුතු කරන අයුරු පෙනෙන්නට ඇති බැවිනි.

මෙරට සියලුම පාසල් දැනට මාස ගණනාවක් තිස්සේ වසා දමා තිබේ. එමඟින් අපේ පාසල් දරුවන්ට සිදු වී ඇති හානිය මෙතෙකැයි කිව නොහැකිය. එසේ වූ පමණින් කොරෝනා උවදුර තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතින තත්ත්වයක් තුළ පාසල් යළි විවෘත කිරීමට ඉක්මන් වීම එතරම් සුබදායි තත්ත්වයක් නොවේ.

එහෙත් දැන් ආණ්ඩුව සූදානම් වන්නේ ජනවාරි 11 වන දා සිට යළි පාසල් විවෘත කිරීමටයි. දිගින් දිගටම පාසල් වසා දැමීම නිසා මෙරට සිසු පරපුරට සිදු වන හානිය සුළුපටු නොවෙතත් කොරෝනා උවදුරෙන් මුළු රටම ගිනියම් වී තිබියදී යළි පාසල් විවෘත කළ යුත්තේ සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදිය. රට පුරා විධිමත් විමසීමක් සිදු කිරීමෙන් පසු සෞඛ්‍ය අංශවල නිර්දේශය පරිදි එවැනි තීරණයක් ගැනීමේ කිසිදු වරදක් නැති බව අපගේ අදහසයි.

එහෙත් එවැනි තීන්දුවක් ගත යුත්තේ හදවතින් නොව බුද්ධිය මෙහෙයවා නිසි ලෙස විමර්ශනය කිරීමෙන් පසුවයි. කොරෝනා වසංගතය පැතිරීම නිසා පාසල් දිගින් දිගටම වසා තැබීමෙන් සිසු දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමකට ලක් වුවහොත් ඒ සඳහා සුදුසු විකල්ප ක්‍රියා මාර්ගයක් ගැනීමට ආණ්ඩුවකට පුළුවන. එසේ වුවද සිසු පරපුරේ අධ්‍යාපනයට හානියක් වෙතැයි සිතා ඔවුන් අනාරක්ෂිත තත්ත්වයකට පත් කළ හොත් එය නිවැරදි කිරීම සඳහා කිසිදු විකල්පයක් නැත.එවැනි තත්ත්වයක් යටතේ සිදු විය හැකි විපත සිතා ගැනීමට පවා අපහසුය.

විශේෂයෙන්ම කෙළිලොල් වියේ පසුවන කුඩා දරුවන් නිරන්තරයෙන් දඟකාරය. එවැනි කුඩා දරු පැටවුන්ට නීති පැණවීමෙන් හෝ දඬුවම් කිරීමෙන් ඔවුන් පාලනය කිරීම අසීරු කර්තව්‍යකි. එවන් තත්ත්වයක් යටතේ කුඩා දරුවන් දුරස්ථභාවය, මුඛ ආවරණ පැලදීම හෝ නිතර දෑත් පිරිසිදු කිරීම වැනි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පවත්වා ගෙන යාම ප්‍රායෝගික වශයෙන් එතරම් ලේසි පාසු කටයුත්තක් නොවේ. දඟකාර සහ කෙළිලොල් සිසුන් තිස් පහක් හෝ හතළිහක් පමණ සිටින පහළ පන්තියක සිසුන් පාලනය කිරීම එම පන්තිය බාර ගුරුවරයාට හෝ ගුරුවරියට පවා තරමක් දුෂ්කර ක්‍රියාවකි.

විශේෂයෙන්ම පහළ පන්තිවල ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ ආරක්ෂාව මුල් කර ගෙන දැනට සිදු කළ යුතු ප්‍රඥාගෝචර ක්‍රියාවක් ලෙස අප දකින්නේ වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීමේදි යම් වර්ගීකරණයක් කිරීම ඉතා වැදගත් විය හැකි බවයි. අප මෙහිදී සඳහන් කරන්නේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන කුඩා දරුවන් ගැනය. විශේෂයෙන්ම පෙර පාසල් දරුවන් ගැනය. 4 වැනි හෝ 5 වැනි වසරෙන් ඉහළ ඉගෙනුම ලබන දරුවන්ට අසීරුවෙන් හෝ යමක් වටහා දිය හැකිය. එහෙත් පෙර පාසල් හෝ ප්‍රාථමික අංශවලට අයත් මල් කැකුළු වැනි කුඩා දරුවන්ට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ගැන අවබෝධයක් ලබා දීම එතරම් පහසුවෙන් කළ හැකි ක්‍රියාවක් නොවේ. එහෙයින් එවැනි කුඩා දරුවන් පිළිබඳව දෙමාපියන් මෙන්ම ඔවුන්ගේ ගුරු භවතුන්ටද සුවිශේෂි අවධානයක් ‍යොමු කිරීම අත්‍යාවශ්‍ය වේ. එහෙත් ළමුන් තිහක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින පන්තියක් භාර ගුරුතුමියට ඒ සියලු දෙනාම පිළිබඳව අවධානය යොමු කිරීම ප්‍රායෝගික වශයෙන් අසීරු කර්තව්‍යකි.

 

Comments