රාජ්‍ය ආයතන බංකොළොත් වීමට මුල | සිළුමිණ

රාජ්‍ය ආයතන බංකොළොත් වීමට මුල

මෙකල ශ්‍රී ලංකාවේ විවිධ මාදිලියේ සේවා තිබේ. එවැනි ඇතැම් සේවා අයත් වන්නේ රාජ්‍ය සේවා ගණයටය. තවත් ඇතැම් සේවා අර්ධ රාජ්‍ය සේවා ලෙස සැලකේ. ඒ අතර ඒ දෙකටම නැති නොයෙකුත් සේවාවන් ගැනද අසන්නට ලැබේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යටතේ පෞද්ගලික මට්ටමින් පවත්වාගෙන යන පියෝටීවී ආයතනයද එවන් එක් සේවාවකි. පියෝ ටීවී සේවය පිහිටුවනු ලැබූ මුල් වකවානුවල ස්ථාවර දුරකථන හිමියන් සොය සොයා ගොස් තම සේවා දායකත්වය මුදලට අළෙවි කළේය. එහි විශේෂත්වය වූයේ ස්ථාවර දුරකථන හිමියන්ට පමණක් එම සේවය ලබා දීමය. ඒ සඳහා සංඥා පිළිබඳ ප්‍රශ්නයක් නොවූයේ එම සේවය දුරකතන රැහැන් හරහා සැපයූ බැවිනි.

පියෝ ටී.වී. සම්බන්ධතාව ලබාගත් පසු සංඥා පිළිබඳ අඩුලුහුඬුකමක් ඇති නොවූයෙන් පියෝ ටී.වී ග්‍රාහකයන්ට තමන්ට අවශ්‍ය පරිදි එක් එක් නාලිකාවලට අයත් රූපරාමු පැහැදිලිව ලබා ගත හැකිවිය. ඒ අනුව ඔවුන්ට විටින් විට වහලයට නැග ඇන්ටෙනාව ඒ මේ අතට හරවමින් රූපරාමු පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවක් ඇති නොවීය. එම නිසා රටේ වැඩි පිරිසකට එතෙක් තිබූ බලවත් හිසරදයක් ප්‍රශස්ථ අයුරින් නිමාවට පත්වූ බව ස්තූති පූර්වකව සඳහන් කළ යුතුය. කලින් පැවති ක්‍රමවේදයේ පැවති බරපතළ ප්‍රශ්නයක් වූයේ පැහැදිලි රූපරාමු ලබා ගැනීම සඳහා වහලයට නැග ඇන්ටෙනාව ඒ මේ අතට හැරවීමට ගිය සෑහෙන පිරිසකට විදුලි සැරවැදී අකාලයේ ජීවිතයෙන් සමුගැනීමට සිදුවීමයි.

පියෝ ටී.වී සේවය ඇරඹීමෙන් පසු එවැනි අනතුරු ක්‍රමයෙන් අඩුවී යාම එමගින් සිදුවූ යහපත් ප්‍රතිඵලයකි. මෑත කාලයක සිට පියෝ ටී.වී සේවය සඳහා අය කෙරෙන මාසික ගාස්තුව වැඩිකර තිබුණත් එම ග්‍රාහක පිරිස ඒ ගැන නොදක්වන ලද්දේ එමගින් විවිධ නාලිකා වලින් විකාශය කළ වැඩසටහන්වලට අයත් ඉතා පැහැදිලි රූපරාමු ලබා ගැනීමට හැකිවූ බැවිනි.

එමෙන්ම මෑතැක් වනතුරුම පියෝ TV සේවය අනුගමනය කළ ක්‍රමවේදය වූයේ සේවා බිඳ වැටීමක් පිළිබඳ පැමිණිල්ලක් ලැබී පැය කීපයක් ඇතුළත එය නිවැරදි කිරීමට පියවර ගැනීමය. එය ඉතා හොඳ ක්‍රමවේදයක් වුවද මේ වන විට එම ක්ෂණික සේවාව පෙර මෙන් ක්‍රියාත්මකව පවතින බවක් නොපෙනේ. නැතහොත් එම ක්‍රමවේදය අඩපණ වී තිබේ.

අප එසේ කියන්නේ අප දන්නා හඳුනන එක් වයෝවෘද්ධ ප්‍රවෘත්ති කලාකරුවකුගේ පියෝ ටී.වී සේවය බිඳවැටී දින 18 ක පමණ කාලයක් ගත වනතුරු යථා තත්වයට පත්කිරීමක් සිදු නොවූ බැවිනි. තමන් අවස්ථා 100 කටත් වැඩි ගණනක් 1212 අංකයට ඒ බව දැනුම් දුන්නද ඒ පිළිබඳ කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොදක්වනු බව හෙතෙම පවසයි. අන්තිමේදී ඔහුට සිදුවූයේ කොරෝනා වසංගතය රටපුරා පැතිරෙමින් තිබියදී ඒ ගැන කිසිවක් දැනගත නොහැකිව තමන්ගේ නිවසේ හුදෙකලා වී දින 18ක පමණ කාලයක් ගෙවා දැමීමට ඔහුට සිදුවීමය. විශේෂයෙන්ම කොරෝනා වසංගතය නිසා සති තුනකටත් වැඩි කාලයක් සංචරණ සීමාවන් පනවා මුළු රටේම ජනතාව නිවෙස්වලට කොටු වී සිටි කාලයක තමන් අවට සිදුවන දෑ පිළිබඳ කිසිවක් නොදැන එක් ස්ථානයකට වී සිටීම විශේෂයෙන්ම ජනමාධ්‍යකරුවකුගේ සිතට මොනතරම් මානසික වදයක් දැයි සිතා ගත හැකිය.

මෙහිදී සිනා උපද්දවන සුළු කරුණක් වූයේ තමන්ගේ සේවය කොතරම් කාර්යක්ෂම දැයි දැනුම් දෙන ලෙස ඉල්ලමින් තමන් වෙත කෙටි පණිවුඩ රාශියක් ලැබී තිබීම යැයි හෙතෙම පවසයි. ඇතැම් විට මේ දිනවල පවතින කොරෝනා වසංගතය නිසා පියෝ TV ආයතනයේ නඩත්තු සේවකයන් සුපුරුදු පරිදි සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් එවැනි අතපසුවීමක් සිදුවන්නට ඇතැයි ඔහු මුලින් සිතුවේය. එහෙත් පසුව දැනගන්නට ලැබී ඇත්තේ යම් සීමිත සේවක පිරිසක් නඩත්තු කටයුතු සඳහා යොදවා සිටින බවය. පසුව දිගින් දිඟටම විමසා බලන විට පියෝ TV ආයතනයේ අත්‍යවශ්‍ය අමතර කොටස් හිඟයක් පවතින බවත් එම හිඟය පියවා ගැනීමට නොහැකිවීම නිසා එවැනි ප්‍රමාදයක් සිදුවී තිබෙන බවත් අසන්නට ලැබී තිබුණේය. එහෙත් එම ප්‍රශ්නය පියෝ TVග්‍රහකයන්ට අදාළ නොවේ.

අපට පෙනෙන අන්දමට නම් මෙය කිසිසේත්ම සිදු නොවිය යුතු තත්ත්වයකි. මන්ද වගකිවයුතු මහජන සේවාවක් පවත්වා ගෙන යන ආයතනයකට ඒ සඳහා අවශ්‍ය අමතර කොටස් හිඟයකින් තොරව ගබඩා කර ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වන බැවිනි. මෙම ප්‍රශ්නය වඩාත් බරපතළ වන්නේ කොරෝනා වසංගතය රට පුරා පැතිරෙමින් තිබෙන සහ ඒ සඳහා වූ ආරක්ෂක පියවරක් වශයෙන් රට සති ගණනාවක් වසා තිබූ කාලයක් තුළ ද රටේ සිදුවෙමින් පවතින විවිධ තොරතුරු පිළිබඳව හාංකවිසියක් නොදැන නිවසටම කොටු වී සිටීම ඕනෑම කෙනකුට මානසික වදයක් වූ බැවිනි. මෙය වඩාත් බරපතළ වූයේ වරකට වැඩි කාලයක් පාසල් නොගොස් ගෙදරටම කොටු වී සිටින පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රජයේ අනුග්‍රහයෙන් ලබා දෙන පාඩම් කටයුතුවලට හෝ සම්බන්ධ වීමට මෙවැනි නොසැලකිලිමත්කම් නිසා ඉඩක් නොලැබෙන බැවිනි.

අන්තිමේ දී ඉහත සඳහන් ප්‍රශ්නයට මුහුණ දුන් ප්‍රවෘත්ති කලාවේදියාට සිදුවූයේ පියෝ TV ආයතනයේ නිසි බලධාරී අජන්ත සෙනවිරත්නට පැමිණිලි කිරීමටය. එතුමා ඒ පිළිබඳව වහා සොයා බලා එම ප්‍රශ්නය පැය කිහිපයක් ඇතුළත නිවැරදි කිරීමට පියවර ගෙන තිබීම ප්‍රශස්ථ පියවරකි. එහෙත් මතුවට වූ මෙවැනි සුළු ප්‍රශ්නයක් ඇති වූ විට එය නිවැරදි කිරීම සඳහා මැදිහත් වීමට පියෝ ටී.වී. ආයතනයේ නිසි බලධාරියාට සිදුවුවහොත් එහි නියත ප්‍රතිඵලය වන්නේ ආයතනයේ දුක්ගන්නාරාළලාගේ රාජකාරියක් එතුමාටම බාර ගැනීමටය.

අපට පෙනෙන අන්දමට නම් මෙවැනි සේවා අකාර්යක්ෂමතා අද මුළු මහත් රාජ්‍ය සේවය පුරා පැතිර තිබේ. ඒවා වහා නිවැරදි කර නොගතහොත් නියත ලෙසටම සිදු වන්නේ රාජ්‍ය ආයතන මගින් සිදු කෙරෙන සේවා කටයුතු පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමය. එය අදාළ ආයතනයන් බංකොළොත් වීමට ද හේතු වේ.

Comments