බුද්ධියටත් හදවතටත් ආමන්ත්‍රණය කළ යුතු අවස්ථාවක් | සිළුමිණ

බුද්ධියටත් හදවතටත් ආමන්ත්‍රණය කළ යුතු අවස්ථාවක්

මරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ සෑම තත්පර හයකට වරක් එක් පුද්ගලයකු බැගින් කොවිඩ් ආසාදිතයෙක් බිහි වෙතැයි ඉකුත් දා මෙරට විදෙස් ජනමාධ්‍ය ඔස්සේ අසන්නට ලැබුණේය. එය අතිශය බරපතළ තත්ත්වයකි. මන්ද එය සත්‍යක් නම් එම නගරවාසීන් 14400 ක් එක් දිනයක් තුළ කොරෝනා ආසාදිතයන් වන බැවිනි.

එලෙස බිහිවන කොරෝනා ආසාදිතයන් අතරින් කොපමණ සංඛ්‍යාවක් මිය යනු ඇද්දැයි කිසිවකුට හෝ කිව නොහැකිය. කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා මෙරට වෙසෙන ජනතාව අතරින් 250 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට මිය ගොස් ඇත. ශ්‍රී ලංකාවේ සිදු වී ඇති මරණ සංඛ්‍යාව වෙනත් රටවල තරම් ඉහළ අගයක් නොගැනීම ගැන අපට ඇත්තේ තරමක සැනසිලිදායක හැඟීමකි. එහෙත් අපට ඒ පිළිබඳව සතුටුවිය නොහැකිය.

කෙසේ වෙතත් කොරෝනා උවදුර මෙරටින් දුරු කිරීමේ වගකීම පැවරී ඇත්තේ ආණ්ඩුවට බව සැබෑය. එහෙත් ආණ්ඩුවට මෙම වගකීම සාර්ථකව ඉටුකිරීමට හැකිවන්නේ රටේ ජනතාවගෙන් ද ඒ සඳහා ප්‍රමාණවත් සහයෝගයක් ලැබුණ හොත් පමණී. අප එසේ කියන්නේ ආණ්ඩුව ඒ සඳහා කොතරම් විධි විධාන පැන වුවද ජනතාව ඒ ගැන උනන්දුවක් නොදක්වන්නේ නම් ආණ්ඩුවේ එම උත්සාහය පුස්සක් වීමට ඉඩ ඇති බැවිනි.

උදාහරණයක් වශයෙන් විවිධ අවශ්‍යතාවන් සඳහා නිවසින් පිටතට යන ජනතාවට මුඛ ආවරණ පැලඳීම, එකිනෙකා අතර දුරස්ථභාවය රැකගැනීම, අමුත්තන් සමඟ අතට අත දී ආචාර සමාචාර කර ගැනීම හෝ සිප වැලද ගැනීමෙන් වැළකීම, නිතර අත් පා සෝදා පිරිසුදු කර ගැනීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් ගැන උපදෙස් දෙනු ලබන්නේ ජනතාව කොරෝනා ආසාදිතයන් බවට පත්වීම වළක්වා ගැනීමේ අදහසිනි.

එසේ වුවද අද අප අතර සිටින බොහෝ දෙනා එම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද වලට අනුගතවීම සඳහා දක්වනු ලබන්නේ දැඩි උදාසීන බවකි. එහෙත් ඔවුන් එසේ කිරීමෙන් සිදු වන්නේ තමන්ගේ මරණය අත වනා ළඟට කැන්දා ගැනීමක් බව ඔවුන්ට නොවැටහීම බලවත් අවාසනාවකි.

එවැනි නොසැලකිලිමත් ක්‍රියා වල ඊළඟ ප්‍රතිඵලය වන්නේ තමන්ගේ ආදරණීය බිරිය, දුවා දරුවන් හෝ තමන්ගේම දයාබර දෙමාපියන් තමන් විසින්ම අකල් මරණයන් වෙත යොමු කරවීමය. ඔබ නිසා ඔබේ අතින් සිදුවන සුළු අතපසු වීමක් නිසා ඔබේම පවුලේ සමීපතයින්, දුව, පුතා ,හෝ බිරිය තවත් දින කීපයක් ඇතුළත මිය යාමට ඉඩ තිබේ. එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීමට නම් රජය මගින් නිකුත් කර ඇති සෞඛ්‍ය ආරක්ෂක නීතිරීති වලට අනුගත විය යුතුය.

එහෙත් ඒ පිළිබඳ ලැබෙන ජනතා ප්‍රතිචාරය පවතින්නේ ඉතාමත් දුර්වල මට්ටමකයි. එහි ඇති කනගාටුදායක තත්වය වන්නේ රටේ ජනතාව වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ කාර්යය භාරය පැවරී ඇති ඇතැම් මැති ඇමතිවරුන් පවා එවැනි සෞඛ්‍ය ආරක්ෂක නීතිරීති කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා හිතුවක්කාර ලෙස කටයුතු කිරීමය. රූපවාහීනි කැමරාවක් හෝ මයික්‍රෆෝනයක් දුටු විට සියලු ආරක්ෂක නීති රීති අමතක කර මෙලෝ සිහියක් නැතිව මාධ්‍යට කරුණු දක්වන මයික් පිස්සන් අද රූපවාහිනී නාළිකා ඔස්සේ කොතෙකුත් දැකීමට පුළුවන. එහෙත් ඔවුන් මේ සිදු කරන්නේ තමන්ට පමණක් නොව තමන්ගේ පවුලේ සමීප සාමාජිකයන්ට පවා බලවත් අනර්ථයක් බව එම පිරිසට නොවැටහීම පෙර කරුමයක් විය හැකිය.

මේ අතර කොරෝනා ආසාදිතයන්ගේ ඇතැම් වෛරී හැසීරීම් ගැනද ඉකුත් කාලය තුළ කොතෙකුත් අසන්නට ලැබුණේය.

ඒ අතර වැඩි පුරම අසන්නට ලැබුණේ කොරෝනා ආසාදිතයන් තම රෝගය අන් අයට බෝ කිරීමේ වෛරී චේතනාවෙන් කරන කෙළ ගැසීම්ය. මුලින්ම අටළුගම ප්‍රදේශයෙන් අසන්නට ලැබුණු එවැනි වෛරී හැසිරීම් පසුව වෙනත් ප්‍රදේශ කරා ව්‍යාප්ත වී තිබුණේය.

මේ කොරෝනා වසංගතය පිළිබඳ ප්‍රශ්නයේදි ආණ්ඩුවේ ප්‍රචාරණ යාන්ත්‍රණය ජනතාවගේ බුද්ධියට පමණක් නොව හදවතේ පත්ලටම වදින සේ ආමන්ත්‍රණය කළ යුතුය. එම ක්‍රියාවලියේදී නිරන්තරයෙන්ම මුල් තැන දිය යුත්තේ ජීවිතය සහ මරණය යන තීරණාත්මක සාධක දෙකටය. නැතහොත් ජනතාවගේ බොක්කටම වදින සේ කතා කළ යුතුය.

එහිදී රටේ බහුතර ජනතාව නිවැරදි පැත්ත තෝරා බේරා ගෙන ඒ අනුව තම ක්‍රියාකලාපය සකස් කර ගෙන ඇත. ඒ අතරම ආණ්ඩුවේ පාර්ශ්වද අඳුරේ අතපත ගාමින් නොසිට කොරෝනා වසංගතය මැඬලීම සඳහා ගත යුතු නිසි ක්‍රියාමාර්ගයන් පිළිබඳව බුද්ධිමත්ව විමසා බලා සුදුසු තීරණයක් ගැනීම කඩිනමින් සිදු කළ යුතුය. එසේ නොකළහොත් අප සියලු දෙනාටම සිදු වන්නේ කොරෝනා වසංගතයත් වැලඳ ගෙන අකාලයේ මිය පරලොව යාමටය.

Comments