රිෂාඩ්ගේ දඬුවමින් උගත හැකි පාඩම් | සිළුමිණ

රිෂාඩ්ගේ දඬුවමින් උගත හැකි පාඩම්

හැම ගහකටම කොට කොටා යන කොට්ටෝරුවා කෙසෙල් ගසට කෙටූවිට හොට පටලවා ගන්නා සේ සමහර දේශපාලනඥයන් ද ඉතා ඉක්මනින්ම පාඩමක් ඉගෙන ගන්නේය. එලෙස බලයෙන් උදම්වී නීතිය තමන්ට අවශ්‍ය පරිදි නැවීම විනෝදයක් කොට සැලකූ තවත් දේශපාලනඥයෙකුට මෙරට අභියාචනාධිකරණය ඉකුත් සතියේ අමතක නොවන තීන්දුවක් දී තිබුණේය.

අදාළ දේශපාලනඥයා විසින් සිදුකර තිබුණේ සුළුපටු ක්‍රියාවක් නොව මහා පරිමාණ මට්ටමේ වැරැද්දකි. එනම්, විල්පත්තු රක්ෂිතය තුළ පිහිටි කල්ලාරු අධිරක්ෂිතයට අයත් ඉඩම් අක්කර 2388 ක් අනවසරයෙන් එළිපෙහෙළි කර එම ඉඩම් වල පවුල් 1500 ක් නීති විරෝධී ලෙස පදිංචි කරවීමයි. ඔහු විසින් එම අනීතික ක්‍රියාව සිදුකර ඇත්තේ උතුරේ යුද්ධයෙන් අවතැන්වූවන් යළි පදිංචි කරවීමේ මුවාවෙනි.

දැනටමත් අනාවරණය වී ඇති අන්දමට නීතිය කෙරෙහි තුට්ටුවක් තරම්වත් මායිම් නොකර එළි පෙහෙළි කළ එම රක්ෂිතයේ පදිංචි කරවූ පවුල් 1500 දෙනා සඳහා ස්ථිර නිවාස පද්ධතියක් ද ඉදිකර ඇත. එම අනීතික ක්‍රියාව සඳහා මුල්වී ඇතැයි කියන රිෂාඩ් බදියුදින්ට එම නිවාස ඉදිකරවීම සඳහා මූල්‍ය සම්පත් ලැබී ඇතැයි කියන්නේ මැදපෙරදිග රටකිනි. එම මුදලින් කොපමණ ප්‍රමාණයක් අතරමැදියන්ගේ සාක්කුවට වැටී ඇද්දැයි කිසිවකුත් නොදනී.

තමන්ගේ දේශපාලන ආධාරකරුවන් හෝ ඡන්දදායකයන් උතුරේ යුද්ධය නිසා අවතැන්වී ඇත්නම් එවැනි අයට නිවාස ඉදිකරදී යළි පදිංචි කරවීම සත් පුරුෂ ක්‍රියාවකි. ඒ ගැන දොස් පැවරීම ද අසාධාරණය. එහෙත් එම පුද්ගලයා විසින් සිදුකර ඇති බරපතළම වැරැද්ද වන්නේ විල්පත්තු වනාන්තරයේ පිහිටි කල්ලාරු අධිරක්ෂිතයට අයත් අක්කර 2388 ක් පමණ වූ ප්‍රදේශයක් මුළුමනින්ම එළිපෙහෙළි කර තමන්ට අප්‍රකාශිත ලෙස ලැබුණු කෝටි ගණනක මුදලක් වැයකොට නිවාස ඉදිකර දීමයි.

රජය සතු අධිරක්ෂිත කලාපයක් එළිපෙහෙළි කිරීම යනු වනසංරක්ෂණ පනත පැහැදිලිි ලෙසම උල්ලංඝණය කිරීමකි. අදාළ දේශපාලනඥයා ඉකුත් ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු වුවද රජය සතු 1500 කගෙන් සමන්විත ජනාවාසයක් ඉදිකිරීමට ඔහුට නීතිමය අයිතියක් නැති බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහිදී රිෂාඩ් බදියුදීන් නැමැති දේශපාලනඥයා විසින් සිදුකර ඇත්තේ රටේ පොදුනීතිය තමන්ට අවශ්‍ය පරිදි නැවීමකි.

අධි රක්ෂිතයක් යනු දර කෝටුවක් කඩා ගැනීමටවත් ඇතුළුවිය නොහැකි ආරක්ෂිත කලාපයකි. එවැනි අධිරක්ෂිතයක් තුළට වැද එහි අක්කර 2388 ක් පමණ අතිවිහාල භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කර නිවාස 1500 ක් හොරෙන් ඉදිකළ නොහැකිය.

අධි රක්ෂිතයක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම බරපතළ වැරැද්දක් බව දැන දැනම එම ක්‍රියාවලියට අඩුවැඩි වශයෙන් සහභාගිවූ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ගැන ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද?

ඔවුන් විසින් සිදුකර තිබෙන එම ක්‍රියාව "සුළු ඇවතක්" ලෙස සලකා රජයේ නීතිපතිවරයා එම පිරිස රජුගේ සාක්ෂිකරුවන්ගේ ගොඩට තල්ලු කර දමනවාද? එවකට සිටි ප්‍රබල දේශපාලනඥයකුටත් අවශ්‍යතාව මත සිදුකරන ලද මේ මහා වන විනාශයට විවිධ අයුරින් සහභාගි වූ සහ ඊට ආධාර අනුබල දුන් සෙසු දේශපාලන බලධරයන් සහ රජයේ සහ රාජ්‍ය අංශ නිලධාරින් ගැන ගනු ලබන පියවර කුමක්දැයි යන්න තවමත් ප්‍රශ්නයකි.

රිෂාඩ් බදියුදීන් සිදුකර ඇති මහා පරිමාණ මට්ටමේ වන විනාශයට දඩුවමක් වශයෙන් එළිපෙහෙළි කරන ලද වන රක්ෂිතයේ හෝ වෙනත් ස්ථානයක පිහිටි අක්කර 2388 ක් පමණ වූ භූමියක තමන්ගේ පෞද්ගලික වියදමෙන් රුක් රෝපණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී තිබේ. එම ඵෙතිහාසික නඩු තීන්දුව තමන් සතු දේශපාලන බලය අනිසි ලෙස යොදවා ගනු ලබන සමහර දේශපාලනඥයන්ටත් කදිම පාඩමකි.

ඒ ගැන අපට කිව හැක්කේ "කුම්බලා මාළු කෑවානම් විඳවපන් බළලෝ..." යනුවෙනි.

එහෙත් අපට ඇති ප්‍රශ්නය වන්නේ අදාළ දේශපාලනඥයාගේ තකතීරු වැඩවල ඇති වැරැද්ද දැක දැකම ඒ බව නොදුටුවාක් මෙන් නිහඬ සිටි ‘යහපාලන‘ ආණ්ඩුවේ සෙසු බලධාරීන් ගැන ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබඳවය.

එසේම අදාළ දේශපාලනඥයන්ගේ බලපුළුවන්කාරකම් හමුවේ සිද්ධිය යටපත් වීමට ඉඩ නොතබා එය ජනතාව හමුවට ගෙන ආ සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යකරුවන්ටත්, ඊට සම්බන්ධ දේශපාලන බලවතුන් හට නීතිය හමුවේ අභියෝග කළ පාරිසරික යුක්ති කේන්ද්‍රයේ ක්‍රියාකාරිත්වයටත් අපගේ ගෞරවාචාරය හිමිවිය යුතුය. එසේ වන්නේ ඔවුන් එම සිද්ධිය ගැන ප්‍රසිද්ධියේ හඬ නොනැගුවා නම් එය සදාකාලික රහසක් බවට පත්වීමට ඉඩ තිබුණ බැවිනි.

Comments