ජනතාවට එලොව පොල් පෙනෙන පොල් මිල | සිළුමිණ

ජනතාවට එලොව පොල් පෙනෙන පොල් මිල

ශ්‍රී ලාංකිකයන් වන අප ආහාරයට ගන්නා හැම වෑංජනයකටම පාහේ පොල්කිරි මිශ්‍ර කරන්නේ අනාදිමත් කාලයක සිටය. විශේෂයෙන්ම මුහුදුබඩ පළාත්වල වෙසෙන ජනතාවට පොල් නැතුවම බැරිය. එම තත්ත්වය කොපමණදැයි කිවහොත් අපේ වාර්ෂික පොල් පරිභෝජනය පොල්ගෙඩි බිලියන 1.8 ත් ඉක්මවා ගොස් ඇත. එය සුළුපටු සංඛ්‍යාවක් නොවේ.

අපේ ආහාරවලට පමණට වඩා පොල් කිරි සහ තෙල් මිශ්‍ර කිරීම නිසා හෘද රෝග වැළදීමේ ප්‍රවණතාවක් ඇතැයි වෛද්‍යවරුන් කොතෙකුත් කීව ද අපේ අය ඒ ගැන කනකටවත් ගෙන ඇති බවක් නොපෙනේ. ඇතැම් විට එසේ වන්නේ ඔවුන්ගේ සිත ඒ බව පිළිගනු ලැබුවද දිව ඇතුළු කට ඊට අවනත නොවන නිසා විය හැකිය.

කෙසේ වෙතත් මේ දිනවල නම් අපේ ඇත්තන්ගේ පොල් පරිභෝජනය තරමක් පහත වැටී ඇතුවාට සැක නැත. එසේ වී ඇත්තේ අපේ උදවිය ගේ දිව මෙන්ම කට ද වෛද්‍ය උපදෙස් පිළිගැනීම නිසා නොව මේ දිනවල පොල් ගෙඩියක මිල අහස උසට නැඟ තිබෙන බැවිනි.

අප කුඩා කාලයේ ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල ශත දහයකි. නැත්නම් ශත පහළොවකි. එදා පොල් ගෙඩි සීයක් අල්ලපු ගමේ කොප්පරා මුදලාලි විකිණීමෙන් අපේ අම්මලාට ලබාගත හැකිවූ උපරිම මුදල රුපියල් හතක් හෝ ඊටත් අඩුවෙනි. එකල පොල්ගෙඩි පන්සීයක් විකුණා ගැනීමෙන් හතර පස්දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයකටත් වැඩි කාලයක් පහසුවෙන් ජීවත්වීමට හැකි විය.

එහෙත් මීට මාසයකට පෙර ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක් විවෘත වෙළෙඳපොළේ අළෙවි කෙරුණේ රුපියල් 120 කට හෝ ඊටත් වැඩියෙනි. මෙලෙස පොල් මිල ඉහළ යෑම ගැන ජනතාව අතරින් මතුවූ විරෝධය හමුවේ සැලුණු ආණ්ඩුව පොල් ගෙඩියක් සඳහා රුපියල් 70 ක උපරිම මිලක් නියම කළේය. එලෙස පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල තීරණය කෙරුණේ එහි වට ප්‍රමාණය මැන බැලීමෙන් පසුවය.

එය අපේ අත්තලාගේ, මුත්තලාගේ කාලයේ දී වත් නෑසූ විරූ මිල නියම කිරීමක් විය. එසේ වුවද අද මෙරට පොදු ජනතාව අතරින් නැගෙන බරපතළ මැසිවිල්ලක් වන්නේ ආණ්ඩුවේ උපරිම මිලට කොතැනකවත් පොල් විකිණීමට නැති බවයි.

මීට වසර 43 කට පමණ පෙර එනම් 1977 මහ මැතිවරණය සමයේ එවකට එ.ජා.ප.යේ. නියෝජ්‍ය නායකයා වූ රණසිංහ ප්‍රේමදාස පොල් බෑයක් පෙන්න පෙන්නා රට වටේ ගියේය. එකල ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියලකට වැඩි නොවීය. එහෙත් ඒ කාලයේ හැටියට එය ද ලොකු මුදලක් විය. කෙසේ වෙතත් ප්‍රේමදාස මහතාගේ එම උත්සාහය සාර්ථක විය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ එවර මහමැතිවරණයෙන් එ.ජා.ප.ය.ට 5/6 ක ජයග්‍රහණයක් හිමි වීමයි.

කෙසේ වෙතත් පොල් මිල අඩු නොවීය. එහිදී එ.ජා.ප.ය ආණ්ඩුව කියා සිටියේ පොල් ගෙඩියක මිල අඩු නොවුණ ද එම මිලට පොල් ගැනීමට හැකිවන අයුරින් ජනතාවගේ අතමිට සරුවී ඇති බවයි. ජේ. ආර්. ආණ්ඩුවේ නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය යටතේ ඒ කතාවේ ද යම් සත්‍යයක් තිබුණේය. ඒ බල්ලන් මරා හෝ අතමිට සරුකර ගැනීමට ජනතාව පෙලඹී ගිය බැවිනි.

කෙසේ වෙතත් පොල් මිල අඩු නොවීය. ඒ සහා මුල්වූ එක් හේතුවක් වූයේ වයඹ පොල් ත්‍රිකෝණය ඇතුළු රටේ හැම පෙදෙසකම තිබූ පොල් ඉඩම් කට්ටිකර යහමින් අතමිට සරුකර ගැනීමට ඉඩම් හිමියන් පෙලඹී යාමය. එ. ජා. ප ආණ්ඩුව ඒ සදහා අවශ්‍ය බලපත්‍ර ඉල්ලන සුනංගුවෙන් ලබා දුන්නේය. චන්ද්‍රිකා ආණ්ඩුව ද එම පිළිවෙතම අනුගමනය කළ අතර 2005 දී බලයට පත්වූ මහින්ද මහත්තයාට ද ඒ හැර වෙනත් විකල්පයක් නොතිබිණි. පසුව එහි ආදීනව අවබෝධ කරගත් එතුමා ඉඩම් කට්ටිකර විකිණීම වැළැක්වීම සදහා යම් යම් නීති රීති ගෙන ආවද කෛරාටික ඉඩම් හිමියන්ට මහින්ද මහත්තයාගේ කනෙන් රිංගා යාමට හැකිවිය.

පසුගිය යහපාලන ආණ්ඩු කාලයේ දී ද සිදුවූයේ ඊට සමාන ක්‍රියාපිළිවෙතකි. අන්තිමේ දී සිදුවූයේ මීට වසර පණහකට හෝ හැටකට පමණ පෙර අක්කර සිය ගණනින් තිබූ පොල් ත්‍රිකෝණයේ පොල් ඉඩම් වල වපසරිය පර්චස් ගණනට කේඩෑරී වීමයි.

මෙහිදී දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ද එම චෝදනාවෙන් මිදීමට නීතිගත කළ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ ද විශාල පොල් ඉඩම් අක්කර පණහේ කැබලිවලට කැඩී ගිය බැවිනි.

එලෙස කුඩා කැබලිවලට කැඩී ගිය පොල් ඉඩම් වල පොල්ගස් කැපී ගොස් නිවාස යෝජනා ක්‍රම ඉදිවූ බව සත්‍යයකි. ඒ නිසා ජනතාවගේ නිවාස ප්‍රශ්නය යම් තරමකට හෝ විසදී ගිය බව ද පිළිගත යුතුය. එහෙත් ඒ සමගම පිළිගැනීමට සිදුවන තවත් කරුණක් වන්නේ පොල්ගස් කැපීම නිසා එහි ඵලදාව අඩුවීමේ ප්‍රතිඵලයක් වශයෙන් පොල් මිල ජනතාවට දරාගත නොහැකි තරමට ඉහළ ගොස් තිබෙන බවයි. ඒ අතර පොල් කුරුමිණියා ද තවත් පොල් ගස් ලක්ෂ ගණනක් කා දැම්මේය.

මෙරට පොල් වගාවට සිදුවූ ව්‍යසනයට 1970 සිට මේ දක්වා බලයට පත්වූ හැම ආණ්ඩුවක්ම වගකිව යුතුය. එසේ වන්නේ පොල් ඉඩම් කට්ටිකර විකුණා දැමීමට සහ නොයෙකුත් නිවාස යෝජනා ක්‍රම ඇරඹීමටත් ඒ හැම ආණ්ඩුවක්ම මුල්වී තිබෙන බැවිනි. 1970 වසරේ සිටම මෙරට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ, පොල් සංවර්ධන මණ්ඩල ආදී විවිධ නම් වලින් හැදින්වෙන නොයෙකුත් ආයතන තිබුණේය. එමගින් නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘති ද ක්‍රියාත්මක කෙරුණේය. ඒ සදහා මහජන මුදල් වැයවී ඇත්තේ රුපියල් බිලියන ගණනිනි. එහෙත් දේශීය පොල් වගාව දිනෙන් දිනම ගමන් කරමින් සිටින්නේ ප්‍රපාතය දෙසටය.

ඒ අනුව සිදුවෙමින් පවතින්නේ දිනෙන් දිනම පොල් මිල ඉහළ යාමයි. රජයට ද ඉහළ යන පොල් මිල පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් පෙනෙන්නට තිබේ. ඒ ගැන 1970 සිට මෙරට බලයට පත්වූ හැම ආණ්ඩුවක්ම අඩුවැඩි වශයෙන් වගකිව යුතුය. එසේම එම වගකීමෙන් මිදෙන්නට කිසිම ආණ්ඩුවකට නොහැකිය.

විශේෂයෙන්ම මෙරට නැති බැරි ජනතාවට එලොව පොල් පෙනෙන පොල් මිල අඩු කරලීමට නම් තිරසාර වැඩ පිළිවෙලක් අවශ්‍ය වේ. එහෙත් එය මෙතෙක් පැවැති අන්දමේ පැලැස්තර විසදුමක් නොවිය යුතුය.

මෙරට පොල් වගාව සම්බන්ධයෙන් හටගෙන ඇති පසුගාමී තත්ත්වයට විසදුමක් වශයෙන් දැනට වගා නොකර තිබෙන ඉඩම් හෙක්ටයාර් ලක්ෂයක පොල් වගා කිරීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තු වන බවක් ඉකුත් දා අසන්නට ලැබුණේය. එම සැලසුම අපූරුය. එසේම එම සැලසුම තවත් අපූරුවන්නේ හීය නිවැරදි ඉලක්කය වෙතට යාම සිදුවුවහොත් පමණි. ඒ සමගම සිදුකළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ පොල් වගාවට අරක් ගෙන සිටින සියලුම මාදිලියේ නිදිමතයන් පොල් වගා කටයුතු වලින් ඉවත් කිරීමය.

Comments