අතීත අමිහිරි සිදුවීම් අමතක නොකරනු | සිළුමිණ

අතීත අමිහිරි සිදුවීම් අමතක නොකරනු

ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයට අයත් බොහෝ රටවල දේශපාලන ක්ෂේත්‍රය වනාහී ඇස් බැන්දුමකි. එහි පිටතට පෙනෙන්නට ඇත්තේ එකකි. එහෙත් සිදුවෙමින් පවතින්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියකි. විශේෂයෙන්ම එවැනි සිදුවීම් වලට බහුල වශයෙන් ගොදුරු වන්නේ දේශපාලඥයන්ය.

මෙරට සුද්දන්ගෙන් නිදහස ලැබීමටත් පෙර පැවැති රාජ්‍යමන්ත්‍රණ සභා යුගයේ දී පවා මෙවැනි සිදුවීම් කොතෙකුත් ඇතිවී තිබුණේය. නිදහස් ලංකාවේ ප්‍රථම රාජ්‍ය නායකත්වය හිමිවීමට නියමිතව සිටී පුද්ගලයාට එම අවස්ථාව අහිමිවී වෙනත් අයකුට එකී තනතුර හිමිවූයේ ද එවැනි ඇස්බැන්දුමක් නිසා බව බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකිය. එහෙත් එවැන්නක් එදා සත්‍ය වශයෙන්ම සිදුවී තිබුණේය.

තමන් හට අතිශය වැදගත් තනතුරක් ලබාදෙන මුවාවෙන් යම් පුද්ගලයන් කීපදෙනෙකු විසින් තමන් බරපතළ රැවටීමකට අසුකර ඇතැයි ඔහුට අවබෝධ වූයේ සියල්ල සිදුවී අවසන්වීමෙන් පසුවය. ඒ සියලු දෑ දේශපාලන ඇස් බැන්දුම් ය. එහි ඇති විශේෂත්වය වන්නේ එම ක්‍රියාදාමය අවසන් වනතුරුම සිද්ධියට ලක්වූ පුද්ගලයාට ඒ කිසිවක් නොතේරීමය.

එසේ වුවද අන්‍යයන්ගේ එවැනි රැවටීම් වලට ලක්වීමට ගොස් අනූනවයෙන් බෙල්ල බේරාගත් දේශපාලනඥයන් මෙන්ම පසුව එවැනි වංචනිකයන්ට කොකා පෙන්වා ඉහල තනතුරු වලට පත්වූ දේශපාලනඥයන් ගැන ද ඉඳහිට හෝ අසන්නට ලැබේ. දිවංගත එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක එවන්නෙකි. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා මහාමාන්‍ය ඩී. එස්. සේනානායකගේ හදිසි අභාවයෙන් පුරප්පාඩු වූ ආග්‍රාමාත්‍ය ධූරය හිමි විය යුතු තිබුණේ එවකට පැවැති පාර්ලිමේන්තුව සභානායක ධූරය මෙන්ම සෞඛ්‍ය සහ පළාත් පාලන ඇමැතිධූරය දැරූ බණ්ඩාරනායකයන්ටය. එහෙත් අන්තිමේ දී සිදුවූයේ එවකට සිටී ඉහළ පෙළේ දේශපාලනඥයන් දෙතුන් දෙනෙකු විසින් සිදුකළ කුමන්ත්‍රණකාරී බෙලි කැපිල්ලක ප්‍රතිඵලයක් වශයෙන් පුරප්පාඩු වූ ආග්‍රාමාත්‍ය ධූරය ඩඩ්ලි සේනානායක පත්වීමය.

ඩඩ්ලි 1952 දී යළි මහ මැතිවරණකට මුහුණ දී තම අග්‍රාමාත්‍ය ධූරය තහවුරු කරගත් බව වෙනම කතාවකි. එහෙත් එලෙස තහවුරු කරගත් අගමැති ධූරය දැරීමට ඔහුට හැකිවූයේ ඉතා සුළු කාලයකි. ආණ්ඩුවට පිටතින් මෙන්ම ඇතුළතින් ද එල්ල වූ දැඩි පීඩනය නිසාම 1953 හර්තාලය පිටඳමා අගමැති ධූරයෙන් ඉවත්වූ ඩඩ්ලි නම්බු පිටින් ගෙදර ගියේය.

ඉන් අනතුරුව රාජ්‍ය නායකත්වයට පත් සර් ජෝන් තමන්ගේ දඩබ්බර තාලයට රට කරවීමට ගොස් 1956 මහ මැතිවරණයෙන් කූජිත වී ගොස් තිබුණේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි ආසන සංඛ්‍යාව 8 දක්වා අඩුකර ගනිමිනි.

රටේ දැවැන්ත යුග පෙරළියක් සිදුකොට 1956 මහ මැතිවරණයෙන් ලැබූ ජනතා ජයග්‍රහණයෙන් පසු රාජ්‍ය නායකත්වයට පත්වූ බණ්ඩාරනායකට අඩුම වශයෙන් වසර පහක්වත් තමන්ගේ මැද මාවත ඔස්සේ රට ඉදිරියට ගමන් කරවීමට නොහැකි විය. අන්තිමේ දී ඔහුට විණ කටින ලද්දේ තමන් විසින්ම ඉහළට ඔසවා තබන ලද අන්තේවාසිකයන් පිරිසකි.

එම දක්ෂිණාංශිකයන් පිරිස අමාත්‍ය මණ්ඩලයේ සිටී පිලිප් ගුණවර්ධන සහ විලියම් සිල්වා ඇතුළු වාමවාදීන් කීපදෙනා ඇමැතිධූරවලින් නෙරපා හැරීමට අගමැතිවරයාට බල කරමින් කියා සිටියේ තමන්ගේ ඉලක්කය වෙත යාමට මාර්ගය සකසා ගැනීමටය. අන්තිමේ දී බණ්ඩාරනායක ඝාතනයට පත්විය.

ඉහතින් දක්වන ලද්දේ අතීතයේ දී අසන්නට ලැබුණු බිහිසුණු සිදුවීම් කීපයකි. එහෙත් ඒවා අතීතයට පමණක් සීමාවූ දෑ ලෙස නොසිතිය යුතුය. මන්ද එවැනි දෑ ඉන් පසු කාලවලදී පවා විටින් විට ප්‍රතිරූපණය වූ බැවිනි. අප එසේ කියන්නේ දුර සිටින සතුරන්ට වඩා තමන් සමීපයේ ම සිටින මිතුරන්ගෙන් බොහෝ දේශපාලනඥයන්ට අපල උපද්‍රව සිදුවන බැවිනි.

වංචනිකයන් බලවතුන් වෙත සමීප වන්නේ හුදෙක් ඔවුන් කෙරෙහි ආදරයකින් හෝ කරුණාවකින් නොවේ. ඔවුන්ගේ අවශ්‍යතාව සහ අරමුණ වන්නේ සුදුසුම අවස්ථාව එළඹුණු වහාම බලවතා විනාශ කර දැමීමය.

ගෙවීගිය අතීතයේදී මෙවැනි දෑ කොතෙකුත් සිදුවී තිබේ. එහෙයින් අතීතයේ දී අප ඇසූ දුටූ එවැනි අමිහිරි සිදුවීම් පිටු දැකීමට නම් හෝ එවැනි දෑ ප්‍රතිරූපණය වීම වළක්වා ගැනීමට නම් තමන් අසලින්ම සිටින්නන්ගේ ක්‍රියාකලාපය ගැන බලවතුන් මීට වඩා සැලකිලිමත් විය යුතුය. මෑත කාලයේදී පවා එවැනි සිදුවීම් එමට සිදුවී ඇති බව මේ දිනවල විභාග කෙරෙන කොමිෂන් සභා පරික්ෂණ කටයුතු හමුවේ අනාවරණයවී ඇති බව නොරහසකි. පාවා දෙන්නන්ද ඔවුන් අතර සිටින බව ද ප්‍රකට කරුණකි. එපමණක් ද බෘටස්ලා පවා ඒ අතර සිටිය හැකිය. එහෙයින් අපේ දේශපාලනඥයන් ප්‍රවේසම් විය යුත්තේ මෙවැනි අදෘෂ්‍යමාන බෘටස්ලා වෙතිනි.

Comments