දෙයියන්ගෙ හාල් කාලා හාල් මාෆියාවක් හදලා | Page 4 | සිළුමිණ

දෙයියන්ගෙ හාල් කාලා හාල් මාෆියාවක් හදලා

හංගාගෙන ඉන්න හාල් එළියට නොදැම්මොත් හාල් රටින් ගෙනෙනවා 
- වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

වී තොග අපි ළඟ නැහැ තිබෙනවා නම් පෙන්වන්න 
- අරලිය හාල් අධිපති ඩඩ්ලි සිරිසේන

හාල් රටින් ගෙන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය හාල් අපේ රටේ තිබෙනවා 
- සමස්ත ලංකා හාල් නිෂ්පාදක සංගමයේ අනුශාසක අරුණ කාන්ත බණ්ඩාර

මහා මෝල් හිමියොයි දේශපාලනඥයොයි නිලධාරියි හාල් මාෆියාවක් ඇති කරලා
- ගොවි නායක කවුඩුල්ලේ එම්.කේ. ජයතිස්ස

වී මිලට අරන් ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන සලසන්න 
- ජනපති නියෝග

වී අලෙවිය හා දිසාපතිවරු සතු වී සහල් කර වෙළෙඳපොළට දමනවා 
- වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන

“මේ දවස්වල මිනුවන්ගොඩ සම්බා කිලෝවක් රුපියල් 120 - 130යි. කැකුළු හාලුත් කිලෝව 110 ට වැඩියි.” “රටේම හාල් කඩවල හාල් හිඟයක් තිබෙනවා. ෆුඩ් සිටිවලත් හාල් ඉවරයි. හාල් තිබෙන තැන් කීපයේත් ඒවා ගිනි ගණන්.”

මේ අපේ රටේ විවිධ ප්‍රදේශවලින් ඇසෙන හාල් පිළිබඳ කථාබහ වල සාරාංශයකි.

කලක් වී අස්වැන්න වැඩි බව කියා මත්තල ගුවන් තොටුපළෙත් වී ගබඩා කළ අපේ රටේ තිබුණු වීවලට මොකද වුණේ කියා අපි ගවේෂණයක යෙදුනෙමු.

ප්‍රධාන ලෙසම මේ දවස්වල ෆුඩ් සිටිවල, සිල්ලර අලෙවි සල්වල හාල් නැති වීමට ප්‍රධාන හේතුව සල්ලි ඇති අය ඉදිරි දින පිළිබඳ සිතා බලා වැඩිපුර හාල් මිල දී ගෙන ගබඩා කර ගැනීම බව එම ගවේෂණයේදි අපට පැහැදිලි විය.

පාරිභෝගික ආරක්ෂක අධිකාරිය පවසන්නේ මේ අයුරින් වැඩි ප්‍රමාණයක් ජනතාව හාල් මිලදී ගැනීම වැළැක්වීමට ක්‍රමයක් නැති බවයි. කෙසේ වුවත් සතොස අලෙවි සල්වලින් එකම පුද්ගලයා හාල් කිලෝ 20 - 30 මිලදී ගැනීම වැළැක්වීමට ඒ ආයතනවල කළමනාකරුවන්ට මානුෂීය අයිතිවාසිකම් තිබේ. නමුත් එය සිදු නොවීම නිසා අැඳිරි නීතිය ඇති ප්‍රදේශවල හාල් පමණක් නොව ප්‍රධාන ආහාර වර්ගවල හිඟයක් ඇති බවත් මේ නිසා ජනතාවට ජීවන වියදම් ප්‍රශ්න රැසක් ඇතිවී තිබේ.

මෙයට පිළියම් ලෙස සීනි, ලොකු ලූනු ඇතුළු ආහාර වර්ග රැසක මිල අඩු කිරීමට හා ඒ ආහාර සඳහා දමා තිබූ අධි භාර ඉවත් කිරීමට ජනාධිපතිතුමා කටයුතු කිරීම ප්‍රශංසනීයයි. 

ඊට අමතරව පොදුවේ අපේ රටේ පසුගිය දිනවල හාල් හිඟයක් තිබුණි. ඒ පිළිබඳව කරුණු දැක්වූ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන පවසන්නේ ඉදිරියේදිත් කවුරු හෝ සඟවා ගෙන තිබෙන හාල් තොග වෙළෙඳපොළට නොදා හාල් මිල තවත් වැඩිවීමට හා හාල් හිඟයක් මවාපෑමට කටයුතු කළොත් හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පිටරටින් ගෙන්වන බවයි.

“රට තුළ කෘත්‍රිම හාල් හිඟයක් මවා පෑමට වෙළෙඳ අධිකාරිය කටයුතු කරන බව පේනවා. රට තුළ දැනට මෝල් හිමියන් සතුව ඇති හාල් තොග වෙළෙඳ පෙළට නිකුත් නොකරන්නේ නම් පිටරටින් සහල් ගෙන්වා පාලන මිලටම පාරිභෝගිකයා වෙත සහල් ලබා දීමට කටයුතු කරනවා. ඒ සමඟම අතිමහත් බහුතර ජනතාවගේ ප්‍රධානම ආහාරය වන සහල්වලට නියම කර ඇති උපරිම මිල 2021 වර්ෂයේදි සතයකින්වත් වැඩි කරන්නට ඉඩ දෙන්නේ නැහැ.”

පසුගිය යහපාලන කාලයේ සතොස හරහා වී අලෙවි කිරීමට යැයි පවසමින් වී ලබාගෙන නමුත් ඒවා සහල් බවට පත්කර සතොසට හාල් නොදුන් හාල් මෝල් හිමියන්ගෙන් ‍දෙදෙනෙක් දැනටම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් යහපාලන රජයේ බලධාරින්ගේ සහාය ඇතිව කෝටි ගණන් රජයේ මුදල් අවභාවිත කර තිබෙනවා යැයිද ඇමැති බන්දුල ගුණවර්ධන පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වන  වී අලෙවි මණ්ඩලයේ උප සභාපති ජ්‍යෙෂ්ඨ කෘෂි ආර්ථික වෙළෙඳ පොළ පර්යේෂක දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසන්නේ මෙරට දැනට වී හෝ හාල් හිඟයක් නැති බවයි. අපේ රටේ ගොවි ජනතාව හා මහ මෝල් හිමියන් ළඟ විශාල වී තොගයක් තිබෙන බවත් පවසන දුමින්ද මහතා පවසන්නේ බැරි වෙලාවත් වී පිටරටින් ගෙන්වුවොත් ඔය හාල් ටික එළියට දමනු ඇති බවයි.

“පසුගිය වසරවල වී කිලෝ එක ගොවීන් වික්කේ රුපියල් 25 - 30 ට. හැබැයි මේ වසරේ ගොවියාට වී කිලෝ 1 ට රුපියල් 50ක් විතර ලැබුණා. ඒ නිසා සල්ලි වැඩියෙන් ලැබුණ නිසා ගොවි ජනතාව වී වික්කේ අඩුවෙන්. ඒ නිසා ගොවි ජනතාවගේ ගෙවල්වල වී ටිකක් ඉතුරු වෙලා තිබෙනවා. සහල් මිලට දැමූ පාලන මිල අනුව සම්බාවලටත් රුපියල් 98ක පාලන මිලක් තිබෙනවා. නමුත් ඔය මිල ඉවත් කළොත් ඕන තරම් වී තොග වෙළෙඳ පොළට එයි. මහ මෝල් හිමියන් ළගඳ වී ටිකක් ගබඩා කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් මෙවර මහ කන්නයේ කුඹුරු කිරීමට වතුර දෙන විට ඔය හංගපු වී තොග එළියට ඒවි. කෙසේ වුවත් සෑම වසරකම ඔක්තෝබර්, නොවැම්බර් මාසවල හාල් මිල අධිකයි. පාලන මිල ඉවත් නොකර ඔය වී ටිකත් වෙළෙඳ පොළට ආවොත් මේ රටේ කිසිම හාල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. දැන් කළ යුත්තේ රජය සතු වී තිබේ නම් සහල් කර වෙළෙඳ පොළට දැමීමයි.” ප්‍රියදර්ශන මහතා පවසයි.

පසුගිය බදාදා පැවැති ජීවන වියදම් කමිටුවේදි පසුගිය මහ කන්නයේ වී මිලදී ගෙන මනාව ගබඩා කර ගොවියාට හා පාරිභෝගිකයාට සහන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් දී තිබේ.

මේ අතර මෙවර වී අලෙවි මණ්ඩලයෙන් වී මෙට්‍රික් ටොන් 30,000 ක් මිලට ගෙන තිබෙන බවත් ඒ වී වලින් වී මෙට්‍රික් ටොන් 20,000 ක් අද හෙටම සහල් බවට පත්කර වෙළෙඳ පොළට දමන බවත් වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි. ඊට අමතරව මෙරට දිසාපතිවරුන් විසින් මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 30,000 ක්ද අද හෙටම හාල් කර මෙරට වෙළෙඳ පොළට දැමීමට නියමිතය.

පසුගිය යල කන්නයේ මෙරට වී මිල රුපියල් 50 මට්ටමේ පැවතීමට වී අලෙවි මණ්ඩලය මගින් වී මෙට්‍රික් ටොන් 30,000 ක් මිලදී ගැනීම හේතුවූ බවද උප සභාපතිවරයා පවසයි.

ඒ සමඟම ලබන වසරේ සිට මෙරට සහල් මාෆියාවක් ඇති නොවීමට වී අලෙවි මණ්ඩලය විසින් වී මෙට්‍රික් ටොන් 150,000 ක ආරක්ෂිත තොගයක් ඇති කිරීමට ද පියවර ගෙන ඇතැයි උප සභාපතිවරයා පවසයි.

මේ වසරේ කොරෝනා රෝගය නිසා රට වසා දැමූ සමයේ වෙනදාට වඩා සහල් පරිභෝජනය වැඩි වුවත් අපේ රටේ ජනතාවට කෑමටත් වඩා සහල් මේ වසරේ මහ හා යල කන්න මගින් ලැබුණු බවත් දුමින්ද මහතා පවසයි.

අපේ රටේ සහල් ගැටලුව පිළිබඳව අදහස් දක්වන සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ අනුශාසක අරුණ කාන්ත බණ්ඩාර මහතා පවසන්නේ සමස්ත ලෙස මෙරට උග්‍ර හාල් හිඟයක් නොමැති බවයි.

2019 - 2020 මහ කන්නයේදි ටොන් මිලියන 3.2 ක්ද 2020 යල කන්නයේදි ටොන් මිලියන 1.8ක්ද ලැබුණා. ඒ අනුව 2020 දි වී අස්වැන්නේ එකතුව ටොන් මිලියන 5කි. වී මෙට්‍රික් ටොන් මිලියන 5 කින් සහල් ටොන් මිලියන 3.2 කුත් ලබාගත හැකිය.

අපේ රටේ එක් පුද්ගලයකුට වසරකට කිලෝ 107ක් පරිභෝජනය කරයි.

පසුගිය කොරෝනා සමයේදි පාන්පිටි පරිභෝජනය අඩුවී හාල් පරිභෝජනය වැඩිවී තිබේ. ඒ අනුව ඒක පුද්ගල හාල් පරිභෝජනය වසරකට කිලෝ ග්රෑම් 120ක් දක්වා වැඩිවූ බවද අරුණ කාන්ත මහතා පවසයි.

මේ අනුව 2020 වසරේ උපරිම හාල් පරිභෝජනය වන්නේ හාල් ටොන් මිලියන 2.5කි. ඒ අනුව මුල් අස්වැන්නෙන් පරිභෝජනයට නොගෙන ඉතිරි වන හාල් ප්‍රමාණය සහල් ටොන් ලක්ෂ 7කි. ඉන් සියයට 30ක්ම නීති විරෝධී අයුරින් සත්ව ආහාර සඳහා සහල් භාවිත කරන්නේ නම් ඒ සඳහා ටොන් ලක්ෂ 2ක් පමණ වැයවේ. ඒ අනුව සියලු පරිභෝජන කටයුතු වලින් පසුව තවත් සහල් ටොන් ලක්ෂ 5ක් ඉතිරි විය යුතුය. ඒ අනුව රටේ සහල් හිඟයක් නැත.

සමහර මහ මෝල් හිමියන් හා මහා පරිමාණ කුඹුරු ඇති ගොවි ජනතාව අතර මේ සහල් ප්‍රමාණය ගත හැකි වී තොග තවම ඇතැයි සිතිය හැකි බවත් අරුණ කාන්ත බණ්ඩාර මහතා පවසයි.

කෙසේ වුවත් අපේ රටේ දැනට ඇසට පෙනෙන කනට ඇහෙන ආකාරයට හාල් හිඟයක් තිබේ. එයට ප්‍රධාන හේතු තුනක් ඇත. ඉන් පළමුවැන්න සම්බා වීවලට නියමිත උපරිම මිලක් ඇති නොකිරීමයි. අනෙක් එක මහවැලි හා වාරි බලධාරින් අපේ කුඹුරුවලට දෙන ජලය අඩු කර අමතර අතිරේක බෝග වගාවට ගොවි ජනතාව යොමු කරවීමයි. ඊට අමතරව පාන්පිටි සහනාධාර ඇතිව ලබාදීම හා ‘චූන්පාන්’ වසංගතය රට පුරා පැතිරී යාම නිසාද පාන්පිටි පරිභෝජනය ජනප්‍රිය වී සහල් පරිභෝජනය අඩු වී ඇත.

එමෙන්ම දැන් තිබෙන උපරිම සිල්ලර මිලට හාල් නිපදවීම කිසිම ලාභයක් නැති බවද මෝල් හිමියෝ රජයට පෙන්වා දෙති. අද කැකුළු හාල් කිලෝවක් විකිණීමට හැකි උපරිම මිල රුපියල් 90 කි. හාල් මෝල් හිමියන් පවසන්නේ කැකුළු හාල් කිලෝ 1ක් නිපදවීමට යන වියදම රුපියල් 90 ට වැඩි බවයි.

කෙසේ වුවත් අද රජය කළ යුත්තේ සම්බා වී සඳහා මීට වඩා මිලක් ලබාදීමයි. ඒ සමඟම කුඩා හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන් වසරකට හාල් ටොන් 27,000කට වඩා නිපදවනවා. ඔවුන්ට සුදුසු වෙළෙඳ පොළක් සකස් කළ යුතුයි. එවිට ඒ අයට හැමදාම ණය දීලා ඒවා කපා දමන්න රජයට සිදු නොවේ.

ඒ සමඟම අපේ වී අස්වැන්න තව වැඩි කිරීමට නම් කිසිම කුඹුරක අතිරේක බෝග වගාව තහනම් කළ යුතුයි. ඒ සමඟම කුඹුරු පුරන් වීමට නොදිය යුතුය. ඊට අමතරව අපේ ර‍ෙට් පාන්පිටිවල ජනප්‍රිය බව අඩු කිරීමට පාන්පිටි සහනාධාර ඉවත් කළ යුතුයි.

එවිට කිසිම ගුණක් නැති පාන්පිටි වෙනුවට හාල් වඩා ජනප්‍රිය වූ විට හාල් තව ජනතාව අතර ජනප්‍රිය වී පාන්පිටිවලට පිටරටට යන මුදල අපේ ගොවි ජනතාවට ලැබෙන බවද අරුණ කාන්ත බණ්ඩාර මහතා පවසයි.

මේ අනුව අපේ රටට සහල් විදේශවලින් ගේන්නේ නැතිව මේ හාල් ගැටලුව විසඳීමට අපේ සහල් නිෂ්පාදක සංගම්, මෝල් හිමියන්, ගොවි සංවිධාන හා දේශපාලනඥයන් එකට එක්ව සාකච්ඡා කළ යුතු බවද කෘෂි හා අලෙවි පර්යේෂකයෝ පවසති.

මේ පිළිබඳව අදහස් දක්වන අරලිය සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ඩඩ්ලි සිරිසේන මහතා පවසන්නේ ඔය සමහර විද්වතුන් කියන අයුරින් වී හෝ හාල් හෝ තොග අපගේ ගබඩාවල සඟවා නොමැති බවයි.

“අපිට ඔය කියන තරම් තොග සඟවාගෙන ඉන්න ඉඩකඩ නැහැ. සමහර වී ගොවියන් ළඟ තවමත් වී කිලෝ 1000 - 2000 තිබෙනවා.

පසුගිය දිනවල රජය සහල්වලට උපරිම සිල්ලර මිලක් ලබා දුන්නා. ඒ ගැන අපි සතුටුයි. අපිට ඊට වඩා අඩු මිලට හාල් දෙන්න බැහැ. ව්‍යාපාර වහන්න වෙනවා එහෙම වුණොත්.” ඩඩ්ලි ‍සිරිසේන මහතා පවසයි.

මේ පිළිබඳව කරුණු දක්වන ප්‍රගතිශීලී ගොවිජන සම්මේලනයේ සභාපති කවුඩුල්ලේ එච්.කේ. ජයතිස්ස ගොවි නායකවරයා පවසන්නේ හාල් මිල ඉහළ යාමටත් හාල් හිඟයක් තිබීමටත් ප්‍රධාන හේතුව අපේ රටේ මහා හාල් මෝල් හිමියෝත් බලධාරිනුත් නිලධාරිනුත් ඇතැම් දේශපාලනඥයෝත් එක්ව ක්‍රියාත්මක හාල් මාෆියාව බවයි.

“අපේ රටේ ගොවි ජනතාව දුක් විඳලා මේ වසරේ අපේ රටේ සියලු දෙනාට අවශ්‍ය තරම් වී හාල් අස්වැන්න අරන් දීලා තිබෙනවා. නමුත් ඒ හාල් මහා මෝල් හිමියන් ගබඩා කරගෙන තියෙන්නේ. ගොවියන් ළඟ වී හාල් ගබඩා කරලා නැහැ.

දැන් ඔය හාල් මෝල් හිමියෝ හාල් කරලා වෙළෙඳ පොළට දමන්නේ ගිය අවුරුද්දේ යල කන්නයේ ගත්ත වී ටික. මහා මෝල් හිමියෝ ගාව හාල් නැහැ කිව්වට හාල් තොග ගණන් තිබෙනවා. ඒ අයගේ ගබඩා තියෙන්නේ මෝල අසල පමණක් නොවේ. ඒ අය වී නැහැ කිව්වහම රජයේ බලධාරින් නිලධාරින් එකතුවෙලා කරන්නේ රටින් හාල් ගෙන්වන එකයි. එතකොට ඒ අයට ලොකු කොමිස් එකක් ලැබෙනවා.

ඒ අනුව අපි දුක් විඳලා වකුගඩු රෝගය මධ්‍යයේ කුඹුරු කරලා රටටම කන්න හාල් දීලා අපි දැන් හිතිනුත් ගතිනුත් දුක් විඳිනවා. අර මහ මෝල් හිමියන් ටිකයි රටේ සමහර දේශපාලනඥයොයි නිලධාරින් මේ වී හාල් මාෆියාවක් හදාගෙන කෝටි ගණන් හම්බ කරනවා.” යැයි ජයතිස්ස මහතා පවසයි.

මේක මේ අය දෙයියන්ගෙ හාල් කාලා වගේ මිනිස්සු බඩගින්නේ තියන්න කරපු වැඩක් වගේ. මේක නවත්වන්න නම් ගොවි සංවිධාන එක්වෙලා තම තමන්ගේ වී ටික හාල් කරල වෙළෙඳ පොළට දමන ක්‍රමයක් සමූපකාර ක්‍රමයක් වැනි දෙයක් ඇති කළ යුතුයි. මේකට අපි පොළොන්නරුවෙන් මූලික අඩිතාලම දමලා තිබෙනවා. මේවට සහාය දීම අලුත් රජයේ දේශපාලනඥයන්ගේ බලධාරින්ගේ නිලධාරින්ගේ යුතුකමක් යැයිද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

කොයි රජය යටතේ වුවත් ක්‍රියාත්මක වන මේ හාල් මා‍ෆියාව නැති කරන තාක් කල් මේ රටේ වරින් වර හාල් මිල වැඩිවීම හාල් හිඟය ඇතිවීම වැළැක්විය නොහැකි බවත් ගොවි නායක ජයතිස්ස පෙන්වා දෙයි.

Comments