නීතිපතිගේ මූලික විරෝධතාවලට පිළිතුරු | සිළුමිණ

නීතිපතිගේ මූලික විරෝධතාවලට පිළිතුරු

මහමැතිවරණයක් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළ පසු මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුව රැස්විය යුතු බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා අද (19) සිය දේශන ඉදිරිපත් කරමින් පැවසීය.

නමුත් මේ අවස්ථාවේ ජූනි මස 02 වැනිදා වන විට මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් රැස්විය නොහැකි නිසා ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත වන බව නීතිඥවරයා පවසා සිටියේය.

පාර්ලිමේන්තුව, අධිකරණය සහ විධායකය යන ආයතන තුන එකිනෙකට බලතල සංවරණය හා තුලනය මගින් ක්‍රියාත්මක වන බවත් ඒ අනුව පාර්ලිමේන්තුව මාස තුනක් ඇතුළත කැදවීම මහජන ස්වාධිපත්‍යය ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය කාරණයක් බව පවසා ඇති බව ද සදහන්.

මේ අතර සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් සදහා පිළිතුරු දෙමින් පවසා සිටියේ රට තුළ ඇදිරි නීති තත්ත්වයක් පැවැති නිසා පෙත්සම්කරුවන්ට මෙම පෙත්සම් මාසයක් ඇතුළත ගොනු කිරීමට නොහැකි වූ බවයි.

එම නිසා එවැනි අවස්ථාවකදී ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඉඩ නොතබනු ඇති බවට තමා විස්වාස කරන බව ඔහු පවසා තිබේ.

තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගි විය යුතු බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු වැඩිදුරටත් පවසා සිට ඇත.

Comments