
ඕස්ට්‍රේලියාවේ වෙසෙන විවිධ වර්ගයේ සතුන් බිලියන 1.2 ක පමණ සතුන් මියගිය එරට ළැව්ගින්න හෙක්ටාර මිලියන 8ක වන ගහනය පුළුස්සා විනාශ කර දමා තිබේ. මේ හේතුවෙන් එරටට බලපා ඇති උෂ්ණාධික නියං සහිත කාලගුණය හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට මුහුණදීමට සිදුව ඇත්තේ වෙනස්ම ප්‍රශ්න වැලකට ය. හැකි උපරිම අයුරින් සතුන් බේරාගැනීමේ මෙහෙයුම්වල නිරත වුවත් ඕස්ට්‍රේලියාවෙන් පසුගියදා ලද නරකම ආරංචියෙන් ලොවම සසල වූවාට සැක නැත. ඒ එරට වෙසෙන ඔටුවන් දස දහසක් මරාදැමීමට රජය ගත් තීන්දුවයි. එරට ආදිවාසි ඇබොර්ජින්වරුන්ගේ නිල අවසරය ද පසුගිය 07 වැනිදා ලැබී තිබූ බැවින් එතැන් සිට ගෙවෙන දින 5ක් තුළ මෙම ඔටු සංහාරය අවසන් කිරීමට සැලසුම් කර තිබුණි.
ඔටුවන් දසදහසක් මරාදැමිය යුතු බවට ඕස්ට්‍රේලියානු රජය තීරණයකට එළැඹෙන්නේ මතුවූ උෂ්ණාධික තත්ත්වයත් සමඟ මෙතෙක් පාලනය කරගත නොහැකි වූ ඔටුවන් රංචු පිටින් නගරයට වැදී ජල ටැංකි, ටැප් ආදියෙන් පවා විශාල වශයෙන් ජලය පානය කිරීම නිසාය. පානීය ජල අර්බුදයකට මුහුණ දී සිටින ඕස්ට්‍රේලියානුවන්ට මේ ඔටුවන් රංචු පිටින් නගරයට වැදීම ඇතිකර ඇත්තේ සුළුපටු කරදරයක් නොවේ. සොබාදහම ඔටුවන් නිර්මාණය කර ඇත්තේ වරකට විශාල ජලය ප්‍රමාණයක් සිරුරට ගැනීමෙන් පසුව දිගු කාලයක් ජලය නොමැතිව සිටිමින් වෙහෙස විය හැකි සත්වයකු ලෙසයි.
සොබාදහමේ මේ නීතිය ඔටුවන් බිහිවූ දේශයට මෙතෙක් ගැටලු සහගත වූ අවස්ථා අසන්නට ලැබී නොමැත. මන්ද යත් උන්ගේ ජීවන විලාශය අනුව ගැළපෙන රටක ඔටුවන්ට ඉපදීමට සොබාදහමේ තීරණය නිසයි. නමුත් ඕස්ට්‍රේලියාවට ඔටුවන් ගැටලුවක් වූයේ ඇයි? ඒ ඔවුන්ගේ දේශය නොවේ. මිනිසුන් විසින් මීට වසර 200කට පමණ පෙර ඔටුවන් ඕස්ට්‍රේලියාව වෙත නැව් මඟින් ගෙන්වා ගත්තේ මිනිස් ජනපද පිහිටුවීම සඳහා භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් භාවිත කිරීමටයි. බලහත්කාරයෙන් ගෙන්වා ගත් මේ සත්වයන් අද ඕස්ට්‍රේලියාවට බරක් වී ඇත්තේ සොබාදහමේ නීතියට පටහැනි වූ නිසාද යන්න සිතාබැලිය යුතුය.
ඔටුවන් ඕස්ට්‍රේලියාවට ගෙන්වීමට කටයුතු කෙරෙන්නේ එරට ජනපද සෑදීමට පටන් ගන්නා 19 වැනි සියවසේ දී පමණ ය. දකුණු සහ මධ්‍යම ඕස්ට්‍රේලියාවට ඔටුවන් ගෙන ආ යුතු බවට අදහස මතුවන්නේ 1822 දී ඩෙන්මාර්ක-ප්‍රංශ භූ විද්‍යාඥයකු මෙන්ම මාධ්‍යවේදියකු ද වූ කොන්රාඩ් මෝල්ට් බ්‍රාන් විසින් විශ්වීය භූගෝලය නමැති සටහනකිනි. ඔටුවන්ට වැලි සහිත කාන්තාරයේ දිගු කාලයක් ජලය නොමැතිව වුවද යා හැකි දේශ ගවේෂණයට භාවිත කළ හැකි සතකු බව ඇතුළු තවත් සතුන් ගණනාවක් සම්බන්ධයෙන් ද අදහස් එහි පළවී ඇත. මේ අනුව 1839 දකුණු ඕස්ට්‍රේලියාවේ දෙවැනි ආණ්ඩුකාර ධුරය දැරූ ජෝර්ජ් ගැව්ලර් පවසන්නේ ඔටුවන් එරටට ආනයනය කළ යුතු බවයි. ඒ අනුව 1840 දී පළමු ඔටුවා ඕස්ට්‍රේලියාවට නැව් මඟින් ගෙන්වා ගන්නේ කැනෙරි දූපත්වලිනි. පිලිප් සහෝදරයන් විසින් ගෙන්වූ ඔටුවන් සමූහයෙන් නැව් ගමන අතරතුර සෙසු සියල්ලෝ මියගොස් තිබූ අතර ඉතිරි වූ එකම ඔටුවා ඕස්ට්‍රේලියාවට පය තැබීමට හැකිවිය. එම ඔටුවා 'හැරී' ලෙස නම් කරන ලදී. ඒ අනුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පළමු ඔටුවා හැරී ය. හැරී සමඟ දකුණු ඕස්ට්‍රේලියාවේ භූ ගවේෂණයේ නිරත වූයේ එවකට ජෝන්ස් අයින්වෝත් හොරොක්ස් විසිනි. ගවේෂණයේ යෙදෙන අතරතුර මියයාමට හේතුව ලෙස ඔහු පිළිබඳ ඉතිහාසයේ සටහන් වන්නේ තමාගේම ඔටුවාගෙන් පහර කෑ අයකු ලෙසයි.
ඉන්පසුව ප්‍රධාන ලෙසම ගවේෂණය සඳහා යොදාගැනීමට ඕස්ට්‍රේලියාව වෙත ඔටුවන් ගෙන්වා ගෙන තිබුණේ 1860 දීය. ඒ ඉන්දියාවේ බ්‍රිටිෂ් ඉන්දියා ලෙස කලක් හැදින්වුණු කරච්චිවල සිටයි. ඔටුවන් 24 දෙනකු එලෙස ගෙන්වා තිබූ නමුත් එම කණ්ඩායම අසාර්ථක වූයේ ඕස්ට්‍රේලියාවට ආ පසු මෙම ඔටුවන්ගෙන් කිසිදු ඵලක් නොවූ බව එකල සටහන්වල දැක්වේ. මෙම ඔටුවන් තම රටේදී වැඩ කරන ආකාරය හා සසඳා බැලීමේදී ඕස්ට්‍රේලියාවට ගෙන ආ පසුව සිටිනා ආකාරයෙන් කිසිදු ඵලක් වී නැතැයි එම සටහන්වල දැක්වේ. කෙසේවෙතත් මෙම ඔටුවන්ගෙන් වැඩ කරවාගත් පුද්ගලයන් කිහිපදෙනකු ද ඔටු ප්‍රහාරවලට ලක්වී දරුණු ලෙස ආබාධිත හා මියගිය බවට අතීත වාර්තාවල සදහන් ය. ඉන්පසුව ගෙවුණු 1870 සහ 1900 අතර කාලය තුළ ඇෆ්ගනීස්ථානය, බ්‍රිටිෂ් ඉන්දියා, තුර්කිය හා ඊජිප්තුවෙන් ඔටුවන් 15000ක් පමණ ගෙන්ව තිබේ. මෝටර් ප්‍රවාහනය ප්‍රචලිත නොවූ යුගයක ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ ඔටුවන් කෙතරම් මෙහෙවරක නියැළෙන්නට ඇතිදැයි අනුමාන කළ හැකිය. උතුරු අප්‍රිකාවෙන් හා අරාබියෙන් ද ඔටුවන් විශාල වශයෙන් ගෙන්වා ගත්තේ එම ඔටුවන් වර්ගය දිනකට කිලෝ ග්රූම් 600ක් රැගෙන කිලෝමීටර් 40ක් පමණ ගෙන යා හැකි වීමේ හැකියාව නිසාය. 1894 වනවිට ඕස්ට්‍රේලියාව තුළ රජයේ ඔටු ගොවිපළ තනා විශාල වශයෙන් ඔටුවන් නඩත්තු කිරීම අකුරට කරන්නට වූ අතර එය එවකට ඉහළ පෙළේ වෙළෙදාමක් දක්වා දුරදිග ගොස් තිබුණි. දේශය තුළ ගවේෂණ, ගමනාගමනයට තනිකරම සිය සිරුර කැපකිරීමට ඔටුවන්ට සිදුවිය.
20 වැනි සියවස වනවිට ඕස්ට්‍රේලියාව තුළ සැළකිය යුතු ඔටුවන් සංඛ්‍යාවක් මිනිසුන්ට සේවය කරමින් සිටියේ ය. ඒ අතර විවිධ රටවලින් පැමිණි විවිධ වර්ගයේ ඔටුවන් සිටියේ ය. ඒ වනවිට ඕස්ට්‍රේලියාව තුළ මෝටර් ප්‍රවාහනය මුල්බැස ගැනීමට පටන් ගැනීම නිසා ඔටුවන්ගේ අවශ්‍යතාව මිනිසුන්ට අඩුවීමට පටන් ගත්තේ ඉතාම වේගයෙනි. මේ හේතුව නිසාම ඔටුවන් ක්‍රමයෙන් වනාන්තරයට මුදාහැරීමට පටන් ගත්තේ ය. ඇතැම් ඔටුවන් ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් වන ඇබොර්ජින්වරුන් සමඟ භාණ්ඩවලට හුවමාරු කරගත්තේය. ඇබොර්ජින්වරුන්ට මෙම තත්ත්වය නිසා ඔටුවන්ගෙන් වැඩගැනීමට හැකි විය. වැඩිවශයෙන්ම සිදුවූයේ ඇබොර්ජීන්වරුන් ඔටුවන් හා මිතුරු වී දුක සැප බෙදාගැනීම ය. බොහෝ ඔටුවන්ට නිදහස ලැබුණ ද ඔටුවන්ට නිදහස ලැබෙන්නට පටන් ගත් ඒ පියවර එතරම් හොද එකක් වූයේ නැත. මෙම ඔටුවන් වනගත වී ප්රචණ්ඩ වීමට පටන් ගත්තේ එතැන් සිටය.
ඕස්ට්‍රේලියාව වනාන්තර තුළ ඔටුවන්ගේ ගහනය ශීඝ්‍ර ලෙස වර්ධනය වීමට පටන් ගත්තේය. පසුකාලීනව ලොව ප්රචණ්ඩකාරිම තනි මොල්ලියේ ඔටුවන්ගේ වැඩිම සංඛ්‍යාව හමුවූයේ ද ඕස්ට්‍රේලියාවෙනි. සෑම වසර 8ක් 10ක දීම ඔටු ගහනය දෙගුණයක් දක්වා ඉහළ යයි. ඒ අනුව 2008 වනවිට ඕස්ට්‍රේලියාවේ ඔටු ගහනය මිලියනය ඉක්මවීය. බෝග වර්ගවලින් 80%ක් පමණ කෑමට ගන්නා ඔටුවන් නිසා ඕස්ට්‍රේලියාව පාලනය කිරීමට අපහසු ගැටලුවට මුහුණදෙන්නට විය. ඊට විසදුමක් ලෙස ඔටු සංහාරය පිළිබද එරට රජය අවධානය යොමුකරන්නේ 2013 සිටය. ඔටුවන්ට වෙඩි තබා මරාදැමීමේ ක්‍රියාවලිය වරින් වර සිදුකරමින් ඔවුන් යළි ඔටු සංගණනයක් කළේය. ලක්ෂ 6ක් දක්වා අඩු කර ගැනීමට හැකිව තිබුණි. එහෙත් රජය පවසන ආකාරයට රටට දැරිය නොහැකි ලක්ෂ 3ක ඔටුවන්ගේ අතිරික්තයක් ඇත. ඒ වාර්ෂිකව වැඩිවන ඔටු ගහනයේ ප්‍රතිශතය 10% යන්න නොසලකා ය.
මෙම කරුණු සළකා බැලීමේදී ඕස්ට්‍රේලියාවට ඔටු සංහාරය අලුත් දෙයක් නොවේ. බලහත්කාරයෙන් ගෙන්වා ගත් ඔටුවන් විශාල වශයෙන් වරින් වර මරාදැමීමට දැන් ඔවුන්ට සිදු වී ඇත. ලක්ෂ 3ක ඔටු අතිරික්තයක් තබාගෙන දස දහසක් පමණක් වෙඩි තබා මරාදැමීමට ඕස්ට්‍රේලියානු රජය ගෙන ඇත්තේ අලුත් පියවරක් ද නොවේ.
කෙසේවෙතත් ඔටුවන් දසදහසක් මරාදැමීම හැර වෙනත් වඩා මානුෂීය විකල්පයකට යන ලෙස තුර්කිය ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලීමක් කර ඇත. ඊට අමතරව ලොව පුරා සත්ව සංවිධාන ද මෙම පුවතින් අලුතින් ඕස්ට්‍රේලියාව හා අවි අමෝරන්නට පටන්ගෙන තිබේ. සමාජ ජාල පුරා ජනතාව ඉකිබිඳින්නේ 'උඩ ඇදුම ගලවා කෝලා බේරාගත් ඕස්ට්‍රේලියාව ඔටුවන්ට වෙඩි තියා නිර්වස්ත්‍ර විය' යනුවෙන් පෝස්ටු මුදාහරිමිනි. ලැව් ගින්නේදී මිනිසුන් සතුන් බේරාගැනීමේ මෙහෙයුමේ නිරත වූයේ තම ජීවිත ද අවදානමට ලක්කරමිනි. ඉතින් ඔටුවන් නිසා ජලය මදිවන බව පවසා මව්රටක් නොවන දේශයකදී ඔටුවන්ට සිදුවී ඇත්තේ කුඩම්මාගේ සැලකිලි ලබා මිය යන්නට ය.