හැම අපේක්ෂකයාටම ඡන්ද පෙට්ටියක්
ගැමීබියාවේ මැතිවරණයට ගිය පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජික, ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රියාකාරිනියක වන සමානාත්මතාව සහ නීතී කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ ශාමලා ගෝමස් කියන කතාව
ශාමලා ගෝමස් අප රටේ සිටින ප්‍රකට නීතීඥවරියකි, සමාජ ක්‍රියාකාරිනියකි. පසුගියදා ඇයට දුර්ලභ අවස්ථාවක් හිමිවූයේ පොදු රාජ්‍ය මණ්ඩලීය කණ්ඩායම් සාමාජිකාවක ලෙස ගැම්බියාවේ මැතිවරණ නිරීක්ෂණයේ යෙදීමටය. ඒ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරමින් සහභාගී වූ නිරීක්ෂණ කමිටුවේ සාමාජිකයන් නව දෙනෙක් වූහ. ශාමලා ඒ අතරට එක් වෙමින් ශ්‍රී ලංකාව නියෝජනය කළ අතර, ඒ හැර නයිජීරියාව, ඝානාව, කෙන්යාව, මලාවි, සීෂෙල්ස්, බහමාස්, උගන්ඩා සහ සැම්බියා යන රටවල නියේජිතයෝ මේ මැතිවරණය නිරීක්ෂණය කිරිමට එක්ව සිටියහ. දින කිහිපයක් පුරා ගැම්බියාවේ රැඳෙමින් මැතිවරණය නිරීක්ෂණය කළ අත්දැකීම් ශාමලා ගෝමස් සිළුමිණ හා බෙදා ගැනීමට කටයුතු කළේ මෙසේය.
අප්‍රිකානු රටක මැතිවරණ නිරීක්ෂණය සඳහා සහභාගී වූ ශාමලා ගෝමස්, ඇය ලත් එම අත්දැකීම් අප සමඟ බෙදා ගැනීමට ඉදිරිපත් වුයේ ඉතා කැමැත්තෙනි.
විදෙස් රටක මැතිවරණ නිරීක්ෂණයේ යෙදීම ඉතා දුර්ලභ අත්දැකීමක් වගේම ඉතා ප්‍රියජනක කාර්යයකි. එහෙත් මේ මැතිවරණ නිරීක්ෂණය ශෘමලාගේ ප්‍රථම මැතිවරණ නිරීක්ෂණ අත්දැකීම නොවේ. මීට පෙර ඇය 2002 වසරේදී පකිස්තානයේ මැතිවරණ නිරීක්ෂණය සඳහා සහභාගී වූවාය. ඒ අනුව මේ ඇයගේ දෙවැනි විදෙස් මැතිවරණ නිරීක්ෂණ අත්දැකීමයි. ඇය පවසන්නේ මේ නිරීක්ෂණය අප්‍රිකානු රටක දී සිදුකිරීම හේතුවෙන් ඇයට සුවිශේෂී අත්දැකීම් රැසක් ලැබුණූ බවයි. එයට හේතුව අප්‍රිකානු රටවල සංස්කෘතික ලක්ෂණ අපට දුරස්ත වීමයි.
“ගැම්බියාවේ මැතිවරණ දිනය යෙදී තිබුණේ දෙසැම්බර් 4වැනිදාටයි. අපට නොවැම්බර් අවසානයට පෙර එම රටේ සිටිය යුතු බව පොදු රාජ්‍ය මණ්ඩලීය කමිටුව දැනුම් දී තිබුණා. අපි ඒ සඳහා පිටත්ව යෑමට සූදානම් වන විට තමයි දකුණූ අප්‍රිකාවෙන් ඔමික්‍රෝන් වයිරස ප්‍රභේදය සොයා ගත් බව වාර්තා වුණේ. ඒ හේතුවෙන් අපිකානු රටවල් රැසකට සංචරණ සීමා පැනවූවා. ඇතැම් කලාපීය රටවල් දේශසීමා වසා දැම්මා. මම ගමන් ගැනීමට නියමිතව තිබූ ගුවන් ගමනත් අවලංගු වූ බවට දැනුම් දුන්නා. ඒ නිසාම ගොඩක් අසීරුතා මැද තමයි මට ගැම්බියාවට යන්න සිදු වුණේ.
ඔමික්‍රෝන් ගැන මුළු ලෝකයම බියපත් වෙද්දී අපේ නිරීක්ෂණ කණ්ඩායම ඒ ගැන සැලකිල්ලක් දැක්වූවේ නැහැ. අප උනන්දු වූයේ අපට පැවරුණූ වගකීම එලෙසින්ම ඉටු කිරීම සම්බන්ධව පමණයි. කොහොම වුණත් ඔමික්‍රෝන් වයිරස ප්‍රභේදය නිසා දැඩි දුෂ්කරතා මධ්‍යයේ තමයි අපට ගැම්බියාවට ළඟා වෙන්න සිදු වුණේ.
ගැම්බියාව ඉතා කුඩා රටක්. මෙය පිහිටා තියෙන්නේ අප්‍රිකා මහාද්වීපයේ බටහිර පැත්තේ. ඒ රටට කිසියම් වෙරළ සීමාවක් හිමියි. සෙසු භූමි ප්‍රදේශය ගොඩබිම තුළට තීරයක් විදිහට ගොඩබිම පැතිරිලා තියෙනවා. වෙරළ සීමාව හැරුණු කොට අන් සියලුම ප්‍රදේශය සෙනගාල් කියන රටෙන් වටවෙලා තියෙන්නේ. රටේ සම්පූර්ණ වර්ගඵලය වර්ග කිලෝමීටර් 10, 689ක්. භූමි ප්‍රමාණයෙන් කුඩා රටක් වගේම මුළු රටේම ජනගහනයත් ඉතාම අඩුයි. මිලියන දෙක හමාරක් පමණ. ඒ කියන්නේ ගැම්බියාවේ සමස්ත ජනගහනය ලක්ෂ විසිපහක් පමණයි. නොදියුණූ රටක්. මේ රටේ උසම ගොඩනැඟිල්ල තට්ටු දෙකක් පමණයි. අගනුවර වන බන්ජුල් නගරයෙන් බැහැරට යන විට තවමත් බූරුවන් බැඳි කරත්ත පවා පරිවහනය සඳහා යොදා ගන්නා අන්දම දැක ගන්නට පුළුවන්.
අපි මුලින්ම ගියේ ගැම්බියාවේ අගනුවරට. ඒ, බන්ජුල්. වැඩි ජනගහනයක් නැති, වැඩි කලබලයක් නැති නගරයක්. මෝටර් වාහන වුණත් තිබ්බේ සීමිත සංඛ්‍යාවක්. පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම වශයෙන් අපට උපරිම පහසුකම් සැපයීමට ගැම්බියානු බලධාරීන් සෑම විටම උපරිම උත්සාහ ගන්නා බව අපට පෙනී ගියා. අපි විතරක් නෙමෙයි තවත් සංවිධාන කිහිපයකින්ම මැතිවරණ නිරික්ෂකයන් එවා තිබුණේ මේ මැතිවරණය සුවිශේෂ මැතිවරණයක් වීම හේතුවෙන්. ඔවුන් අපට උපරිම පහසුකම් සැපයූවත් ඒ රටවල හැටියට අපේ රටවල් කොතරම් දියුණුද කියලා හිතෙනවා.
ප්‍රථමයෙන්ම අපට දේශන පවත්වමින් මැතිවරණ නිරීක්ෂණයට අදාළව වැදගත් දේ එකිනෙකා අතර බෙදා ගැනීමට නිරීක්ෂකයන් අවස්ථාව සලසා දුන්නා. රටේ ප්‍රදේශ නිරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයන් අතර බෙදා දී තිබුණා. එයින් පසුව අපට තිබුණේ අපට ලැබී තිබුණු ප්‍රදේශයට ගොස් අපේ කටයුතු ආරම්භ කිරීමයි.
මේ මැතිවරණය ඇත්තටම ජනාධිපතිවරණයක්. මේ ජනාධිපතිවරයා මීට පෙරත් ධූර කාලයක් ගෙවා තිබෙනවා. ඉතින් ඔහුගේ දෙවැනි ධූර කාලය සඳහා ජනතා කැමැත්ත විමසා බැලීම තමයි මේ මැතිවරණයේ අපේක්ෂාව වී තිබුණේ.
මේ මැතිවරණය සඳහා අපේක්ෂකයන් 26 දෙනෙක් නාමයෝජනා ලබා දී තිබුණා. ඒ අතර කාන්තාවකුත් හිටියා. අවාසනාවකට වගේ මේ 26 දෙනා අතරින් නාමයෝජනා ප්‍රතික්ෂේප නොවුණේ 6 දෙනෙකුගේ පමණයි. ඉතින් මෙවර මැතිවරණයේ අපේක්ෂකයන් සංඛ්‍යාව 6ක් වුණෘ.
ගැම්බියාවේ ජනතාව සාක්ෂරතාවයෙන් ඉතා පහළයි. ඒ නිසාම ඔවුන් මැතිවරණය පවත්වන්නට යොදාගෙන තිබුණේ ඉතා ප්‍රාථමික ක්‍රමවේදයක්. ඒත් මේ ක්‍රමවේදය නිරීක්ෂණය කිරීමේදී මට පෙනී ගියේ මේ ක්‍රමවේදය ඉතා විනිවිද භාවයෙන් යුක්ත බවයි.
ඔවුන් ඡන්ද පත්‍රිකා වශයෙන් යොදාගෙන තිබුණේ ජිල් බෝල වැනි බෝල විශේෂයක්. අදාළ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයේ ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාවට අදාළව එම ඡන්ද මධ්‍යස්ථානයට මේ ජිල්බෝල ම්‍රද්‍රා තබන ලද ඇසුරුමක් සහිතව ලබා දී තිබුණා. ඡන්ද මධ්‍යස්ථානයේ ඇතුළත තිරයකින් ආවරණය වූ ස්ථානයක ඡන්ද පෙට්ටි හයක් ස්ථාපිත කර තිබුණා. ඒ එක් එක් පෙට්ටිය එක් එක් අපේක්ෂකයාට අයත්. ඒ අදාළ පෙට්ටිය, එනම් තමන් කැමති අපේක්ෂකයාගේ පෙට්ටිය ඡන්ද දායකයාට සොයා ගැනීමට පහසු වනු පිණිස එම පෙට්ටියේ ඉදිරිපිට අපේක්ෂකයාගේ පින්තූරයක් පැහැදිලිව පෙනෙන ලෙස අලවා තිබුණා. ඉතින් ඡන්ද දායකයා ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි පසුව ඔහුගේ නම විමසා බලා ඔහුට ජිල් බෝලයක් නිකුත් කරනු ලැබුවා. එය රැගෙන ගොස් තමා කැමති අපේක්ෂකයාගේ රූපය සහිත පෙට්ටියට ජිල් බෝලය දැමීමට ඡන්ද දායකයන් කටයුතු කළා.
මේ පෙට්ටිවල තවත් සුවිශේෂත්වයක් තිබුණා. ඒ තමයි මේ පෙට්ටි ඇතුළත බයිසිකල් බෙල් එකක් වැනි සීනුවක් සවි කර තිබීම. ඇතුළට දමන ජිල් බෝලය කෙළින්ම වැටෙන්නේ මේ බෙල් එක මතට. ඒ හේතුවෙන් ජිල් බෝලය වැටීමේදී සීනුව නාද වෙනවා. එම සීනු හඬින් ඡන්ද දායකයා ඡන්දය පාවිච්චි කළ බව ඡන්ද පොළ කටයුතු මෙහෙයවන නිලධාරීන්ට දැන ගත හැකි වනවා. එමෙන්ම රහසේ සඟවාගෙන පැමිණෙන ජිල් බෝල පෙට්ටිවලට දැමීමට ඇති හැකියාවත් මේ හේතුවෙන් අවහිර වනවා. මොකද දෙවරක් සීනුව නාද වුවහොත් සැමටම එය නිරික්ෂණය වන නිසා. මේ ප්‍රාථමික, එහෙත් විනිවිද භාවයෙන් ඉතා ඉහළ ක්‍රමවේදය නිසාම අපට නිරීක්ෂණය වුණේ මැතිවරණ වංචාවලට ඇති ඉඩ අවම බවයි. මම මැතිවරණ නිරීක්ෂණයේ යෙදුණු ගැම්බියාවේ ජන්ජන්බෝරේ ප්‍රදේශයේ නම් මැතිවරණ වංචා සිදු නොවන තරම්. ඒ වගේම තමයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවකුත් එම ප්‍රදේශයෙන් වාර්තා වුණේ නැහැ. එහෙත් රටේ ඇතැම් ප්‍රදේශවලින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වූ බවට අසන්නට ලැබුණා.
රටේ සමස්ත ඡන්ද දායකයන් සංඛ්‍යාව ලක්ෂ නවයකට මඳක් වැඩි වුවා. ඒ සංඛ්‍යාෙවන් සියයට 90ක් පමණ ඡන්දය පාවිච්චි කළ බව දිනය අවසානයේ දැනගන්නට ලැබුණා. මා මැතිවරණ නිරීක්ෂයේ යෙදුණු ඡන්ද මධ්‍යස්ථානයේත් ඉතා හොඳින් ඡන්දය පාවිච්චි කිරීම සිදුවූවා. වැඩි වශයෙන් කාන්තාවන් ඡන්දය පාවිච්චි කළා. ආබාධිත පුද්ගලයන්ට, ගැබිනි කාන්තාවන්ට ඡන්දය දැමීමේදී විශේෂ පහසුකම් ලබා දෙන්න ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් උපරිම උත්සාහ දැරුවත් එය නම් උපරිමයෙන් ඉෂ්ට නොවන බවක් තමයි මට නිරීක්ෂණය වුණේ. මාත් සමඟ එම ඡන්ද මධ්‍යස්ථානයේ නිරීක්ෂණ කටයුතුවල යෙදුණු සී ෂෙල්ස් රාජ්‍යයේ නිරීක්ෂණ නිලධාරීයාත් මාත් සමඟ එකඟ වුණා.
ගැම්බියාවේ දේශගුණයට හුරුවීම මට තරමක් අපහසු වුණා. එහි පොළොව ඉතාම කාෂ්ටකයි. වියළියි. ඒ වගේම හුළඟ දුහුවිලිවලින් පිරී ගිහින්. වැස්සක් දැනිලාවත් තිබුණේ නැහැ. බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බවක් තමයි පෙනී ගියේ. ඒ වගේම ඒ රටේ ආහාරවලටත් මට කැමැත්තක් ඇති වුණේ නැහැ. බන්ජුල් අගනුවරින් පිටත් වන විට අපට බිස්කට් වැනි ආහාර හැකිතාක් රැගෙන යන්න උපදෙස් ලැබුණා. ඒ නිසා බිස්කට් කමින් දවස් ගෙවා ගත්තා. ඒ රටේ ආහාර සෑදීමට යොදා ගන්නා තෙල් වර්ගය කුමක් වුවත් මට එය ඉතාම අප්‍රිය වුණා. ඒ නිසා ඇත්තටම ඒ දින කිහිපයේ මගේ ප්‍රධාන ආහාරය වුණේ බිස්කට්.
ගැම්බියාවේ ඡන්ද ගණන් කිරීමේ ක්‍රමවේදයත් ඉතාම විනිවිද භාවයෙන් යුතුයි. ඒ සඳහා විශේෂ රාමු සකසා තිබෙනවා. මේ එක් රාමුවක ඡන්ද දැමීමට භාවිත කරන ජිල් බෝල දෙසීයක් රැඳවිය හැකියි. ඉතින් එක අපේක්ෂකයකුගේ රුව සහිත පෙට්ටියක් විවෘත කළ පසු එහි ඇති ජිල් බෝල රැගෙන රාමුවක සවි කරනවා. එක් රාමුවක් සම්පූර්ණයෙන් පිරී ගිය විට ඡන්ද 200ක් සලකුණු කරනවා. මේ අන්දමින් ඉක්මනින් සහ විනිවිදභාවයෙන් යුතුව ඡන්ද ගණන් කිරීමට ඔවුන් විසින් සිදු කරනු ලැබුවා. එ නිසාම මැතිවරණය පැවැත්වූ දිනය අවසානයේ පාන්දර තුන පමණ වන විට සමස්ත ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේ හැම ඡන්ද දායකයාම නිසි පරිදි ජිල් බෝල පෙට්ටි තුළටම දැමීමට කටයුතු කර තිබූ නිසා ප්‍රතික්ෂේපිත ඡන්ද කිසිවක් වාර්තා වුණේ නැහැ. අවලංගු වූ ඡන්දත් නැහැ.
අවසාන ඡන්ද ප්‍රතිඵලයට අනුව දෙවැනි ධූර කාලය අපේක්ෂා කළ ගැම්බියා ජනාධිපතිවරයා ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාෙවන් සියයට 50කට වඩා ලබා ගනිමින් මැතිවරණය ජයග්‍රහණය කළා.
මැතිවරණයෙන් පසු අපි යළිත් බන්ජුල් අගනුවර කරා පැමිණියා. එහිදි ගැම්බියානු මැතිවරණ කොමිසම සමඟ එක්ව සමස්ත මැතිවරණ ප්‍රතිඵලය තහවුරු කර සිටියා. අපි විශේෂ වාර්තාවක් සකස් කිරීම සඳහා තවත් දින කිහිපයක් එරට රැඳී සිටියා.
අවසානයේ එම වාර්තාව ලබා දුන් පසු යළිත් ලංකාවට පැමිණියේ අත්දැකීම් රැසක් එකතු කර ගනිමින්.