ඒ 1992 සැප්තැම්බර් 19 වැනිදාය. ඕස්ට්‍රේලියාවේ බෙල්ගානෝ රක්ෂිත වනාන්තරය ඇතුළත සිතියම් මඟින් ඉසවු සොයමින් ගමනාන්තයට ළඟා වීමේ ක්‍රීඩාවේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුහු ඒ වන විට මීටර් කිහිපයක සිටම තම නාසය හාරාගෙන යමින් තිබූ දුර්ගන්ධයකින් පීඩා විඳමින් සිටියහ. කිසියම් සතකුගේ සිරුරක් කුණුවෙමින් පවතිනවා විය හැකිය. බෙල්ගානෝ රක්ෂිතය කවදත් අන්ධකාරය. තෙත්බරිය. එබැවින්ම එහි ඇතුළත ගස් ගල් මතින් ඇවිද යෑම විනෝදකාරීය. එහෙත් අද දිනයේ යම් වෙනසක් දැනෙමින් පවතින්නේය.
ක්‍රීඩකයන් දෙදෙනා මඳකට තම ඉලක්කය වෙත සිත යොමු කිරීම නවතා දැමුවේ මාර්ගයට පෙනෙන දුරින් වන පෙත ඇතුළත දක්නට ලැබුණු වර්ණවත් ඇඳුමක් හේතුවෙනි. එය යම් තරමකට ජරාජීර්ණ වී පැවතිණි. හැමූ දුර්ගන්ධය ඉවසා ගත නොහැකි තරම් විය. තමා දුටු දේ නිසංසල වන පෙත ඇතුළත සිදුවූ කිසියම් සිත් සසල කරවන සිදුවීමක ඉඟි බව වටහාගත් ක්‍රීඩකයන් තම අරමුණ පසෙක දමා කිලෝමීටර් ගණනක් දුර ගෙවා ආසනන්තම පොලිස් ස්ථානයට පැමිණියේ තමන් අත්විඳි දේ පවසන්නටය.
ඒ අනුව බෙල්ගානෝ රක්ෂිත වනයේ ධාවකයන් පෙන්වූ ඉසව්වට ගිය පොලිස් නිලධාරීන්ට සොයා ගත හැකි වූයේ අඩක් පොළොව තුළින් මතුපිටට ඇද දමා තිබූ මිනිස් සිරුරකි. එය පොළොව තුළ වළලා දැමීම මිනිසකු විසින් සිදු කරන ලද බවට සැකයක් නොමැති වුවද එය යළිත් හාරා මතු කර ඇත්තේ සතුන් විය හැකි බවට සැක පහළ විය.
පොලීසිය මිනිස් සිරුර හාරා මතු කර ගත් අතර එය තරුණ කාන්තාවකගේ සිරුරක් විය. එහි බොහෝ කොටස් දියව ගොස් තිබුණූ අතර සැලකිය යුතු කොටසක් සතුන්ගේ ආහාර බවට පත්ව තිබිණි. එහෙත් සිරුරේ වූ ඇඳුම් පැලඳුම්වලින් සිරුර පිළිබඳ අදහසක් ලබා ගත් පොලිස් නිලධාරීහු බෙල්ගානෝ වනාන්තරය පිහිටා ඇති නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත පොලිස් මූලස්ථානයට සියලු තොරතුරු දැනුම් දුන්හ.
හෙක්ටයාර 3,800කින් යුක්ත වූ බෙල්ගානෝ වනයේ බොහෝ කොටස් වවන ලද පයින් ගස්වලින් සමන්විතය. මේ වන පෙත පීරමින් මළ සිරුර පිළිබඳ කිසියම් තොරතුරක් ලබා ගැනීමට උත්සාහ දැරූ පොලිස් නිලධාරින් විමතියට පත් වූයේ වනපෙත තුළින් තවත් මළ සිරුරක් හමුවූ විටය.
මේ මළ සිරුරු දෙකම තරුණ පුද්ගලයන් දෙදෙනකුගේ වූ අතර එක් අයෙක් කාන්තාවක් වූ අතර අනෙක් පුද්ගලයා පුරුෂයකු බව අස්ථි පරීක්ෂාවෙන් මෙන්ම මෘත ශරීරවල තිබූ ඇඳුම්වලින් තහවුරු විය.
මේ මළ සිරුරු කෙසේ බෙල්ගානෝ වනපෙතට වෙතට පැමිණියේදැයි අනුමාන කිරීමේ හැකියාවක් පොලීසියට නොවීය. වනපෙත පීරා සෙවූ නමුත් වැඩිදුර කිසිදු තොරතුරක් සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකියාවක් ලැබුණේ නැත. සිදුවීම එතැනින් අවසන් වූ අතර බෙල්ගානෝ වන පෙතෙන් සොයාගත් මළ සිරුරුවලට හිමිකම් කීමට කිසිදු ඥාතියකු ඉදිරිපත් නොවූ බැවින් ඒවා වළලා දැමීමට කටයුතු කෙරිණි.
එයින් වසරක් ගෙවී ගියේ බෙල්ගානෝ වන පෙත යළිත් තෙත් බර අඳුරේ ගිල්වමිනි. 1993 ඔක්තෝබරයේදී ඕස්ට්‍රේලියානු ස්වදේශිකයකු දර සොයමින් බෙල්ගානෝ කැළෑව තුළ ඇවිද යමින් සිටියේය. එක්වරම ඔහුගේ නෙත ගැටුණේ පොළොවෙන් උඩට මතුවී තිබූ මිනිස් ඇඳුමක කොටසක් කෙරෙහිය.
යළිත් වරක් පොලිස් නිලධාරීන් බෙල්ගානෝ වනපෙත පීරන්නට වූයේ මේ වන විට වසරක කාලයක් තුළ වනපෙත තුළින් මෘත ශරීර තුනක් හමු වූ බැවිනි. සිදුකළ විමර්ශන මඟින් තවත් සිරුරක් සොයා ගැනීමට පොලීසියට හැකියාව ලැබුණු අතර මේ සිරුරු ඩෙබෝරා එවරස්ට් සහ ජේම්ස් ගිබ්සන් යන පුද්ගලයන් දෙදෙනාගේ බව තහවුරු කර ගැනීමට හැකියාව ලැබිණි. මේ දෙදෙනාම 19 හැවිරිදි වියේ පසු වූ අතර ඔවුන් ‘ගමන් මලු සංචාරකයන්‘ බවට ද තොරතුරු ලැබිණි. ගමන්මලු සංචාරකයන් යනු ලොව පුරා රටින්රට සංචාරය කිරීමේ කැමැත්තක් දක්වන ඉතා අඩු වියදම් සංචාරකයන් පිරිසකි. මෙවැනි සංචාරකයන් තමන් සතු සියල්ල ගමන් මල්ලක් තුළ දමා ගනිමින් ඉතා අඩු වියදම් දරමින් රටින්රට සංචාරයේ නිතර වෙති. මෙවැනි සංචාරකයෝ බොහෝ දුරට ගමනාගමන පහසුකම් සපයා ගන්නේ මහමඟ යන වාහනවලට අත දමමින් නොමිලයේය. සැබවින්ම ඔවුන්ගේ ජීවිත බොහෝ අනාරක්ෂීත නමුත් ඔවුන් සතුව කිසිදු අවස්ථාවක වටිනා කිසිවක් නොපවතින බැවින් ඔවුන් ප්රහාරයන්ට ලක් වන්නේ කලාතුරකිනි.
එහෙත් මෙවර සංචාරකයන් දෙදෙනෙකුම මරා දමා ඇති අතර ඔවුන් බෙල්ගානෝ වන පෙතේ වළ දමා ද තිබේ. එබැවින් මෙවැනි සංචාරකයන් පිළිබඳව වැඩි දුර විමර්ශනය කළ යුතු බවට නිව් සවුත්වේල්ස් පොලීසිය තීරණය කරන්නේ මීට පෙර ද වන පෙත තුළින් මෘත ශරීර හමු වූ බැවිනි.
එවරස්ට් සහ ගිබ්සන් යන දෙදෙනාගේම සිරුරු දරුණු ලෙස පිහි ඇනුම්වලට ලක් වී තිබුණු අතර ඔවුන්ගේ කොඳු ඇට පෙළ දෙකඩ වන ලෙස තියුණු ආයුධයකින් කපා දමා තිබිණි.
මේ මෘත ශරීර හමුවීම සහ කිසියම් සමූහ ඝාතකයකු අතර සම්බන්ධයක් පැවතිය හැකි බවට පොලීසිය අනුමාන කළ අතර දිගින් දිගටම සිදු කළ පරීක්ෂණ අවසානයේ වන පෙත තුළින් තවත් ඇට සැකිල්ලක් සොයා ගැනීමට එම වර්ෂයේම නොවැම්බර් මාසයේදී හැකියාව හිමි විය. එම මළ සිරුරේ අස්ථිවල පිහි ඇනුම් ලකුණු අටක් විය. එය තවදුරටත් තහවුරු කර සිටියේ බෙල්ගානෝ වන පෙතේ සමූහ ඝාතකයකු සිටින බවයි.
එතැන් සිට ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අංශවල අති දක්ෂ නිලධාරින් තම කණ්ඩායම් සමඟ බෙල්ගානෝ වනය සහ අවට ප්‍රදේශය පීරන්නට වූයේ ඝාතකයා පිළිබඳ කිසියම් තොරතුරක් සොයමිනි. නිව් සවුත් වේල්ස් පොලිසිය එම අවට වෙසෙන අපරාධකරුන් 230ක ලැයිස්තුවක් සකස් කළ අතර තවදුරටත් එම ලැයිස්තුව 32 දක්වා අවම කරමින් ඝාතකයා කොටු කර ගැනීමට සියුම් දැලක් වියුවේය.
මේ අතර දිනක් නිව් සවුත්වේල්ස් පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ලැබුණේ ඇමරිකාවේ වෙසෙන 24 හැවිරිදි පුද්ගලයකුගෙනි. ඔහු තමා පෝල් අනියන් ලෙස හඳුන්වා දුන් අතර ඔහු පවසා සිටියේ 1990 වසරේදී දිනක් තමා බෙල්ගානෝ ප්‍රදේශයේ සංචාරය කරමින් සිටියදී තමාට ප්‍රවාහන පහසුකම් ලබා දීමට ඉදිරිපත් වූ පුද්ගලයකු වන පෙත අසලදී තමා වාහනයෙන් පිටතට ඇද පිස්තෝලයක් පෙන්වමින් තමා කඹවලින් බැඳ දැමීමට උත්සාහ කළ බවයි. එහෙත් තමා කෙසේ හෝ ගැලවී ගත් බවත් මේ පුද්ගලයා තමාව ‘බිල්‘ යනුවෙන් හඳුන්වා දුන් බවත් පෝල් අනියන් වැඩිදුරටත් පවසා සිටියේය.
පොලිසිය වහාම ‘බිල්‘ සොයා පරීක්ෂණ මෙහෙයවූ අතර කනගාටුව වූයේ නියම අපරාධකරුවා සොයා ගැනීමට තවත් වසර තුනක පමණ කාලයක් ගත වීමයි. ඒ අනුව 1994දී ඉවාන් මිලට් නම් අසල්වාසි පූද්ගලයකු සියලුම සාක්ෂි තහවුරු කරමින් අත්අඩංගුවට ගැනීමට නිව් සවුත්වේල්ස් පොලීසිය සමත් විය.
මේ අපරාධකරුවා කළ පාපොච්චාරණයට අනුව ඔහු වසර ගණනාවක් තුළ පුද්ගලයන් හත් දෙනකු මරා දමා තිබේ. ඒ සියලුම දෙනා ගමන් මලු සංචාරකයන් වූ අතර මිලට් හොඳින් තෝරා බේරා ගනිමින් මෙවැනි සංචාරකයන් ඝාතනය කර දැමුවේ ඔවුන් පිළිබඳ තොරතුරු සෙවීම පහසු නොවන බැවිනි. එමෙන්ම ඔවුන්ගේ ඥාතීන් හෝ අසලක නොවන නිසා ඔවුන්ගේ ඝාතන සැඟවීම ද පහසු වේ.
ඉවාන්ගේ මේ ක්‍රෑර ඝාතන එකල ඕස්ට්රේලාව පමණක් නොව මුළු ලෝකයම හැඬවීමට සමත් විය. ඉවාන් අතින් ඝාතනය වුණු හත් දෙනා අතරින් පස් දෙනෙක් විදේශිකයෝ වූහ. ඒ අතර ජර්මන් ජාතිකයන් තිදෙනකු සහ බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනකු විය.
මේ සමූහ ඝාතන කොතරම් ලොව පුරා ජනප්‍රිය වූයේද යත් මේ ඉවාන් රොබට් මාර්කෝ මිලට් නම් වූ මේ ඝාතකයා නපුරු ඉවාන් යන අන්වර්ත නාමයෙන් ද ජනප්‍රිය විය.
බොහෝ කල් යන තෙක් බෙල්ගානෝ වන පියස ජනශූන්‍යව ගියේ එම සුන්දර වන පියසේදී මිනිසුන් හත් දෙනකු අත් දුටු අතිශය බියජනක අත්දැකීම බොහෝ දෙනාගේ සිත් සසල කළ බැවිනි.
මේ සිදුවීම් මාලාව අවසන් වී දශක තුනකට ආසන්න කාලයක් ගෙවී ගියේ ඕස්ට්‍රේලියානුවන්ට මෙන්ම සෙසු ලෝකයට ද සියල්ල අමතක කරවමිනි. එහෙත් 2005 වසරේදී එළිදැක්වුණූ වුල්ෆ් ක්‍රීක් සිනමා පටය යළිත් ලෝකයට බෙල්ගානෝ සිදුවීම් සිහිපත් කරවීය. මේ සිනමාපටය ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදනය වූ අතිශය ජනප්‍රිය සිනමාපට අතරට එක්වූයේ ආදායම් වාර්තා තබමිනි. අදට ද ලෝකයේ සත්‍ය කතා ඇසුරෙන් නිෂ්පාදනය කෙරුණු හොඳම සිනමාපට දහය අතරට වුල්ෆ් ක්‍රීක් එක්වන්නේය. දේපොළ, වස්තු සම්පත් පොදි බඳිමින් මුළු ජීවිතයම සෙක්කුවක බැඳි ගොනුන් සේ ගෙවීම ප්‍රතික්ෂේප කර සියල්ල ගමන් මල්ලකට පමණක් සීමා වන සරල, සැහැල්ලු ජීවිතයක් උරුම කර ගනිමින් ජීවිතය විඳ, අවසන මානසික රෝගියකුගේ පිහි ප්‍රහාරයකට ලක්ව ජීවිතය හැර ගිය මිනිසුන් හත් දෙනකු , ලොවම එකසේ රස විඳි නිර්මාණයක් අවසානයේ සමස්ත ලෝ වැසියන්ට තිළිණ කර සිටියේ එසේය.