“රාජු” යි තොල් මතුරන්ට ඇයට වුවමනා විය. එහෙත් ඇය දෙතොල තරයේ වසාගත්වනම සිටියේ ඒ නම ගිලිහෙන්න බැරි නැතැයි බියෙන් මෙනි.
ග්‍රහලෝක දෙකක ජීවත් වන දෙදෙනෙකු මෙන්
ඔහු ද තමා ද දුරස් බව අවබෝධ කර ගනිමින්
ඇය ළමා කල මතකයට ඉඩ හැරියාය.
අකීකරු දියණිය සමඟ තවදුරටත් වාද කිරීමෙන් පලක් නොවන බව වටහාගත් සුනන්දා නිහඬ වන්නට තීරණය කළාය. ඇගේ නිශ්ශබ්දතාව බිඳුණේ පැය කීපයකට පසුය.
“කොහෙද අමා මේ?”
ඇය අවට පරිසරය වටහාගන්නට වෑයම් කරමින් ඇසුවාය.
“කොහේ වුණත් මෙහේ අපිව සාදරයෙන් පිළිගන්න කෙනෙක් නෑ නැන්දේ...” යි කියමින් අමාලි වාහනයෙන් බැස්සාය.
“අනේ මංදා... කිසිම තේරුමක් නැති පිස්සු ගමනක්” යි දෝෂාරෝපණය කරමින් සුනන්දා තවමත් රියැදුරු අසුනේ පසුවන තරුණයා දෙස බැලුවාය.
“ඔය ළමයට මහන්සි ඇති. අපේ අමා අනුන්ට කරදර කරන්න නම් දස්සයි වෙන මොනවා නැතත්.”
ඔහු මඳ සිනාවක් පෑවේය.
“මට අමාව තේරුම්ගන්න පුළුවන් ආන්ටි. මගේ තාත්තා හදිසියේ නැති වුණාම මාත් කඩා වැටුණා. තාමත් මට විශ්වාස කරන්න බෑ තාත්තා මැරුණා කියල... මම තාත්තගෙ බොඩි එක දැකලත් විශ්වාස නොකරනවනම්, එහෙම දෙයක් වත් නොදැක්ක අමා කොහොම විශ්වාස කරන්නද ආන්ටි එයාගේ අම්මා ජීවතුන් අතර නෑ කියන එක.”
සුනන්දා අපවිත්‍ර මිදුල මත පා තැබුවේ සිත වසා පැතිර යන ළතැවුලත් එක්කය.
“හැමදේම ඇස් දෙකෙන් දකින්න ඕන නෑ පුතා. නොදැක වුණත් අපට හිතාගන්න පුළුවන් වෙන්න ඕන මොකක්ද සිද්ධ වෙලා තියෙන්නෙ කියන එක. චම්පා ජීවතුන් අතර ඉන්නව නම් තමුන්ගෙ මහත්තයා කෙසේ වෙතත් එකම දුව නොදැක ඉන්නෙ කොහොමද...? එයාගෙ එකම ලෝකෙ ඒ තාත්තයි දුවයි තමා. එයාට ඒ ඇරෙන්න වෙන ලෝකයක් තිබ්බෙ නෑ... මම ඒක හොඳටම දන්නවා...”
රමේෂ් නිහඬව ඩිකිය විවර කළේය. ගමනාන්තය පිළිබඳව ඔහුට සෑහීමකට පත් විය නොහැක.
ගරා වැටෙන ගෙයත් වියළි පත් සහිත මිදුලත් මිනිස් වාසයෙන් තොර පරිසරයක් බව කියා පායි. සිතට කයට දැනෙන හැඟෙන පාළුව නොතැකූ අමාලි ගෙපිළෙහි වාඩි වී තේ උගුරක් පතා පේවූවාය.
“ඔයා නම් ඉතිං වාඩි වෙලා ආපු එකනෙ කළේ. මේ රමේෂ් පුතාට තමා තේ ටිකක් දෙන්න ඕන. වාහනයක් අරං එන එක ලේසි වැඩක්ද...”
සුනන්දා තේ කෝප්පය දිගු කළේ නෝක්කාඩු කියමිනි.
“ඇත්තට ම අමාරුයි ආන්ටි. මට තේරෙන්නෙ නෑ ඇයි මේ රටේ මිනිස්සු මේ තරම් කලබලෙන් වාහන ඩ්‍රයිව් කරන්නෙ කියලා. කිසිම ඉවසිල්ලක් නෑ. විනයක් නෑ. වැඩියෙන් වටින්නෙ පාරවල් වාහන නෙමේ ජීවිත කියන එක කාටවත් තේරෙන්නෙ නෑ කියලයි මට නම් පේන්නේ...”
නැන්දණිය හා රමේෂ් අතර කතාබහට එක්වීමට නොසිතූ අමාලි තොල ගාන තේ උගුරක් පාසා කල්පනා කළේ ඉනික්බිති කුමක් කළ යුතුද යන්න පිළිබඳවය.
“හරි වැඩේනෙ අමා..”
කූඩයේ වූ වතුර බෝතලය පිටතට ගත් සුනන්දා නොඉවසිල්ලෙන් හඬ ගෑවාය. තුරුණු නෙත් ඇය වෙත යොමු වූයේ සැණෙකිනි.
“වතුර බිංදුවක්වත් නෑනෙ.. බෝතලේ...”
ඇය හිස් බෝතලය සොලවමින් විමතිය පළ කළාය.
“තුන්දෙනෙක් බීලත් වතුර ඉතිරි වුණානං නෙ පුදුම වෙන්න ඕන...”
අමාලි සැහැල්ලුවෙන් තෙපළුවාය.
“කොහෙද ඉතිං කලිං කියල තිබ්බ නං මට අපූරුවට ලෑස්ති වෙන්න තිබ්බනෙ... වතුර බෝතල් දෙක තුනක් ම දාගෙන...”
“හරි හරි... ඉන්නකො මම වතුර හොයාගෙන එන්නංකො” යි කී අමාලි පිල් ගැට්ට මතින් බිමට පැන්නාය. ඒ දුටු රමේෂ් සිනාවුණ ද සුනන්දා කෝපයෙන් පුපුරා හැළුණාය.
“දැක්ක නේද.. ගෑනු ළමයෙක් ඔහොමත් පනිනවද.. කිසිම සංවරයක් නෑ.. අනේ රමේෂ් ඔයාට හරියන්නෑ මේ කෙල්ල... ඔයා හොඳ වැඩියි පුතේ...”
ඔහු හඬ නඟා හිනැහුණේය.
“එහෙනම් ඉතිං පොඩි නැන්දම රමේෂ්ට හොඳ ම හොඳ කීකරු සුවිනීත දාස භාර්යාවක් හොයලා දන්නකෝ....” යි කියමින් අමාලි වත්ත පහළට ගියාය.
“කොහෙද ඔය යන්නෙ? මෙහෙ එන්න... වතුර ඕන නෑ..”
සුනන්දා හඬ නඟා අණ කළාය.
“මොකටද බය වෙන්නෙ? මේ අපේ අම්මගේ මහගෙදර...”
ඒ හෙළිදරව්වෙන් ඇය පමණක් නොව රමේෂ් ද විපිළිසර විය.
“චම්පා අක්කගෙ මහගේ ද මේ?” යි විමතියෙන් ඇසූ සුනන්දා හාත්පස සිසාරා බැල්මක් හෙළුවාය.
“ආන්ටි මීට කලින් මෙහෙ ඇවිත් නැද්ද?”
“සැරයක් දෙකක් ආවා ළමයො... ඒත් මං හීනෙකින්වත් හිතුවෙ නෑ අපි ආවෙ චම්පා අක්කගෙ මහගෙදර කියලා...”
ඇය ශෝකාකූල හඬින් පිළිතුරු දුන්නාය.
නෙළන්නට අයෙක් නොවූයෙන් ගස් යටම වැටී කුණු වී යන වැළ වරකා ගෙඩි අතරින් අමාලි යුහුසුලුව ගමන් කළාය. කොහු අඹ ගස යට සෑහෙන ඉඩක් එළිපෙහෙළි කර තිබුණේ අහිගුණ්ඨික පිරිස විටින් විට රැඳී සිටින බව කියා පාමිනි. ඇගේ ළය සිරව බරව ගියේය.
“රාජු” යි තොල් මතුරන්නට ඇයට වුවමනා විය. එහෙත් ඇය දෙතොල තරයේ වසා ගත්වනම සිටියේ ඒ නම ගිලිහෙන්නට බැරි නැතැයි බියෙන් මෙනි. ග්‍රහලෝක දෙකක ජීවත් වන දෙදෙනෙකු මෙන් ඔහු ද තමා ද දුරස් බව අවබෝධ කර ගනිමින් ඇය ළමා කල මතකයට ඉඩ හැරියාය. කුඹුරට යන්නට අඩි පාරක් තිබුණ ද කුඩාවුන් වැටෙන් රිංගා කෙටි මඟක් සකසා ගත්තෝය.
වැටකඩුලු පිළිබඳව අසීමිතව කරදර වූ කිරිඅම්මාගෙන් කෝටු පහර කන්නට සිදු වුවද අමාලි ඒ කෙටි මඟ භාවිතා කිරීමට පුරුදුව සිටියාය.
“උඹේ කෙල්ල හැදෙනවා කිසි කමකට නෑ චම්පා” යි චම්පාගේ මව චෝදනා කළ ද පලක් නොවීය. දරුවන්ගේ දඟකාරකම් මඳ සිනාවෙකින් ඉවසන්නට පුරුදු පුහුණු වූ එකියකට එවන් චෝදනා හා මැසිවිලි නොතකා හැරීම පහසු කටයුත්තක් විය.
“අපි වටේට දිගා වෙලා කට තියාගෙන වතුර බිව්ව පුංචි පතහ තාම තියෙනවද දන්නෙ නෑ. ඒත් මට හිතෙනවා මැණික් කැටයක් වගේ දිලිසි දිලිසි ඒක තාම කුඹුරේ ඈත කෙළවරේ ඇති කියලා.”
යුවතියගේ මිමිනුමට ප්‍රතිචාර ලෙස කුඹුරෙන් එපිට වන රොද වෙතින් නරියෙකු කෑ ගසන හඬ ඇසිණ. ඒ අතිශයින් අමිහිරි හඬ ඇය බියපත් කරවන්නට සමත් නොවීය. ඒ වන රොදට යෑමද තහනම් කර තිබූ බව ඇයට සිහිපත් විය. ඇඹුල් පේර ගස් සුලභ වූ බැවින් එය හඳුන්වන ලද්දේ පේර කැලේ යන නමිනි.
“යන්නෙ එහෙම නෑ පේර කැලේ පැත්තෙ. ගිහිං තිබ්බොත් අඬු කඩනවා මං” යි තර්ජනය කරන්නට චම්පාගේ මව අමතක නොකළාය. ඒ තර්ජනය ම කුඩා අමාලි කැලේ කරා කැන්දාගෙන යන්නට සමත් විය. මීමිනි පවුලකට වහ වැටී හුන් ඇයට කාල වේලාව පිළිබඳව කවර හෝ හැඟීමක් තැකීමක් නොවීය. කැලයේ අඩ අඳුරද නිරන්තර රැහැයි නද... ශුන්‍ය එකක් බවට පත් කළ අතර තවත් වරෙක වඩා ප්‍රබලව ඉස්මතු කළ සෙයකි. කැලයට බොහෝ කලින් රෑ බෝ වන බැවිනි.
පන්දම් හුළු අතු අතින් ගත් ගම්මුන් අතරමං වූ දැරිය සොයාගන්නට දරන ලද්දේ බලවත් වෙහෙසකි. ඇය ගල්තලාවක් මතින් පැන නැගුණු දඹ ගසක් මත නැගී සිටියාය. ඇගේ නිර්භීතකම ගම්මුන්ගේ අගය කිරීමට ලක් වුවද ඇගේ පියා සහ මිත්තණිය වෙතින් පහර කන්නට පවා ඇයට සිදු විය.
සිරිමාන්න සිය බිරිය ද දියණිය ද කැටිව ආපසු ගියේ නැවත කිසි දිනෙකත් ගමේ නොඑන බවට සපථ කරමිනි.
ලබන සතියට...