
ඔහු සිය විසිපස් වසරක ජීවිතය මුළුල්ලේ කිසිවකුට ස්තුති කර නැත්තේය. එමෙන්ම කිසිවෙකුගෙන් සමාව අයැද නැත්තේය. අවශ්‍යතා මෙන් ම සිරිත් විරිත් ද සරල වූ අතර ප්‍රමාණය ඉක්මවා නොගියේය. ශිෂ්ට සම්පන්න සමාජයේ හුදු රැවටිලිකාර ස්වභායෙන් අත් මිදී ව්‍යාජත්වයට වහල් නොවී සිය තිරිසන් සත්ත්වයාට වඩා යම් තරමකින් පමණක් වෙනස්ව ජීවත් වන්නට සිදුවීම පිළිබඳව ඔහු නොතැවෙයි. බොහෝ සිතිවිලි හෝ හැඟීම් ද පශ්චත්තාපයන් ද ඔහුගේ හදවතේ නොවෙයි. එහෙත් ඒ සියුමැලි තරුණියගේ මතකයෙන් මිදෙන්නට ඔහු මේ තාක් සමත් වූයේද නැත.
ප්‍රීතිමත් හා කෙළිලොල් අතීතයක වග විත්තිය මේ මිදුලේ වැලි කැට පවා සිහිපත් කරනවා ඇතැයි ඔහුට සිතිණ. චම්පාගේ මවද මිත්තණිය ද කාර්යශූර සේම කරුණාබර ගැහැනු වූහ. ඔවුන්ගේ වෙසෙස් ලක්ෂණය වූයේ හාස්යලොල් බවයි. නිබඳ සරදම් තෙපුලින් හා සැහැල්ලුවෙන් කල්ගත කළ ඔවුහු ජීවිතය දුකක් කොට නොසැලකූහ. අඳුර දුරලන්නට පුන්සඳ මඬලක්ම වුවමනා නොවන බවද තරු එළියකට කලාමැඳිරි එළිය බිඳකට පවා අඳුරෙන් ඇබින්දක් හෝ දුරලිය හැකි බවද විශ්වාස කළ ඔවුන් පිළිබඳ සිහිපත් කිරීමද සතුටකි.
“කට්ටිය ඇවිදින්න ගිහිල්ලද?”
බ්‍රයන් නැවතත් ප්‍රශ්න කළේ තැඹිලි ගෙඩි දෙකක් ඔසවාගෙන ආ තරුණයාගෙනි.
“ගියා.. ආයෙත් එයි.”
“ඉතිං රාජු නොගියෙ ඇයි?”
කළුම කළු මුහුණේ දුඹුරු සිනාවක් පැන නැඟිණ. නිතර බුලත්විට කෑමෙන් දුඹුරු පැහැ ගැන්වුණු දත් දෙපෙළ ඒ මුහුණේ පියකරු බව මඳකින් පළුදු කරයි.
“මාත් යන්ඩෝනෑ මාතියා...”
කණ්ඩායම සමඟ එක්ව ගමන් කරනවා වෙනුවට තනිව පිටව යන්නේ මක් නිසාදැයි කුහුලක් මතු වුවද බ්‍රයන් තවත් කිසිවක් නොඇසුවේය. ඔහු තැඹිලි ගෙඩිය ගත්තේ ද ඕනෑවට එපාවට මෙනි. පිපාසිතව හුන් සිරිමාන්න තැඹිලි ගෙඩිය එක හුස්මට හමාර කළේය.
“ඔය ළමයට බොහොම ස්තුතියි” යි ඔහු ශිෂ්ට සම්පන්න බව ගෙන හැර පෑ කල තවම මුළුමනින් ම ශිෂ්ට නොවූ තරුණයා මුව කොන සලිත කළා පමණි. ඔහු සිය විසිපස් වසරක ජීවිතය මුළුල්ලේ කිසිවකුට ස්තුති කර නැත්තේය. එමෙන්ම කිසිවෙකුගෙන් සමාව අයැද නැත්තේය. අවශ්‍යතා මෙන් ම සිරිත් විරිත් ද සරල වූ අතර ප්‍රමාණය ඉක්මවා නොගියේය. ශිෂ්ට සම්පන්න සමාජයේ හුදු රැවටිලිකාර ස්වභායෙන් අත් මිදී ව්‍යාජත්වයට වහල් නොවී සිය තිරිසන් සත්ත්වයාට වඩා යම් තරමකින් පමණක් වෙනස්ව ජීවත් වන්නට සිදුවීම පිළිබඳව ඔහු නොතැවෙයි. බොහෝ සිතිවිලි හෝ හැඟීම් ද පශ්චත්තාපයන් ද ඔහුගේ හදවතේ නොවෙයි. එහෙත් ඒ සියුමැලි තරුණියගේ මතකයෙන් මිදෙන්නට ඔහු මේ තාක් සමත් වූයේද නැත.
“අපි යනවා” යි සිනාවකින් තොරවම බ්‍රයන් මෝටර් රියට නඟින්නට සැරසුණේය.
“මේ.. ඇයි මාතියා... ඒ නෝන මාතියට මොකද වුණා..?” යි නො අසා සිටින්නට රාජු අපොහොසත් විය.
“නෑ අපි හිතුවා එයා මෙහෙ එන්න ඇති කියලා...”
ඒ පිළිතුරෙන් සෑහීමකට පත් නොවූවද රාජු තවත් යමක් නොඇසුවේය. කෙමෙන් නොපෙනී යන වාහනය වෙත යොමුවී තිබුණු යෞවන දෙනෙත මොහොතකට අඳුරුව ගියේය.
මේ රාත්‍රියෙහි සිය අඳුරු දෙනයන පිරුණු කඳුළු සඟවා ගන්නට සිරිමාන්න වෙහෙසුණේය. විදුහල්පතිවරයෙකු ලෙස තමා භාවාතිශය විය යුතු නැතැයි ඔහු සිතයි. එහෙත් දියණිය එකම දියණිය අතුරුදන් වූ කල නොතැවී නොසැලී සිටින්නට ඒ විදුහල්පති පදවිය රුකුල් නොදෙන බවද වටහා ගත්තේය.
“දැං අපි මොකද කරන්නෙ අංකල්?”
තමාට ප්‍රමාද වන බව නොකී බ්‍රයන් පහත් හඬින් ඇසුවේය.
“තවත් බලා ඉඳලා බෑ බ්‍රයන්.. අපි පොලීසියට යමු. ප්‍රින්සිපල් කෙනෙක් විදියට බලා හිටියා හොඳට ම ඇති. දැං ඉතිං තාත්තෙක් වගේ පොලීසි දුවන්නයි සිද්ධ වෙලා තියෙන්නේ.”
බ්‍රයන් හිස සැලුවේය. කවදත් තමා ප්‍රිය නොකළ මිනිසා පිළිබඳව යම් සුපසන් හැඟීමක් සිත පුරා පැතිර යන බවද අවබෝධ කර ගත්තේය.
“මම බ්‍රයන්ව ගෙදරට ඩ්‍රොප් කරලා පොලීසියට යන්නං..”
තරුණයා නොසන්සුන් විය.
“මා.. මාත් එන්නං අංකල්.”
“නෑ නෑ ඕන නෑ. බ්‍රයන් ගෙදර යන්න. දැනටමත් ඔයාගෙ මමියි ඩැඩීයි මඟ බලාගෙන ඇති.”
බ්‍රයන් මඳ සිනාවක් පෑවේය.
“මං මමීට කීවා අංකල් එක්ක ඉන්නෙ කියලා..”
සිරිමාන්න වමතින් නළල පිරිමැද්දේය. කිසිවක් පවසන්න වුවමනා වුවද එයින් තමාගේ ගරුත්වයට හානියක් සිදුවනු ඇත්දැයි සැකයෙන් පීඩා වින්දේය.
“ඇයි අංකල්...?”
බ්‍රයන් වහා ප්‍රශ්න කළේ පළමුව බිරින්දෑ ද දෙවනුව දියණිය ද අහිමි වූ මිනිසා පිළිබඳව හට ගත් දයානුකම්පාවෙන් මොළොක්ව ගිය හඬිනි.
“මං දෙයක් කියන්නම ඕන බ්‍රයන්. ඒක නොකියා හිටියොත් මං මහා කුහක මිනිහෙක්..”
කුහුලින් දැල්වෙන දෑසින් ඔහු සිරිමාන්න දෙස බලා සිටියේය.
“අපි හිතාගෙන ඉන්නෙ අපි නොදන්න දෙයක් නෑ කියලා මේ ලෝකේ.. ඒත් බලාගෙන යනකොට අපි මොනාද දන්නෙ ඉලන්දාරියා...”
“ම.. මට තේරුන්නෑ අංකල්..”
“ඔයාට නෙමේ බ්‍රයන් මටයි තේරුම් ගන්න බැරි වුණේ ඔයාලව.. කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතරෙ ආදර සම්බන්ධයක් ඇරෙන්න වෙන කිසි දෙයක් තියෙන්න බෑ කියලා හිතන්න තරම් ඔළමොට්ටලයෙක් වුණානෙ මම.” යි කී සිරිමාන්න සිනාසුණේය.
තරුණයාගේ සිතට මහත් සැනසුමක් ගලා ආවේය. නොකළ වරදකට චූදිතයෙකුව සිට හදිසියේ නිදොස් කොට නිදහස් කළ සෙයින් ඔහුට සැහැල්ලුවක් දැනිණ.
“අමාලි හුඟක් වෙනස් ගෑනු ළමයෙක් අංකල්. එයාට හැමදාම ඕන වුණේ එයාගෙ අම්මව හොයන්න. වෙන ගෑනු ළමයින්ට වගේ ආදර හුටපට තිබ්බෙම නෑ අංකල් එයාට. ඒක මම හොඳට ම දන්නවා..”
සිරිමාන්න හිස සැලුවේය.
“වැඩිහිටියො විදියට අපි කරන ලොකුම මෝඩකම තමා තරුණ අය කියන කිසි දෙයක් විශ්වාස නොකිරීම. අපේ උද්ධච්චකමට අහංකාරකමට අපි තව කෙනෙකුට ඇහුම්කන් දෙන්නෙම නෑනේ.. මොකද අපි සියල්ල දත් කියලනෙ හිතාගෙන ඉන්නෙ.”
උඩඟු උද්දච්ච මිනිසෙකුගේ පාපොච්චාරණයෙන් විමතියට පත් තරුණයා ඇහුම්කන් දුන්නා මිසක කිසිවක් නොපැවසුවේය.
“අපි යමු. කෝකටත් මම ගෙදර ගිහිල්ලා ම තමා පොලිසියට යන්න ඕන. මොකද මේ ළමයා ගෙදර ආවද කියන්න බෑනේ. නාවත් නංගිට කෝල් එකක් හරි දුන්නද කියන්නත් බෑනේ...” යි කියමින් සිරිමාන්න මෝටර් රිය පණගන්වන්නට තැත් කළේය. ඒ සැණින් ඔහුට බාධා කරමින් දුරකථනය නද දුන්නේය.
“ඔව්. කතා කරනවා”
ඒ උදාසීන ස්වරය මුළුමනින්ම වෙනස් කරන්නට අනෙක් පස සිටින්නා සමත් වූ වග පෙනිණ.
“මොනවා..? ඔය ඇත්තමද?”
ඔහුගේ විමතිය ද අප්‍රමාණ උද්යෝගය ද වටහා ගත නුහුණු බ්‍රයන් මුව විවර කළේය. එහෙත් සිරිමාන්නගේ උස් ස්වරය ඔහුගේ ප්‍රශ්නය ගිල ගත්තේය.
“හරි මම එනවා.. මේ දැන්මම එනවා..”
* * * * *
කිසිවක් වගවිභාග කරන්නට පෙර සුනන්දා හඬා වැටුණාය. ඇය අමාලි දකින්නේ දෙදිනකට පසුය.
“අමා... මගෙ රත්තරං දුවේ..” යි කොඳුරමින් ඇය කෙල්ල වැලඳ ගත්තාය.
“අඬන්න එපා අනේ” යි අමාලි ඇස කඳුළකින් තොරව ඉල්ලා සිටියාය. එය ඉල්ලීමකට වඩා අණ කිරීමකට ළං විය.
“ඔයා අපිට මේ දීපු දුක කොයි තරම්ද කියලා ඔයා දන්නවද... අයියයි මායි...”
අමාලි ඒ හැඬිල්ලට ඉඩ නොදුන්නාය.
“ඔයාගෙ අයියයි ඔයයි දැං යන්න. මම අෂේන්ලා එක්ක එන්නම්..” යි ඇය පැවසුවේ දැඩි හඬිනි. එහි නොරුස්නා සහගත බවක්ද විය.
“ඇයි ඔයාට අපිත් එක්ක එන්න බැරි?”
“අපි වෙන වෙන පාරවල්වල යන්නෙ අදක ඊයෙක නෙමෙයිනෙ නැන්දෙ...”
පශ්චත්තාපයෙන් මිරිකෙමින් ශෝකයෙන් දැවෙන, කඳුළු ගංගාවක ගිලෙන දියණියක අපේක්ෂා කළ සිරිමාන්න ආපසු හැරුණේය. ඔහු තවමත් ඇගේ බැල්මක් හෝ නොලද්දේය.
ලබන සතියට...