
කොටුවෙන් පටන් ගන්න කෝච්චිය, කඩදාසි කම්හලේ ගබඩාව ඇතුළටම යන්න හදාපු රේල්පාරේ අද තියෙන්නෙ ඉතිරිවූ පීල්ලක් දෙකක් විතරයි. කෝච්චිය ඇතුළුවන තැන ගේට්ටුව වල් වැදිලා. ගේට්ටුව ළඟ ඉඳන් බැලුවොත් ඈතින් පේන්නෙ කඩදාසි කම්හල. එදා වාලච්චේන ගබඩාවෙන් කඩදාසි පුරවා ගන්නා කෝච්චිය ආපහු ඇවිත් නතර වුණේ කොළඹ කොටුවෙ.
මං ඉන්නෙ වාලච්චේනෙ. හරියට ම කිව්වොත්, කලෙක ආසියාවේ හොඳ ම කර්මාන්ත ශාලාවේ.
මට ඕනෙ, කම්හලේ වැඩ පටන් ගන්න බව දන්වන ඒ සයිරන් හඬ අහන්න.
මේ අක්කර තුන්සිය ගණන පුරා රැව් දුන් ඒ මිනිසුන්ගෙ කටහඬවල් අහන්නත් මට ඕනෙ.
ඒත් කෝ ඒ මිනිස්සු... කෝ ඒ කටහඬවල්...
රටටම කඩදාසි හදන්න, නොනවත්වා වැඩ කරපු ඒ මැෂින්වල සද්දෙට මොකද වුණේ... කාටත් නොදැනී, ඒවත් නෑහිලාම යන්න ගිහින් ද...
තුන්දහස් පන්සිය ගණනක් සේවකයො දිනපතා ආ ගිය මේ පොළොවෙ වැලි මත්තෙ ඔවුන්ගෙ සපත්තු සෙරෙප්පු පා සටහන් මොන තරම් තිබෙන්න ඇද්ද...
කතා කරගන්න පුළුවන් නම්, එක පිට එක වැටිලා දිරාපත්වන, මේ එකම පැහැයෙ බයිසිකල් දෙතුන් සියයවත් ඇත්ත කියාවි.
ඒත් එක අතකට, අන්තිමට වැඩට ආපු දවසෙ ඒ හැමෝම තමන් පැදපු බයිසිකෙල් මෙහෙම ගාල් කරලා යන්න ගියේ ආයෙ නොඑන බව දන්න නිසා වෙන්න ඇති. අභාවයට යන හුඟක් දේ අතරට දැන් ඒවත් එකතු වෙලා.
තැන තැන ගොඩගසා ඇති අබලි යකඩ... සුන් බුන්... වල් වැදුණු සරු බිමක ශේෂව ඇති ගොඩනැඟිලි බැලූ බැලූ අත. ගරා වැටීමට ලක්ව පවතින, වාලච්චේන කඩදාසි කම්හලේ ඛේදවාචකය කියා පාන මේ දේවල් හදවත පසාරු කර යන තරම්.
මිනිස් පුළුටක් නැති ගාණට, මහා අඳුරු මූසල කමකින් වැහී ගිය ඒ බිමේ කැඩුණු - බිඳුණු ... වියැළුණු... හිස්වුණු... පාළුවත් එක්ක කොහේදෝ ඇදී ගිය මගේ හිත නතර වුණේ, 2007 අවුරුද්දේ.
ඒ, ජීවිතයේ පළමු වතාවට මං කඩදාසි නගරයට පා තබපු දවස. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් රැගෙන ගිය ඒ මාධ්‍ය සංචාරයෙන් අවුරුදු දොළහකට පස්සෙ මං ආයෙමත් එතැන. හැබැයි දැනෙන හැඟීම, සහමුලින්ම වෙනස්.
හරියට, එහෙම පිටින්ම ‘මළ නගරයක’ තනි වුණා වැනි මහා හුදෙකලා හැඟීමක්.
ඒත් ඒ තනිකමට නතු වුණාම, මට අර සයිරන් හඬ අහන්න පුළුවන්. දෙනෝදාහක් දෙනා එහා මෙහා යන හැටි... කම්හලේ මැෂින් එක දිගට වැඩකරන හැටි හිතින් මවා ගන්නත් පුළුවන්. ඒත් ඒ සතුට තත්පර ගණනකටයි.
යුද්දෙදිවත් එහෙමට විනාශයක් නොවෙච්චි කඩදාසි නගරෙ, කඩදාසි කම්හල ඇරෙන්න අද අනෙක් සියල්ල උඩු යටිකුරු වෙලා වග දැනෙන්නත් මහ වෙලාවක් ගියේ නැහැ.
අපේ රණවිරුවන්ගෙ ජීවිත පූජාවෙන් බේරාගත් නැගෙනහිර හුඟක් තැන් අරක්ගෙන තිබුණෙ අරාබි සලකුණු. පුවරු හා සංඛේත.
අරාබි ක්‍රමයට අලුත් වෙච්චි හැමදේම අතරෙ මෙදා සැරේ මං අඩුවෙන් ම දැක්කෙත් රණවිරුවෝ.
කොහොම වුණත්, කඩදාසි කම්හල පණ අදිමින් හරි තවම ජීවත් වෙන්න වෙර දරන එකයි, සතුට.
මොකද, අපේ රටේ කඩදාසි ඉතිහාසය ගැන කතා කරන විට පුංචි එකෙකුට හරි පෙන්වන්න තැනක්... අතීතයක් තවම එතැන තියෙන නිසා.
ඉතින්, කියන්න මට කඩදාසියක් නැති ජීවිතේ වටිනාකම කවද හරි ඔබට දැනී තිබෙනවද...
‘උප්පැන්නයක් නැතිනම් සමාජයට අවලංගුයි... අධ්‍යාපන සහතික නැතිනම් රැකියාවකට අවලංගුයි... කසාද සහතිකයක් නැතිනම්... ඒත් එහෙමමයි. මරණ සහතිකයක් නැතිව, මැරිලවත් වැඩක් තියේද...
කොටින් ම, අපේ ජීවිතවල ඉරණම ලියැවෙන්නේ කඩදාසි මත්තෙ.
ඉතින් ඒ හැමදේටම කඩදාසි හදාපු, අපේ රටේ කඩදාසි කම්හලේ ඉරණම මේ විදියට ලියන්න ඉඩ හැරිය යුතුද... මේ රටේ පුරවැසියො හැටියට ඒ ගැන හිතන්න ඔබටත් වගකීමක් තිබෙනවා කියලයි මම නම් හිතන්නේ.
මොකද, මේ ප්‍රාණය අයදින්නේ, එදා ඔබෙත් මගෙත් උප්පැන්නෙ සහ මරණ සහතිකය අතර වූ, ඉස්පිරිතාලෙ බෙහෙත් තුණ්ඩුව... ආණ්ඩුවෙ ලිපි ලේඛන, පොත පත, ඔප්පු තිරප්පු, කෝච්චි ටිකට් පත්, ෆයිල් කවර, බ්‍රිස්ටල් බෝඩ්, චිප් බෝඩ්, චෙක් පොත් කවර... ඇතුළු මෙකී නොකී රටේ සෑම කඩදාසි අවශ්‍යතාවක් ම නිමැවූ අපේ රටේ එකම තැන නිසා.
හැම දේම පිටරටින් ගෙනෙන කාලකණ්ණි පුරුද්ද නිසාම විතරක් නෙවෙයි, දේශපාළුවන්ගේ නොමනා ක්‍රියා නිසා වළ පල්ලට යන, අපේ ම කර්මාන්තයක් ඇස්වලින් දැක ගන්න, පුංචි හරි සිතිවිල්ලක් ඔබට ආවොත්, දවසකට හරි ඔබ කඩදාසි නගරෙට ගිහින් එන්න ඕනෙ.
කොළඹ කොටුවෙන් මඩකලපු කෝච්චියේ නැග්ගම, ‘කඩදාසි නගරය’ පුංචි ඉස්ටේසම ඔබට මුණ ගැහේවි. ඔබට පුළුවන් එතැනින් බැහැගන්න. හැබැයි, කඩදාසි කම්හල ඇතුළට යන විදිය නම් හොයා ගන්න ඕනෙ ඔබමයි.
මොකද, මම නම් ආවේ හිතුවක්කාර ගමනක්. ඇත්තටම ඕන දේකට මුහුණ දෙන්න බලාගෙන ආපු හිතුවක්කාර ගමනක්.
කොටුවෙන් පටන් ගන්න කෝච්චිය, කඩදාසි කම්හලේ ගබඩාව ඇතුළට ම යන්න පුළුවන් විදියට හදාපු රේල්පාරේ අද තියෙන්නෙ ඉඳහිට ඉතිරිවූ පීල්ලක් දෙකක් විතරයි. ඉස්ටේසමයි කම්හලයි අතර කෝච්චිය ඇතුළුවන තැන ගේට්ටුව නම් ඉබි යතුරු දැම්මට වල් වැදිලා. ඉස්ටේසමෙන් බැහැලා කැලෑව ඇතුළට ටිකක් ඇවිද්දොත් ඔබට ඒ ගේට්ටුව හමුවේවි. එතැන ඉඳන් බැලුවොත් ඈතින් පේන්නෙ කඩදාසි කම්හල. ඒ රේල් පාර හදා තිබෙන්නෙ, කෝච්චිය කෙළින්ම ගබඩාව ඇතුළට ගන්න පුළුවන් විදියට.
එදා වාලච්චේන ගබඩාවෙන් කඩදාසි පුරවා ගන්නා කෝච්චිය ආපහු නතර වුණේ කොළඹ කොටුව බඩු ගබඩාවේ, රට පුරා කඩදාසි බෙදා හැරුණේ එතැනින්.
1956 අවුරුද්දේ, පිදුරුවලින් කඩදාසි නිපදවන ලංකාවේ පළමු කඩදාසි කම්හල විදියට වැඩ අරඹා, වසර කිහිපයක් යද්දී නොසිතූ විරූ ආදායමක් ලැබීම හේතුවෙන්, ඊට සහය වනු වස් 1975 ඇඹිලිපිටියේ කඩදාසි කම්හලක් ඉදිකළේ වාලච්චේනට වඩා හය ගුණයක විශාලත්වයෙන්.
පිදුරු යුගය අවසන් වීමත් සමඟ මේ කර්මාන්තශාලා දෙකේ ම කඩදාසි හැදුණේ ඉවතලන කඩදසි ප්රතිචක්රීයකරණය කොට පල්ප සාදා ගත් ‘වේස්ට් පේපර්’ ක්‍රමයෙන්. මේ කර්මාන්තය වෙනුවෙන් ම අක්කර හය හත් සියය වෙන් කළෙත්, කඩදාසි හැදීමට අවශ්‍ය ‘යුකැලිප්ටස්’ කොළ ලබා ගැනීමට අවශ්‍ය යුකැලිප්ටස් තුරු ගොමු වගා කිරීමට ද ඉඩකඩ හදමින්.
වාලච්චේන කඩදාසි නිපැයුමෙන් ලද ලාබය කෙතරම්ද කීවොත්, ඔවුන් සිය මූලස්ථානය සඳහා කොළඹ යූනියන් පෙදෙසින් ඉඩමක් මිලදී ගත්තා විතරක් නෙවෙයි, විසල් ගොඩනැඟිල්ලක් ද ඉදිකළේ ඒ ලාබයෙන්. අද යුනියන් පෙදෙසේ ‘වාසනා මන්දිරය‘ නම් ඒ ගොඩනැගිල්ලත් විකුණා දමපු වගකිවයුත්තෝ කඩදාසි කම්හල් දෙකම වළපල්ලට දමා අත් පිහදාගෙන යන්න ගිහින්.
1951 වසරේ, කර්මාන්ත අමාත්‍යවරයාව සිටි ජී. ජී. පොන්නම්බලම් මහතා මුල් ගල් තබා, 1956 වසරේ කර්මාන්තශාලාව වැඩ ආරම්භ කළේ, බටහිර ජර්මනියේ ජේ. එම්. වයිට් කොම්පැනිය සවි කළ, අදත් නිරුපද්‍රිතව තිබෙන ලෝ ප්‍රකට ‘වොයිත්’ මැෂින්වලින් කීවොත් සමහරවිට ඔබ පුදුම වේවි. ඒත් ඒ තමයි ඇත්ත.
‘ඒ කාලෙ රජයේ සේවකයො, ගුරුවරු පවා රස්සා අත්හැරලා මෙහෙ වැඩට ඇවිත්. මොකද, සතියක් ගානෙ හොඳ වැටුපක් ලබා ගන්න පුළුවන්කම තිබුණු නිසා.
‘කඩදාසි නගරය’ ඉස්ටේසම හැදුණෙත් අම්පාරෙන් මඩකලපුවෙන් ආ අති විශල සේවක පිරිස නිසා.
මහා සෙනඟක් ආ ගිය, මේ පුංචි ඉස්ටේසමටත් අද ඒ හුදෙකලාව දරා ගන්න බැරිව ඇති.
අද මෙතැන නතර වෙන්නෙ, කොළඹින් මඩකලපුවටත් මඩකලපුවෙන් කොළඹටත් යන කෝච්චිය විතරයි. ඒකත් දවසට ම දෙපාරයි.
කොහොම වුණත්, ඈත පළාත්වලින් පවා පිදුරු ගෙනා හින්දා වක්‍රව හුඟ දෙනකුට මෙහෙ රස්සා තිබුණා. ඍජුවම 3500 ක් වැඩකරපු, වක්‍රව තවත් 2000 ක් වැඩකරපු කර්මාන්තයක් ගැන ඔබට හිතාගන්න පුළුවන්ද...‘
අද ඉතිහාසය දන්නා කෙනෙක් තබා, සිංහල වචනයක් කතා කරන්න පුළුවන් කෙනෙක් නැති මේ, පළාතේ ඔය තොරතුරු ගැන දැන කියා ගත්තෙ, 2007 අවුරුද්දෙ කඩදාසි නගරෙදි මුණ ගැහුණු පැරැන්නෙකුගෙන්.
ඔහුට අනුව, වාලච්චේනය ම මේ සඳහා තෝරා ගත්තෙ හේතු දෙකක් නිසා. රටටම බත සපයන්නට තරම් ගොවිතැන් සාරෙට කෙරූ ‘නැගෙනහිර සහල් නැළිය’ එක හේතුවක්. ඒ සශ්‍රීක ගොවිතැනෙන් ඉවතලන පිදුරුවලින් ප්‍රයෝජනයක් ගැනීමත් එහි එක් ප්‍රධාන අරමුණක් වුණා.
වාකර් ඇළ, අනෙක් හේතුව. හැතැප්ම තුන හතරක් කැලේට වෙන්නට පිහිටි වාකනේරි ඇළෙන් කඩදාසි හදන වැඩේට එදා වතුර ඇදුණේ, දවසට ගැලුම් ලක්ෂ විසිපහ ගානේ.
තොප්පිගල, අම්පාරේ, සමන්තුරේ, අක්කරෙයිපත්තු ඔඩුවාමඩු, ඔලුවිල් හා තවත් ප්‍රදේශ කිහිපයක ම පිදුරු එකතු කරන මධ්‍යස්ථාන පවා ඉදිකළෙත් ඒ වෙනුවෙන්මයි.
සරුවට ගොවිතැන් කෙරුණු මේ පළාත්වල ගොවීන්, ඒ ඉවතලන පිදුරු ගිනි තබන්න හිතුවෙවත් නැහැ. කඩදාසි හදන්නට පිදුරු සපයා ඔවුන් යහමින් මුදල් උපයාගත්තෙ අමතර ආදායමක් ලෙසින්.
කඩදාසි නගරයේ ඉස්ටේසමේ සිට කම්හල ඇතුළට දිවෙන කෝච්චි පාරෙන්, ගැලුම් 5000ක් පිරවූ තෙල් ටැංකි කෝච්චිය දිනපතා ගියත්, ඒවත් මදි වූ බවයි ඒ ඉතිහාසයේ කියැවෙන්නේ.
පිදුරු, තම්බන්න ජල වාෂ්ප නිපද වුණේ ජර්මනියෙන් ගෙන්වූ තඹ බොයිලේරුවලින්.
සද්දන්ත යන්ත්‍රෝපකරණ... බොයිලේරු... වියළන යන්ත්‍ර හා ඔට්ටු වූ ඇතැම් සේවකයන්ගෙ ඇඟිලි එදා දැති රෝදවලට හසුව කැපී ගියත් ඔවුන් ආයතනයට වැඩ කළේ හද පිරි ආදරයකින්.
සියල්ල එහෙම ගලා එද්දි, එතෙක් කඩදාසි ගෙන්වීමට පනවා තිබූ බද්ද 35% දක්වා විශාල ලෙස අඩු කිරීමෙන් මේ විනාශයට පාර පුළුල් කළේ, චන්ද්‍රිකා යුගය. 2006 වන විට ඒ බද්ද සියයට ‘0’ කර, ඕසෙට කඩදාසි පිටරටින් ගේන්න අධිවේගි මං හැදුවේ එතැනින් එහාට පත්වූ ආණ්ඩු බවත් නොකියා බැහැ. අද ආසියාවේ විශාල ම කම්හලට එලෙස ඉබි යතුරු දමා වසා තිබෙන්නෙ ඒ සියලු දෙනාගේ සාමූහික ප්රයත්නයෙන්. ඒ, තවමත් කඩදාසි නිපදවිය හැකි කෝටි ගණනක් වටිනා එදා සවිකළ ලොව හොඳ ම ජර්මන් ‘voith’ කඩදාසි මැෂින් දෙකකුත් එක්ක.
තවත් අවුරුදු සියයක් වුණත් පාවිච්චි කළ හැකි මේ මැෂින්වලට තිබෙන්නේ ජර්මනියේ ‘ලයිෆ් ටයිම් වොරන්ටි.’
වැදගත් ම දේ, වාලච්චේනේ අක්කර 330 ක ඉදිවූ මේ වටිනා ජාතික සම්පත අද තිබෙන්නෙ කර්මාන්ත අමාත්‍යංශය යටතේ.
උවමනාවකින් අතගැහුවොත් මේ ජාතික සම්පත නැවත ගොඩදාන එක අමාත්‍යංශය බාර ඇමැතිවරයාට අමාරු දෙයකුත් නෙවෙයි. කඩදාසි නගරෙ කියන්නෙ මට විතරක් නෙවෙයි, ගුලිකරලා විසි කරපු කඩදාසියක් වගේ, ලෙහෙසියෙන් ඔබටත් රටටත් අමතක කර දමන්න බැරි තැනක්.
මොකද, ඉපදිලා මැරිලා යනකල් අපි හැමෝගෙම ජීවිතවලට වටිනාකමක් දෙන්නෙ ‘කඩදාසි’ නිසා.