තව මෙතැන මොනව බල­න්නද? යමු යන්න ගෙදර | Page 3 | සිළුමිණ

තව මෙතැන මොනව බල­න්නද? යමු යන්න ගෙදර

ඔහු යතුරු පැදියේ වේගය වැඩි කළේ ඇගේ කතාව සත්‍ය­යක් නොවන්නේ දැයි සිත­මිනි. ඇය අවු­ළු­වා­ලන කෝපය ඇයම නිවා දමයි. ඔහු ඇගේ සුවච කීකරු මිතුරා බවට පත්ව­න්නට වැඩි වේලා­වක් ගත වූයේ නැත. ගම­නා­න්තය ඇගේ බලා­පො­රොත්තු කඩ කළේ ය. ඒ පටු­මඟ වළ‍ ­ගො­ඩැලි යතුරු පැදියේ වේගය උදුරා ගත්තේය‍‍. ඔවුන් යතුරු පැදි­යෙන් බස්වා පා ගම­නින් යාමට පොල­ඹ­වන තර­මට මඟ දුෂ්කර විය.

“පුතාට ටිකක් සනීප මදි දූ...”

“මොකක්ද අස­නීපෙ?”

අමාලි ඇසුවේ දුක සැප විම­සන සෞම්‍ය ලීලා­වෙන් නොවේ.

“මට නම් පේන්නෙ නෑ කිසිම අස­නී­ප­යක්...”

බ්‍රයන් ඇ‍ඳෙන් බැස්සේ කෝප­යෙන් පිපි­රෙ­මිනි.

“මගෙ ලෙඩේ තමුසෙ. තේරු­ණාද..? තමුසෙ එහෙම පිටින්ම ලෙඩක්.. ලෙඩ ගොඩක්..”

“ආ... මේ බල­න්නකො ආන්ටි මෙයාගෙ සැර...”

දඩ­බ්බර ‘කොලුවා’ ක්ෂණි­කව සියු­මැලි ළමි­ස්සි­යක බවට හැරී ශ්‍යාම­ලීගේ ඇ‍ඟේ එල්ලු­ණාය.

* * * * *

තැඹිලි ගෙඩිය මුළු­ම­නින්ම බී හමාර කළ බ්‍රයන් යෙහෙ­ළිය වෙත හැරුණේ ඒ අතීත මත­ක­ය­න්ගෙන් රස­වත් වෙමිනි.

“කෝ.. නෑ නෙ චුට්ට­ක්වත්.”

හිස් තැඹිලි ගෙඩි­යට මුව තැබු­වද පලක් නොවූ­යෙන් අමාලි න‍හයෙන් හැඬු­වාය.

“සේරම බීවද...? මහ පෙරේ­ත­යෙක්..”

පල­තුරු වෙළෙ­න්දිය වහා මැදි­හත් වූවාය.

“හරි.. හරි.. මම තව ගෙඩි­යක් කපන්නම්කො...”

“එපා... එපා...” යි බ්‍රයන් සිය විරු­ද්ධ­තා­වය පළ කළේය.

“මා ළඟ සල්ලි නෑ..”

ඔහු අමාලි දෙස රවා බල­න්නට ද අම­තක නොක­ළේය.

“තැඹිලි ගෙඩි­යක් කපන්න.. මගෙ ගානේ.”

හිටි හැටියේ පහළ වූ දාන­ප­තියා කවුරු­න්දැයි විම­ති­යෙන් අයා ගත් ඇස් අබි­යස හිනැ­හුණේ කුඩා පිරිමි ළම­යෙකි. ඔහුගේ පියාගේ මුළු මහත් අව­ධා­නය යොමුව තිබුණේ කොමඩු කැබැ­ල්ලක් අතැ­තිව පසු­වන යුව­තිය වෙතය.

“තෑන්ක්ස් කර­න්නත් බැරි වුණා.. ඇත්තට ම තාමත් පුදු­මයි ඔයා ඒ ගහට නැඟලා පුතාට බෝලෙ අරන් දුන්නාය කියලා මතක් වෙද්දි..”

“එයාට බෝලෙ අරන් දෙන්න ඇත්තෙ ඔයානේ..” යි නොසැ­ල­කි­ල්ලෙන් කී අමාලි කුඩා දරුවා වෙත කොමඩු කැබැ­ල්ලක් දිගු කළාය.

“ඒ වගේ අව­දා­න­මක් ගත්තේ අප­රාදෙ.. බැරි වෙලා­වත් ඔයා වැටුණා නම්..”

බ්‍රයන් සර­දම් සිනා­වක් පෑවේය.

“නෑ.. මෙයා වැටෙන්නෙ නෑ.. මොකද මෙයාට හොර කුරුම්බා කඩල හොඳට පුරු­දුයි..”

“රියලි?” යි විස්මය පළ කළ තරු­ණයා “මම නලින්” යි තමා හඳුන්වා දුන්නේය.

“මම ටානියා.. මෙයා නීල්..”

අමාලි බොරු කියන්නේ මන්දැයි වට­හා­ගත නුහු­ණුව බ්‍රයන් දෑස හකුළා ගත්තේය.

“ඔයා­ටත් තෑන්ක්යූ නීල්... ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගහ­කට නඟිනකම් බලා හිටි­යට.. අඳු­නන්නෙ නැති ළම­යෙක් වෙනු­වෙන්.. ඔයාලා දෙන්නම මාරයි.. ඇත්තට ම ... ඇත්තට ම මට පුදු­මයි...”

අමාලි අතවූ තැඹිලි ගෙඩිය බිම වැටිණ. එකට හමු වූ මිතුරු නෙත් අරා ඉතිරි පැතිර ගියේ විස්ම­යයි.

“දෙන්නත් එක්කම වෙලා­වක අපේ ගෙදර එන්න. අපි දෙන්න විත­රනේ. අපට අමු­ත්තොත් ඇත්තෙම නැති තරම්. අශේන් හරි ආසයි කවුරු හරි එන­වට..”

ඒ ආරා­ධ­නාව සිත් ගන්නා සුලු වුවද අමා­ලිගේ අව­ධා­නය විගස දිනා ගත්තේ එය නොවේ.

“ඇයි අෂේන්ගේ අම්මා...?”

ඒ ප්‍රශ්නය නො අසා සිටියේ නම් කොප­මණ හොඳ­දැයි ඇයට පසක් කර දෙමින් ඔහුගේ මුහුණ අඳුරු විය. ඒ අඳුරේ අරුත නිය­මා­කා­ර­යෙන් වට­හා­ගත නුහුණු යුව­තිය ඔහු දෙස බලා ගත්ව­නම සිටි­යාය. ඒ නෙත් කැල්ම විඳ දරා ගැන්ම අප­හසු වූයෙන් නලින් ඉවත හැරු­ණේය.

“බබා­ටත් තැඹිලි ගෙඩි­යක් කප­න්නද මහ­ත්තයා?”

වෙළෙ­න්දිය මුව පුරා පැති ගිය සිනා­වෙන් යුතුව ඇසු­වාය. දරු­වාගේ හුරු­බු­හුටි බවින් ඇය විඳින්නේ ඉම­හත් සොම්න­සකි.

“ඔයාට ඕනද අෂේන්?”

නලින්ගේ ස්වර­යෙහි පෙර නොවූ ශෝකී හා ගැඹුරු බවක් ගැබ්ව තිබිණ.

“හා...”

අෂේන් සිය කුඩා හිස සැලු­වේද අමාලි දෙස බල­මිනි. ඔහු වඩා ගත් ඇය පසෙක වූ ලී බංකුව මත හිඳ ගත්තාය. ඇගේ ඇකයේ හිඳ­ගෙන තැඹිලි ගෙඩිය බොන දරුවා දෙස විටින් විට බල­මින් නලින් තරු­ණයා සමඟ පිළි­ස­ඳ­රෙහි පසු­විය.

“ළඟ­දිද මැරි කළේ?”

ඒ අන­පේ­ක්ෂිත ප්‍රශ්නය බ්‍රයන්ට සිනා­වට කරු­ණකි. හඬ නඟා හිනැ­හෙන තරු­ණයා නලින්ගේ විම­ති­යද කුහු­ලද වඩ­වයි.

“මේ ලෝකෙ ඉතුරු වෙලා ඉන්න එකම කෙල්ල වුණත් මං නං මැරි කරන්නෑ එයාව...”

“මට තේරුණේ නෑ... එත­කොට ඔයාලා...?”

“අපි යාළුවෝ... ඇත්තම කිය­නව නම් එයා යාළු­වෙක් නෙමේ හතු­රෙක්...”

නලින් තැඹිලි කෝම්බය වෙළෙ­න්දිය වෙත දිගු කළේය.

“පළලා දෙන්ඩද මහ­ත්තයා?”

හිස සැලූ ඔහු නැව­තත් බ්‍රයන් වෙත හැරු­ණේය.

“ඔයා විහිළු කර­නවා නීල්..”

“නීල්...?”

බ්‍රයන් විස්ම­යෙන් හඬ ගෑවේය.

“ඔයා නීල් නේ? අර ගර්ල් කීවෙ එහෙම නේද? මම වැර­දිද...?”

බ්‍රයන් හඬ නඟා හිනැ­හු­ණේය. ඒ සිනා­වට හවුල් නොවූ නලින් විස්මය නොස­ඟවා පළ කළේය.

* * * * *

හිරු කොතෙක් සැඩ වුව ද මඳ­නල සිහි­ලැල්ය. මඟ දෙපස කෙත් වතු මවා පෑ ‍මනරම් බවින් තුටු පහටු වන්නට තරම් ඉස්පා­සු­වක් ඔවුන් වෙත නොවිණ.

“තව ටිකක් හයි­යෙන් යමං බං... මෙහෙම බඩ­ගාලා කීයට යන්නද...

ඒ නොරි­ස්සුම් සහ­ගත හඬ ඔහුගේ නොව ඇගේ මුවින් ගිලි­හිණ.

“තවත් ස්පීඩ් කළොත් ඉතිං යන්න වෙන්නෙ අල­ව්වට නෙමේ කන­ත්තට”

පැය කීප­යක් යතුරු පැදිය ධාව­නය කිරී­මෙන් බ්‍රයන් වෙහෙ­සට පත්ව සිටියේ ය.

“මටත් පිස්සුනේ.... පණ බයේ ඩ්‍රයිව් කරන එකෙක් එක්ක මේ වගේ ගම­නක් ආපු එක...”

ඇගේ නිර්දය බසින් ඔහු ‍කොතරම් තදින් කිපුණේ ද කිව­හොත් යතු­රු­පැ­දියේ තිරිංග තද කළේ ය.

“ඇයි?”

ඔහු ‍හිටිහැටියේ යතුරුපැදිය නව­තා­ලීම වටහා ගත නුහුණු අමාලි අප­මණ කුහු­ලින් ප්‍රශ්න කළා ය.

“බහි­නවා...”

ඔහු සිය මිතු­රි­යට අණ කළේ ඉහ වහා ගිය කෝප­යෙනි.

“මොකද වුණේ?”

යතුරුපැදියේ කිසි­යම් ගැට­ලු­වක් උද්ගත වූ බව සිතූ ඇය වහා ඇසුවා ය.

“මං ඒත් හිතුවා මේ කබලෙ එන­කොට මඟ නවතී කියලා...”

“ඒක තමයි කියන්නෙ කබ­ලෙන් බැහැලා ඕන බම්බු­වක නැඟලා යන්න කියලා. මමයි ඩැඩයි කෝල් දෙනවා අම්බා­නක. ඒ අස්සෙ අමා ඔයා මගෙ යකා අවු­ස්ස­නවා.

මිතුරා කෝප­යට පත්ව හිඳින බව වට­හා­ගත් ඇය පළ­මුව හිනා­වුණා ය.

“කවුද දන්නෙ මෙච්චර මේ හැන්ඩ්සම් කොල්ලෙක් අස්සෙ යකෙ­කුත් ඉන්නවා කියලා කෙල්ලෙක් විහි­ළු­වක් කළාම ඇවි­ස්සෙන්න බලා­ගෙන...”

ඒ කියුම ඔහුගේ කෝපය තුනී කර දමයි.

“මේ නිකං බොරු ගම­නක් අමා... අනිත් එක අපි ආපහු යන්නෙ කීයට ද....? ඔයා නැන්දට මොන­වද කිව්වේ...?”

“මගේ නැන්දයි තාත්තයි ගැන මම බලා­ග­න්නම්. ඔයා ඔයාගේ මමයි ඩැඩයි ෂේප් කර ගන්නකෝ...”

මුව ඇද කළ තරු­ණයා නැව­තත් යතු­රු­පැ­දිය පණ ගන්වා ගත්තේ ය‍.

“බලා ගනී තමා...” ප්‍රින්සි­පල් කාරයා කෝටු­මස් කරයි මේ පාර නම්...”

ඇය හඬ නගා හිනා­වුණා ය.

“එයාගෙ වේවැ­ලට බය වෙලා බෑ බ්‍රයන්.‍ ඒ ගොල්ලන්ගෙ ඔය කෝටු මස් කිරි­ල්ලෙන් ළමයි හැදුණ නම් අද මේ රට දිව්‍ය ලෝක­යක්...”

ඔහු යතුරුපැදියේ වේගය වැඩි කළේ ඇගේ කතාව සත්‍ය­යක් නොවන්නේ දැයි සිත­මිනි. ඇය අවු­ළු­වා­ලන කෝපය ඇයම නිවා දමයි. ඔහු ඇගේ සුවච කීකරු මිතුරා බවට පත්ව­න්නට වැඩි වේලා­වක් ගත වූයේ නැත.

ගම­නා­න්තය ඇගේ බලා­පො­රොත්තු කඩ කළේ ය. ඒ පටු­මඟ වළ‍ ­ගො­ඩැලි යතුරුපැදියේ වේගය උදුරා ගත්තේය‍‍. ඔවුන් යතුරු පැදි­යෙන් බස්වා පා ගම­නින් යෑමට පොල­ඹ­වන තර­මට මඟ දුෂ්කර විය.

“කොහෙද යකෝ අපි මේ යන්නේ...?” යි ඔහු ඇසුවේ බැරිම තැන ය.

“මේ අපේ අත්ත­ම්මගේ ගම. මං පුංචි කාලෙ අම්මත් එක්ක ආවා මත­කයි...”

මඟ හමාර වූ බව කියා­පෑවේ ගරා වැටෙන ගෙයකි. ගෙමි­දුල පවා කිසිදු කල­එ­ළි­ය­කින් තොරය.

“මේකද පොට් එක?” යි ඔහු මෙතෙක් වේලා තල්ලු කර­ගෙන ආ යතුරු පැදි­යට සිය­ඹලා ගස යට ගිමන් හරි­න්නට ඉඩ හැර ඇසු­වේය. ඇය හිස සැලුවා ය.

“ඉතිං අඬ ගහ­නවා අත්ත­ම්මට...”

“අ... අපි ආවෙ අත්ත­ම්මගෙ මළ ගෙදර...”

බ්‍රයන්ගේ වමත නළල තෙක් එසැ­වූවේ නිතැ­තිනි.

“මොකක්ද?”

ඈ පැවසූ දේ ඉතා හොඳින් ඇසුණ ද ඔහු ප්‍රශ්න කළේ මහත් සේ විපි­ළි­සර වෙමිනි.

“අම්මයි මායි අන්ති­මට ආවෙ අත්තගේ මළ ගෙදර...”

ඔහු අත­කින් හිසකේ අවුල් කර­මින් වට­යක් කැර­කුණේ ය.

“එහෙ­නම් ඉතිං මොන මඟු­ල­කට ද මෙච්චර දුරක් මේ ආවෙ?”

ඇය නිය වික­මින් වට­පිට බැලු­වාය.

“මහ මෝඩ පිස්සු විකාර ගම­නක්නෙ මේ ආවෙ... ඇත්ත­ටම අමා...”

තමාගේ අප්‍ර­සා­දය පළ කර­න්නට තරම් වචන සොයා ගත නුහුණු තරු­ණයා “ආ යූ මෑඩ්?” යි එක එල්ලේ ප්‍රශ්න කළේ ය.

ඇය නිහ­ඬ­වට ගෙපි­ලට නැංගාය.

“මටත් හිතා­ගන්න බෑ බ්‍රයන් ඇයි මං මෙහෙ ආවෙ කියලා. ඒත් මගෙ හිත කිය­නවා අම්මා මෙහෙ ඇති කියලා...”

“එත­කොට මේ ආවෙ හරි­යට දැන­ගෙන නෙමේ... හිත කියන හිංදා... හරි ෂෝක්... මරු. පට්ටම පට්ටයි...”

ලබන සතියට‍...

Comments