
* උපන්නේ 1926 අභාවප්‍රාප්ත වුණේ 2015
* කාර්මික දෝෂයට පිළියම් කළාට තෑග්ගට ලැබුණේ ජෙට් ඇන්ජිමක්
* පේරාදෙණිය විශ්වවිද්‍යාලය තමන්ගේ ගෙදර කරගත්තා
නමින් සෙල්වදුරෙයි මහාලිංගම් වූ ඔහු ලංකා මාතෘභූමියේ සාඩම්බර පුත්‍රයකු ලෙසින් 1926 වසරේ ජනවාරි දහසය වැනි දාවක යාපන අර්ධද්වීපයේ අලවෙඩ්ඩිහිදි උපත ලැබුවේය. මහාලිංගම්ගේ මව නාගම්මා සෙල්ල සරස්වතීය. පියා සෙල්වදුරෙයි විය. කුඩා අවධියේම ඔහුගේ පියා වූ සෙල්වදුරෙයි රාජ්‍ය සේවය සඳහා මලයාව හෙවත් නූතන මැලේසියාවට ගියේය. ඒ සමඟ කුඩා මහාලිංගම් ඇතුළු පවුලද මලයාවේ වාසයට ගියහ. මලයාවේ මැක්ස්වෙල් පාසලෙන් හා වික්ටෝරියා කොලීජියෙන් ඔහු මූලික හා ද්විතීය අධ්‍යාපනය ලැබුවේය. වයස අවුරුදු විස්සේදී නැවත ලක්බිමට පය තැබූ ඔහු ශ්‍රී ලංකා තාක්ෂණික විද්‍යාලයට ඇතුළත්ව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ උපාධියක් ලැබීය.
අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වූ ඔහු එහි ඉංජිනේරු පීඨය ආරම්භ කිරීමට මහාචාර්ය ඊ.ඕ.ඊ. පෙරේරා සමඟ බර කරට ගත්තේය.
සිවිල් ඉංජිනේරු විද්‍යාව හදාරා තිබුණද අනාගත පරපුර වෙනුවෙන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ හදාරා එම දැනුම බෙදා හරින්නට වුවේය. අද මෙන් අන්තර්ජාල පහසුකම් කිසිත් නොතිබූ යුගයක ඉංජිනේරු ශිෂ්‍යයින් සඳහා දැනුම ලබා දෙන්නට අවශ්‍ය තාක්ෂණික උපකරණ විදේශයන්ගෙන් ගෙන්වුවා පමණක් නොව එම ඇතැම් උපකරණ විශ්වවිද්‍යාලය තුළම නිපදවන්නට විය. එය එසේ වුවද ඔහු කිසි විටෙකත් එහි කීර්තිය තම නමට එක්කර ගන්නට උත්සුක නොවීය. ඒ සඳහා ඇප කැප වී සේවය කළ ඉංජිනේරු විෂය ක්ෂේත්රයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් ප්‍රථම ලාංකික ඉංජිනේරුවා වෙමින් ලන්ඩනයේ ෂෙෆ්රිල්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගත්තේය. ඒ යාන්ත්‍රික තාක්ෂණයක් සම්බන්ධ කම්පනයන් (vibration) සම්බන්ධ න්‍යායක් ද ලෝකයට දායාද කරමිනි. ඔහු කොපමණ තම සිසුන්ගේ අධ්‍යාපනික අභිවෘද්ධිය සඳහා ඇප කැප වී සිටියාද යන්න යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ඇති ආදර්ශක යන්ත්රයන්ගෙන් දැකගත හැකිය. එහි ඔරලෝසුවේ පටන් ගුවන්යානා එන්ජිම දක්වා උපකරණ තැන්පත් කොට ඇත්තේ ඒවායේ හරස් කඩ පවා විදහා දක්වමිනි.
සියල්ල අබිබවා යන්නාවූ තවත් යමක් ඉංජිනේරු පීඨයේ පීඨාධිපති කාර්යාල අසල වැජඹෙමින් ඇත. අදටද එහි යන එන ඔබට දැකගත හැක්කේ ජෙට් යානයක එන්ජිමකි. එන්ජිම පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු පීඨයට පැමිණියේ කෙසේද යන්න ගැන අපුර්වත්වය හා ශ්‍රේෂ්ඨත්වය අත්වැල් පැටළුණු කතාවකි. ඒ කතාවේද කතානායකයා මහාචාර්ය සෙල්වදුරෙයි මහාලිංගම්ය.
එංගලන්තයේ ඇව්රෝ සමාගම යනු ජෙට් යානා නිෂ්පාදනය කරන සමාගමකි. මෙම සමාගම නිෂ්පාදනය කරනු ලබන ජෙට් යානාවන්හි එන්ජින්හි යම් දෝෂයක් හේතුවෙන් එම ආයතනය ප්‍රශ්නයකට මුහුණ පාන්නට විය. එම ප්රශ්නය වූයේ ජෙට් යානා එන්ජිම තුළ ඇති වූ දෙදරීමකි. මේ ගැටලුව දරුණු ලෙස දැනෙන්නට ගත් විට ඇව්රෝ සමාගමේ බලධාරීහු ලෝකයේ විද්වතුන් හට විවෘත ආරාධනයක් කළහ. ඒ එම ජෙට් එන්ජින් හි ඇතිවන දෙදරීම (කම්පන) තත්ත්වයට විසඳුමක් ලබා දෙන ලෙසයි. ඒ ආරාධනය පිළිගන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහාලිංගම් තීරණය කළේය. ඔහු එදා ගත් තීරණය කොපමණ වැදගත් තීරණයක් ද යන්න සාක්ෂාත් කරමින් ඔහු ඇව්රෝ සමාගම සතුව තිබූ ගැටලුවට අති සාර්ථක විසඳුමක් ගෙන දෙන්නට විය. එම විසඳුම දුටු ඇව්රෝ සමාගම තම කෘතවේදීත්වය පළකරමින් මහාචාර්යවරයාගෙන් විමසුවේ ඔබට මෙම සේවය වෙනුවෙන් අවශ්‍ය මොනවාද? යනුවෙනි. මහාචාර්යවරයා මුදල් හෝ ආයතනයේ රැකියාවක් හෝ බලාපොරොත්තු වේ යැයි ඇව්රෝ ආයතනය සිතන්නට ඇත. එහෙත් ඔවුන්ගේ සිතිවිලි පුස්සක් කරමින් මහාචාර්යවරයා අපූරු ඉල්ලීමක් කළේය.
“මට පුළුවන්නම් භාවිතා නොකරන ජෙට් එංජිමක් ලබා දෙන්න. එය මම උගන්වන විශ්වවිද්‍යාලයේ සිසුන්ට බොහොම ප්‍රයෝජනවත් වේවි.”
ඒ පිළිතුර ඇව්රෝ සමාගමේ ප්‍රධානින්ගේ ඇස් උඩ ඉන්දවන්නට හේතු වූවා පමණක් නොව මහාචාර්යවරයා කෙරේ වූ පිළිගැනීම ගෞරවය සියදහස් ගුණයකින් වර්ධනය කරන්නට ද හේතුවිය.
මහාචාර්යවරයාගේ ඉල්ලීම ඉටුකරන්නට ඇව්රෝ සමාගම ක්‍රියා කළේය. මහාචාර්යවරයාට ඇව්රෝ සමාගමෙන් පිරිනැමූ ජෙට් එන්ජිම අදටද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විරාජමානව පවතී, එම ජෙට් එන්ජිමට අභ්‍යාවකාශගත වන්නට වැඩිදුරටත් වරම් නොලැබුණ ද හන්තාන අඩවියේ සරසවි බිමේ ලැගුම් ගන්නට වරම් තිබිණි.
මහාචාර්ය මහාලිංගම් යනු මානව හිතෛෂී ගුණයන්ගෙන් ආඪ්‍ය වූ ගුරුවරයෙකි. ඔහු තනතුරු පසුපස හඹා නොගියේය. තනතුරු ඔහු පසුපස හඹා ආවේය. ඒ තනතුරු ඍජු ප්‍රතිපත්ති මත හිඳිමින් දරන්නට නොහැකි වූ කල්හී කිලිටි වූ ඇඳුමක් ගතින් ඉවත් කරන්නා වූ තරමේ සැහැල්ලුවකින් ඉන් ඉවත්විය.
ඔහු හමුවන්නට ශිෂ්‍ය ශිෂ්‍යාවෝ බියක් දක්වන්නට වූහ. ඒ මතුපිටින් ඔහු පිළිබඳ දැරූ ආකල්ප හේතුවෙනි. මේ නිසාම ඇතැම් විටක තම හිතවත් ගුරුවරුන් අමතා ඔහු ඇසුවේ “ඇයි මේ ළමයි තමන්ට අහන්න කියන දේවල් අහගන්න, ඉගනගන්න එන්නෙ නැත්තෙ” යනුවෙනි.
අසූව දශකයේ ඇතිවූ සිංහල දෙමළ ගැටුම් යුගයේදී පේරාදෙණි සරසවියේ විසූ දෙමළ ජාතික අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල ආරක්ෂා කිරීම සඳහා විජේවර්ධන ශාලාවේ සඟවා තබන්නට විය. මේ යුගයේදි ඔහු උන්නේ මහත් කනගාටුවකින් වුවත්, කිසිවිටෙක එය හේතුවක් කොටගෙන මෙරට හැරයන්නට ඔහු නොසිතුවේය. මින් පසු බොහෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රමාණයක් ඇතුළු විවිධ වෘත්තිකයන් මෙරට හැර ගොස් තිබිණි. මහාචාර්ය මහාලිංගම් හටද ඕනෑම රටකට ඉතා පහසුවෙන් යාමට ඉඩකඩද විය.
උපන් බිම වූ යාපනයෙන් පිට පේරාදෙණියට පැමිණි මහාචාර්යවරයා පේරාදෙණියට කොපමණ පෙම් බැන්දා ද යත් විශ්‍රාම ගිය පසුත් කුලී නිෙවසකට වී තම බිරිය සමඟ පේරාදෙණියේම වාසය කරන්නට විය. කිසිවකු හෝ “යාපනයට යන්නේදැයි” ඇසූ කළ “මම කොහෙ යන්නද? මේ මගේ ගෙදර” යනුවෙන් පිළිතුරු දුනි.
කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ බිරිය වූ දෙවකීගේ මරණය සිදුවිය. ඉන් අනතුරුව යාපනයේ වුන් නෑදෑයින් ඔහු යාපනයට රැගෙන ගොස් රැකබලා ගන්නට විය.
යාපන පොළොවේ උපන් ඒ මහා විද්වතා යාපනයට හෝ ලංකාවට පමණක් සින්න නොවූ විශ්වීය උගතෙක් විය. හිස් මිනිසකු හෝ රටට උපන් බිමට ණය ඇති මිනිසකු නොවූ ඔහු මේ බිමේ සාඩම්බර පුතෙක් විය. අවසන අවුරුදු අනූවේ සැතපුම් කණුව පෙනි පෙනී අවුරුදු අසූනමයක් ආයු විඳ 2015 නොවැම්බර් 03 වැනිදා මෙලොව හැර ගියේය.
ඒ මහා ප්‍රඥයාගේ නික්ම යෑමෙන් පසු විදෙස් ගතව උන් හා මෙරට විසූ ඔහුගේ සහෝදරයින් එකතුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණ මහාලිංගම් පදනම හරහා කළ යුතු යමක් වේදැයි විමසා මහාචාර්යවරයා නමින් “මහාලිංගම් ශිෂ්‍යත්වය” ඇති කළේය. ඊට අමතරව ඔහු උපන් බිමට සිදුකරන ගෞරවය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයට ද “මහාලිංගම් ශිෂ්‍යත්ව” ලබාදෙන්නට විය.
දැනුමේ, කැපවීමේ, ගුණ මහිමය අදට ද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශය දකින කල යළි යළිත් මතකයට නැගෙනු ඇත. ඒ යන්ත්‍ර අසල තබා ඇති ඔහුගේ සේයාරුව ඔහු ගුරුවරයකු නොව ගුරු දේවතාවකු යැයි එදා මෙදා සිටි ශිෂ්‍ය පරම්පරාවට ඒත්තු ගන්වනු ඇත.
(ස්තුතිය; ආචාර්ය අසේල කුලතුංග, ආචාර්ය සරත් සෙනෙවිරත්න හා කථිකාචාර්ය ප්‍රියදර්ශනි ප්‍රේමරත්න හට)
සඳරැසී සුදුසිංහ