
“ආයුබෝවන්... වාසනාවන්.. ප්‍රදේශවාසී හැමට කරන ආරාධනයයි මේ... ලබන පුරපසළොස්වක පෝය දා රාත්‍රී අටට ගොඩලන්ද වෙලේ කමතේ දී නැටුම්.. ගැයුම්.. විහිළු සමග සිරිසේන ගුරුන්නාන්සේගේ ජුහුටාවක් පෙන්වනු ලැබේ. .. කල්වේලා ඇතිව විනෝදවෙන්න සතුටුවෙන්න ... එකතුවෙන්න.. ස්තුතියි...”
කරත්තයේ බැඳි යකඩ කට ගම දෙවනත් කරයි. සරල සැහැල්ලු දිවි පෙවෙතකට මැදිව දවස ගෙවූ එවක ගැමියන්ට මේ ආරංචිය කනට මී බිඳු එක් කරන්නාක් මෙන්විය. අස්වනු කපා පාගා ගෙට ගත් පසුව නිදහස් වන කමත වටා රොද බදින ගැමියෝ කලකින් ලැබෙන මේ අවස්ථාව අත් නොහැර ආශ්වාදනය කළෝය.
ඉතා ප්‍රාථමික තත්ත්වයන් මත නිර්මාණය වු මේ නාටක, වින්දනය ඒකායන අරමුණ කොට නිර්මාණය වූ වග අවිවාදිතය. ඉන් බැහැර යමක් ගැමියෝ අපේක්ෂා නොකළහ.
ලක්දිව සාම්ප්‍රදායික නාට්‍ය සම්ප්‍රදායන් පිළිබඳ විශ්ලේෂණයක යෙදෙන මහාචාර්ය එදිරිවීර සරත්වන්ද්‍රයන් පවසනුයේ පෙර දවස කෙසේ වෙතත් පනහේදශකය පමණ වන වන විට දේශිය යැයි කිවහැකි අංග සම්පුර්ණ වු කලාත්මක නාට්‍ය කලාවක් මෙරට නොවු බවය. එහෙත් ගම්බද පැවතියා වු කෝලම්, සොකරි, නාඩගම්, තොවිල්, පවිල්, ගම්මඩු, පාම්මඩු, පුනාමඩු, කංකාරි ආදියෙහි නොදියුණු තත්වයන් මත වුව ද යම් යම් නාට්‍ය අංග තිබු බව මහාචාර්ය සරත්චන්ද්‍රයන්ගේ අදහස විය.
ඉන්දියාවෙන් ආ කතාව බොරුවක්
එක්දහස් නවසිය හැටේ දශකයේ දී සතර කෝරලය සහ රජරට කේන්ද්‍රීයව බිහිවී අද ද ශේෂව ඇති ගීත නාටක වෙසෙසක් පිළිබද මෑතකදී අපට අසන්නට ලැබුණේ කුරුණෑගල කටුපොත දමුණුව ප්‍රදේශයෙනි. භරත මුනිවරයාගේ නාට්‍ය වර්ගීකරණයට අනුව නාට්‍ය ධර්මී සම්ප්‍රදායට ගැනෙන, සතර අභිනයම මනාව නිරූපනය වන දෙබස් කතන මුද්‍රා නාට්‍ය විශේෂයක් ලෙස වර්තමානයේද මෙම නාටක සුළු වශයෙන් හෝ කුරුණෑගල සහ රජරට ගම්මැදිවල දක්නට ඇත්තේය. නාට්‍ය රංගනයට පෙරාතුව සරස්වතිය උදෙසා පූජා නැටුම පැවැත්වීම ද මෙහි තවත් විශේෂත්වයකි.
අද මේ නාට්‍ය විශේෂය රැක ගැනීමට දායක වී ඇත්තේ කුරුණෑගල, කටුපොත, දමුණුව, අලංකාරේ ප්‍රදේශයේ විසු එම්.පී. සිරිසේන මාස්ටර් නම් කලාකරුවෙකි. ඔහු මෙම කලාව තවදුරටත් සංවර්ධනය කරමින් පසුබිම් සංගීතය සහිතව දෙබස් පසුබිමින් සපයා ගමින් ගම ගොස් නාටක ප්‍රදර්ශනය කරයි. දේශීය කලා ශිල්පියෙකු ලෙස කන්දේගෙදර සරසවි කලායතනය නමින් ආයතනයක් පිහිටුවා මෙම ගීත නාටක කලාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ඔහු වෙහෙසිණ. එවක් පටන් අද දක්වාම පවතිනුයේ සිරිසේන කලාකරුවා එදා ආරම්භ කළ නාට්‍ය සම්ප්රදාය බව තතු දන්නවුන්ගේ විශ්වාසයයි.
පසුබිමින් දෙබස් සපයන විට අංග චලනයෙන් දෙබසට සමපාත වන සේ රංගනයෙන් දායක වීම මෙහිදී නළු නිළියන්ට පැවරෙන කාර්යභාරයයි. මෙම නාට්‍ය සම්ප්රදාය ඉදිරියට ගෙන යමින් පසුකාලීනව කටුපොත, සියඹලන්ගමුව සර්ධාරාණි කලා සංගමය පිහිටුවා ගත් එම්. පී. සර්ධාපති මහතා ද කන්දේගෙදර සරසවි කලායතනයේ ආරම්භක සාමාජිකයෙකි. අද ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව ඇති සියලුම ගීත නාටක සංගම් ව්‍යාප්ත වී ඇත්තේ ද කන්දේගෙදර සරසවි කලායතනයේ ආභාසය ඔස්සේය. මේ කලාකරුවන් වැඩිදෙනකු අද ජීවතුන් අතර නැත. මෙම ශිල්පීන් සමග සංගීත ශිල්පියෙකු ලෙස පසුකාලීනව සම්බන්ධවූ වර්තමානයේ ගුවන් විදුලි ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කරන ගුණතිලක සුරිආරච්චි මහතා ගීත නාටක සම්ප්රදායේ අහුමුලු හොදින් දත් අයෙකි. අතීතයත් වර්තමානයත් යා කරමින් ඔහු පැවසුයේ මෙවැනි අදහසකි.
කොල්ලනේ අපි ජහුටාවක් නටමුද?
“අද ගොඩක් අය මේ නාට්‍ය කලාව කොහොම හැදුණාද කියන නිධාන කතාව දන්නේ නෑ. අතීතයේ අපේ පැරණි කලාකරුවෝ රසවින්දනය සදහා විවිධ විදිහේ නාට්‍ය ගම්වල රඟ දක්වලා තියෙනවා. මේකත් එක සම්ප්රදායක්. මේ නාට්‍යවලට ජහුටා කියන නම නිකන්ම ආපු එකක්. ඒකට විශේෂ අර්ථයක් නෑ. මේ නම ඉන්දීය ආභාසයකින් ලැබුණා කියන එක අමුලික බොරුවක්.
අස්වැන්න ගෙට ගත්තට පස්සේ කමත හිස්වෙනවා. එතකොට කලාවට හිතැති ගමේ වැඩිහිටියෙක් ‘කොල්ලනේ අපි ලබන පෝයට ජහුටයක් නටමුද’ කියලා තරුණ පිරිස එකතු කරගන්නවා. ඒ කාලේ රඟපෑම ගැහැනුන්ට නොගැළපෙන බවට මතයක් තිබුණු හින්දා නිළිය විදිහට රඟපෑවෙත් පිරිමින්මයි. යොදාගත් දිනට පෙර නාට්‍යයේ පුහුණුව අවසන් කරලා ඒ ගැන අවට ගම්වලටත් ප්‍රචාරයක් කරනවා. අපේ ගමේ කොල්ලෝ පුරුදු පුහුණු වුණු ජහුටයක් අසවල් ගමේ, අසවලාට අයත් කමතේ දී, පසළොස්වක පෝය දවසේ රාත්‍රියේ රඟ දක්වන බව තමයි ඒකෙන් කියැවිලා තියෙන්නේ.” ඔහු පවසයි.
මුල් වකවානුවේ කුරුණෑගල, කටුපොත, වාරියපොල ආදි ප්‍රදේශවල රඟ දක්වා ඇති මෙම නාටක යාබදව පිහිටි අනුරාධපුරයේ ගම්මැදි වලට ද පසුකාලීනව ව්‍යාප්ත වී ඇත. පිහිටි බිමෙහි සැකසු පටු එළිමහන් වේදිකාවක පැදුරක වාඩිලාගත් ශිල්පීන් වයන ඩොලැක්කිය, සර්පිනාව, බටනලාව, ගැට බෙරය, රබාන ආදි සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ වැයෙද්දී මෙම ගීත නාටක රඟ දක්වා ඇත. නළු, නිළියන් රගන අතරේ තවත් ශිල්පීහු පිරිසක් පසුබිමෙහි හිද ජවනිකාවට අදාළව හඬ මුසු කරති. ගී ගායනා සඳහා තවත් ශිල්පී කණ්ඩායමක් සුදානමින් හිඳිති. වේදිකාව වටකොටගත් විවිධ රස විඥානයන්ගෙන් යුතු විසල් පිරිසක් රැය පහන් වන තුරු මේ නාට්‍ය නැරඹීමට රොද බඳිති.
ගම්මැදිවල අස්වනු නෙළන වකවානුවත් සමගම මෙම නාට්‍ය රඟ දැක්වීම එදා මෙන්ම අද ද පිළිවෙත වී තිබේ.
මේ නාටක සඳහා අන්‍යය වු සම්ප්‍රදායන් පවතින බව සුරිආරච්චි මහතා පවසයි.
රංග භූමිය රවුමක්
“දෙබස් කථන මුද්‍රා නාටක පෙන්වන කිසිම තැනක එළිමහන් රංග භුමිය හතරැස්වට සකස් කරන්නේ නෑ. රංග භුමිය අනිවාර්යෙන් හදන්නේ රවුම් හැඩයකටය. ජනතාව නාට්‍ය නරඹන්නේ මේ විදිහට වෘත්තාකාරව සකස් කළ රංග භුමිය වටේ එකතු වෙලා. ඒ තමයි මුල් කාලයේ නාට්‍ය නටන්ඩ කමත යොදා ගැනීමේ ආභාසය. අද දක්වාම ඒ සම්ප්රදාය ආරක්ෂා වෙලා තියෙනවා. අද මේ කලාව යම් පසුබෑමකට ලක්වෙලා තියෙනවා. ඇතැම් ගීත නාටක කණ්ඩායම් එහි ප්‍රමිතිය ආරක්ෂා කරගැනීමට අපොහොසත්වීම සහ තවත් සමහරෙක් ප්‍රමිතිය ඉහළ දැමීමට ගොස් සම්ප්‍රදායෙන් පිට පනිනවා. සමහරු කරන්නේ මුල්කාලීන නිර්මාණ අනුකරණය කරන එක විතරයි. අලුත් යමක් කරන බවක් පේන්නේ නෑ. මේ කලාවේ සම්ප්රදාය ආරක්ෂා කරගනිමින් නවීකරණය වීමයි විය යුත්තේ. ඒත් සංකර වෙන්ඩ බෑ. ඒ දේ කරන්න හැකියාව තියෙන්නෙ කලාව ගැන හසළ දැනුමක් ඇති ශිල්පියෙකුට විතරයි.”
ඓතිහාසික කතා පුවත්, ආගමික පණිවිඩ සහිත නාට්‍ය මෙන්ම සමාජ හා උපදේශාත්මක කතා මෙම ගීත නාටක සඳහා තේමා වෙයි. ප්‍රේමය, විරහව, වීරත්වය සේම හාස්‍යය ද මේ බොහොමයක් නාටක වල පොදු තේමාය. සිරිසඟබෝ, විහාරමහාදේවි, රාමායනය, සකුන්තලා එවැනි නාටක කිහිපයකි. මේ එක් ගීත නාටක කණ්ඩායමක් සදහා 15 - 20 ත් අතර පිරිසක් සම්බන්ධ වේ. මෙසේ සම්බන්ධ වන බොහෝදෙනෙකුගේ ප්‍රධාන ජීවනෝපාය මෙයම බව පැවසේ.
අනුරාධපුරය, කැකිරාව ආසන්නයේ ඇති කෝණපතිරාව ගම්මානයේ ශ්‍රීපාලි සත්සර කලා සංගමයේ නිර්මාතෘ සරත්චන්ද්‍ර ලියනගේ මහතා මෙම ගීත නාටක කලාව අනාගතයට දායාද කිරීමට වෙහෙසෙන්නෙකි.
ජහුටාට ඈත ගම්වලින් ඉල්ලීම්
“දැන් නාට්‍ය පෙන්වන විදිහ ඉස්සරහට වැඩිය ටිකක් වෙනස්. ඒ කාලේ මුලින් කෙටි නාට්‍යයක් පෙන්නලා පස්සේ පැය තුනක් විතර දිග නාට්‍යයක් පෙන්නුවා. ඒත් දැන් කෙටි නාට්‍යයක් පෙන්නන්නේ නෑ. මුදල් හොයන අවශ්‍යතාව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. රෑ 09 ඉඳලා 12.30 විතර වෙනකන් සින්දු කියන්නකැමැති අයට ආධුනික ගීත ප්‍රසංගය පවත්වනවා. එතැන ඉඳලා පාන්දර තුන විතර වෙනකන් සල්පිලයි, මල් වට්ටි වෙන්දේසියයි පවත්වනවා. ඒ හැමදේම ඉවර වෙලා පාන්දර තුනට විතර පටන් අරගෙන උදේ හය විතර වෙනකන් තමයි ගීත නාට්‍ය පෙන්නන්නේ. නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි මාසවල ඇරුණහම අනිත් මාසවල අපි නාට්‍ය පෙන්නන්න යනවා. දැනටත් අපිට හොඳ ඉල්ලුමක් තියෙනවා. යුද්දේ තිබුණ පදවිය, වැලිඔය වගේ ප්‍රදේශවලින් පවා අපිට ආරාධනා එනවා.
පහුගිය දවසක අපි පදවි ශ්‍රී පුර ගමක නාට්‍ය පෙන්නුවා. එන පිරිස එළිවෙනකන්ම රඳවා ගන්න එක ලේසි නෑ. ඒකට විවිධ අලුත් දේවල් එකතු කරන්න වෙලා තියෙනවා. සමහර නාට්‍ය කණ්ඩායම් සැන්ඩෝ දර්ශන වගේ දේවල් එකතු කරගෙන තියෙනවා.”
ගමේ මිස තවමත් නගරයේ ප්‍රසිද්ධ නෑ
සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩවලින් බැහැරව නුතන වාද්‍ය භාණ්ඩ භාවිතය ගීත නාටක කලාවේ ගතානුගතික බව විනාශ වීමට හේතුවී ඇති බව ද මෙම ශිල්පිහු පවසති. වසර තිහක පමණ කාලයක සිට සාම්ප්‍රදායික බව ආරක්ෂා කරමින් මෙම කලාව අනාගතයට දායාද කිරීම මේ කලාකරුවාගේ අපේක්ෂාවයි.
මාතලේ, කුරුණෑගල හා අනුරාධපුර වැනි දිස්ත්‍රික්ක කිහිපයක හැරුණු විට මෙම ගීත නාටක කලාව නගරබදව ප්‍රචලිතව නැති බවත් මෙම ශිල්පිහු පවසති.
ගීත නාටක රංගන ශිල්පිනියක වන අයිරාංගනී දිසානායක මහත්මිය මෑත කාලයක සිට ජහුටා රංගනයට දායකවන්නීය.
“අපිට ආරාධනාවක් ලැබුණාම දවස් හතරක් නැත්නම් පහක් ඒ තැන්වල නාට්‍ය පෙන්වනවා. ලොකු ආදායමක් නෑ. ඒත් කණ්ඩායමේ කාටවත් පාඩුවක් නොවන විදිහට තමයි අපි ආරාධනා බාරගන්නේ. සමහර අය වෙන රස්සා කරන ගමන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපිට ආරාධනාවක් ලැබුණොත්
කොහේ වුණත් අපි යනවා. කොහොම වුණත් ආත්ම තෘප්තියට මුල්තැන දීලා තමයි මේ හැමදේම කරන්න වෙලා තියෙන්නේ. ඝෝෂාකාරි සංගිතය යොදාගෙන මේ කලාව කරන්න බෑ. එකෙන් වෙන්නේ මෙහි අන්‍යතාවය විනාශ වීමයි.”
මේ ගීත නාටක ජන සම්ප්රදාය, වටිනාකම්, අවතුම්, පැවතුම් හා බැදුණු සාම්ප්‍රදායික කලා අංගයන්හි පිලිබිඹුවක් බඳුය. එහෙත් ජහුටා නාට්‍ය පිළිබඳ ඒවා රැක ගැනීමේ වැදගත්කම ගැන වගකිවයුතු කිසිවෙකුගේ හෝ නිසි අවධානය යොමුව නොතිබීම අභාග්‍යයකි.
ඡායාරූප - තඹුත්තේගම විශේෂ
ඩබිලිව්. ප්‍රදීප්