අද අපට ඕනෑ අධ්‍යාපනයයි නවොත්පාදනයයි | Page 4 | සිළුමිණ

අද අපට ඕනෑ අධ්‍යාපනයයි නවොත්පාදනයයි

මේ වන විට අප රට නිදහස ලබා දශක හතක් ඉක්ම ගොස් තිබේ. මේ කාලය තුළ විවිධ දේශපාලන පක්ෂ විසින් මෙරට පාලනය කර ඇති අතර, ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව බලන කල අනෙකුත් රටවල් අප පසු කරගෙන ඉදිරියට ගොස් ය. මීට වගකිව යුත්තේ දේශපාලනඥයන් පමණක් නොව මෙරට ජනතාව වන අපද ඊට වගකිව යුතුය. මේ පිළිබඳව තුලනාත්මකව විචාරමින් මින් ගැලවිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ හිටපු අංශාධිපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ඉංජිනේරු නිර්මාණ කේන්ද්‍රයේ වත්මන් අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රසන්න ගුණවර්ධන මහතා සමඟ කළ සංලාපයකින් සැකසුණකි.

ශ්‍රී ලංකාව මේවන විට මුහුණ දී සිටින සමාජ ආර්ථික දේශපාලන ගැටලුවලට විසඳුම් සෙවීමේ දී මූලික වශයෙන් අපට කළ යුත්තේ අප කවුද කියා තේරුම් ගැනීම ය. ඒ සඳහා අප සතු දුර්වල කම් මොනවාද, අපට කළ හැක්කේ කුමක්ද යන්න පිළිබඳ ව අප තුළ ම ස්වයං විවේචනයක් ඇති කරගත යුතුය.

ආධ්‍යාත්මික සංවර්ධනය

අද බොහෝදෙනා කතා කරන්නේ සංවර්ධනය පිළිබඳ ව ය. එහි සරල අදහස වන්නේ සතුටින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කර ගැනීම ය. වෙනත් විධියකට කියන්නේ නම් තමන් ජීවත් වන කාලය අැතුළත නිරෝගී ව සතුටින් ජීවත් වීම ය. මෙකී සංවර්ධනය ළඟා කර ගැනීම සඳහා අපට ලෝක සංවර්ධන දර්ශක හඳුන්වාදී තිබේ. ඒවා ජය ගැනීමෙන් රටකට සංවර්ධනය විය හැකි බව ඉන් කියැවේ. නමුත් අප කල්පනා කර බැලිය යුත්තේ මෙකී දර්ශක පසු පස යන්නේ ද නැතිනම් ආධ්‍යාත්මික සංවර්ධනයක් කරා ගමන් කරන්නේ ද යන්න ය. වඩා සරල ව කියන්නේ නම් අපට අවශ්‍ය වුවත් නැතත් සියලු දේ පරිභෝජනය කළ හැකි වඩා සැප පහසු ජීවිතයකට යනවාද? නැති නම් සාමාන්‍ය සරල දිවිපෙවෙතක් ගත කර තියෙන දෙයින් සෑහිමකට පත් වෙනවාද? යන්න අතර දෝලනයයි. මේ පිළිබඳ ව ලෝකය පුරා සිටින විවිධ විද්වතුන් සහ මෙරට සිටින විවිධ විද්වතුන් වෘත්තිකයන් ව්‍යාපාරිකයන් දක්වන අදහස් මතිමතාන්තර අපට නිතර අසන්නට දකින්නට ලැබේ.

ඒ පිළිබඳව සිහිබුද්ධියෙන් කල්පනා කර බලන්නේ නම් මේ සඳහා බොහෝ සෙයින් බලපා ඇත්තේ ආයතන, සංස්කෘතිය සහ භූගෝලීය පිහිටීම වැනි සාධක ය. ආයතන යනුවෙන් අදහස් කරන්නේ දේශපාලන ආයතන, පරිපාලන ආයතන, අධ්‍යාපනික ආයතන, නෛතික ආයතන... මේ ආදී වූ සියලු අායතන ය. සංවර්ධනය සඳහා යන ගමනේදී 60%ක් පමණ ආවරණය වන්නේ නැතිනම් බලපවත් වන්නේ මෙකී අායතන පද්ධතියයි.දෙවන කාරණය වන්නේ සංස්කෘතිය යි.

ඕනෑම රටක සංස්කෘතිය තුළ එරට පවතින විවිධ ආගම්,ජාතීන්, කුලමල, සිරිත්-විරිත්, චාරිත්‍ර-වාරිත්‍ර, ඇදහිලි, විස්වාස ආදී මේ සියලු දෑ ඇතුළත් ය. සංවර්ධනය සඳහා යන ගමනේදී 20%ක් පමණ නියෝජනය කරන්නේ මේ සංස්කෘතිය ය. තුන්වෙනි කරණය වන්නේ භූගෝලීය පිහිටීම ය. භූගෝලීය පිහිටීම අනුව අප රට අයත් වන්නේ ඝර්මකලාපයට ය. ඝර්ම කලාපය තුළ දියුණු වූ රටවල් නැති තරම් ය. සිංගප්පූරුව දියුණුව පැවතුණ ද එය මේ කලාපය තුළ තිබෙන වෙනස් ආකාරයකට සංවර්ධන වූවකි. ඒ හැරුණු විට අප්‍රිකානු කලාපය තුළ හා ආසියානු කලාපයේ රටවල් ඇත. ඝර්ම කලාපයට අයත් රටවල් බොහොමයක් එතරම් දියුණු තත්ත්වයක නැත. ඝර්ම කලාපයේ පිහිටි රටක් ලෙස ලංකාව දෙස බලන කල ලංකාව ආහාර අහිමි ව මිය යන තත්ත්වයට පත් වූ රටක් නොවේ.

එනිසා මහන්සි වී වැඩ කළ යුතු ද නැති ද යන්න තුළ දෝලනය වන තත්ත්වයක් ද දැකිය හැකිය. නමුත් අප්‍රිකානු රටවල උෂ්ණත්වය වැඩිය; කෘමි උවදුරු වැඩිය; වසංගත ලෙඩරෝග වැඩිය. මේ අර්ථයෙන් බලන කල ඝර්ම කලාපීය රටක් වුව ද වර්ෂාපතනය ලැබෙන රටක් ලෙස අපි කිසියම් වාසිදායක තැනක සිටිමු. මීට සාපේක්ෂ ව දියුණු වී අැති රටවල් බොහොමයක් භූගෝලීය වශයෙන් ඍතු හතරක් ඇති, කෘමි උවදුරු අඩු, නියඟයට මුහුණ නොදෙන, වසංගත ලෙඩරෝග අඩු කිසියම් වටපිටාවක් ක්‍රමානුකූලව ගොඩනැඟිය හැකි රටවල් ය. ඒ අනුව කිසියම් ආකාරයකට භූගෝලීය පිහිටීම ද අපට කිසියම් ආකාරයකට බලපා තිබේ. එය සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී 20%ක් පමණ බල පැවැත්වෙන බව ලෝක ආර්ථික විශේෂඥයන්ගේ මතය වේ.

මේ අනුව අපට සිදු ව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳව සලකා බැලීමේදී යටත්විජිත බලපෑමට නතුව තිබීම එක් සාධකයක් ලෙස දැක්විය හැකිය. අප වැනි දරුණු ලෙස යටත්විජිතකරණයට ගොදුරු වූ රටවල් බොහොමයක් දියුණු රටවල් බවට පත් වී නැත. යටත් විජිත රටවල් බවට පත් නොවූ රටවල් බොහෝ සෙයින් සංවර්ධිත රටවල් ය. මේ අතර කිසියම් ආකාරයක යටත් විජිතකරණයට ලක් වූ රටවල් පැවතුණ ද ඒවා යටත්විජිත ආධිපත්‍යයට විශාල ලෙස ගොදුරු වූ ඒවා නොවේ. උදාහරණයක් ලෙස ජපානය, කොරියාව වැනි රටවල් දැක්විය හැකිය. ජපානය එවැනි තත්ත්වයකට මුහුණ නොදුන් තරම් ය. මේ රටවල් විවිධ ජාතීන් අතින් විටින් විට පාලනය වූ ඒවා නොවේ. නමුත් අප රටට විවිධ ජාතින් සිදු කළ ආක්‍රමණ හමුවේ නැඟි සිටිමින් දරුණු පරාජවලට ලක්වෙමින් ජනයා විශාල ලෙස මිය යමින් අවසානයේ කිසිවක් කර කියා ගත නොහැකිව අනාත වූ තත්ත්වට පත්ව සිටියේ ය. මීළඟට කුමක් සිදුවේද? කුමක් කළ යුතුද ආදී වශයෙන් වගකීම් සහගතව සිතීමට අවකාශ නොලැබිණි.

විශ්වාස දැඩිව ගෙන අනාථ වීම

මේ තුළ කිසියම් නිශ්චිත පැවැත්මක අපට නොවීය. මෙය ඉතා ම දීර්ඝ කාලයක් විය. මේ ආකාරයට භූගෝලීය සාධක, යටත්විජිත බලපෑම්, විවිධ ආගම් ඇදහිලි විශ්වාස නිසා අප සමාජය ඉතා පසුගාමී තත්ත්වයකට ඇද වැටිණි. උදාහරණයක් ලෙස බෞද්ධයන් වේවා; කතෝලික වේවා; ඉස්ලාම් වේවා; හින්දූන් වේවා මේ බොහෝ දෙනා කිසියම් විශ්වාසයක් මත පදනම්ව කටයුතු කරන පිරිසකි. එනම් තමන්ට නොපෙනෙක බලවේගයක් පිළිබඳ ලොකු විශ්වාසයකින් කටයුතු කරන පිරිසකි. මෙවැනි විශ්වාස ඇති විට ජීවිතය පහසු ය. කිසියම් කරදරයකට මුහුණ දුන් විට ඕක අපේ කරුමේ; නැති නම් ලබා උපන් හැටි; ගිය ආත්මේ පව් කරපු නිසා මේ ආත්මේ මෙහෙම වුණා; ලබන ආත්මේ සැප විඳින්න මේ ආත්මේ පින් කර ගන්න ඕන... ආදි වශයෙන් සිතමින් කටයුතු කරන පිරිසකි. නමුත් ලෝකයේ දියුණු රටව බොහෝ දෙනාගේ අදහස මීට හාත්පසින් ම වෙනස් ය.

ඔවුන් අප මෙන් මෙවැනි විශ්වාස මත දැඩිව එල්බගෙන නැත. ඔවුන් බොහෝ දෙනා විශ්වාසය තබා ඇත්තේ තමන් පාලනය වන ක්‍රමය පිළිබඳ ව ය. ඔවුන්ගේ සියලු දෑ සිදුවන්නේ ඔවුන් විසින් නිර්මාණය කරගත් ක්‍රමය මත පදනම් ව ය. එනිසා ඔවුන් ගැටලුවක් ඇති වූ විට විසඳුම් සොයන්නේ ඊට බලපෑ ක්‍රමය තුළ තිබෙන දුර්වලතා අඩුපාඩු පිළිබඳ ව ය. එනිසා ඔවුන් ඊට ප්‍රායෝගික ව මැදිහත් වී සාර්ථක විසඳුම් සොයා ගනිති. නමුත් අප සිතන්නේ එසේ නොවේ. මේ සියලු දේම කලින් සැලසුම් සහගතව අප වෙත ප්‍රධානය කර ඇති දේ ලෙස ය. එනිසා ඒවාට විසඳුම් නැත. ඇත්නම් ඒවා ඇත්තේ අප අත නොව නොපෙනෙන බලවේග අත ය. එනිසා අපගේ ක්‍රමය නඩත්තු වන්නේ මේ නොපෙනෙන බලවේගයන් අත ය. ඇතැම් බුද්ධිමතුන්ට නාථ දෙවියන් පෙනෙන්නේ, ප්‍රේමදාස මහතා තවුතිසාවේ ඉපදී ඇති බව පෙනෙන්නේ ද මෙනිසා ය.

අද ජපානයේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ මූලික අවධානය යොමු කර ඇත්තේ ස්වාභාවික පරිසරය හා මානව සම්බන්ධතා වෙත ය. එනම් පරිසරයට ආදරය කිරීම හා මිනිසුන්ට ආදරය කිරීම පිළිබඳ ව ය. ඒවායේ ඇති වැදගත් කම පිළිබඳ ව කුඩා කල පටන්ම දරුවන්ට දැනුම හා අවබෝධය ලබාදේ. ඒ අනුව ඔවුන් තම ජීවන ක්‍රමය ගොඩනඟාගෙන ඇත. නමුත් අප සමාජයට මේ බොහෝ දෑ මඟ හැරී ඇත. ඇත්තෙන්ම බැලුවහොත් අපට ක්‍රමානුකූල ව පැවත ආ සංස්කෘතියක් නැත. අපි පෙරහැර තියෙනවා, පැවැත්වෙනවා ආදී වශයෙන් සඳහන් කරමින් එවැනි දේ ඇති බව පෙන්වීමට උත්සාහ කළ ද සංස්කෘතිකමය වශයෙන් ඉදිරියට ආ පැවැත්මක් දැක්වීමට අෙපාෙහාසත් ය. ඇත්නම් ඒ අතීතකාමය මත ගොඩනඟාගත් හිතලු පමණ ය. මෙනිසා රටක් ලෙස ඉදිරියට ගමන් කිරීමට නම් ක්‍රමානුකූලව නව සංස්කෘතික සාධක ගොඩනඟා ගැනීම බෙහෙවින් වැදගත් ය.

ආකල්පමය වෙනස

මෙකී සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අප යන්නේ නම් මේ කියන සාධක අපි කොතෙක් දුරට කළමනාකරණය කර තිබේද ඊට අපි සූදානම් ද යන්න සලකා බැලිය යුතුය. ඇත්තෙන් ම අපට එවැනි සූදානමක් තිබේද යන්න ම ප්‍රශ්නාර්ථයකි. මන්දයත් අප තවමත් විශ්වාස, ඇදහිලි මත එල්බගෙන සිටින ජාතියකි. එහෙම මිථ්‍යාවක සිරවී සිටින ජාතියකට තීන්දු තීරණ ගැනීමට අපහසු ය. එනිසා මේ රට කවරාකාරයෙන් සංවර්ධනය කිරීමට සැරසුණ ද ඊට එරෙහි ව විවිධ හේතු කාරණා මතු වේ. නමුත් දියුණු රටවල එසේ නොවේ. මේ රටට විදේශ විනිමය උපයා දෙන සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය දෙයක් බව ඔවුහු දනිති. එනිසා ඒවාට ඉඩදී ඔවුහු ඉන් ඈත් වී සිටිති. ඔවුන් සෑම දෙනකුට ම ස්වයං විනයක් නැතිනම් පාලනයක් තිබේ. ඒ නිසා තමන් කරන්න ඕන මොනවාද, නොකරන්න ඕන මොනවාද යන්න පිළිබඳ ඔවුන් තුළ අවබෝධයක් තිබේ. නමුත් අපට මේ එකක්වත් නැත. අඩුම තරමින් ජාතීන් අතර සංස්කෘතික බැඳීමක්වත් නැත. මෙනිසා අනෙක් රටවල් දියුණු වූ ආකාරයට අපට දියුණු විය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. මන්ද යත් මෙකි සමාජය පරිවර්තනය කිරීමට විශාල කාලයක් ගත වන බැවිනි.

මෙනිසා අපට ඇති හොඳම මාර්ගය වන්නේ අධ්‍යාපනයයි. එ මඟින් පාලන ක්‍රමය පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කරන නව පරම්පරාවක් නිර්මාණය කිරීමට හැකිය. වැඩි ම වුවහොත් ඊට ගතවන්නේ වසර විසි පහක් පමණි. ඒ සඳහා අපි කඩිනමින් පියවර ගත යුතුය. විභාග මූලික කරගත් අධ්‍යාපන සංස්කෘතිය වෙනස් කළ යුතුය. මන්දයත් අද අපට කරුණු දැනගැනීමට ප්‍රමාණවත් බොහෝ මාර්ග ඇති නිසා ය. එනිසා කටපාඩමින් මතක තබාගැනීමට කිසිවක් අවැසි නැත. අවශ්‍යවන්නේ ගවේෂණය කරමින් නවෝත්පාදනයට යොමු වූ විද්‍යාර්ථීන් පිරිසකි. ඒ සඳහා කුඩා කල පටන් ඊට අනුගත වූ සිතුම් පැතුම්වලින් පොහොසත් වටපිටාවක් නිර්මාණය කළ යුතුය. එමෙන් ම ඊට අවශ්‍ය රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුය.

අපට ඇති හොඳම මඟ

නූතන ලෝකයේ බොහෝ රටවල් අද වේගවත් සංවර්ධයක් කරා පැමිණ ඇත්තේ මේ නවොත්පාදන වර්ධනය කර ගැනීම නිසා ය. මන්දයත් දළ ජාතික නිෂ්පාදනය සහ නවෝත්පාදන දර්ශකය එකිකෙනට සම්බන්ධ වී ගමන් කරන නිසා ය. නවොත්පාදන දර්ශකය වැඩි වන විට දළ ජාතික නිෂ්පාදනය ද වැඩි වේ. එනිසා රටක් නවෝත්පාදනයට යොමු නොවන්නේ නම් ඒ රට දියුණුව කරා රැගෙන යෑමට නොහැකිය.

රටක් සංවර්ධනය කරා ගෙන යෑමට නම් නවෝත්පාදන දර්ශකය වර්ධනය කිරීම අනිවාර්ය සාධකයකි. ඒ සඳහා රජය විසින් අධාපනයට හා නවෝත්පාදන සඳහා ලබාදෙන ආයෝජන වැඩි කළ යුතුය.

එසේම නවෝත්පාදනය යනු නව භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම පමණක් ම නොවේ. එය දැනටමත් පවතින භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සඳහා ද මහෝපකාරී වන්නකි.

මේ ආකාරයට බලන කල සංචාරක ක්ෂේත්‍රයට, ශ්‍රම වෙළෙඳ පොළට, අපනයන වෙළෙඳපොළට... ගුණාත්මකව හා කාර්යක්ෂමව වර්ධනය කර ගැනීමට විශාල දායකත්වයක් මෙඟින් ලබා ගත හැකිය. අද ලෝකයේ බොහෝ රටවල් දියුණුවේ හිණිපෙත්තට ම ළඟා වී ඇත්තේ මේ නවෝත්පාදන කෙරෙහි දක්වන උනන්දුව හා දායකත්වය නිසා ය.

මේ සඳහා අප රටට අවශ්‍යව ඇත්තේ තම බඩගෝස්තරය ගැන සිතමින් කටයුතු කරන දේශපාලනඥයන් පිරිසක් නොව කිසියම් ප්‍රතිපත්තියක් අරමුණක් සහ වැඩපිළිවෙළක් ඇති ජනතා සේවයට කැපවුණු පිරිසක් ය. එවැනි අය පාලන ඒකකවලට පත් කළ යුතුය.

මේ සඳහා විශාල වගකීමක් රැඳී ඇත්තේ මේ රටේ මහ ජනතාව අත ය. මන්ද යත් වසර පහකට ඡන්දය ලබාදී තමන් වෙනුවෙන් තීරණ ගැනීමට පාලකයන් පත් කරන්නේ ඔවුන් විසිනි. එනිසා මෙහි වැඩි වගකීම ඇත්තේ පාලකයන්ට නොව මේ රටේ ජනතාව වන ඔබ, අප අත ය.

Comments