අවසානයේ ඔහුට පෝරකය උරුම විය | Page 4 | සිළුමිණ

අවසානයේ ඔහුට පෝරකය උරුම විය

මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ ස්වාධීනත්වය සියයට සියයක් තහවුරු කරමින් පසුගියදා රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ නඩුවක තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිණි. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මහාධිකරණය විසින් නියම කොට තිබූ මරණ දඬුවම තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තහවුරු කරමිනි. එහිදී දුමින්ද සිල්වා ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප වූ අතර, එවකට ඇමැතිවරයකු වූ භාරත ලක්ෂමන් ප්‍රෙමචන්චන්ද්‍ර මහතාගේ ඝාතනය සිදු වී හරියටම වසර 7කට පසු දුමින්ද සිල්වා ඇතුළු වරදකරුවන්ට පෝරකය නියම වීම ස්ථීර විය.

එකල රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ මේ සිදුවීමේ වරදකරුවන් වූ දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල මරණ දඬුවම කලින් නියම කර තිබූ අතර, අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඉන් මරණ දඬුවමට නියමව සිටි එක් විත්තිකරුවකු පමණක් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදොස් කළ අතර අනෙකුත් අයට මරණ දඬුවම ලබා දීම ස්ථිර කළේය.

2011 ඔක්තෝබර් අට වැනි දා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු 8 දෙනකු හිඹුටාන ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීම ඒ කාලයේ රට කැලඹූ ආන්දෝලනාත්මක සිදුවීමක් විය. පුවත්පත් පිටු ගණනින් මේ වාර්තාවට ප්‍රධාන තැනත් දුන් අතර, එක්තරා විවිධ දේශපාලන න්‍යායන් මේ හරහා ඉටු කරගන්නට විවිධ පිරිස් යොමු විම කැපී පෙනෙන සිදු වීමකි.මේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා හිඹුටානේදී සිදු වූ මේ ඝාතන සිදුවීමෙන් බරප

 

තළ තුවාල ලැබූ බව ප්‍රකාශ කරමින් වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගියේය. දුමින්ද සිල්වා සිංගප්පූරුවේ සිටි කාලයේ ශල්‍යකර්ම කිහිපයකට භාජනය වූ බවත් අනතුරුව මවුන්ට් එලිසබෙත් රෝහලේ දීර්ඝ කාලයක් ගත කර වසර 2ක ඇවෑමෙන් 2013 මාර්තු මස දිවයිනට පැමිණියේය. ඒ අසනීප තත්ත්වය සුව නොවූ බව සඳහන් කරමිනි. මේ පැමිණීමටද ඉහළ ප්‍රසිද්ධියක් ලැබුණු අතර, දුමින්ද සිල්වාගේ මේ ශල්‍යකර්මය නිසා ඔහුගේ මතකයන් බොහෝ වියැකී ගොස් තිබුණු බව මේ කාලයේ ඔහුගේ පවුලේම සමීප හිතවතුන් විසින් පුළුල් ආකාරයෙන් යම් යම් ප්‍රචාරයන් ගෙන ගියේය. එපමණක් නොව දුමින්ද සිල්වාගේ මොළයට සිදු වූ හානි පිළිබඳ එක්තරා මාධ්‍යජාලයක් හවුල් කරගනිමින් ඡායාරූපද පළ කරන්නට විය. මේ නිසා කාලාන්තරයක් විවිධ ආකාරයෙන් සාක්ෂි සටහන් කිරීමේදී ‘මතකය මැකීගොස්‘ ඇති බව ප්‍රකාශ කරමින් උසාවියේ ඔවුන්ගේ නීතිඥයන් විසින් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ ලබා දී තිබිණි. මේ අතර රෝගි බව පවසමින්ද අවස්ථා කිහිපයකදීම නැවත රෝහල්ගත වීමට දුමින්ද සිල්වා කටයුතු කළේය. එහෙත් ඒ කිසිවක් අධිකරණයට ප්‍රශ්න හෝ ගැටලුකාරි වූයේ නැත. අධිකරණය නොසැලී මේ කටයුතු විභාග කරන්නට වූ අතර, විවිධ දේශපාලන පිරිස්ද දුමින්ද සිල්වාගේ මේ භූමිකාව විවිධ ආකාරයෙන් දේශපාලන රඟමඬලේ රඟ දක්වන්නටද විය.

මේ සියලු කටයුතු මෙසේ වෙද්දී මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා මහත්මිය හඬ-හඬා පැවැසූයේ කෙසේ හෝ සිය පියාගේ ඝාතකයන්ට නිසි දඬුවම් දෙන ලෙසයි. කොතරම් රෝහල්ගත වී හා මතක මැකී ගොස් ඇතැයි පවසමින් මේ ඝාතනයන් වසන් කිරීමට කළ සියලු උත්සාහයන් වළකාලමින් මිනීමැරීම, කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීමට තැත් කිරීම හා නීති විරෝධී ජනරාශිය යන චෝදනා යටතේ රහස් පොලීසිය දුමින්ද සිල්වා ඇතුළු පිරිසට එරෙහිව චෝදනා 17ක් යටතේ නඩු පැවැරීය. ඒ අනුව දිනෙන් දින විභාග වූ මේ නඩුවෙන්

දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනකුට මහාධිකරණයෙන් මරණ දඬුවම නියම විය. ඒ 2015 සැප්තැම්බර් මස 8 දාය. මෙයට එකල විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර අධිකරණය විසින් කිසිදු දේශපාලන පදනමකින් තොරව ස්වාධීන වීම පිළිබඳ බොහෝ දෙනකුගේ ප්‍රශංසාවද හිමි විය.

මේ තීන්දුව දීමත් සමඟ දුමින්ද සිල්වා ඇතුළු පස්දෙන තමන් එයට නිවැරදිකරුවන් බව පවසා තමන් මෙයින් නිදොස් කරන ලෙස පවසමින් ඇපෑලක් ගොනු කළහ. මේ අභියාචන පෙත්සම පසුගිය කාලයේම විභාග වූ අයුරු බොහෝ දෙනෙක් උනන්දුවෙන් බලා සිටියහ. මෙය දුමින්ද ඇතුළු පිරිසට පෝරකයෙන් ගැලවීමට නීතියෙන් පිහිට විය හැකි අවසන් අවස්ථාව විය. මෙසේ වරදකරුවන්ගේ අපේක්ෂා දල්වමින් බලා සිටි මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වූයේ ඔහු ඇතුළු කිහිප දෙනාට සදහටම පෝරකය උරුම කරවමිනි.

මේ අනුව දුමින්ද සිල්වා, රවි ජයනාත් හා සරත්කුමාර බණ්ඩාර යන විත්තිකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක විය. හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවාහරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඬුල්ලේ ඒකමතික තීන්දුව වූයේ මරණ දඬුවම මේ පිරිසට ලබා දිය යුතු බවත්, විත්තිකාර දුමින්ද සිල්වාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියා ලෙස කටයුතු කළ අනුර තුෂාරද මැල්ගේ මරණ දඬුවම ඉවත් කරන ලෙසත්ය.

දැන් මේ වරදකරුවන්ට ඉතිරිව ඇත්තේ තවත් එක් අවස්ථාවක් පමණක් බව නීති විඥාරදයෝ පෙන්වා දෙති. ඒ ජනාධිපති සමාව යන බලාපොරොත්තුව පමණි. එහෙත් එය සිදු වේද - නැද්ද යන්න කාට කිව හැකිද?

වර්තමානයේ බොහෝ දෙන නීතියේ ස්වාධීනත්වය ගැන විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරති. එහෙත් ඒ සියලු තර්ක-විතර්ක බිඳහෙළමින්, තරාතිරම්, උස්-පහත්කම් සියල්ල පසෙක ලා, සැමට සර්ව සාධාරණ වෙමින් අධිකරණය සිය ස්වාධීනත්වයම ඉස්මතු කර තිබේ.

Comments