ඉන්ෆ්ලුඑන්සාවෙන් බේරෙන්න ආරක්ෂක පියවර ගන්න | Page 4 | සිළුමිණ

ඉන්ෆ්ලුඑන්සාවෙන් බේරෙන්න ආරක්ෂක පියවර ගන්න

ඉන්ෆ්ලුඑන්සා වෛරසය A B සහ C යනුවෙන් කාණ්ඩ තුනකි. ඒ අතරින් ඉන්ෆ්ලුඑන්සා A සහ B වෛරස කාණ්ඩ මඟින් මිනිසුනට ඉන්ෆ්ලුඑන්සා රෝගය වැල‍ඳේ. ඉන්ෆ්ලුඑන්සා H1N1, H 5, N2 ආදී රෝග මේ වෛරසය හේතු කොට ගෙන මිනිසුන්ට වැල‍ඳේ. මෙහි අති අවධානම වන්නේ මේ රෝග මිනිසුන් අතර ඉක්මනින් ම පැතිර යාමත්, ‍නිසි කලට ප්‍රතිකාර නොලද හොත් සංකූලතා ඇති වී මරණයට පත්වීමත් ය.

පසුගිය දිනවල ගාල්ල හා මාතර ප්‍රදේශවල බහුලව පැතිරගිය ඉන්ෆ්ලුඑන්සා උණ රෝගය වෙනත් ප්‍රදේශවලට ද පැතිර යා හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස වසංගත ‍රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පවසයි. රෝගීන්ගේ සෙම් සොටු හා ශ්වසන මාර්ගය ආශ්‍රිතව නිකුත් වෙන බිඳිති, ආශ්වාසය මඟින් නිරෝගී පුද්ගලයනට ද පහසුවෙන් ම වැලඳිය හැකි බැවින් රෝගයෙන් වැළැකීම සඳහා සෞඛ්‍යාරක්ෂිත පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී. වසරේ නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි සහ මැයි, ජූනි, ජූලි යන මාසවල පවතින ශීත කාලගුණය හා වැසි සමයත් සමඟ ඇතිවන කාලීන උණ ‍රෝගයක් වන ඉන්ෆ්ලුඑන්සාව මෙවර දකුණු පළාතෙන් වැඩිපුර වාර්තාව‍ූ බව ද වෛද්‍යවරිය කීවා ය. දකුණු පළාතේ කුඩා බිලිඳුන් කිහිපදෙනකුට එකවර රෝගය වැලඳීමත් ආසන්න කාලවකවානුවක් තුළ ඔවුන් මරණයට පත් වීමත් නිසා දකුණේ මාරක උණක් පැතිර යන බවට ජනතාව තුළ භීතියක් ඇතිවී තිබෙනු දැකිය හැකි බවත් ඇය පවසයි. ඉන්ෆ්ලුඑන්සා වෛරසය A B සහ C යනුවෙන් කාණ්ඩ තුනකි. ඒ අතරින් ඉන්ෆ්ලුඑන්සා A සහ B වෛරස කාණ්ඩ මඟින් මිනිසුනට ඉන්ෆ්ලුඑන්සා රෝගය වැල‍ඳේ. ඉන්ෆ්ලුඑන්සා H1N1, H 5, N2 ආදී රෝග මෙම වෛරසය හේතු කොට ගෙන මිනිසුන්ට වැල‍ඳේ. මෙහි අති අවධානම වන්නේ මෙම රෝග මිනිසුන් අතර ඉක්මනින් ම පැතිර යාමත්, ‍නිසි කලට ප්‍රතිකාර නොලද හොත් සංකූලතා ඇතිව‍ී මරණයට පත්වීමත් ය.

සෙම්ප්‍රතිශ්‍යාව, සොටු දියර ගැලීම, කැස්ස, ‍උණ, හිස රුදාව, හුස්ම ගැනීමේ අපහසුතාව, හුස්ම ගැනීමේ වේගය වැඩිවීම, ඇඟපත වේදනාව, ඇතැම්විට බුරුලට මළපහ පිටවීම මෙහි රෝග ලක්ෂණ වේ. මෙම රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් මතු ව‍ූ වහාම වෛද්‍ය උප‍දෙස් ලබාගන්නා ලෙස වෛද්‍යවරිය උපදෙස් දෙයි.

වයස අවුරුදු දෙකට අඩු දරුවන්, අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන්, ගර්භනී මාතාවන් සහ දියවැඩියාව, රුධිර ප‍ීඩනය, ශ්වසනාබාධ, වකුගඩු ආබාධ සහ ප්‍රතිශක්තිය අඩු රෝගවලින් පෙළෙන අය රෝගය සඳහා වැඩි අවධානමක් දරති. උක්ත රෝග ලක්ෂණ පහළ වේ නම් එවැනි පිරිස් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතු අතර ළදරුවන් හා ගැබිනි මාතාවන් වහාම රෝහල් ගත කිරීම ද වැදගත් වේ.

ඉහත රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් මත නිසි පරිදි ‍ඖෂධ හා ප්‍රතිකාර ලබාගත යුතු ය. මෙකල ඩෙංගු වැනි වසංගත උණ ද බහුල වන හෙයින් දින දෙකකට වඩා උණ ඇත්නම් ඩෙංගු රෝගය සඳහා රුධිර පරීක්ෂාවක් කර ගැනීම සුදුසු ය. උණ සහ ඇඟපත වේදනාව සමනය කර ගැනීමට පැරසිටමෝල් ඖෂධය වෛද්‍ය උපදෙස් අනුව නියමිත මාත්‍රාවෙන් ලබා ගත යුතු ය. පැරසිටමෝල් හෝ වෙනත් ඖෂධ හිතු මතේට ගනිමින් නිවසේ රැඳී නොසිට රෝහලකට යාම වඩාත් සුදුසු ය.

සෙම්ප්‍රතිශ්‍යා උණ ඇත්නම් ඖෂධ මෙන් ම ආහාර පාන ද විවේකය ද එකසේ ලබා ගැනීම වැදගත් ය. ළදරුවන්ට මවු කිරි අඛණ්ඩව ලබාදිය යුතු අතර සෙසු ‍රෝගීන්ට වැඩිපුර පාන වර්ග ලබාදිය යුතුය. කැඳ, සුප්, තැඹිලි හා ස්වභාවික පාන වර්ග වැඩිපුර ලබාදීම සුදුසු ය. හැකි හැම විටම උණු වතුර පානය කිරීම වඩා සුදුසු ය.‍

රෝගීන් සෙස්සන් ගෙන් වෙන් කර තැබිය යුතු ය. ඔවුන් භාවිත කරන තුවා, ඇඳ ඇතිරිලි, ලේන්සු, කෝප්ප වැනි දෑ නි‍රෝගී පුද්ගලයන් විසින් භාවිතා නොකළ යුතු ය. ඇඳ විවේකය අත්‍යවශ්‍ය වේ. ‍උණ සුව වූ විගස පාසලට, අමතර පන්තිවලට මෙන් ම රැකියාවට යෑමෙන් වැළකීම රෝගියාගේ ස්ථිර සුවයට ද සෙස්සන්ගේ නිරෝගී භාවයට ද හේතු වේ.

ඉන්ෆ්ලුඑන්සා 2018 එන්නත මඟින් රෝගය වළක්වාගත හැකිය. මිලෙන් අධික වන මෙම එන්නතක් පෞද්ගලික අංශයෙන් රු. 1000 සිට 1500 දක්වා වූ මිලකට ලබාගත හැකි ය. මෙම ඖෂධ රජයේ රෝහල්වලින් නොමිලේ ලබාගැනීමට නොහැකි ය. ඖෂධය එන්නත් කිරීමෙන් සතියකින් පසුව සි‍රුරෙහි ප්‍රතිශක්තිය හටගනී. එය වසරක කාලයක් රැඳී තිබේ. එන්නත ලබා ගත්ත ද රෝගය වැලඳීමට ඇති ඉඩකඩ 50% ක් පමණ වේ. කාලීන ‍උණ රෝගයක් (seasonal Flue) වන ඉන්ෆ්ලුඑන්සා රෝගය සෑම වසරකම නොවැම්බරයේ සිට ජනවාරි දක්වා ශීත ඍතුව පවතින රටවල ශීඝ්‍රයෙන් පැතිර යයි‍. මෝසම් වර්ෂාවත් සමඟ පවතින ශීත දේශගුණික තත්ත්වය යටතේ අප වැනි රටවල ද බහුලව ඇතිවිය හැකි ය. රෝගයෙන් වැළැකීම සඳහා පියවර ගැනීම රෝගයට බෙහෙත් කිරීමට වඩා සුදුසුය.

රෝගීන් ගැවසෙන රෝහල්, පොදු ප්‍රවාහන සේවා සහ මහජන හමුවලින් හැකි තාක් ඈත්වී සිටීම, වැස්සට සහ සීතලට නිරාවරණය නොවීම, රෝගීන් ඇත්නම් ඔවුන් ගෙන් ඈත්වී සිටීම, ඔවුනට සේවා සපයන‍්නේ නම් මුඛ ආවරණ පැලඳීම, ලේන්සු තුවා සහ ටිෂියු වැනි රෝගීන් භාවිතා කළ දේ හවුලේ පරිහරණය කිරීමෙන් වැළැකීම, කසින කිවිසින හැම විටම ලේන්සුවකින් මුව ආවරණය කර ගැනීම, සෙම් සොටු තැන තැන නොදැමීම, අපවිත්‍ර ටිෂියු ආදිය ආරක්ෂාකාරී ලෙස බැහැර කිරීම හා රෝග ලක්ෂණ පහළ වූ වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර හා උපදෙස් ලබා ගැනීමෙන් රෝගය වළක්වා ගත හැකි වේ.

ඡායාරූපය - විපුල රාජපක්ෂ

Comments