කවි කල්පනා | Page 3 | සිළුමිණ

කවි කල්පනා

ප්‍රිය ළඳ

රං කඳ සුරබි දෙන පරදා මිණි පහන
පුන්සඳ පර­දනා ලස්සන සුදු මුහුණ
පිං කඳ වගේ බබ­ළ­නවා සැම­දාම
ඔබ ළඳ නොමැති දා මා මිය­ගිය වැනිය

දුටු­වම සිනා­රැලි ගත සිත වික­සිත වෙනවා
දුටු­වම නෙත් අඟින් බල­නව සිත කැල­ඹෙ­නවා
දුටු­වම ඇත් ගමන නුඹෙ මා සිත සන­ස­නවා
ඔබ ලැබු­ණො­තින් මා ලොව රජ වෙනවා

එම්. ජී. සර­ත්මධු


කල් එළඹ

සරුව පිත්තල
රේස රන් කුඩු
බැලුම් රතු කහ
දැවෙන දුම් වැටි..
ඒය හෙට
කද මලු කැවිලි ගෙන...

මැල­වේද වත්
පිබි­දේද නෙත්..

තැන තැන දොඩන
කන බොන ගයන...

ඥාති මිතු­රනි
පලා යනු මැන...

ඉතිං අව­සර
රුහිරු දැක්මට...

දඹේ­ගොඩ ජින­දාස



වෙන් වීම

කෝවක ලෑ පරිදි ඉති­රුණ බසය තුළ
දිය ‍කොට ගතේ සවි බැස යයි තුසර වැල
දෙබැ­මෙහි අඳුන් තවරා මඳ සිසිල කළ
දිස් විය රුවන් පිබි­දුණු සේ කරඹ මල

රොන පිරි සුවඳ මුහු කර ගත් තිසර යුග
නිස­ලව කියයි කිරි කඳු­ළක් නොමැති වග
අඩ බැල්මක කැලුම් දිදු­ලන නයන අග
හමු වුණ කෙම්බි­මකි යන මේ ගමන දිග

දස­තෙහි පැතිර ගිය සස­ලන ගතිය බිඳ
දෙස­වන සන­හ­ලයි නැඟි හස ලවන මැද
හද­වත් තුළ එබුණු දුක් කම්ක­ටුලු සිඳ
පායා තිබේ එක මොහො­තක ඇසළ සඳ

මිග පොව්වන් පරිදි එහෙ-මෙහෙ සැරි­ස­රන
ඉති­රෙයි වතේ අවි­හිං­ස­ක­කම පිරුණ
මන­සෙහි නටද්දී හැඟු­මන් සුව වරණ
අප ගෙන ගියා වෙත තුටු චන්දන අරණ

ගිල­ගෙන අමා­වක පැතිරී ගිය අලුව
පුර­වා­ලීය හද­වත දුක­ඳුර රළුව
ගැබ්බර රියෙන් බැස ගිය සඳ සඳ­ ප­ළුව
ගොලු­වුනි මගේ සිතු­විලි රිදු­මක වෙළුව

දඹ­ගල්ලේ කේ.බී. රත්නා­යක



පිපේ
තව­මත්


ගියත් අවු­රුදු
බර ගණන්
මෙහෙම ගෙවිලා..

ගහේ අර­ලිය
පිපේ තව­මත්
ඉල­ක්කන් නොබලා...

හිටිය නම් නුඹ
වා කෙක්ක බැඳ
මුදු­න­ටම නැඟලා..

අත්ත අග මල්
වුණත් මෙල­හට
නිවන් පුර දැකලා

ශාන් දිසා­නා­යක


තඹු­ත්තේ­ග­මදී

එදා ගම්දොර උපන් තඹ­පත්
ස්වර්ණ­මාලී, ගැබට පිදුවා
තඹ උපන් ගම ‘තඹු­ත්තේ­ගම’
දුටු­ගැ­මුණු රජු නමක් බැන්දා...

වීර වදු­ලෙන් වීර වදු­ලට
තඹු­ත්තේ­ගම ජලය පිරුණා
ගම්දො­රින් ගම්දො­රට වැව් බැඳ
වියළි රජ රට සාර වූවා...

නඟුල කැත්තට රිදුම් දෙන විට
අතේ කර ගැට වියැට වූවා
පොරණ රජ දා පටන් රජ­රට
වැව් පිරී බත බුලත සැදුණා...

පොරණ වෑකඳු පුපු­රවා හැර
කඩි­න­මින් මහ­වැ­ලිය ආවා
නීල වන­පෙත් උගුල්ලා දා
මහ­වැ­ලිය මහ කුඹුරු තැනුවා...

පුරුදු ගොවි­තැන් ඉවත දම­මින්
වස-විසට හුරු පුරුදු වූවා
ගිලන් වී වකු­ග­ඩුත් ලෙඩ දුක්
බොන්න දිය නැති තැනට වැටුණා...

තඹු­ත්තේ­ගම වැවෙන් දිය­ගෙන
ජීවි­තය ගැට ගසා ගත්තා
ඇවිත් කොම්පැනි ලාභ ඉව කර
ඒ වතුර ටික උදු­ර­ගත්තා...

වැවේ දිය­වර උරුම පර­පුර
මහ­පාරෙ මොර දෙන්න ගත්තා
වතුර වෙනු­වට රුහිරු වැගිරී
මහ­පාර ‘තඹ පැහැය’ ගත්තා...

මහින්ද කුමාර දළු­පොත



සොඳුර බව
නැති විටෙක...


සඳේ සුදු රැස් කිරණ ගෙනා මුව මී විතයි
සිනා මුතු දැල් මැදින් කී කතා ගී පොතයි
සෙනේ රන් රසු දැලින් ඔප දැමූ මාව­තයි
මගේ විජි­තය ඔබයි, ඔබේ මුදු හද­ව­තයි

කවි­ය­කින් ගීය­කින් සිතු­ව­මින් ඔප ගැනී
ළබැඳි මිතු මල් ගොමුවෙ පෙම් මලක් පිදුණී
නුදුටු මල් පපි උයනෙ බමර මුව ඉව දැනී
මෙවන් එක් වස­න්තෙක අපේ නෙත් හමු වුණී

හිත නිවයි ගත නිවයි දෝර යන සෙනෙ­හ­සින්
ලොවම මා ළඟය ඔබ හෙළන බැල්මක ඇසින්
සව­න­තට ළං වෙලා කියන කවි­යක රසින්
ගඳඹ තනු තව මොටද නුදුටු තුසි­තෙක බසින්

අඹ මලින් දොඹ මලින් පරි­ස­රය විසි­තු­රුයි
මියැසි ගී කොවුලු තනු ගෙනෙන ගී නිර­තු­රුයි
සත් රුවන් විජි­ත­යක සියලු මං පිය­ක­රුයි
කුම­ක­ටද මේ අසිරි, සොඳුර ඔබ 6එනතුරුයි

බුල­ත්සිං­හල සිරි පති­රගේ


කන්තලේ
වැව් බැම්මේදී


ගොම්මන් කළු­වර
පාවි පාවී
කැටි වී පැතිරී
වැව් දිය කඳ‍
වසා ගලන විට
සුදු කොක් රෑනක්
තටු විද­හාලා
රාත්‍රී අහර ගෙන
කූඩු සොයා එයි
අඳුර කපා­ගෙන

එස්. කේ. ජය­ව­ර්ධන


රුව

කරඹ මල සේ දිදුල මුදු වත
සුවඳ සිහි­නෙන් විත් සිපී
නිසල මැදි­යම සොඳුරු සිතු­විලි
බුබුළු නංවයි හද පිපී..

නෙතට නොවැ­ටුණු ලොවක නැව­තුණු
මුවා වී ඉර-හඳ තැවේ
මතක රොන් ගෙන පවන් රැලි පැන
ළයෙහි දැවටී දේ සුවේ..

සුමුදු කුසු­මක පෙති තැළී ගොස්
අඳුරු පෙම් ලොව ඉකි­බිඳී
මිලින වී ගිය මගේ සෙනෙ­හස
ඔබේ රුව සොය­මින් ඉඳී..

කේ. බී. රත්නා­යක


දහම

තෝරන්න
හද­ව­තට
ගඩ ගඩ ගාන
සම­ථය හැර
අර්ථ පූර්ණ
ගරු­ත්වය
අන­ව­රත
යෙදුම
ස්ථිරය
දෙව­නුව
යැදුම

වේනුක භාරත ධර්ම­රත්ත


දුක සොයා යෑම

අසා බැලු­වෙමි; සොයා බැලු­වෙමි
දුක උපන්නේ කො‍හිද කියලා
කිසි­ව­කුත් නොදන්නේ - කිසි­ව­කුත් නොකි­යනා
තැන - කොතැන මම සොයමි; තව­මත්
පපු­කු­හර ඇතු­ළ­තින් එන
රිදුම සම­ඟම මම
තව­මත් සොයමි දුකෙහි උපත ගැන
හිමි - අහිමි දේ ගැන
කම්පා නොවී සිටි­න්නට
තවම බැරි වුණේ මට
පුහු­දුන් මිනිස් දුවක වීම නිසාය
දුක සොය­න­වට වැඩි­පුර
සතුට සොය­මින් හිඳිමි මම
ලැබෙන දේ පිළි­ග­නි­මින්
මම දුක අතැර සිටි­නෙමි

කමලා ධර්ම­ලතා ජය­සූ­රිය


කොවු­ලාගේ පණි­වි­ඩය

හැම වස­ර­කම බක්මහ එල­ඹෙන වේලේ
සතු­ටින් අමු­න­මින් රස­බර කවි මාලේ
සත් සමු­දු­රක් පසු කර බැඳ­ගෙන ආලේ
ආවෙමි මෙදත් වැජ­ඹෙ­න්නට ලක් දෑලේ

ලක් මවු තුරුලෙ සැන­සෙ­න්නට තැනක් බලා
වෙහෙසී සොයා බැලු­වෙමි නෙත් පියන් සලා
සොබා­ද­හම හැම තැනක ම වෙනස් වෙලා
ගහ­කොළ නැතිව බිම විත­රක් ඉතිරි වෙලා

තිරි­සන් සතුන් වෙත ඉති­රිව තිබුණු කැලේ
වනසා දම­න­වලු පාටින් අයුතු බලේ
නොප­නත් පන­ත්කම් මේ විදි­හ­කින් කළේ
වන දෙවි­ය­නුත් වැටි­ලද අල්ල­සට දැලේ

කපුටෝ ගිහින් හතරේ දුම් කවුළු සොයා
යන්තම් වහන් වෙන­වලු දුක සෙමෙන් ගයා
උන්ගේ කූඩු නැත සෙවු­මට කොහෙද කියා
බිජු බර මුදා නොහැර ම කෙවි­ලි­යොත් ගයා

ඉන්නට තැනක් නැති හන්දා පැටව් කියා
මින් පසු වෙන්නෙ යන්ටයි වෙන රටක් සොයා
පෙරදා පටන් අපි අවු­රුදු ගීත ගයා
හිටි හැටි මතක් වී නෙතු කඳු­ළ­කුත් ගියා

උතුරු ලොවේ සීතල වැඩි වන දාට
දකුණු ලොවයි පිළි­යම පුරු­දුයි ඊට
රූප පෙට්ටියේ කොවුලෝ සිටි­යාට
මිහිරි තාල නැත උන් ඔහෙ හැඬු­වාට

සුන්දර මෙවන් බිම­කට සිත ඇලුම් කියා
පර­පුර පුරුදු විදි­හට පෙර ඇවිත් ගියා
ගස්වැල් කොන්කි­රිට් වන­යෙන් වැසී ගියා
බය හිතෙ­නවා සහ­රා­වක් වෙයිද කියා

සෝම­රත්න හර­ස්ගම


හිනා­වක් නැත...

හුඟක් දරනා වේද­නා­වන්
රැයේ අහ­ස­ටම ගුළි කර
සඳක් තනි වී බලා සිටියා
සිනා සෙන්නට දවස් ගැන-ගැන

ශ්‍යාමා රන­පති


 කතා නැති
සිනා නැති වුවන


නොබ­ලාම යන ගමන් දුර ඈත
රැගෙන ඒ මතක දමා ඔලො­ගු­වක
දෝතින් ගෙන පෙර දාක වැල­ඳ­ගත්..

රැඳි සුවඳ හා උර­හිස් කොනක
සිහි­න­යක ගෑ සුවඳ සේ මතක
මැකී ගිය දඩමං විලස අම­ත­කව ගිය
මත­කයේ ගැඹු­රුම තැන අද ඒ සුවඳ ..

මාවතේ ඇවිද යන මිනිස් රුවක
ඒ රුවම සැඟ­වෙලා පාව යත
දිය කර­න්නට හැදු මතක පෙරට පැන
ඒ මතක සිඹී හිඳ හද­වත් පතුල

චම්මින්ද වෙල­ගෙ­දර


පැළෑටි හා ගස්වැල්

ගසක් වුණත් අපි හැදෙන්නේ පරි­ස­ර­යේ­මයි
වැලක් වුණත් අපි හැදෙන්නේ පරි­ස­ර­යේ­මයි
පැළෑටි වන අපි ඉන්නෙත් පරි­ස­ර­යේ­මයි
අපි හැමෝම එක­මුතු වී හොඳින් ඉන්න­වයි

මට හැදෙන්න ලොකුම ඉඩක් ඕනෑ වෙනවා
පුංචි ඉඩක් තිබෙන තැනක අපිත් හැදෙ­නවා
කෙලින් ඉන්න මට හයි­යක් ඕනෑ වෙනවා
ඒක නිසා හැම­ති­ස්සෙම ගහක එතෙ­නවා

අපි හැමෝම එකතු වෙලා කෑම ගෙනෙ­නවා
අපි හැමෝම එකතු වෙලා ජලය රකි­නවා
සම­හර අය අපව මුලින් කපා දානවා
පෑවි­ල්ලට වතුර නැතුව ඔබ ළත­වෙ­නවා

අපි රැක දෙන්න සැවොම අපි රැක­දෙන්න
එපා කපන්න අපිව එපා මරන්න
පරි­ස­ර­යම අලං­කා­ර­වත් කර­ගන්න
අපි රැක ගන්න ආද­රය කරන්න

ශ්‍රීමතී කුමු­දුනී


 එතෙර කවිය

වැසුණු දොර­වල් Closed Doors

වැසුණු දොර­වල්,
වෙසෙ­සින් ම මුරිච්චි ඇණ යොදා
වසා ඇති කල
පිළි­කෙව් කරනු කිම? - අන් තැන­කට යෑම
තට්ටු කර­මින් ඉනුයෙ කුමට? ඒ දොරට ම
රැඳී ඇති සේ ඔබේ ඊළඟ හුස්ම
පිළි­තුරු දෙන කෙනකු මත
දොර හරින කෙනකු මත...

හේතු­ව­කට ය එය වැසී තිබෙ­නුයේ,
එදොර පිටු­පස නොවනු ඇති
ඔබේ ඉර­ණම රැ‍ඳෙනුයේ...

නව­තන්න තට්ටු කිරීම
නව­තන්න ඇතු­ළට යනුව වැර යෙදුම
වෙනස මනාය
විටෙක අති­අ­වැ­සිය...

යන්න නොනැ­වතී,
සොය­නුව ලොවෙහි ඔබේ තැන....

විල්මා නීල්ස් - දකුණු අප්‍රි­කාව

කිවි­ඳිය අද­හස් කරන්නේ ජීවන ගම­නේදී හෝ ඒ තුළම යෙදෙන අනු­ෂාං­ශික අභි­යෝ­ග­ය­කදී හෝ හමු වන වැසුණු දොර­වල් සේ පෙනේ. එහිදී, එක් ඉල­ක්ක­යක, එක් අභි­ලා­ෂ­යක, එක් අපේ­ක්ෂා­වක පම­ණක් නොඇලී විකල්ප මාර්ග උරගා බැලිය යුතුය යන්න කිවි­ඳි­යගේ දැක්ම බව නිර්මා­ණ­යෙන් ගම්‍ය වේ. යම් දොරක් වැසී ඇත් නම් ඊට හේතු­වක් ඇතැයි ද, වෙන­සක් ඇතැම් තැනක අත්‍ය­වශ්‍ය වෙතැයි ද කීම තියුණු කාව්‍යා­ත්මක අද­හස් දෙකකි.
විල්මා නීල්ස්, දකුණු අප්‍රි­කාවේ කේප්ට­වුන් නග­රයේ ඉපිද, දැන­ටත් එහි ම වෙසෙන, සුදු ජාතික නූතන කිවි­ඳි­යකි. දෙසැ­ම්බර් 25 දා තම උප­න්දි­නය බව දක්වන ඇය, නව පුදුම හතෙන් එකක් වන අත්‍ය­ලං­කාර, විස්ම­යා­හ­වාහ Table Mountain කන්ද, ඇගේ උදා නැර­ඹුම් ඉල­ක්ක­ය­න්ගෙන් එකක් බව පව­ස­න්නීය. “Whispers From my Soul” ඇය 2012 දී පළ කළ පද්‍ය සර­ණි­යයි.

දේ. වි. ගාල්ලගේ
 

Comments