පෑනක් අරගෙන වාඩි වුණා. මොනවහරි ලියන්න හිතුණා. මුලින්ම ලියන්නම් ලෝකයට මොන තරම් සන්නිවේදන ක්‍රම එකතුවෙලා තියෙනවද? ඇගිලි වැඩ කරන කොට තප්පර ගණනකින් පණිවිඩය ගිහින් දැන් බලන්න රා අරක්කු විස්කි බ්‍රැන්ඩි තව බොහොම නම් වලින් අලුත් අලුත් ජාති ඒ වුණාට අලුතින් ඇවිල්ල නෑ කිසි දෙයක්... ඇයි මතක නැද්ද “නටත්” අයෙක් සුරාමතින් කියල පොතක තිබුණා. ඊයේද පෙරේදද නෑ හුගාක් ඉස්සර . නම් වෙනස් වුණා... හදන ක්‍රම වෙනස් වුණා... මිල ගණන් ඉහළ ගියා... එකම දේ... මම මේක විතරක් “ලියන්නම් සුරාමතින්” ඒක තමයි සාරාංශය.
මට තව එකක් මතක් වුණා. බමුණු පියා දියණිය විවාහ වන දිනයේ අවවාදයක් ලෙස දියණියට කියනව තමන් හිමි වෙන අතක සෙනෙහස සිදුවහොත් “නුවන් කඳුළින් මිස කිසිත් නොකියන් බසින් පිළිවිස” කියලා. බමුණාට බයයි. වැරදිලාවත් එහෙම දෙයක් වුණොත් වචන අහුරකින් දමල ගහල දියණිය අලුත් ජීවිතය නාස්ති කරගනියි කියල. හැබැයි එයා කියල දෙනව පොඩි කාලෙ වගේ අඬල දිනන්න. බලන් යනකොට අද සමාජයට දොස් කියල වැඩක් නෑ... ඒකත් අලුත් දෙයක් නෙමේ. එදත් තිබුණ. අදත් තියෙනව. පරණ දේවල් අලුත් අලුත් නම් වලින් , නෙක නෙක මෝස්තරවලින් එනවා...එච්චරයි... ඒකත් එහෙමයි. පොතක තිබුණා...
මට තව දෙයක් මතක් වුණා. අපිත් පොඩි ප්‍රශ්නයක් ආවම ගෙදර තියෙන කේන්දර ටිකත් අරගෙන යනව ඒවා බලාගන්න. හුඟක් ප්‍රසිද්ධ කෙනෙක් ළඟට... දෙන්නෙක් ළඟට නැත්නම් දන්න අය ළඟට. ගිහින් බලනව ඔක්කොම කිව්වේ එකම දේද නෑ නේද. ඒකනේ ඉස්සර අපේ අම්මල කියන්නේ ඔළුවේ ඉන්න උකුණවත් දන්නේ නෑ මොනව වෙනවද කියලා... දැන් සිදුහත් කුමාරය උපන් වේලාවේ ඒ පස්දෙනාගෙන් තුන් දෙනෙක් කිවුවේ එකක්. දෙන්නෙක් කිව්වේ තව එකක්. එ්කත් පොතක තිබුණා...
හැබැයි පොතක තිබුණා කියල අද නම් එහෙම ආවොත් පාර වරදීවී, සැලළිහිණියෝ, නුඹ දන්නේ නෑ දැන් පාරවල් වෙනස් වෙලා සුවදැල් කෙසෙල් පැහෙන කම්ම තියන්න බෑ... ඒවා යන්තම් පැහෙනකොටම කපල බෙහෙත් ගහල හොර රහසේ ඉදෙන්නෙ. තවත් එකක් අහස සිඹින නිවාස සංකීර්ණ එකක් දෙකක් නෙමේ හැමතැනම සුවපහසු නිවාස. නෑ අධි සුවපහසු නිවාස. නෑ නෑ මම දන්නෙ නෑ මහපොළොව පෑගෙන්නෙ නැති ඔය තරම් සුවපහසු නිවාස මොනවද කියල. හැබැයි ළමා වසු පැටියන් නම් එදා වගේම අදත් හඬාවී, එයාට උපතින් උරුම වෙච්චි කිරි ටික වෙන මිනිසුන්ට දිලම එන්න වෙනවනේ... ඒ නිසා ඉතින් සැලළිහිණියෝ පාරවල් ගානේ හන්දි ගානේ කුණු කඳු ගොඩගැහිලා ඒවත් නොබලාම එළඹ සිටි සිහිනෙන් එන්න කැලණි පුරවරයට එන්න... ගුත්තිල පඩිතුමාගේ ගෝලයා වෙච්චි මුසිල ඉල්ලුවේ වැඩි වැටුපක් නෙමේ සම වැටුපක්. අද එහෙම වුණොත් මොනවා වේවිද මන්දා... ඇත්තටම හිතෙන දේවල් කොහොම වුණත් එකත් තිබුණේ පොතක...
ගේ ඇතුළෙ පොඩි සද්දයක්. හැරිල බලන කොටයි තේරුණේ කරන්ට් ගිහිල්ලා. පොල්කිරි ටික හදාගත්තෙත් නෑ... බත උයාගත්තෙත් නෑ... රෑට වත් කරන්ට් එක නැත්නම් ෆෑන් එක නැතුව මොනව කරන්නද මන්දා? හරියටම සුනාමියක් ඇවිල්ල වගේ ගෙදර අයගෙ කතාව...
ළිපේ ලස්සනට බත උයාගන්තා, පොල්කිරි ටික අගේට හදාගත්තා, අපිටත් ගෑස් ළිප ආවා. ඊට පස්සේ රයිස් කුකර් එක ආවා. දැන් තමයි තේරෙන්නේ නෑ පොතක තිබුණා... අලුත් අලුත් දැ නොතකන ජාතිය ලොව නොනගී කියලා...
ඇත්ත නේන්නම්! තරුණ පරම්පරාව කොහොම රිවර්ස් වෙන්නද අපිටත් ආපසු හැරෙන්න බැරි නම්...