‘ඩිංගිරි මැණි­කාට’ වසර සිය­යයි ! | සිළුමිණ

‘ඩිංගිරි මැණි­කාට’ වසර සිය­යයි !

 

බටහිරි සංස්කෘතිය උසස් කොට සැලකූ ඉහළ පන්තියේ මිනිසුන් නිසා සිංහල සිරිත් විරිත් ඉවත දමමින් පරසිරිතට ශීඝ්‍රයෙන් ගොදුරු වු සිංහල සමාජය පියදාස සිරිසේන මහතාගේ විවේචනයට කවදත් ලක් විය. ඩිංගිරි මැණිකා හිදී ඔහු තම කාර්යය වික්‍රමපාල ලවා සිදු කරවයි. නම් ගම්, ඇඳුම් පැලඳුම්, කෑම් බීම්, කථාබහ ආදී සෑම දෙයක්ම සංකර වී තිබුණු සමයක අසිංහල ගෙදරක නැවතී ඉංග්‍රීසි ඉගෙනගත් ඩිංගිරි මැණිකා ද මේවාට ගොදුරුවීම පුදුමයක් නොවේ. රන් බණ්ඩාගේ අවවාදයෙන් ඇය යළිත් සිංහල කුල සිරිතට වෙනස් වීම වික්‍රමපාල අගය කරයි. බේබදුකම කවදත් කතුවරයා විසින් හෙළා දකිනු ලැබුවකි.

ඒ යුගයේ කීර්තිමත් සිංහල නවකතාකරුවා වු පියදාස සිරිසේන මහතා විසින් ‘ඩිංගිරි මැණිකා’ කෘතිය ලියා පළ කරන ලද්දේ 1918 දීය. ඒ අනුව ප්‍රථම සිංහල රහස් පරීක්ෂක නවකතාව ලෙස සැලකෙන මෙය ලියැවී මේ වසරට, වසර සියයකි.

පාඨක රුචිය වෙනස් වී ඇතත් “‍නොව පැරණිය වන රමණිය විටින් විට” කීවාක් මෙන් අද වුවද ‘ඩිංගිරි මැණිකා’ ආසාවෙන් කියවිය හැකි නවකතාවකි.

වසර සියයක් ගත වුවද කථා නායිකාව වන ඩිංගිරි මැණිකා තවමත් අපට පෙනෙන්නේ රූමත් තරුණියක ලෙසමය.

එදා මෙය අතිශයින්ම ජනප්‍රිය කෘතියක් වු බව 1956 දී එහි සයවන මුද්‍රණය නිකුත් වන විට පිටපත් 30,000 කට වඩා අලෙවි වී තිබීමෙන් සිතාගත හැකිය. 1956 දී මෙය චිත්‍රපටයට නැගීමෙන් පසුව පොතේ ජනප්‍රිය බව චිත්‍රපටයටද ලැබුණු බව එහි ආදායම් වාර්තාවලින් පෙනේ. එදා රුපියල් එක්ලක්ෂ හැත්තෑ පන්දහසක් වැය කොට තැනුණු චිත්‍රපටය, රුපියල් පහළොස් ලක්ෂයක් උපයා දී ඇත. චිත්‍රපටයේ වු ගිරිහෙල් මුදු‍ෙන්, පෙරදිග මුතු ඇ‍ටයයි මේ, සැබෑවේ සිහිනය මාගේ වැනි ගීත අදටත් ජනප්‍රියව පවතී.

කථා සාරය.

ගම්පොළ මීවිටිගල නිලමේගේ එකම දියණිය වු ඩිංගිරි මැණිකාට මහනුවර පරසිරිත් අනුගමනය කළ අසිංහල ගෙදරක නැවතී ඉංග්‍රීසි ඉගෙනුම ලබද්දී ධර්මරාජ විදුහලේ ඉගෙනුම ලබමින් සිටි තම ගමේම “පහත්” පවුලක තරුණ රන් බණ්ඩා හමු වෙයි.

රන් බණ්ඩාගේ අවවාදයෙන් ඇය පරසිරිත් ඉවතලා සිංහල කුල චාරිත්‍රවලට පුරුදු වෙයි. දෙ‍දෙනාගේ මිත්‍රත්වය ප්‍රේමයකට හැරේ. මෙය දැනගත් දෙමාපියෝ ඇය පාසලින් ඉවත් කර ගෙදර ගෙන එති. රන් බණ්ඩා ද ඉගෙනුම නතර කොට සිය ගමට අවුත් ගොවිතැන් කටයුතුවල යෙදෙයි. දෙදෙනාගේ ප්‍රේමය රහසින් මෝරයි. තමාව විවාහ කරගන්නා ලෙස ඇය ඔහුට බල කරයි. තම පන්තියේ කෙනෙකුට මැණිකා විවාහ කරදීමට දෙමාපියෝ සැරසෙති.

විවාහයට දින හතරකට පෙර රාත්‍රියේ රන් බණ්ඩා සමඟ නිවසින් පැන යාමට ඇය තීරණය කරයි.

එදිනම, ඒ වලව්වේ සිටි වැඩකාර ස්ත්‍රිය මැගීද වටිනා බඩුමුට්ටු කිහිපයක්ද සොරකම් කරගෙන පැන යෑමට සුදානම් වෙයි.

ගණදුරු රැයේ ඩිංගිරි මැණිකා සහ මැගීද වැරදි වාහනවල නගිති. වැරැද්ද තේරෙන විට බොහෝ දුරක් ගොස් අවසන්ය. සොරකු අතට පත් වුණු මැණිකා ගණේවත්තට එහා කැළයක හොරුන්ගේ වාඩියකට ගෙනයනු ලබයි. මැගී තම නාවලපිටියේ බත් කඩයට යයි.

වික්ෂිප්ත වු රන් බණ්ඩා නුවර යයි. පසුව, අධිකරණයෙන් රන් බණ්ඩාට වසර තුනකටත්, මැගීට මාස තුනකටත් සිර දඬුවම් නියම වේ.

ඩිංගිරි මැණිකා සොයා ගැනීමට ගත් සියලු පරිශ්‍රම ව්‍යර්ථ වේ. දස මසකට පසු මීවිටිගල නිලමේට පෞද්ගලික රහස් පරීක්ෂක කෝන්ගොඩ වික්‍රමපාල දුම්රියේදී හමු වේ. මාස දෙකක පරිශ්‍රමයෙන් අනතුරුව වික්‍රමපාල ඇය ‍හොර වාඩියෙන් මුදාගනී. පසුව ඇය හා රන් බණ්ඩා ද විවාහ වෙති.

කෝන්ගොඩ වික්‍රමපාල

කතාවේ කැපී පෙනෙන චරිතය කෝන්ගොඩ වික්‍රමපාලයි.

එහෙයින්ම පොත නම් කොට ඇත්තේ ඩිංගිරි මැණිකා ෙනාහොත් වික්‍රමපාලගේ ‘පළමුවන වික්‍රමය’ යනුවෙනි. ඉංග්‍රීසි පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වු රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් චරිතය, සර් ආතර් ‍කොනන් ‍ඩොයිල් විසින් නිර්මාණය කෙ‍රුණේ 1887 දීය. සිංහල පාඨකයන් අතරට රහස් පරීක්ෂක වික්‍රමපාල පැමිණෙන්නේ ඉන් වසර 31 ට පසුවය.

මේ දෙදෙනාම රහස් පරීක්ෂකයන් වුවද දෙදෙනා විසින් ඉටු කරන කාර්යය දෙවිධියකි. ෂර්ලොක් හෝම්ස් සිය කාර්යය රහස් පරීක්ෂාවට පමණක් යොදවන අතර, වික්‍රමපාලගේ කාර්යය ඊට වඩා විහිදී ගිය සංකීර්ණ එකකි. මේ පිළිබඳව පසුකාලීන වි‍වේචකයෙකු දක්වන අදහස වැදගත්ය.

“සාමාන්‍ය සිංහලයා බටහිර ගැතිව, බටහිරට ආවඩන අවධියක ජාතික සංස්කෘතිය, ආගම, භාෂාව, සිරිත් විරිත් නගා සිටුවීම මේ දේශප්‍රේමින්ගෙත්, පියදාස සිරිසේනගෙත් ප්‍රයත්නය විය. මේ සඳහා පියදාස සිරිසේන නවකතා ලීවේය, කවි ලීවේය, පත්‍රයක් ප්‍රසිද්ධ කළේය, සඟරාවලට ලිපි ලීවේය, ප්‍රසිද්ධ කථා පැවැත්වුයේය, සිර දඬුවම් වින්දේය, දිවා රෑ ‍නොතකා තම ධනය, ශ්‍රමය, කාලය හා නිදහස කැප කළේය.

මොහුගේ මෙවැනි උත්සාහයක ප්‍රතිඵලයකි. කෝන්ගොඩ වික්‍රමපාල. වික්‍රමපාලගේ චරිතය තුළින් රහස් පරීක්ෂකයෙක්, සමාජ ශෝධකයෙක්, ජාතික වීරයෙක්, අමද්‍යප ව්‍යාපාරිකයෙක්, ධර්මධරයෙක් හා දේශප්‍රේමියෙක් පිළිබිඹුව පෙනෙයි.

පියදාස සිරිසේනට මේ චරිතය නිර්මාණය කිරීමට අවශ්‍ය ආභාසය ලැබුණේ එකල ඔහුට ඇසුරු කිරීමට ලැබුණ පුද්ගලයන්ගෙනැයි කල්පනා කළ හැකිය.

කෝන්ගොඩ වික්‍රමපාල චරිතය, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා තුළ පිළිබිඹු වන ලකුණු රාශියක් ඒකී භූත‍ෙකාට නිර්මාණය කරන ලද්දක් බව සිතිය හැක. ධර්මපාලතුමෝ පර‍දේශීය දෙයට, පරසිරිතට, ජාති විරෝධී දෙයට, ආගම් විරෝධී දෙයට නිර්ධය ලෙස පහර දුන්හ.

උසස් පහත් භේදයක් නොතකා වරද දුටු තැන වරදට පහර දුන්හ. නියම ජාතිකාභිමානයෙන් සිංහලයා නගා සිටුවීම සඳහා දේශනා පැවැත්වුහ.

රටපුරා ඇවිද රටවැසියා හික්මවීමට අවස්ථාව ලද හැම විටදීම එසේ කළහ. කෝන්ගොඩ වික්‍රමපාල චරිතයද පියදාස සිරිසේනයන් විසින් ගොඩනගා ඇත්තේ මේ පදනම උඩයයි නිගමනය කළ හැකිය. ’’ (ජී.ඒ. ඉඳුරුගොල්ල)

කෝන්ගොඩ වික්‍රමපාල ඩිංගිරි මැණිකා සොයමින් ගම් දනව් පුරා යන ගමනේදී ඔහුට හමුවන විවිධ පුද්ගලයින් හා කරන කතාබහෙන් ද දකින දෙයින් ද එදා මෙරට සමාජිකත්වය පිළිබඳ ‍හොඳ අවබෝධයක් ලබාගත හැකිය.

සිංහල ආත්මාර්ථකාමිත්වය

සිංහල මිනිසුන්ගේ ආත්මාර්ථකාමීත්වය කිහිප තැනකදීම ඔහුගේ විවේචනයට ලක් වේ. දුම්රියේදී දුර්වලයන්ට සිය ආසන නොදී සුවසේ වාඩි වී සිටි තරුණයන් විවේචනය කිරීම මෙහි පළමුවැන්නයි. මාතර සිංහල බෞද්ධ ධනවතුන් සමාජ සේවා කටයුතුවල නොයෙදීමත්, බෞද්ධ දරුවන් සඳහා පාසල් ඉදි කිරීමට ඉදිරිපත් නොවීමත් ඔහුගේ නිර්දය විවේචනයට ලක් වේ. කර්නල් ඕල්කොට්තුමා විසින් බෞද්ධ නායකයන්ගේ ආධාර ඇතිව 19 වන සියවස අවසානයේ පටන් ගත් බෞද්ධ පාඨශාලා පිහිටු වීමේ ව්‍යාපාරය, මේ වන විටත් මාතරට නොපැමිණි‍යා සේය.

අනුරාධපුරයට යන ඔහු පාසල් හා අනාථ නිවාසවල අවශ්‍යතාව දකී. පරංගි සෑදී බඩ ඉදිරියට නෙරා අවුත් දුක්විඳින දුප්පත් දරුවන් සඳහා අනාථ නිවාස පිහිටුවීමට තරම් පරාර්ථකාමීත්වයත් ජාති හිතෛෂී යැයි කියාගන්නා නායකයන් තුළ නොවීමද ඔහු විවේචනය කරයි.

පන්ති භේදය හා කුල භේදය ද වික්‍රමපාලගේ අවධානය ලබයි.

මීවිටිගල නිලමේ සිය දියණිය රන් බණ්ඩාට විවාහ කර නොදෙනේනේ ඔහු පහත් පන්තියකට අයත් බව කියමිනි.

“අනේ මහත්මයෝ මොනවා කියනවාද, ඒ රන් බණ්ඩා කියන්නේ අපේ නින්දගමේ අපට මෙහෙ කරන කපුරුහාමිගේ පුතාය. එබඳු පාත පවුලකට අපේ ළමයකු දෙන්නේ කොහොමද?” මේ නිලමේගේ වචනයි.

වෘද්ධ තෙරුන් කෙනකු සමඟ කරන කථාබහේ දී කුලවාදය මතු වේ. මෙහිදී ‘කුල පුත්‍රයන් මහණ කිරීමද’ ඔහු විවේචනය කරයි. ඔහු මෙසේ ද කියයි.

“ගුණ ධර්මයෙන් පිහිටි සත් පුරුෂයන්ගේ කුලය, උසස් කුලයයි. අධර්මවාදී අසත් පුරුෂයන්ගේ කුලය, නිච කුලයයි.

තමුන්නාන්සේලාට මේ උසස් කුලයේ මිනිසුන් මහණ නොකොට බොහෝ පහත් කුලයේ අය මහණ කරති. ශාසනයත්, ජාතියත් විනාශ වුණේ ඒ වැරැද්දෙනි.

පගාව එදත් මෙරට පැවති විෂමාචාරයකි. හිරගෙදර ගාඩ්කමක් ලබාගැනීම සඳහා එළු ගාතයකුත්, ලොකු ගෝවා ගෙඩියකුත් රැගෙන ඔහු ඉහළ නිලදරයකු හමු වෙයි. එම නිලධාරියා රුපියල් 15ක පගාවක් ඉල්ලයි.

“පියුන්ගේ පටන් දෙපාර්තමේන්තුවක අල්ලස් නොගන්නා කෙනෙක් සම්භවීම වල්ගා තරුවක් දකින්නට ලැබීම වැනි ආශ්චර්යය අද්භූත කාරණයකි. මේ කාලයේ යුත්තියක්, ධර්මයක් කෙසේ ඉෂ්ට වේද?’’ මේ වික්‍රමපාලගේ වචනයි.

බටහිරි සංස්කෘතිය උසස් කොට සැලකූ ඉහළ පන්තියේ මිනිසුන් නිසා සිංහල සිරිත් විරිත් ඉවත දමමින් පරසිරිතට ශීඝ්‍රයෙන් ගොදුරු වු සිංහල සමාජය පියදාස සිරිසේන මහතාගේ විවේචනයට කවදත් ලක් විය.

ඩිංගිරි මැණිකා හිදී ඔහු තම කාර්යය වික්‍රමපාල ලවා සිදු කරවයි. නම් ගම්, ඇඳුම් පැලඳුම්, කෑම් බීම්, කථාබහ ආදී සෑම දෙයක්ම සංකර වී තිබුණු සමයක අසිංහල ගෙදරක නැවතී ඉංග්‍රීසි ඉගෙනගත් ඩිංගිරි මැණිකා ද මේවාට ගොදුරුවීම පුදුමයක් නොවේ. රන් බණ්ඩාගේ අවවාදයෙන් ඇය යළිත් සිංහල කුල සිරිතට වෙනස් වීම වික්‍රමපාල අගය කරයි.බේබදුකම කවදත් කතුවරයා විසින් හෙළා දකිනු ලැබුවකි.

මත්පැන් නිසා ජාති‍යේ නිදහස නැති වී බ්‍රිතාන්‍යයන්ට යටත් වීමට සිදු වු අයුරු ඔහු නොයෙක් තැන පවසා ඇත.

විනාශකාරී මත්පැන් ඔහු තම සතුරන් මර්දනයට යොදාගනී. ඩිංගිරි මැණිකා සොරමුලෙන් මුදා ගැනීමට ඔහුට ආධාර වන්නේ නිදි බෙහෙත් දැමූ අරක්කුය. සොරුන් සිය ජයපානය බොමින් එකා පිට එකා ඇද වැටෙද්දී ඔහු ඩිංගිරි මැණිකා බේරාගෙන එතැනින් පලා යයි.

කව් රස

 

සිරිසේන මහතාගේ අනෙක් කෘතිවල මෙන්ම මෙහිද රසවත් කවි ගණනාවක් වෙයි. ඒ අතරින් රන් බණ්ඩා හිරගෙදර සිටිමින් මැණිකේ ගැන ලියු කවිපෙළත්, මැණිකේ හොරුන්ගේ ග්‍රහණයේ සිටිමින් රන් බණ්ඩා ගැන ලියු කවි පෙළත් ඉතා ජනප්‍රිය විය. රන් බණ්ඩාගේ කවියක වු “මට හිරගේ හොඳයි නුඹ ඉඳිතොත් සැපෙනි”යන්නත්,

මැණිකේගේ කවි පෙළ අවසන් වන “දුක් බව නසන තුරු ඔබමය මගේ හිමි” යන්නත් බොහෝ කාලයක් තිස්සේ පෙම්වතුන්ගේ ලයාන්විත පාඨ විය.

කතා රසය පමණක් සඳහා නොව සමාජ ශෝධනය සඳහා ද වසර සියයකට පෙර පියදාස සිරිසේන මහතා විසින් සිංහල නවකතා සාහිත්‍යයට දායද කළ ‘ඩිංගිරි මැණිකා’ අදත් නවතාවයෙන් කියවිය හැකි කෘතියකි.

 

Comments