අලුත් අවුරුද්දට අලුත් දැක්මක්! | Page 8 | සිළුමිණ

අලුත් අවුරුද්දට අලුත් දැක්මක්!

අලුත් අවුරුද්ද යනු සැබැවින්ම අලුත් දැක්මක්, අලුත් කියවීමක් සහිත අලුත් මිනිසකු බිහි වීමයැයි සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියා සිටී. ඒ නිවේදනයේ මෙසේද සඳහන් වෙයි:

යුගයෙන් යුගය මානව ශිෂ්ටාචාරය පරිණාමය වූයේ සංස්කෘතික මිනිසාද පරිපූර්ණත්වයට පත් කරමිනි. ලොව විවිධ ජාතීන් සමරන ඔවුන්ගේ ජාතිකත්වයට අනන්‍ය වූ සංස්කෘතික උලෙළ කෙරෙන් පැවසෙන්නේ ඔවුන් තම චිරාගත උරුමයන්ට දක්වන ළබැඳියාව සහ අපරිමිත වූ කැපවීමයි. සිංහල-දෙමළ අලුත් අවුරුද්ද කෙරෙන්ද සම්ප්‍රේෂණය වනුයේ පෙරදිග වාසීන් වන අප සතු උදාරත්වයේ විශිෂ්ට පිළිබිඹුවය.

අලුත් අවුරුද්ද යනු, සැබැවින්ම අලුත් දැක්මක්, අලුත් කියැවීමක් සහිත අලුත් මිනිසකු සමාජයට පිළිගැන්වීමය. නොනගතය නම් සංක්‍රාන්තිමය විරාමය තුළ ස්වයංහැදෑරීමකට අනුගතව, අවුරුදු චාරිත්‍ර සමඟ ගනුදෙනු කරන මේ අලුත් මිනිසා, අලුත් අවුරුදු උදාවත් සමඟ සමාජයට ප්‍රවේශ වන්නේ සාමකාමි සහජීවනය සහ සමාජ සංහිඳියාව කැටුව නෑගම් යන සමීප ඥාතියකු ලෙසිනි.

අන්‍යොන්‍ය බැඳීම් සහ සමාජීය සබඳතා එරබදු කැකුළු සේ විකසිත කරනු ලබන චිරාගත සිරිත්-විරිත් සමඟ බැඳුණු අලුත් අවුරුද්ද, මිනිස් සිතිවිලි පරාසය පරමාදර්ශි සුවඳින් දෝවනය කරමින් අනාගතයට ගලා යන්නේ අපේ ගැඹුරු අව‍බෝධය සහ අප අලුත් අවුරුද්දට දක්වන ගෞරවනීය පිළිගැනීම ඔස්සේය.

මුළුමහත් ජන සමාජයකට සාධනීය ගුණ යහපත්කම් සහ ආචාරධර්ම වපුරන මේ මහාසාර සංස්කෘතික මංගල්‍යය ගැඹුරින් හදාරා, උත්කර්ෂවත් ලෙස සැමරීම කෙරෙන් සාමය සහ සෞභාග්‍යය නම් අස්වැන්න නෙළාගැනීමට අපට නිසැකවම හැකි වනු ඇත.

සොබාදහමත් මිනිසාත් අතර වන ආදිකල්පිත අවියෝජනීය බැඳීම්ද මිනිසා සතු කෘතවේදීත්වය පිළිබඳ ආස්වාදනීය කැප වීමද අලුත් අවුරුදු චාරිත්‍ර ඔස්සේ වරනැ‍‍ඟෙනුයේ අපේ ආදිතමයන්ගේ උත්තුංග ගුණයහපත්කම අප හමුවේ විදහාලමිනි.

එවන් මහරු සාරධර්ම යාවත්කාලීන කරමින් සිංහල-දෙමළ අලුත් අවුරුද්ද සමරන එතෙර-මෙතෙර වැසි සමස්ත ශ්‍රී ලාංකිකයන්ට සාමය, සෞභාග්‍යය සපිරි ඉසුරුමත් අලුත් අවුරුද්දකට මාගේ සුබපැතුම් පිරිනමමි. 

 

 

Comments