
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භ වූයේ 1982 පෙබරවාරි 14 දින දීය. රූපවාහිනිය ආරම්භ වී දින කීපයකින් එදවස නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාවූ (වැඩසටහන්) එච්. එම්. ගුණසේකර මහතා ඔහු හමුවීමට පැමිණෙන ලෙසට මට දන්වා එවා තිබුණි.
ගෘහ භාණ්ඩවලින් තොර හිස්වූ ශාලාවක පදම් කළ රබර් ලීයෙන් තැනූ මේසයක තම රාජකාරි කටයුතුවල නිරතවී සිටි ගුණසේකර මහතා ආගිය තොරතුරු විමසීමේ සුහද කතා බහකින් පසු ළඟ එන සිංහල අවුරුද්ද තේමා කොට වෙසෙසි අවුරුදු රූපවාහිනී වැඩසටහනක පිටපත ලියාදෙන මෙන් මට ආරාධනා කළේ ය. එම වැඩසටහනේ නිෂ්පාදන කටයුතු තිලක් ගුණවර්ධන මහතාට පවරන ලද අතර ඈත ගම් දනව්වලදී කළයුතු බාහිර පටිගත කිරීම් සංවිධානය හා වගකීම මා වෙත පැවරුණි.
සිංහල අවුරුද්ද කෘෂිකර්මය හා වෙසෙසින්, වී ගොවිතැන හා බැඳී පවත්වන්නකි. මෙය සශ්‍රීකත්වය මූර්තිමත් කරන උලෙළක් ද වෙයි. අවුරුද්ද පිළිබඳ අලුත් මුහුණුවරක වැඩසටහනක් කිරීමේ මසිත්හි පැවති අභිප්‍රාය නිසා උඩරට පෙදෙස් බඳව කෙරෙන අප්‍රකට අවුරුදු සිරිත් විරිත් කෙරෙහි අවධානය යොමු කිරීමට මසිත් ඇදී ගියේ ය.
ශ්‍රී දළදා මාලිගාව මඟින් දිවමන් බුදු හිමියන් උදෙසා පැවැත්වෙන වාර්ෂික සතර මංගල්‍ය පූජා අතර බක් මහේ කෙරෙන අවුරුදු මංගල්‍යයට හිමිවන්නේ වෙසෙසි තැනකි. මාලිගාවේ සෙසු මංගල්‍යය වන්නේ අලුත් සහල් මංගල්‍යයය, පෙරහර මංගල්‍යය, කාරති මංගල්‍යය යන මංගල්‍ය තුනකි.
විවිධත්වයෙන් පිරිපුන් වාර්තාමය වැඩසටහනක් වශයෙන් සකස් කළ මේ සඳහා යොදාගත් නම ‘අවුරුදු සිරිත’ යන්නයි. උඩරට කඳුකර ගම්මානවල සුරැකිව පවත්නා අවුරුදු සිරිත් විරිත් රාශියකි. මහ කන්නයේ කුඹුරු කපා අටු කොටු පුරවා පැවැත්වෙන ‘බුදු මඟුලේ යෑමේ’ සිරිත මහනුවරට නුදුරු ගොඩමුන්න, කපුලියද්ද, නුගලියද්ද හා බූටාවත්ත ආදී රමණීය ගම්මානවල සිදු කෙරේ. කුඩා දරුවනට අකුරු කරනට එදවස භාවිතා වූ නම් පොතේ පළමුවට සඳහන් ‘සගම’ විහාරය කේන්ද්‍රකොට පැවැත්වෙන මෙම සිරිත සිංහල අවුරුද්දෙන් පසුව කෙරෙන පළමු පිංකම ලෙස ද සැලකේ.
අවුරුදු සිරිත
“අවුරුදු සිරිත” ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කළ පළමු බාහිර පටිගත කිරීම ලෙස මෙරට රූපවාහිනී වංශ කතාවේ ලියවෙන්නකි. 2018 වර්ෂය වන විට අවුරුදු සිරිත රූපවාහිනියෙන් ප්‍රචාරය කර අවුරුදු 36 ක් ගත වෙයි.
මෙය මෙහෙයවූ කණ්ඩායම එකමුතුව මහත් කැපවීමෙන් ක්‍රියා කළ කණ්ඩායමකි. රූපවාහිනියේ කැමරා අංශයේ ප්‍රධානියාවූ විමල් පෙරේරා මහතා ‘අවුරුදු සිරිත’ කැමරා ශිල්පියා වීම මෙහි සාර්ථකත්වයට එක් හේතුවක් විය. විමල් පෙරේරා මහතා පසු කලෙක රූපවාහිනී නිෂ්පාදන සේවා අංශය බාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ධූරය ද දැරීය. පසු කලෙක මා රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය දරන සමයේ ඔහුගෙන් ලද සහය මෙහිලා කෘතඥ පූර්වකව සඳහන් කරමි. අවුරුදු සිරිත පටිගත කිරීම් කෙරෙන සමයේ අප සමඟ දින කීපයක් ගත කළ අරීසෙන් අහුබුදු සූරීන්ගේ මෙන් ම මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස, මහාචාර්ය පී.බී. මීගස්කුඹුර ආදී වියතුන්ගේ මිත්‍ර සමාගම ද අතීත ස්මෘතියේ තවමත් රැඳී පවතී. මහනුවර ප්‍රදේශයේදී සංවිධානය වූ පටිගත කිරීම්වලදී අපේ තාවකාලික නවාතැන ලෙස තෝරාගත්තේ කටුගස්තොට මහවැලි ගඟ බඩ පිහිටි මහවැලි අමාත්‍යාංශය අයත් නවාතැනයි. එහි ගත කළ රාත්‍රිය ශාස්ත්‍රීය කතාවලින් මෙන් ම විහිළු තහළු වලින් ද ගෙවී ගිය රම්‍යවූ රාත්‍රියකි.
ගොඩමුන්නගම පියකර දසුන් මවන ගොඩමුන්න ගමේ පැරණි අම්බලම වටා ඇති ලී කඳන් මත හිඳ වියතුන් කළ සාකච්ඡාව අලුත් අවුරුද්ද පිළිබඳව විවිධ දෘෂ්ටි කෝණවලින් බැලීමට අප පොලඹවන්නක් විය. මෙම වියතුන්ගේ පළමු බාහිර රූපවාහිනී අත්දැකීම ද මෙය බැව් සැලවිය.
පටිගත කිරීම් බොහොමයක් කෙරුණේ පහත හේවාහැටට අයත් ‘ගොඩමුන්න’ ගම් පියසේ පිහිටි වෙල් එළිවල සහ ඈතට මනරම් හුන්නස් ගිරි කඳුපෙළ දිස්වෙන ගොඩමුන්න උප තැපැල්හල අසල ඉපැරැණි අම්බලමේ ය.
මල්වතු අස්ගිරි මහා විහාර මුල් කර සිදුකෙරෙන අවුරුදු චාරිත්‍ර පිළිබඳ මට අනේක විධ තොරතුරු ලබාදුන්නේ නාථ දේවාල විහාරාධිපති වැඩ විසූ මහාචාර්ය වරකාවේ ධම්මාලෝක නාහිමියෝය.
“ඛණ්ඨ ස්නානය’ මහනුවර රාජධානි සමයේ සිට භික්ෂූන් වහන්සේ අතර පැවතෙන චාරිත්‍රයකි.
නාථ දේවාලයේ සිට පෙරහැරින් රැගෙන එන තෙල් ඇඹුල් අවට විහාරවලට ගෙන ගොස් සංක්‍රාන්ති වේලාව තුළදී නැකතට උගුරේ (ඛණ්ඨයේ) ගා ගැනීම ඛණ්ඨ ස්නානය නමින් හැඳින්වේ.
මල්වතු විහාර පෝය ගෙයි සිදු කෙරුණ මෙම උත්සවයේ අවස්ථා අවුරුදු සිරිත වැඩ සටහනින් නැරඹීමේ හැකියාව රූපවාහිනී ප්‍රේක්ෂකයාට ලැබුණි. මල්වතු විහාරයේ පෝයගේ බුදු පිළිමය අභියස කැටපතක් මතට වැටෙන බුදු රූ සේයාව ග්‍රීවයේ (ඛණ්ඨයේ) භික්ෂූන් වහන්සේ විසින් කෙරෙන ඛණ්ඨ ස්නානය රහසිගතව කෙරෙන චාරිත්‍රයකි.
රඹුක්කන අවුරුදු සිරිත වැඩසටහනේ වෙසෙසි අංග රාශියක් පටිගත කිරීමට තෝරාගත්තේ රඹුක්කන ප්‍රදේශයයි. එක් පසෙකින් මීදුම් බාන කෑගලු මීපිටිය කඳු පෙළ ද තවත් පසෙකින් පරපේ කඳු වැටිය ද සොබාමත්ව දිස්වෙන බෙලිගොඩ පිටිය වෙල් එළිය කෙළිමඬලක් බවට පත් විණ.
කැමරාවට ඈතින් කුරිණි පෙට්ටි හිස මත දරාගෙන අවුරුදු නෑගම් යන ගම් දරුවන් හා ගැමියන්ගේ දර්ශනයකි. විමල් පෙරේරාගේ කැමරාව සමීප රූපයක් ලෙස වැලඳගෙන සිටියේ ජේ.බී. දිසානායක, මහාචාර්ය තුමා කරන අපූරු විග්‍රහයයි. පහළ බෑවුමේ ලියද්දක ඔහු කැමරාවට මුහුණලා කතාව කරමින් සිටියේය. ඔහුගේ අවධානය එක එල්ලේ යොමු වූයේ කැමරාවට පමණි. කතාව අතර කොහෙන්දෝ අං මදිමින් එක පිම්මේ කඩා වැදුණු ගොං නාම්බාගෙන් ජේ.බී. දිසානායක සූරීන් බේරුණේ අනූනවයෙනි. අවට සිටි පිරිස මහ හඬ නඟා කෑමොර දීමත් සමඟ ගොං නාම්බා ආපසු හැරුණි.
රඹුක්කන වතුගල පාමුල ගම ගෙදරක මිදුලේ සිටි අරීසෙන් අහුබුදු සූරීහු අවුරුදු ක්‍රීඩා පිළිබඳව කළ විවරණය අප ස්මෘතියේ තවමත් පිළිරැව් නැගෙයි. එමෙන් ම එතුමන්ගේ අපූරු විවරණය බලි තරු රාවණ යුගයේ ඉතිහාසය තෙක් දිවෙන්නක් විය.
ළමයින් වට වී ගම ගෙදරක ගෙමිදුලේ කළ රෝදෑ රෝදෑ මල් වලා ගීය එතුමා පැහැදිලි කළේ හිරුට ඇති අපේ සම්බන්ධය ද ගෙන හැර පාමිනි.
මහාචාර්යවරු තිදෙනෙක් මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මහතා අවුරුද්දේ සංස්කෘතික වටිනාකම දෙස අලුත්ම සිතා බැලීමට මග පෑදූ අතර මහාචාර්ය මීගස්කුඹුර ඇදුරුතුමා අවුරුදු සිරිත් - විරිත් නව දෘෂ්ටිකෝණයකින් බලා විවරණය කළේ ය.
“අවුරුදු සිරිත” රූපවාහිනී වැඩසටහන ආරම්භ වූයේ මිහිදුම්බර හුන්නස්ගිරි කඳුකරය ඈතින් දිස්වෙන ගොඩමුන්නේ වක්කුඹුර වෙල්යායෙනි. ගමට පිවිසෙන වළන් කත් කරුවෙකුගේ දසුන වෙල් එළියෙන් මතුවිණ. පසු බිමෙන් ඇසුෙණ් අමරදේවයන් ගායනා කළ මවිසින් ලියන ලද අතුරු මිතුරු ගීයෙනි. එම ගීතයෙන් වර්ණිත ශ්‍රව්‍ය රූපවලට ගැළපෙන කදිම දෘශ්‍ය කාව්‍යයක් සංස්කරණයේදී නිර්මාණය කිරීමට තිලක් ගුණවර්ධනයෝ සමත්වූහ.
අතුරු මිතුරු දඹදිව තුරු
ගහ වැල මල් ලන පිය කරු
කොවුල් ගීත සරින් මියුරු
අවුරුදු ඇවිදින් සුමිතුරු
උන් සිලි සිලි සිල්ල මලේ
සිහින් සේල සෙමෙන් සැලේ
මී අඹතුරු සෙව ණැල්ලේ
බැඳුණු රුවන් ඕ විල්ලේ
හමන පවන් සිහිලැල් ලේ
ඉහළ නැගෙමු නැළැ විල්ලේ
මලින් මලට බඹර දැලේ
මියුරු කිකිණි ගිගිරි සැලේ
වසත් කුමරි පෙමට ලොලේ
ඇසක් නෑර සතුට දිලේ
මල් වාරම් හඬ දෑලේ
ඇසේ ඇසේ නව තාලේ
බැඳගෙන අත්වැල් මාලේ
අපිත් නැගෙමු පෙම් ඊලේ
තනුව හා ගායනය - විශාරද ඩබ්ල්ව්.ඩී. අමරදේව
රූපවාහිනි තාක්ෂණය අද තරම් දියුණු නොවූ යුගයක නිෂ්පාදිත අවුරුදු සිරිත අප කාට කාටත් අපූරු අත්දැකීමක් විය.
මෙහිදී උපයෝගී කරගත් ශිල්ප ක්‍රම හා නිෂ්පාදන ක්‍රමවේදය හා පර්යේෂණ ක්‍රියාවලිය රූපවාහිනී අභ්‍යාසයේදී හා වැඩසටහන් නිෂ්පාදනයේදී පරිසේවනය කිරීම ඉතා වැදගත් ය.