
දස මසක් කුස දරා කෝටියක් විලි රුජා උහුලමින් වැදූ දරුවාට මහ මෙරක් සේසතක් වූ අම්මා සිය දරුවා අකාල මේඝයෙන් වළකා රැකගත් මතකය අනුවේදනීය රූපකයනට නැගෙයි. ඇය සිය දරුවාට රුකුලක් වුණේ වැසි වට දා කනාටු හේනේ දී පමණක් නොවේ. රන් බණ්ඩා සෙනෙවිරත්නට අනුව, කොළඹ අහස කළු වී, මුහුද පරලවූ දවසක ඇද හැලුණ, නින්දා වැසි දිය, යෝද ඇලේ ගලන දිය කඳ මෙන් වියරුය. එය පැල නැති පාළු හේන් කනත්තේ දී කොටුවූ මහ වැස්සට වඩා දැඩිය. සැර පරුෂය. ඔටුන්න බිම දා දුවගෙන එන්නද අසන කවියා, අම්මාගේ සංසාරගත රැකවරණයට දෙනු ලබන වටිනාකමට තක්සේරවක් නැත.
අසංඛ්‍යෙයක් කිරි දරුවන් තම ජීවිතයෙහිදී නමෝ විත්තියෙන් අසන ළයාන්විත හඬ අම්මාගේය. එය සමහර විට නැළවිල්ලකි; කවියකි; ගීතයකි; නොඑසේ නම් අරුත් සුන් ස්වර පරාසයකි. ඒ අර්ථයෙන් ගත් කල ළදරුවකු නළවන හැම අම්මා කෙනකුම ගායිකාවකි. උපන් කිරිදරුවකුගේ හෘදය ස්පන්දනය පවත්වාගෙන යෑමට ඉවහල් වන නාදය අම්මාගේ හඬය. ඔහු නව ලෝකයේ තනිව සිදුවන්නේ කුමක්දැයි කල්පනා කරන විට මුලින්ම ඇසෙන්නේ අම්මාගේ හඬය. එදා සිට මිය යන තෙක් ඔහුගේ පැවැත්මට අවශ්‍ය ජීවන නාද රටා හඳුන්වා දෙන්නේ අම්මාය.
ඉණට පලා නෙළා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
අතට වෙරළු ඇහිඳ ගෙනේ
එයි අම්මා විගසකිනේ
යටලීයේ බැන්ද ගෝණි තොටිල්ලේ සිය කිරිකැටියා හොවා සොලවන අම්මා මෙසේ ළයාන්විතව ගැයුවාය. ඇය ගෙයින් පිට නොයා සිටින්නීය. එහෙත් ඇයගේ ගීය පුරා ඇත්තේ අම්මා නැති කිරි පැටවෙකුට නින්ද පමුණුවන යැදිල්ලකි. දරුවාට නින්ද ළඟා වන්නේත් අම්මාගේ නැළවිල්ල ඇයට නොදැනී වියැකී යන්නේත් එකටමය. ඒ නිමේෂයෙහි බිලින්දා නිදි සිහිනයේ පා වෙමින් සමහන් වේ. ඒ සමඟ මිදුලෙන් මතු වන ඇය අනෙක් කුඩා දරුවන් කොහේදැයි සොයන්නීය. ඔවුහු ඒ වන විටත් ගසක බැඳි ඔන්චිල්ලාවක පැද්දෙමින් සිටියහ. වැඩිමහල් දරුවන් දෙදෙනා වෙත යන ඇය, ලණු ඊලේ වාරම් වැඩි කරමින් ඔංචිලිචිලි චිල්ල මලේ... ආදි ලෙස යළි වාරම් කවි ගයන්නීය. සක්වළ තෙක් රාව දෙමින් නිනාද වන අම්මාලාගේ මේ නැළවිලි නාද රටා සංගීතයට මුල් වූ ස්වර පරාසය කියා දුන්නාට සැක නැත.
මෙසේ ඇගේ කවියෙන් ගීතයෙන් ස්වර සංකලනයෙන් ප‍්‍රබෝධවත් වූ කුඩා දරුවන් ලොකු-මහත්ව කී මවු ගුණ ගී කවි ද, අන්නතය; අප‍්‍රමාණය.
අම්මාවරු අප‍්‍රමාණ වේශයෙන් දරුවන් වෙනුවෙන් සසර සැරි සරන්නාහ. දරුවකුගේ ආත්මයට සිය මෑණියන් වඩාත් දැනෙන්නේ ඇය උකුත්ව ගිය ඉක්බිතිවය. සමහරු ඇය කළ-කී දේ සිහි කර තැවෙති. තවත් සමහරු ගුණ සුවඳ හමුවේ විලාප දෙති. මවුන් නැති සමහරු දරුවෝ ලෝකයේ අසරණ වෙති. ඊට හේතුව කිසි විටෙකත් අම්මා ළඟ සිටිනා තාක් දරුවකු වෙත බිය-සංකාව අසරණකම ළඟා නොවන බැවිනි.
'මොනර මාළු උඩහල්ලේ තියෙන්නා - අපට මාළු අලකොළදැයි කුඩම්මා...' ආදි ජනකවිවල පිටපත් කෙරුණු කුඩම්මා කෙනෙක් හමු වේ. සංවේගයෙන් හැකිළුණ ළමාහිත 'අම්මා නැති අපට බඩ ගිනි වෙන්න එපා...' ආදි ලෙස, විලාපයක් වී රාව දෙන්නේත් ඒ නිසා ය. අම්මා නම් මේ මිනිස් දේවතාව කාව්‍යෝක්තියෙන් දුටු ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහගේ මවුගුණ ගීතය මහා කාව්‍යයක් නොවන්නේ සංස්කෘත විචාරකයන් අපේක්‍ෂා කළ සර්ග ආදි සංස්කෘත මහා කාව්‍ය විභේදන ලක්‍ෂණ එහි නැතිකම නිසා පමණකි.
මිහිමඬලේ අඳුරු කුසේ
දිය උල්පත අම්මා
අහස් තලෙන් මරු කතරට
වහින වැස්ස අම්මා...
මේ මිනිස් දේවතාව මිහිමඬලින් මතු වන උල්පතක් පමණක් නොවේ. අහසින් ඇද හැලෙන වර්ෂාවද වන්නීය. වැලිදු අනේක ලෝක ධාතූන්ද, එකලු කරවන ආලෝකධාරාවද වන්නීය. ඒ ආලෝක ධාරාවෙන් ලෝකය වර්ණවත් කරන ඕ තොමෝ විශ්වයේ අසමාන පල සම්පත්තියද වන බව අබේසිංහයන් සිය රම්‍ය භාෂා සංකලනයෙන් රූපණය කරන්නේ මෙසේය:
නිල් දෙරණේ තුරු ලිය මත
මල් සම්පත අම්මා
තුරු ලිය මත පිපි කුසුමේ
පල සම්පත අම්මා...
සිය දහසක් නෙක ලෝ දා එළිය කරන අම්මා...
ඕ විශ්වයද, සෞම්‍ය කාන්තියද වන බව මේ පරිසමාප්ත නිර්මාණයෙන් දක්වා සිටිති. එහෙත් ප‍්‍රත්‍යක්‍ෂ ජීවිතය තුළ මතු බුදු වන අම්මාවරු ඉන් පරිබාහිරව බොහෝ දුක් විඳිති. එහි ඔවුහු විවිධ කටුක ජීවන පාරමිතා පුරති.
මල් මල් සාරිය ඇඳලා
වීදි කොනේ රැක ඉඳලා
ඇස් ඉස් මස් දන් දීලා
කිරි අරගෙන එයි අම්මා...
අනවරත අරගලයකට මැදි වුණු නාගරික පහළ පන්තික සමාජයේ අම්මා මහගම සේකර සිය නිර්මාණයක ගොනු කරන්නේ එසේය. දරුවන් සඳහා ඉස් මස් ලේ දන් දෙතත් ඇය අබේසිංහයන් දකින කරුණා ගුණෝපේත දයාබර අම්මාමය.
කවි සමයට දිය උල්පත, වහින වැස්ස, මල් සම්පත ළහිරු මඬල වූ අම්මා ඈත වන්නි ගමක කවියකු වූ දරුවා, සිය අම්මා තම පැටවා පිහාටුවකින් වස ගත් මවු කිරිලක සේ දකී.
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුණා අම්මේ...
දස මසක් කුස දරා කෝටියක් විලි රුජා උහුලමින් වැදූ දරුවාට මහ මෙරක් සේසතක් වූ අම්මා සිය දරුවා අකාල මේඝයෙන් වළකා රැකගත් මතකය අනුවේදනීය රූපකයනට නැඟෙයි. ඇය සිය දරුවාට රුකුලක් වුණේ වැසි වට දා කනාටු හේනේදී පමණක් නොවේ. රන් බණ්ඩා සෙනෙවිරත්නට අනුව, කොළඹ අහස කළු වී, මුහුද පරල වූ දවසක ඇද හැලුණ, නින්දා වැසි දිය, යෝධ ඇළේ ගලන දිය කඳ මෙන් වියරුය. එය පැල නැති පාළු හේන් කනත්තේදී කොටු වූ මහ වැස්සට වඩා දැඩිය; සැර පරුෂය. ඔටුන්න බිම දා දුවගෙන එන්නදැයි අසන කවියා, අම්මාගේ සංසාරගත රැකවරණයට දෙන වටිනාකමට තක්සේරුවක් නැත. ඒ රැකවරණය තමන් අත්පත් කරගත් රජකමට අලගු තැබිය නොහැකිය. එහෙත් අපාර සංසාරයෙහි තම අම්මා නොපෙනී ගිය බව සිහිපත් වූ අසරණ කවියා බොළඳ දරුවකු බවට පත් වේ. මං එන තුරු ඉඳිකඩ ළඟ ඉන්නවාදැයි අසරණව විමසා සිටියි. ඒ අතානාත්තුවේදී පවා සම්මා සම්බුදුන් වෙත පවත්නා අසරණ සරණ ගුණෙන් පෝෂිත තම දිළිඳු මෑණියන් දෙස බලන්නේ සුරලොව සිට අත පා දරු දුක් කඳුළු මවුවරුන් පිස-දමන බැව් විශ්වාස කරන හෙයිනි.
සුනිල් දයානන්ද කෝනාර රචනා කළ මවු ගුණ ගීතය වන්නිකරයේ අම්මාවරුන්ගේ සමස්තය ප‍්‍රත්‍යක්‍ෂයෙන් දැකීමට තැත් කිරීමකි; කටුසර ජීවිතය දෙස කාව්‍යෝතියෙන් බැලීමකි. 'කලාවැවේ නිල් දියවර අපෙ අම්මා' කී විට, පිහිනා එතෙර විය නොහැකි, එහෙත් ගිලී සැනහිය හැකි, මහා සාගරයක් චිත‍්‍රණය වේ. ඇය කලින් අවදිව ගෙදරට හිරු වන්නීය; කළුවරේ දරුවන් ගෙට එන තෙක් නෙත් ලා සිට පසුදා උදා වන දවස ගැන කල්පනා කරන්නීය. කවියා ඇයගේ කැප කිරීමට වටිනාකමක් දීමට තැත් කරයි. ඇය මහාමායාවකි; ඇත් රැජනකි. ඒ උත්තරීතර රූපක සමඟ ගළපන තම අම්මාගේ කැපවීම හෙතෙම සිය අහිංසක ප‍්‍රාර්ථනා හරහා සුවපත් කිරීමට තැත් කරයි.
වෙල් ඵළිවල ඇවිදින දෙපා රිදෙන විට
විහඟ ගීත බණ පද වේවා..!
බෝ මළුවක ඇවිළෙන පහන් වැටක් සේ
තුන් සිත නිවී සැදේවා..!
ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය
ලොවම නිවන කවියක් වේවා..!
ශිෂ්ටාචාරයේ තොටිල්ල පැදවෙන්නේ අම්මාගේ වළළු පැලඳි දෑතින් බව රබින්ද්‍රනාත් තාගෝරයන් විශ්වාස කළේ මාතෘ භූමිකාව පණ්ඩිතමානීව විනිවිද දැකීමෙනි.