
කාන්තාවන් සමාජය උදෙසා කළ යුතු දෙයක් වෙයි. එනම් ප්‍රසිද්ධ ස්ථානයක ඇවිද යන්නේ නම් පසුපස භාගය එකාකාරව වමටත් දකුණටත් පැද්දිය යුතුය. ශිෂ්ටසම්පන්න ස්ත්‍රීන් ස්වභාවයෙන්ම මේ පැද්දීම උරුම කරගන්නා නිසා ඔවුන්ට නීති දැමීම ප්‍රාන්තයට අවනම්බුවකි. එසේම කුල කතුන්ගේ මේ රිද්මයානුකූල පැද්දීම සාමාන්‍ය පන්තියේ ගැහැනුන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වෙයි. කුලවත් පැද්දීම අනුකරණයට යන කුලහීන කතුන්ගේ පැද්දීම අප චතුරස්‍රයා දකින්නේ නිකම්ම අවලම්බයක් පැද්දෙන්නා මෙනි.
‘මේසයක් මත කාසියක් තබන්න. දැන් උඩින් එබී බලන්න. ඔබට පෙනෙන්නේ රවුමකි. මීළඟට ඔබේ ඇස ක්‍රමයෙන් මේසයේ ගැට්ට අද්දරට ගෙන එන්න. දැන් ඔබට පෙනෙන්නේ කුමක්ද? ඇස මේස ගැට්ට අද්දරට වැඩි වැඩියෙන් ළං වන විට කාසිය වඩ වඩා ඕවලාකාරව පෙනෙන්නට පටන් ගනී. අවසානයේ ඔබ කිසියම් විධියකින් හරියටම මේස ගැට්ට සමඟ ඇස් මට්ටම සමපාත කළ හොත් කාසිය තවදුරටත් ඕවලාකාරව දිස්වන්නේ නැත. ඒ වෙනුවට ඔබ දකිනු ඇත්තේ සරල රේඛා ඛණ්ඩයකි. ත්‍රිකෝණයක්, චතුරශ්‍රයක් හෝ වෙනත් ඕනෑම තල රූපයකට මෙම පරීක්ෂාව සිදු කර බලන්නට ඔබට පුළුවන.’
ආචාර්ය අනුරාධ මහසිංහ විසින් ‘පැතලි ලන්තය’ නමින් පරිවර්තනය කරන ලද බ්‍රිතාන්‍ය ගණිතඥ එඩ්වින් ඒ. ඇබට්ගේ ‘Flatland’කෘතියේ පැතලි ලන්ත වැසියන්ට තම ලෝකය පෙනෙන ආකාරය සරලව අවබෝධ කරන්නට කතුවරයා යොදා ගන්නේ ඒ උපක්‍රමයයි. එයින් පාඨකයා මුල් පරිච්ඡේදයේදීම පැතලි ලන්තයන්ගේ ද්විමාන දෘෂ්ටියේ පිහිටා ඉදිරියට යෑමට නැඹුරු කෙරේ. පැතලිලන්තය යනු විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයේ කඩඉමක් සනිටුහන් කළ සම්භාව්‍ය කෘතියකි. එමෙන්ම ගණිත සාහිත්‍යයේ මහත් සම්භාවනාවට පාත්‍ර වූ භාෂා 18කට පරිවර්තනය වී ඇති ප්‍රබන්ධ කෘතියද මෙය වෙයි. ආචාර්ය මහසිංහ මේ පරිවර්තනයට පෙරවදනේ හේතු දක්වමින් මෙසේ කියයි.
‘වරක් කොළඹ විශ්වවිද්‍යාලයීය ගණිත අංශයේ විද්‍යාපති පාඨමාලාවේ දේශනයකදී බහුමාන අවකාශය ගැන සඳහන් කරන්නට සිදු වූ තැනෙක, පැතලිලන්තය ගැන නොකියා ඉන්නට මට නො හැකි විය. කවුරුන් හෝ ඒ ගැන කියවා හෝ අසා ඇත්දැයි විමසූ කල, එසැවුණේ එක් අතක් පමණි. ඔහු විදෙස් සරසවියකින් ප්‍රථම උපාධිය ලබා සිටි අයෙකි. එම සිද්ධිය, අප ගණිත සංස්කෘතියේ තරම පිළිබිඹු කරන්නේදැයි මට සිතිණි...මේ ග්‍රන්ථය සිංහල බසට නඟන්නෙමැයි සිතුණේ, ගණිත සාහිත්‍යයක අඩුව මෙරට තදින්ම තිබෙන නිසාය. ගණිතයට හෝ විචාරයට දුර්වලයන් බිහිවීමට එම අඩුවද හේතු වේ.’
සිටි ඔෆ් ලන්ඩන් විද්‍යාලයේ ප්‍රධානාචාර්යවරයා වූ එඩ්වින් ඒ. ඇබට් මුලින් පතළව සිටියේ ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ ශේක්ස්පියරියානු විද්වතකු, දේවධර්මාචාරයවරයකු, භාෂා සාහිත්‍ය විශාරදයකු මෙන්ම රචකයකු ලෙසය. පසුව ඔහු ගණිතඥයකු බවටද පත් විය. ඔහු අතින් ෆ්ලැට්ලන්ඩ් රචනා කෙරුණේ භෞතික විද්‍යාව මඟින් සියලු සංසිද්ධීන් නිරවුල්ව පැහැදිලි කර ඇති බවට 19 වැනි සිය වසේ අවසන් භාගය වන විට පැවැති පොදු පිළිගැනීමට එරෙහිවය.
පැතලි ලන්තයේ වීරයා ද්විමාන විශ්වයක වෙසෙන චතුරශ්‍ර ජීවියකු වූ නිතිඥයෙකි. ඔහු සැබැවින්ම මේසයක් මත වූ සුදු කඩදාසියක සිහින් පැන්සල් තුඩකින් අඳින ලද චතුරශ්‍රයක් වැන්න. ඔහුට ඝනකමක් නැත. කඩදාසියක ඇඳි විවිධ හැඩතල ඒ කඩදාසිය මතම චලනය වන්නේ කෙසේද? ඒ අයුරින් මේ ද්විමාන ජීවීහු තම විශ්වය ලෙස හඳුන්වා ගන්නා තලයේ චලනය වෙති. එහෙත් ඒවා අප කඩදාසියට ඉහළින් දකින අයුරින් ඔවුන්ට නොපෙනේ. ඔවුන්ට එකිනෙකා පෙනෙන්නේද ඉරි කෑලි හෝ තුඩු වශයෙනි. ‘ත්‍රිකෝණයකු, සමචතුරස්‍රයකු, පංචාස්‍රයකු, ශඩාස්‍රයකු හෝ වෘත්තයකු වේවා, අපේ ඇසට ඔහු හුදෙක් ඉරි කෑල්ලක් පමණි.’ චතුරස්‍රයා කියයි. දීප්තියේ තීව්‍රතාවත්, ඔවුන්ටම විශේෂිත වූ ශ්‍රවණ සහ ස්පර්ශ ක්‍රමත් අනුව ඔවුනොවුන් හඳුනා ගනී. නව සහශ්‍රකය උදාවන මොහොතේ ත්‍රිමාන ලෝකයෙන් සුබාරංචිය රැගෙන එන ගෝලයක සහායෙන් ත්‍රිමාන විශ්වය දැක ගැනීමට හැකි වන එකම ද්විමාන ජීවියා කතා නායකයාය. තම විශ්වයට වඩා වෙනස් වූ ලෝක පිළිබඳ ද්විමාන ලෝකයාට තේරුම් කිරීමට දරන උත්සාහය නිසා ඔහු ගැටලු රැසකට මුහුණ දේ.
චතුරශ්‍රකයාගේ පාපොච්චාරණයක ආකාරයෙන් පරිච්ඡේද දහයක් පුරා ද්විමානික ලෝකයේ සමාජ දේශපාලනික ආර්ථික හා සංස්කෘතික ආදි කරුණු පැහැදිලි කරන ‘මෙම ලෝකය’ කොටසින්ද, සහශ්‍රකයේ අත්දැකීමෙන් පසු ඔහුට සිදුවන විපර්යාසය සහ ද්විමානිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳ පරිච්ඡේද දොළසක් පුරා ‘අන්‍ය ලෝක‘ කොටසින්ද පාඨකයාට රසවත්ව ඉදිරිපත් කිරීමට ඇබට් සමත් වී ඇත. එය සිංහල පාඨකයාගේ රුචියට ගැළපෙන අයුරින් පරිවර්තනය කිරීමට ආචාර්ය අනුරාධ මහසිංහ ගෙන ඇති වෙහෙස ප්‍රශංසනීයය.
‘අපේ ලෝකයේ දකුණු දිශාවට නිරන්තර ඇදිල්ලක් හෙවත් ආකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙයි... වැස්ස වැටෙන්නේ හැම විටම උතුරේ සිට දකුණටය... හැඩි දැඩි පිරිමින්ට මෙන් නොව, මහල්ලන්ටත්, රෝගීන්ටත්, සියුමැලි ලඳුන්ටත් මේ ආකර්ෂණ බලය ඇවිද යෑමට බාධාවක් තරමට දැනේ. ඒ නිසා ඔබ ඇවිද යන විට කාන්තාවක මුණගැසුණොත් උතුරු පැත්ත ඇයට පවරා දකුණට බරවී යෑම වැදගත් මහත්මයකුගේ ක්‍රියාවකි.’
ඇබට් 1839 වසරේ උපත ලැබූවකු ලෙසත් මේ ප්‍රබන්ධය ප්‍රකාශයට පත් කරන 1884 වසර සලකන විටත් ඔහු අයත් වන්නේ වික්ටෝරියානු යුගයේ රචකයකුට බව පැහැදිලිය. ඒ යුගයේ බ්‍රිතාන්‍යයේ දේශපාලනික දිශානතිය මෙන්ම වික්ටෝරියානු සංස්කෘතිය පිළිබඳ විචාරයක් ඉන් ඉදිරිපත් කිරීමටද ඇබට් සමත් වී තිබේ. ගණිතය ඔස්සේ ඔහු ඒ යුගයේ පැවැති රදළවාදය සහ පන්ති භේදය නිරූපනය කිරීමට ඒ ඒ ජීවියාට හිමි පාද ගණන හා ඒවායේ ස්වභාවය යොදා ගනී.
‘අපගේ ගැහැනු සරල රේඛා ඛණ්ඩ වෙති. සොල්දාදුවන්ද පහළ ම ස්තරයේ කම්කරුවන්ද සම දිග පාද දෙකක් සහිත ත්‍රිකෝණ හැඩැතිය... ශීර්ෂකෝණය බෙහෙවින් තියුණු වෙයි. මේ නිසා දුර තියා බලන කෙනකුට ඔවුන් ගැහැනුන්ගෙන් වෙන් කොට හඳුනා ගත නොහැකිය...අපගේ මධ්‍යම පන්තිය සමන්විත වන්නේ සමපාද ත්‍රිකෝණවලිනි. බොහෝ වෘත්තිකයෝද මහත්වරුද චතුරස්‍රයෝ වෙති... අපගේ රදළයන් හෙවත් වංශවතුන්ගෙන් සැදුම්ලත් ඉහළ ස්තරය උපස්තර කීපයකින් යුක්තය...බහුඅස්‍රයන් යන නම්බුනාමයෙන් හඳුන්වන ඉහළ ස්තරය කරාම රදළ පන්තියේ විකාශය දැකිය හැකිය. ඇතැම් විට පාද ගණන ගැණ නිම කරන්නට බැරි තරම් ඉහළ අගයක් ගන්නා හැඩතලයත් වෘත්තයකුත් අතර වෙනසක් පියවි ඇසින් දැකිය නොහැකිය. මෙබන්දෙකු වෘත්තාකාරය හෙවත් පූජකවරය දක්වා ඔසවා තබනු ලැබේ. මේ වනාහි ධූරාවලියේ ඉහළම ස්තරයයි.’
ඔහු සමකාලීන චාල්ස් ඩාවින්ගේ පරිනාම වාදය පිළිගත්තේද? නැතහොත් ඉදිරි පරම්පරාවකදී රදළවාදය භංග වී යන අයුරු දැක්වීදැයි හැඟෙන්නේ ස්වභාව ධර්මයා විසින් සෑම පිරිමි දරුවකුටම පියාට වඩා එක පාදයක් වැඩියෙන් ලබා දෙන බව පවසන විටය. එහෙත් සොබා දහම ද ඒ වරය දෙන්නේ චතුරස්‍රයන්ගෙන් ඉහළ හැඩයන්ට පමණි. කෝණවල විශාලත්වය සමඟම බුද්ධිය වැඩේ. එසේම වෛද්‍ය විද්‍යාව ඇසුරින් පැසුණු නුවණින් යුතු විප්ලව වාදීන් සමපාදිකයන් බවට පෙරලා වරප්‍රසාද ලත් පන්තියකට ඇතුළත් කිරීමෙන් විප්ලව මැඩලීමට එහි පාලකයෝ වගබලා ගනිත්. ඒ වරප්‍රසාද ලබන ආශාවෙන් රෝහල්ගත වන ඇතැම් සම ද්විපාදිකයන්ට අත් වන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමෙ හෝ මරණයයි. එනිසා ‘සමද්විපාදිකයන්ගේ කාලකණ්ණි කැරලි නිසි නායකත්වයක් නැතිව, වෘත්තාකාරයන්ගේ අල්ලස්වලට යටව’ දියාරු වී යයි.
ඔවුන්ගේ කාන්තාවන්ට සමාජයේ තිබූ තත්ත්වය එදා ත්‍රිමාණ ලෝකයේ තරම්ම විසමය. ‘සොල්දාදුවකු කූඤ්ඤයක් නම් ගැහැනිය ඉඳිකටුවකි.’ කෝණයක් නැති තරම්ය. එනිසාම අවශ්‍ය නම් නොපෙනී ගමන් කළ හැකිය. භයානකය. එහෙත් ඇය බුද්ධියෙන් හීනය. විනාඩි දහයක්වත් යමක් මතක තබා ගන්නට නොහැකිය. මොවුන් නිසා විනාශ නොවීම පිනිස නිවාසවල පවා විශාල දොරටුවක් පිරිමින්ටත් කුඩා දොරටුවක් කාන්තාවන්ටත් වෙන් කර තිබේ. එකල පුරුෂාධිපත්‍යය කෙතරම් ප්‍රබලව පැවතුණිද යන්නට ඇබට්ගේ ව්‍යංගයයි. එසේම කාන්තාවන් සමාජය උදෙසා කළ යුතු දෙයක් වෙයි. එනම් ප්‍රසිද්ධ ස්ථානයක ඇවිද යන්නේ නම් පසුපස භාගය එකාකාරව වමටත් දකුණටත් පැද්දිය යුතුය. ශිෂ්ටසම්පන්න ස්ත්‍රීන් ස්වභාවයෙන්ම මේ පැද්දීම උරුම කරගන්නා නිසා ඔවුන්ට නීති දැමීම ප්‍රාන්තයට අවනම්බුවකි. එසේම කුල කතුන්ගේ මේ රිද්මයානුකූල පැද්දීම සාමාන්‍ය පන්තියේ ගැහැනුන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වෙයි. කුලවත් පැද්දීම අනුකරණයට යන කුලහීන කතුන්ගේ පැද්දීම අප චතුරස්‍රයා දකින්නේ නිකම්ම අවලම්බයක් පැද්දෙන්නා මෙනි.
කෙසේ වුවද ඇබට් තම යුගයෙන් පසු වහා කරලියට එන වර්ජීනියා වුල්ෆ් වැනි කාන්තාවන්ද ඇතුළත් නූතනවාදයේ සම්ප්‍රාප්තිය හා පශ්චාත් නූතනවාදය පිළිබඳවත් ඉඟියක් මේ ද්විමානකයන් වරෙක සිය ශරීරයන් වර්ණ ගන්වාලීමෙන් සපයන බවක් පෙනේ. එබට්ගේ අඩුපාඩුව කාන්තාවන් පිළිබඳ කී අමතක වීමේ හා දැනුමේ දුර්වලතාව මඟදී ඔහුට අමතකව යෑමය.
ඇබට් නිසැකයෙන්ම සම්භාව්‍ය යුගයේ සහ රෝමාන්තික යුගයේ ආභාසයලත් කෘති පරිශීලනය කළ බවට පැතලි ලන්තය සාක්ෂි දරයි. සම්භාව්‍ය යුගයේ ජොනතන් ස්විෆ්ට් විසින් රචිත ‘Gulliver's Travels’ පැතලි ලන්තයේ චතුරස්‍රයාගේ සුවිසැරියට දැඩි සේ මඟ පෙන්වූයේ යැයි සිතිය හැකි බැවිනි. ගලිවර් තමන්ට වඩා කුඩා ලිලිපුට්ටන්, තමන්ට වඩා විශාල අඩි 60ක් පමණ වන යෝධයන්, පාවෙන ලපුටා දිවයින, ග්ලබ්ඩබ්ඩ්‍රිබ් දිවයින, අශ්වයන් මෙන් වූ හොයුන්හම්ස්ලාගේ ආශ්‍රයට වරින් වර පත් වූයේ සමුදුරු තරණයන්හිදීය. එහෙත් අපට අවබෝධවන ද්විමානයේ වෙසෙන චතුරස්‍රයා අප දන්නා ත්‍රිමානයට ගෝලය සමඟ චාරිකාවේ යෙදුණද ඒකමාන රජු හමුවට හා චතුර්මානයට ඔහු යන්නේ සිහිනයෙනි. රොබින්සන් කෘෘසෝ වැනි කෘති මඟින්ද හුවා දක්වන මේ යුගයට ප්‍රධාන වූ දේශ ගවේශනය සේම සම්භාව්‍ය සාහිත්‍යයේ නිසග අංගයන් වන දේශපාලනික හා ආගමික විචාරය, හාස්‍ය, උත්ප්‍රාසය පැතලිලන්තයට මැනවින් යොදා ගැනීමට ඇබට් සමත් වී ඇත. රෝමාන්තික යුගයේ මාරි ෂෙලි ලියූ ෆ්‍රැන්කන්ස්ටයින් ඇබට් හට විකෘත රූප භාවිතයෙන් මිනිස් ලෝකය ගැන විචාරන්නට තිබූ බිය පහ කෙරුවාට විය හැකිය. එසේම ගෝලය සහ සිහින, චතුරස්‍රයාට ගෙන දෙන අද්භූත අත්දැකීම් අදියට රොමාන්තික ආභාසය තදින් බලපෑවා යැයි සිතිය හැකිය.
දහ අටවැනි සියවසේ හැමිල්ටන්, ලග්‍රාන්ජ් වැනි ගණිතඥයන් චතුර්මානයට අදාළව මත පළ කර තිබුණද ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු වූයේ ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට පසුවයි. අයින්ස්ටයින්ගේ ඇතැම් අදහස් ඊට වසර තිහකට පමණ පෙර ඇබට්ගේ පැතලිලන්තයේ අඩංගු වීම 1920 පමණ වනවිට කෘතිය අතිශය ජනප්‍රිය වීමට හේතුවක් විය. පැතලිලන්තයෙන් මතු වූ ගණිත සාහිත්‍යයට සාක්ෂි ලෙස එයටම පසුවදනක් බඳු බහුමාන සාහිත්‍යයේ යෙදුණු ගණිතඥයකු වූ චාර්ල්ස් හින්ටන් ලියූ An Episode of Flatland, ප්‍රකට ගණිතඥයකු සහ ලේඛකයකු වන ඉයන් සටුවර්ට්ගේ Flatterland, කැනේඩියානු ගණිතඥ ඇලෙක්සැන්ඩර් ඩේවුඩ්නිගේ Planivers සහ දියෝනිස් බර්ගර්ගේ Sphereland, රූඩි රුකර්ගේ Spaceland දැක්විය හැකිය.
කෙසේ වෙතත් අවසානයේ බහුතරය එලැඹ සිටින දෘෂ්ටි මානයන් වෙනස් කිරීමට තවෙකකුගේ අසමත්කම මෙන්ම පොදු මානයෙන් බැහැර වන්නා සත්‍ය අවබෝධ කරගන්නා බව පැතලි ලන්තයේ චතුරස්‍රයා කියන්නේ ‘උතුරට නොවේ උඩට’ යන්න පුනරුච්චාරණයෙනි. තම මානයෙන් බැහැරවීමට අකමැති අඩුදැනුමැත්තෝ සත්‍යාවබෝධය සහිත පුද්ගලයා ‘පිස්සකු’ යැයි හංවඩු ෙගසන්නටත් දඬුවමින් මර්දනය කරන්නටත් යුහුසුළු වන බව ද ඔහු කියයි. ඇතැම් විට තම දරු මුණුපුරන් පවා එසේයැයි ඔහු මෙසේ පවසයි. ‘
පිය -පුතු බැඳීම වන් අන්ධ වූ හැඟීම්වලට වඩා දේශප්‍රේමයද වෘත්තයන් කෙරේ භක්තියද වැඩූ ඔවුන් මා ත්‍රිමානය ගැන අසම්මත දහම දෙසනු දුටුවහොත් බලධරයන්ට පාවා දෙන්නට නොපෙලඹේ යැයි සිතීම දුෂ්කරය.’ඇබට් දේවධර්මාචාර්යවරයකු ලෙස බෞද්ධ දර්ශනයද හදාරා ඇතැයි සිතිය හැකි තැන් කිහිපයක් පොතේ එයි. ඒ ඔහු ඇති වීම සහ නැති වීම පිළිබඳ කරන ප්‍රශ්න කිරීමේදීය. ‘ඔය විදිහට හදිසියේ ප්‍රාදූර්භූත වෙලා හදිසියේ අන්තර්ධාන වෙලා ගිය උදවිය ඉන්නවානේ. මේ අය කොහෙන් ආවාද කොහෙට ගියාද කියන එක කවුරුත් දන්නේ නෑ.’ තවදුරටත් ඔහු සම්මුති සත්‍ය හා පරමත්ත සත්‍ය මෙසේ ගණිතයට සම්බන්ධ කරයි. ‘මම රේඛාවක් දුටිමි. එහෙත් එය රේඛාවක් නොවීය. අවකාශය දුටිමි. එහෙත් ඒ අවකාශය නොවීය. මේ දුටුයෙම් මම වීමි. එහෙත් ඒ මම් ම නොවීමි.’