කල්ප දෙකක සිට එන අලුත් සහල් මංග­ල්‍යය | සිළුමිණ

කල්ප දෙකක සිට එන අලුත් සහල් මංග­ල්‍යය

අම්මඩුව දේවාලයේ මේ මංගල්‍යය ඇරැඹෙන්නේ කපු මහතුන් එක්ව නැකැත්රාල ලවා නැකැත් වට්ටෝරුව සැකසූ බව බස්නායක නිලමේට දැනුම් දුන් පසුවයි. සුබ හෝරාවෙන් දේවතාභරණ සහිත රන්දෝලිය මහා දේවාලයෙන් පිටතට වැඩමවා බෙර, හේවිසි, හොරණෑ ආදිය වයමින් ශබ්ද පූජා පවත්වමින් මහ පෙරහරකින් පුරන්වත්ත, ගල්කන්ද, බටදුරේ, නරිස්ස, හත්තැල්ල, කිරඹ, දන්දෙණිය පැරණි මාවත ඔස්සේ දෙල්ගස් හන්දියට පැමිණ සැතපුම් දහසයක් පමණ දුර බළන්ගොඩ හුණුවල වෙල්යායට සවස හත පමණ වන විට ළඟා වනවා.

අදටත් අපේ නිවෙස්වල ආහාර ඉඳුල් කිරීමට පෙර බුද්ධ පූජාව තැබීම සිරිතකි. එයට එක් හේතුවක් වන්නේ අප මේ ජීවත් වන භූමිය පෙර රජදරුවන් කීපදෙනකු විසින්ම වරින් වර බුදුන්ටත්, බුදු සසුනටත් පූජා කිරීමය. එනිසා රටේ ධන-ධාන්‍ය ආදි වූ සම්පත් බුදුන්ට අයිති බිමෙන් ලබාගන්නා බුද්ධභෝග ලෙස සලකා, අස්වැන්නේ අග්‍ර කොටස තෙරුවන් නමින් පිදීම පැරැණි රජ දවස සිට එන චාරිත්‍ර විධියකි.

ලොව්තුරු මුනිඳුගෙ අණය මුළුල්ලේ

සිව්වර දෙවියන් සහ මෙසියල්ලේ

සව්සත රකිනා උපතකි ඉල්ලේ

සව්සිරි වෙයි අලුසල් මංගල්ලේ

 

සිලුත් රකින පෝයත් සිදු කරලා

මලුත් අහර මුනිඳුට පුද කරලා

කලුත් බලා මොහොතක් විමසාලා

අලුත් බතුත් කති තම පසු ඉඳලා

 

අදටත් අපේ නිවෙස්වල ආහාර ඉඳුල් කිරීමට පෙර බුද්ධ පූජාව තැබීම සිරිතකි. එයට එක් හේතුවක් වන්නේ අප මේ ජීවත් වන භූමිය පෙර රජදරුවන් කීපදෙනකු විසින්ම වරින් වර බුදුන්ටත්, බුදු සසුනටත් පූජා කිරීමය. එනිසා රටේ ධන-ධාන්‍ය ආදි වූ සම්පත් බුදුන්ට අයිති බිමෙන් ලබාගන්නා බුද්ධභෝග ලෙස සලකා, අස්වැන්නේ අග්‍ර කොටස තෙරුවන් නමින් පිදීම පැරැණි රජ දවස සිට එන චාරිත්‍ර විධියකි. එසේ නැතත් අපේ බෞද්ධ ශිෂ්ටාචාරයේ සියලු කටයුතුවලට පෙර බුදුන්, දහම්, සඟුන් නැමදීම සම්ප්‍රදායයි. මහ කන්නය පුරා වෙහෙස මහන්සි වී ලබාගන්නා අස්වැන්නේ අග්‍ර කොටස බුදුන් වෙනුවෙන් වෙන් කෙරෙන්නේද මේ සිරිත් අනුවය. ගොවියා අලුත් බත් ඉඳුල් කරන්නේ අලුත් සහල් මංගල්‍යයේදී අලුත් ආහාර බුදුන්ට පුද කිරීමෙන් පසු දිනක නැකතක් බලාය. ඒ බව 'පුරාණ ගොයම් මාලය' නම් කාව්‍ය සංග්‍රහයේ දක්වා ඇත්තේ ඉහත ආකාරයෙනි.

ගොවි තැනේ සශ්‍රිකත්වය මෙන්ම රටේ සෞභාග්‍යය වෙනුවෙන් කෙරෙන මෙවැනි පුද-පූජා අප රටට පමණක් සීමා නොවූ බවට හොඳම සාක්ෂිය, මොහෙන්දොජාරෝ-හරප්පා ශිෂ්ටාචාර යුගයේ පවා 'ජගත් මාතා වන්දනාව' නමින් පූජාක්‍රමයක් මීට වසර පන්දහසකටත් පෙර කාලයේ සිට පැවැත්වීම බව නෝමන් සිරිපාල මහතා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වෙනුවෙන් කළ සටහනක දැක්වේ.

එසේම අප රටේ සමස්තයක් ලෙස මෙය බෞද්ධ සංකල්පය මූලික කරගත්තද ඒ ඒ පළාත් අනුව මංගල්‍යය පවත්වන ස්ථාන වෙනස් වන්නේ කෙත සහ බැත රැක දීම වෙනුවෙන් දෙවියන් උදෙසා පූජාවක් පවත්වා තවදුරටත් ඒ දේව සේවය සහ දේව ආශීර්වාදය පවත්වාගැනීමට දරන උත්සාහයක් ලෙස ප්‍රචලිත වීම නිසා බවද පෙනී යයි.

මහින්දාගමනයෙන් පසු දැඩි සංස්කෘතික පෙරළියකට ලක් වන හෙළ ද්වීපයට දඹදිව ගොවීන් ගෙනා සිරිතක් ලෙසද මෙය දැක්විය හැකිය. එක් වගා කන්නයකදී පස් වතාවක් හා තවත් වගා කන්නයකදී නව වතාවක් 'අගහස්' දන් පූජා කිරීම ඔවුන්ගේ සිරිතක්ව පැවතිණි. එහි පුරුද්දක් ලෙස රජ මැති සිටුවරුන්ගේ ප්‍රධානත්වයෙන් සුබ දිනයක, සුබ හෝරාවක, රන්කරල් නෙළා බරක් ඇද පිරිසුදුවට බැත වෙන්කොට නොඉඳුල් අග්‍ර ශස්‍ය දානයක් දීම මහත්ඵල මහානිසංශ ගෙනෙන පිනක් බව ගොවි ජනතාවගේ විශ්වාසයයි. ඒ බව ධර්මසේන හිමියන් කළ සද්ධර්මරත්නාවලියේ අගසව් වතේ විස්තර වන්නේ මෙසේය:

'හෙම්බා මහණෙනි, මේ අප බුදු වූ කපට එකානුවන කප විපස්සී නම් බුදු කෙනෙක් ලෝ පහළ වූහ. එකල මහා කාලය, චූල කාලයයැයි ප්‍රසිද්ධ වූ දෙබෑ කෙනෙක් මහා හැල් කෙතක් (සේනක්) වැපිරවූහ. ඉක්බිත්තෙන් එක් දවසක් චූල කාල නම් මලනුවෝ හැල් කෙතට ගොසින් හැල් බඩයක් තළා පියා කැවූය. ඒ හැල් බඩය ඉතාම පැණි රසයෙන් යුත් විය. ඌ රස බලවත් හෙයින් මෙසේ බලවත් රසය දනක් දීපුවොත් ඊට වඩනා නිවන් රසක් ලද හැක්කැයි බුදු පාමොක් සඟනට හැල් බඩ වළඳන්ට නිසි ලෙසක ඉදිකරවා- දන් දෙනු කැමතිව බැතක් කරා ගොසින් බෑණන් වහන්ස හැල්බඩ තළවා පියා බුදු පාමොක් මහ සඟනට නිසි කොට ඉදි කරවා දන් දෙම්හයි කීවූය.'

සද්ධර්මරත්නාවලියේම පංචවග්ගදායක බමුණාගේ කතා වස්තුවේ අග්‍රදානය දුන් ආකාරය සඳහන් වන්නේ මෙසේය:

'ඒ බමුණාණෝ ගොයම් කොට ජීවත් වන කෙනෙක... කෙත අක්බතය, කළවිට අක්බතය, වී අක්බතය, සැලි අක්බතය, තළි අක්බතය යි පස් අගකින් දන් දෙති. බත් කල වේලාවට පැමිණි කෙනකුන්ටත් නොදී අනුභව නොකෙරෙති. එහෙයින් පංචවග්ගදායකයෝ යැයි නම් තබාගත්හ...'

මේ කතා සලකන විට පෙනී යන්නේ මීට කල්ප ගාණකට පෙර සිට පවා මෙවැනි සිරිත් විරිත් පැවැති බවය. කෙසේ වෙතත් කෘෂි කාර්මික පසුබිමක් සහිත අප රටේ අලුත් සහල් මංගල්‍යය සදහා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙමින් රජවරුන්ද මේ මංගල්‍යයට සහභාගි වූ බවට සාක්ෂි ඕනෑ තරම්ය.

වර්තමාන දේශපාලන නායකයන්ද අලුත් සහල් මංගල්‍යයේදී ඒ මඟ ගන්නා බව පෙනේ. ලක් බිමේ බාරකරු හෙවත් භූපති දෙවියන්ට ප්‍රිය වූවකු බැවින් දේවානම් පියතිස්ස රජු ඒ දේවප්‍රියතාව පවත්වාගැනීමට අනුරාධපුරයේ කෙතක සහල් ගෙන කිරිහර පූජාවක් පැවැත්වූ අයුරු 'සයංජාත මාලය' පද්‍ය ග්‍රන්ථයේ විස්තර කෙරෙයි. එ් ශ්‍රී මහා බෝධීන්වහන්සේ වෙනුවෙන් යැයි විශ්වාස කෙරේ.

මහරජ මෙබසට කර සිත පළමුව

සහ යුතු මැති සැම මේ බස සදමුව

මහ මෙපිනෙන් අපි මොක් සැප ලැබුමට

මහ කිරිහර පූජාවක් කරමුව

මේ අයුරින් අලුත් සහල් මංගල්‍යය දළදා වහන්සේටද පූජා කරන අතර, ඒ ඒ ප්‍රදේශ අනුව එහි චාරිත්‍ර විධිවල යම් යම් වෙනස්කම්ද පවතී. රටේ කුමන පළාතක වුවද අස්වනු මෝරන්නේ නවම් මාසය ආසන්නයේ බැවින් භාග්‍යයෙන් පිරුණු බක් මාසයේ එළැඹෙන අලුත් අවුරුද්දට පෙර මේ අස්වනු නෙළීමේ මංගල්‍යය සිදු කෙරේ.

සපරගමුවට ආවේණික ක්‍රමයකින් අලුත් සහල් මංගල්‍යය පවත්වන්නට බොල්තුඹේ සමන් දේවාලය මෙන්ම අම්මඩුව කුඩා කතරගම දේවාලයද මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙයි. බොල්තුඹේ දේවාලවේ නැකැත් යෙදී ඇත්තේ මාර්තු 6 සහ 7 දෙදින වන අතර අම්මඩුව දේවාලයේ එය 7 සහ 8 දිනවල යෙදී ඇත. සබරගමු ඓතිහාසික අම්මඩුව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේ උදය ඇමටියගොඩ මහතා සිය දේවාලයේ මේ මංගල්‍යය සිදු කෙරෙන විශේෂ චාරිත්‍ර විධි සිළුමිණ වෙත දැක්වූයේ මෙසේය:

“කිත්සිරි මෙවන් රජතුමා තුන් වරක්ම ලක් දිව ශ්‍රී දළදා වහන්සේට පිදුවා. දේවානම් පියතිස්ස රජු ශ්‍රී මහා බෝධියට හෙළ දීපය පූජා කළා. මේ බව දීපවංසය, චූලවංසය වගේම මහාවංසයේත් සඳහන් වෙනවා. සෑම වසරකම ආදිවාසීන් සිය ප්‍රධාන ආහාරයේ කොටසක් වන මී පැණි පූජාව දළදා වහන්සේට කරන්නෙත් මේ බිමේ අයිතිය බුදුන් වහන්සේ සතු බව විශ්වාස කරන නිසායි. අලුත් සහල්, අලු සහල්, අලුසාල් වගේම කරල් මංගල්‍යය වශයෙනුත් විවිධ පළාත්වල මෙය හඳුන්වනවා.

“අම්මඩුව දේවාලයේ මේ මංගල්‍යය ඇරැඹෙන්නේ කපු මහතුන් එක්ව නැකැත්රාල ලවා නැකැත් වට්ටෝරුව සැකසූ බව බස්නායක නිලමේට දැනුම් දුන් පසුවයි. සුබ හෝරාවෙන් දේවතාභරණ සහිත රන්දෝලිය මහා දේවාලයෙන් පිටතට වැඩමවා බෙර, හේවිසි, හොරණෑ ආදිය වයමින් ශබ්ද පූජා පවත්වමින් මහ පෙරහරකින් පුරන්වත්ත, ගල්කන්ද, බටදුරේ, නරිස්ස, හත්තැල්ල, කිරඹ, දන්දෙණිය පැරණි මාවත ඔස්සේ දෙල්ගස් හන්දියට පැමිණ සැතපුම් දහසයක් පමණ දුර බළන්ගොඩ හුණුවල වෙල්යායට සවස හත පමණ වන විට ළඟා වනවා. මුලින්ම එහි ඓතිහාසික අටුව උයන්වත්ත භූමියේ ඉතා පිරිසුදු ස්ථානයක අතු කොළවලින්, ගොක් කොළ කෙහෙල්බඩ ආදියෙන් අලංකාර ලෙස සැරසූ තාවකාලික දේවාලයක දේවතාභරණ සහිත රන්දෝලිය තැන්පත් කරනවා. උයන්වත්ත මේ සඳහා තෝරාගත්තේ මාපා බණ්ඩාර රජු සහ පළමුවැනි රාජසිංහ කියන ප්‍රාන්ත රජවරුන් අතර ඇති වූ ද්වන්ද සටනේදී මාපා රජු තමන්ගේ පේරැස් මුද්ද, පේරැස් ඇළට දමා කිසිදු ලේ සෙලවීමකින් තොරව මේ සටනේ ජය ලැබිය යුතුය කියා ප්‍රාර්ථනා කොට දිනූ භූමිය නිසයි. අනෙක් විශේෂත්වය මේ දේවතාභරණවලට කතරගම දෙවියන්ගේ අතක රැඳි දෑකැත්ත ඇතුළත් කිරීමයි.

“මේ කටයුතු අවසානයේ

ජිං ජිං ජිං ජිං//// ජිං තත්//// තරිකිට//// ජිං ගත් තත්//// ජිංගත්තත් රුජෙංගත්තත්//// ආදි වශයෙන් හැන්දෑදුරේ බෙරපදය ගැසීමෙන් සහ දෙවියන් දකින නැටුමෙන් එදා දවසේ රාජකාරි නිම කරන බව දැනුම් දෙනවා.

පහුවෙනිදා අලුයම්දුරේ පදය එදා දවසේ රාජකාරිවල ආරම්භය කියන්නේ

ජෙංකිට ජෙගු ජෙගත් ජෙං

ජෙගු ජෙගු ජෙගත් ජෙගු ජෙගත්

රුජෙංකුට ජෙගත් තරිකිට ජෙගත්

ආදි වශයෙන් වැයෙන බෙර පදයකින්. ඉන් පසු අර දෑකැත්ත අරගෙන ගිහින් දෙවියන්ගේ ලියැද්දෙන් ගොයම් මිටි කීපයක් කපාගෙන මහ පෙරහරින් දේවාලයට ආපසු රැගෙන එනවා. ඒ එන මඟ දන්සල් සියයක් විතර පවත්වන්න ප්‍රදේශයේ වැසියන් කටයුතු යොදා තිබෙනවා. මේ එන මඟ මහන්සියට රන්දෝලිය තබන තැන දෝලි ගල ලෙසයි නම් කරන්නේ. එ් ගල මත කිසිවෙක් ඉඳගන්නේ වත් නෑ. බටදුරේ අම්බලම ළඟ තමයි අවසන් රාත්‍රියේ භෝජනය තියෙන්නේ. එදාට මුළු ගමම කන්නේ ඒ දන්සැලෙන්.

“දේවාලෙට ගේන කරල් එවෙලේම පළමුව බුදුන්ටත් දෙවනුව කතරගම සහ පත්තිනි දෙවිවරුන්ටත් පූජා කරනවා. සෑම දේවාලෙකම සහයට දෙවි කෙනෙක් සිටිනවා. සාමාන්‍යයෙන් කතරගම සහ සමන් දෙවිවරුන්ගේ සහයට ඉන්නේ පත්තිනි දේවියයි. ඒ පිදූ අස්වැන්න එවෙලෙම කොටා පොළා සහල් බවට පත් කරනවා. එය තමයි අපි මුරුතැන් බත නැත් නම් දෙවියන්ගේ ආහාරය යනුවෙන් හඳුන්වන්නේ. අනෙත් ප්‍රදේශවල වගේ නොවෙයි අපේ මුරුතැන් හදන්නේ බත් සමඟ ඇඹුල් කෙසෙල්, මිරිස් සහ පොල් මිශ්‍ර කරලා. ඊට අමතරව කැවිලි වර්ගත් උයා සහභාගි වන සියලු දෙනාටම දෙනවා.

“මුරුතැන් බතට ඇඹුල් කෙසෙල්ම ගන්නේ අනෙක් කෙසෙල් වර්ග, මෑ කරල්, පුහුල් වගේ දේවල කිළි තිබෙන නිසායි.

මුරුතැන් බත පිසූ පසු වාහල් බෙරේ ගැහුවාම කාන්තාවන්ටත් මේ ස්ථානයට එන්න වරම් ලැබෙනවා. මේ මුරුතැන් බත කන ඔනෑම කෙනෙකුගේ ලෙඩදුක් සුව වීම, දීර්ඝායුෂ ලැබීම, නුවණ පහළ වීම සිදු වන බව ජනතාව විශ්වාස කරනවා.

රටේ සශ්‍රිකත්වය පවතින්නේ මේ දේවල් නිසා කියලා තමයි බොහෝ දෙනා හිතන්නේ. ඒ නිසා බොහෝ ප්‍රභූවරුන් මේ අලුත් සහල් මංගල්‍යයට සහභාගී වනවා.“ බස්නායක නිලමේ විස්තර කළේය.

සැබැවින්ම බුද්ධිය, දැනුම සහ හික්මීම නැතිව ගොවිතැන් කළ නොහැකිය. එසේම ආත්ම විශ්වාසය නැත්තෙක් ගොවිතැනට අත ගැසීමට බිය වෙයි. බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සහ දෙවියන් වෙනුවෙන් අලුත් සහලින් පිදිම යනු ගොවියා ඉදිරි අනාගතයටද මේ සිව්වැදෑරුම් බලය තමන් වෙත පවත්වාගන්නා පිළිවෙතයැයි අලුත් සහල් මංගල්‍යය අවශ්‍ය නම් අර්ථකථනය කිරීමටද හැකිය.

 

Comments