වැහි මල්ල ලිහී කඳු හත හේදී... | සිළුමිණ

වැහි මල්ල ලිහී කඳු හත හේදී...

රූපක භාවිතයේ දී උචිත බව රසයේ ආත්මයයි. මිනිසුන් පැන නාන දිය පාරක තිත්ත පැටවුන් දැකීම දුෂ්කර වේ. තිත්ත පැටවුන් නටනු පිහිනනු දැකිය හැක්කේ කුඩා ඇළ ඉවුරකය; දොළ පාරකය. ඒ අභ්‍යාසයෙන් මේ කියන තැන සේකර වක්කඩය ලෙස දැක්වූවාට සැක නැත. අමරදේවගේ වක්කඩ ළඟ ගීතයට අවශ්‍ය සංගීතය ඔහුට ලැබුණේ ඒ වක්ක‍ඩේ වතුර වැටෙන රිද්මය බව කියයි.

වර්ෂාව කී විට ඇති වන හැඟීම බෙහෙවින් ප්‍රසන්නය. සමහර වැඩිහිටියෝ තම දියණියන් 'වර්ෂා' යනුවෙන් නම් කිරීමටද කලක් බෙහෙවින් තුටු-පහටු වූහ. නියඟයට කළ නොහැකි බොහෝ දේ වර්ෂාවට කළ හැකිය. ස්වභාවධර්මයේ උත්පාදනයට, ප්‍රජනනයට වැස්ස කරන දායකත්වය අනුපම වේ.

 

ගැබිනියකගේ තන පුඬුවල පැහැර උරා

පාවෙන වලාකුළු පවතී අහස පුරා

මිටියාවත උඩින් මිහිදුම් පොකුරු ඉරා

හුරතල් කුරුල්ලෝ ඉගිළෙති කැදලි කරා

 

වැහි වලාකුළක පැහැය ගැබිනියකගේ තන පුඬුවට සම කිරීමෙන් එච්.ඇම්. කුඩලිගම උත්සාහ කළේ රාත්‍රිය හෝ ශෘංගාරය වැනි ආරම්මණයකට අප තල්ලු කිරීම නොවිය හැකිය. වර්ෂාව යනු පෝෂණය හෝ රැකගැනීම වැනි අර්ථ ගැන්වීමට උත්සාහ කළා විය හැකිය.

‘‘වැහි මල්ල ලිහී කඳු හත හේදී...’’ මා කලකට ඉහත ලියූ ගීතයක ආරම්භක වදන් කිහිපයකි. සත්‍ය ලෙසම වැස්ස යනු වාසනා මල්ලකි. වියළි කලාපයේ උපන් මා කල්පනා කරන්නේ එහෙමය.

එහෙත් වැස්ස වැඩි වී ගංවතුර ගලන විට වැහි මල්ලේ පෝෂණයක් හෝ සුරක්‍ෂණයක් නැත. එය වැස්සේ ස්වභාවය නම් නොවේ. මිනිසා වැස්ස ස්වභාව ධර්මය අභාග්‍යයක් බවට පෙරළා ගැනීමකි. එහෙත් සත්තකින්ම වැස්ස යනු මහා වරයකි. සිදු වී ඇත්තේ අප වැස්ස මැනවින් නොපිළිගැනීමය. මහනුවර කඳු ආශ්‍රිත බොහෝ ප්‍රදේශ අවදානමට ලක් වීම වැස්සේ ප්‍රතිඵලයක් නොවේ. එවැනි අවදානමකට මුහුණ පෑ නීතිඥයකු කීවේ වරද වැස්සේ නොව, තමන්ගේ හැසිරීමේ බවයි. හේතුව ගෙවල් හදා වලාකුළු තෙරපෙන නො ඉඳුල් කඳු මුදුන් දිග් විජය කිරීමය. වරදක් පමා වී හෝ පිළිගැනීම වැදගත් වේ.

 

උකුළේ් - ළමැදේ සමබර උසුලන

ගැමි ලිය යන ගමනේ

මුදු බඳ නැළැවෙන සේ

කඳුවැටි ගංගා සාගර එක සේ

පොළොවට සමබර වේ..

 

අමරදේව ගයන 'සිකුරු තරුව' චිත්‍රපටයේ තේමා ගීතය ප්‍රබන්ධ කරමින් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ දැක්වූ මේ සමබරතාව අද ඉර-හඳ පායන අප ලෝකයේ නැත.

කොපමණ වැස්සත් කිසිදු ආතානත්තුවක් නැත. අවුල ආරම්භ වන්නේ මහ පොළොව සෝදමින් බොර වතුර ගලා යෑම නිසාය. ඈත කඳුකර වනන්තරයක මහ වැස්සේ ගමනක් යන විට විමසිලිමත් වන්න. කඳු බෑවුම් දිග ගලා එන වැසි දිය නිල් පාටින් රි දී පෙණ නඟමින් ගලනු දැකිය හැකිය. කිසිදු දිය පාරක බොර වතුර නැත. ඒ ඇයි? එකී දිය ගලා එන්නේ මිනිසුන් විසින් ඉඳුල් නොකළ භූමිය හරහා වන නිසාය. මිනිසුන් පය නොතැබූ කඳුකරයේ බිම ආවරණය එසේම පවත්නා විට මහ පොළොවේ පස වැසි වතුරෙන් හෑරී නොයයි; බොර වතුර ගලා නොයයි. වැසි වතුර බොර වන්නේ මහ පොළොවේ පස වැසි දියෙන් හෑරී සේ දී යන්ට පටන් ගත් විට පමණය.

එක් යුගයක වැස්සට පසුව ගමේ පොළොව සිදුරු වී උල්පත් මතු වනු දැකිය හැකිය. එසේ වැස්ස සමඟ සිදු වන උල්පත් මතු වීම ගම්මුන් හඳුන්වන ලද්දේ උල් හොල්ලනවා යනුවෙනි. මහ පොළොවේ හැම තැනින්ම වාගේ දිය සීරා ගලන්නට පටන් ගනී. ඒ කිසිදු දිය පාරක බොර වතුර දැකිය නොහැකි ය. අලුත් උල්පත් මතු වන පොළොවේ සිදුරු වූ හීනි මුවවිටෙන් පෙනේරයෙන් හලාගත් තරම් සිහින් වැලි මතු වනු දැකිය හැකිය. මිනිසුන් ඇවිද යන සියලු මංපෙත් අඩි පාරවල් මේ උල් හෙල්ලීම නිසා ඇළවල් බවට පෙරළී යයි.

ජලය සමඟ මතු වන ඒ ලස්සන හීන් වැල්ල ඒ මංපෙත්වලට දෙන පෙනුම අතිශයින් සුන්දරය. මිනිසුන් පය ගැසුවද ගමේ භූමිය වසා ගත් තණකොළ ආවරණය කිසි විටෙකත් බිඳී-පළුදු වී නොයයි.

මහවැලි ගඟ දිය වැහි කාලයට බොර වතුරෙන් අවලස්සන වේ. දින ගණනාවක් බොර පැහැතිව ගලන ගඟ නැවත නිල් සාරියක් කන්දේ වැනුවා සේ නැවතත් නිල්වන්ව ගලන්නට පටන් ගනියි. එය ඇස සනසන හිතට දැනෙන මනරම් දසුනකි. එක් යුගයක මහවැලි ගඟ රට හරහා ගලා ගොස් ත්‍රිකුණාමලෙන් මුහුදට වැටිණි.

අද මැහවැලිය ගලන්නේ නැත. තැන තැන බැඳ හරස් කළ වේලි බැමි ළඟ නතර වූ මහවැලිය අපට බොහෝ දේ ලබා දෙමින් සපයමින් සිටී. ගොවිතැනට වතුර, ගෙදරට විදුලිය, ඉන් ප්‍රධානය. මේ බහුකාර්ය සේවා සිදු කරන මහවැලි ගඟ අද ගලා යන ගඟකටත් වඩා කැප වී රැකගත යුතුව තිබේ. එහෙත් අද මහවැලි ගඟේ වසරින් වැඩි දවසක් ගලන්නේ බොර පාටැති ජලයයි. ගං ඉවුරු ඛාදනය වෙමින් පවතී.

මහනුවර වට කොට ගලා යන මහවැලි ගං තෙර බොහෝ තැන පාරවල් සේ දී ගොස්ය. එසේ සිද්ධ වන්නේ ගඟ ඉවුර ඛාදනය වීම නිසාය. ගඟ ඉවුර ඛාදනය වන්නේ ගං ඉවුර නිරාවරණය වී තිබීම හේතුවෙනි. ගඟට බොර වතුර ගලා එන්නේ කොහෙන්ද? මහනුවර නම් කන්ද සේ දී යෑමෙනි. මේ තත්ත්වය නිසා අප විඳින දුක්-ගැහැට ස්වභාවධර්මයේ අකාරුණික සැලකිල්ලකි. සකළ මානව වර්ගයාම මේ අකාරුණික සැලකිල්ලෙන් අවතැන්ව සිටිති.

සාහිත්‍ය පුරා ලියවී ඇත්තේ වර්ෂාව පිළිබඳ චමත්කාරයයි. ඒ චමත්කාරය අප විසින් කෙලෙසා විනාස කරනු ලැබ ඇති බව නැවත නැවත සිහිපත් කළ යුතු වේ.

 

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට

තිත්ත පැටව් උඩ පැන නැටුවා

වැස්ස වහින්නට ඉස්සර අහසේ

වලාකුළින් විදුලිය කෙටුවා

 

සේකරගේ මේ ගේය පද අපට අමරදේවගේ හඬින් නිනර ඇසෙයි. ඉන් කියැවෙන්නේත් වැස්ස පිළිබඳ ආශ්චර්යයමය.

 

කිව්වට වස් නැත නිල් නිල් පාටින්

කටරොලු මල් වැට වට කෙරුවා

තුන් දවසක් අමනාපෙන් සිටි කළු

නෝක්කාඩු බැල්මෙන් බැලුවා

 

වක්කඩ පුරවාගෙන වහින වැස්සේ අසිරිය හරියට තුන් දවසක් අමනාපෙන් සිටි හිතවතියගේ ළෙන්ගතු වෙනස් වීම මෙන් සුන්දරයැයි සේකර කියයි.

 

ගලා හැලෙන වැහි වතුර වගේ උඹ

හිනා වෙයන් කළු හිනා වෙයන්

වෙළා මගේ සිත ඉනාවකින් තව

හිනා වෙයන් කළු හිනා වෙයන්

 

වක්කඩ යනු ගැමි වහරෙන් දිය නාන තැනක් නොවේ. වෙලට වතුර එන කපොල්ලය. ගොවීහු රාත්‍රියේ ගොස් වක්කඩ බැඳ ලියදි වතුරෙන් පුරවති; පාන්දරම ගොස් වක්කඩ කඩා වතුර බැස යන්ට සලස්වති. වෙල් යායෙන් පිටව ඇළ-දොළට ගලා යන මේ වතුරට ගම්මුන් කීවේ වෙල් පහු වතුර කියාය. වක්කඩ යනු කුඹුරෙහි වැඩි ජලය බැස යෑමට නියරෙහි කපා තිබෙන දොරටුව ලෙස සුමංගල ශබ්දකෝෂය විස්තර කරයි. එහිම එකී වචනය 'වක්කටෙයි' ලෙස දමිළ බසෙහිද දැක්වෙන බව සඳහන් වේ. නියරට සම්බන්ධ අනෙක් ජල බැස්ම කඩාඬුවයි. කඩාඬුව යනු ජලය වැඩිවීම හෝ කක්කුට්ටන් හෑරීම නිසා ඇති වන නියර කඩා යාමකි. සමහර ගැමියන් කඩාඩුව කඩක්කරය යනුවෙන් හඳුන්වති.

රූපක භාවිතයේ දී උචිත බව රසයේ ආත්මයයි. මිනිසුන් පැන නාන දිය පාරක තිත්ත පැටවුන් දැකීම දුෂ්කර වේ. තිත්ත පැටවුන් නටනු පිහිනනු දැකිය හැක්කේ කුඩා ඇළ ඉවුරකය; දොළ පාරකය. ඒ අභ්‍යාසයෙන් මේ කියන තැන සේකර වක්කඩය ලෙස දැක්වූවාට සැක නැත. අමරදේවගේ වක්කඩ ළඟ ගීතයට අවශ්‍ය සංගීතය ඔහුට ලැබුණේ ඒ වක්ක‍ඩේ වතුර වැටෙන රිද්මය බව කියයි. අපටත් ගමේ නිදැල්ලේ ආශ්චර්යය අත්විඳින්න සේකර මෙන් අමුඩ ගසා ඇළේ-දො‍ළේ පැන නාන්න ඔරු පදින්න ස්වභාව ධර්මයේ සමබරතාව මිනිසා විසින් ආරක්‍ෂා කළ යුතු වේ.

වලාකුළු තෙරපෙන්න කඳු මුදුන් මුදාහැරිය යුතු වේ. වැටෙන වැසි බිඳු පිළිගන්න පොළොවේ නිල් ආස්තරණය ආරක්‍ෂා කළ යුතු වේ. ගහකොළ වැවෙන තැනට අත නොතැබිය යුතු වේ. ලිහෙන වැහි මල්ල කඳු නොසෝදා බිම සාරවත් කොට අස්වනු වැඩි කිරීමට නම් අප යළි අපේ යුතුකම ඉටු කර ස්වභාව ධර්මයට අනුගත විය යුතු වේ. එවිට අපට වැහි මල්ල චමත්කාරය සතුට පමණක් නොව ධන ධාන්‍යද ගෙනෙනවා සිකුරුය.

Comments