ට්‍රම්ප් ගේ විහිළු | සිළුමිණ

ට්‍රම්ප් ගේ විහිළු

ධූරයට පත් වූ දින සිට ලෝකයට විහිලු සපයමින් සිටින අමෙරිකා ජනාධිපති ට්‍රම්ප් පසුගියදා තවත් ඉල ඇදෙන විහිළුවක් ලෝකයට සපයා සිටියේය. එහෙත් කණගාටුදායක කාරණය වන්නේ ඒ විහිළුව ඉතාම ඛේදජනක සිදුවීමක් හා සම්බන්ධ වීමය.

ගිනි අවි රැගත් සිසුන් පාසල් තුළට පිවිස ඉදිරියට පැමිණෙන ඕනෑම අයකු වෙඩි තබා මරා දැමීම අමෙරිකාවට අමුතු සිදුවීමක් වන්නේ නැත. මෙවැනි සිදුවීම් අමෙරිකාව පුරා වරින් වර වාර්තා වන අතර යළිත් කිසිවක් සිදුනොවුණා සේ එරට ජන ජීවිතය ඉදිරියට ගලා යන්නේය. පාසලේ පමණක් නොව මොයෙක් මානසික මට්ටම්වල පසුවන මිනිසුන් ඉතා පහසුවෙන් අවි ලබාගෙන සමූල ඝාතනය ඉතා පහසුවෙන් සිදුකිරීමද අමෙරිකාවේ සුලබ සිදුවීම් බවට පත්ව තිබේ.

මේ අතරින් ආසන්නතම සිදුවීම වූයේ පසුගියදා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාර්ක්ලන්ඩ් හි මජෝරි ස්ටෝන්මන් ඩග්ලස් උසස් විද්‍යාලයට පිවිසි එහි සිසුවකු ගිනි අවියකින් හතර අතේ තබන ලද වෙඩි පහර හේතුවෙන් ගුරුවරු ද ඇතුළුව 17 දෙනෙක් මිය යෑමය.

මේ සිදුවීමෙන් පසුව සුපුරුදු ලෙසම යළිත් එතැන් සිට පටන් ගන්නවා වෙනුවට මෙවැනි සිදුවීම් පිටුදැකීමේ වැඩපිළිවෙලක් ඉල්ලා මතවාදයක් ඇති කරණු දැක ගැනීමට හැකිවිය.

ඒ අනුව මෙවැනි සිදුවීම් පිටුදැකීමේ වැඩමුළුවක් ධවල මන්දිරට විසින් පවත්වන්ට යෙදුණු අතර ජනාධිපති ට්‍රම්ප් සමග ධවල මන්දිර නිලධාරීන්, ස්ටෝන්මන් ඩග්ලස් විද්‍යාලයේ සිසුසිසුවියන්, දෙමවුපියන්, ගුරුවරුන්, ෆ්ලොරිඩා ප්‍රාන්ත රාජ්‍ය නිලධාරීන්, අමෙරිකා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන් ඇතුලු බොහෝ පිරිසක් මේ සඳහා සහභාගී වී සිටිනු දක්නට හැකි විය.

ට්‍රම්ප් ඉහත කී 'විහිළුව' සමාජ ගත කර සිටියේ මේ වැඩමුළුව අතරවාරයේදීය. ඔහු එහිදී පාසල් තුළ මෙවැනි සමූහ ඝාතන වැළැක්වීමට නම් කළ යුතු දේ සම්බන්ධව තම මතය ප්‍රකාශ කරමින් පවසා සිටියේ දැනට පවතින පාසල් යනු 'අවි රහිත කළාප' යනුවෙන් වන වර්ගීකරණය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතු බවය. ඉන් පසුව පාසල් තුළට ගිනි අවි රැගෙන ඒමට ඉඩ දිය යුතු බවත්, විශේෂයෙන් ගුරුවරුන්ට ගිනි අවි ළඟ තබා ගැනීමට අවසර ලබා දිය යුතු බවත් ඔහු පවසා සිටියේය. ගුරුවරුන්ට විශේෂ ගිනි අවි පුහුණුවක් ද ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙහිදී නිර්දේශ කර සිටියේය.

ඔහු වැඩිදුරටත් තම අදහස් ප්‍රකාශ කරමින් ස්ටෝන්මන් ඩග්ල්ස් විද්‍යාලයේ පාපන්දු උප පුහුණුකරුවාගේ ක්‍රියාකළාපය ගෙන හැර දැක්වූයේය. පාසල භූමියෙන් වෙඩි ශබ්ද ඇසෙ විට මේ පුහුණුකරුවා එදෙසට දිව ගොස් ඇති අතර වෙඩි තැබීම වැළැක්වීමට උත්සාහ දරා තිබේ. එහෙත් තමන්ට හෝ සෙසු සිසුන්ට ආරක්ෂාව සලසා ගැනීමේ කිසිදු උපකරණයක් ඔහු සතු නොවූ බැවින් ඔහුටද අවසානයේ සිදුවූයේ සිදුවීමෙන් මිය ගිය දා හත් දෙනා අතරට එක්වීමටය.

මේ උදාහරණය උපුටා දක්වමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ මේ පාපන්දු පුහුණුකරුවා සතුව ගිනි අවියක් වූයේ නම් ඔහු සිදුවීමට සිදුවන ප්‍රදේශයට දිව යනු ඇත්තේ ගිනි අවියද රැගෙන බවයි. ඉන්පසු තව ජීවිත කිහිපයක්ම බේරා ගැනීමේ හැකියාව ඔහුට ලැබෙනු ඇති බවද, එමෙන්ම තමන්ගේ ජීවිතයද ආරක්ෂා කර ගැනීමේ හැකියාවද හිමි වනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

එහෙත් ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධව ජනතාව එතරම් සතුටක් දක්වා නැත. විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ දෙමවුපියන් මේ කතාව සම්බන්ධව තම පුදුමය පළ කර ඇත්තේ පාසල් තුළට ගිනි අවි ගෙන යෑමේ අවසරය ලබා දීමට කටයුතු කළ හොත් එය කොහෙන් කොහොම කෙළවර වනු ඇත්දැයි විමසමිනි.

එහිදී මේ සිදුවීමෙන් මියගිය පාසල් දැරියකගේ පියෙකු අදහස් දක්වමින් පවසා අැත්තේ වර්තමාන අමෙරිකාවේ ඕනෑම පාසල් භූමියක සිටින ඕනෑම පාසල් සිසුවකු අතිශයින් අනාරක්ෂිත බවයි. එමනේම ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ දෙමවුපියන් ලෙස අපට තරහ ඇත්තේ දරුවන් මරා දැමූ වෙඩික්කරුවා සමග නොව එවැනි සිදුවීම්වලට පසුබිම සපයන අමෙරිකානු නීතිය සමග බවයි.

එහෙත් මේ සම්බන්ධයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා දිගින් දිගටම පවසා ඇත්තේ ගිනි අවි සුලබ කිරීම ප්‍රශ්නයට විසඳුම වනු ඇති බවයි.

ඔහුගේ මේ මතයට ඉතිහාසයක් ඇති අතර ඔහු තම ජනාධිපතිවරණ ප්‍රචාරක කාලයේදීද පවසා ඇත්තේ තමා ජනාධිපති වුවහොත් පළමුවැනි දිනයේම පාසල් තුළට ගිනි අවි රැගෙන යෑමට ඉඩ ලබා දෙන ලෙස නීති සකසන බවයි.

කෙසේ වුවද මේ වන විට පාසල් සහ ජන සමාජය ගිනි අවි ගත් වෙඩික්කරුවන්ගෙන් ආරක්ෂිතව ජීවත් වීමේ වටාපිටාවක් ඇති කළ යුතු බවට අමෙරිකාව පුරා ජනමතයක් ඇති වෙමින් තිබේ. වි‍ශේෂයෙන් එරට තරුණ පරපුර දැන් දැන් වීදි බසිමින් ආරක්ෂිත ජන සමාජයක් ඇති කළ යුතු බවට පාලකයන්ට බලපෑම් කරමින් සිටිති.

 

Comments